2021 ජුලි 31 වන සෙනසුරාදා

මුතුරාජවෙල කළඹන බලාගාර භීතිකාව

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 52

ගල්අඟුරු වෙනුවට ලෝකයේ බලශක්තිය සඳහා යොදාගන්නා නවතම මූලාශ්‍රය වන්නේ ස්වභාවික ද්‍රව වායු (එල්.එන්.ජී.) යි. ශ්‍රී ලංකාවෙත් එල්.එන්.ජී. බලාගාර ඉදිකිරීම් ගැන දශකයකට වැඩි කලක් තිස්සේ කතාබහක් ඇතිවුණත් ඉදිකළ බලාගාරයක් නම් නැත. මුතුරාජවෙල තෙත්බිමේ අක්කර 110ක භූමිය ගොඩකර ද්‍රව වායු බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ වන්නේ මේ අතරය. එම බලාගාර ව්‍යාපෘතිය රටට අවශ්‍ය වුණත් පරිසරවේදීන් චෝදනා කරන්නේ එය ඉදිකිරීමට සැරසෙන්නේ නීතිවිරෝධී පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් බවයි.

පසුගියදා අගරදගුරු මැඳුරේ පැවැති මාධ්‍ය හමුවකදී ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඉදිකිරීමට යෝජිත මෙම බලාගාරයට එරෙහිව විශාල විරෝධයක් නැගිණි.

&නිදහසෙන් පස්සේ මේ රටේ පාලකයෝ රට තමන්ගේ බූදලයක් විදිහට පාවිච්චි කරලා තමයි මේ විනාශය රටට උදාවෙලා තියෙන්නේ. කූට උපක්‍රමවලින් තමන්ගේ අරමුණුවලට යන්න උත්සාහ කරන්න එපා කියලා අපි රජයට මතක් කරනවා.* මාධ්‍ය හමුවට එක්වූ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසූහ.

පරිසරයට හානි කරමින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘති විනාශකාරී දේවල් බවත් මුතුරාජවෙලට අත නොතබන්නැයි යළිත් රජයට දැනුම්දෙන බවත් අගරදගුරුතුමෝ සඳහන් කළෝය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සකස් කර ඇති පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව දෙස බැලීමේදී එහි මූලික නීතිමය දුර්වලතා රුසක් ඇතැයිද උන්වහන්සේ පැවසූහ. &ඊට විරෝධය පා මධ්‍යම පරිසර අධිකාරියට ලිපියක් යොමු කළා. ප්‍රේෂණ කලාපයේ අක්කර 100ක් ගොඩකළාම දැනට එනවා වගේ තුන් ගුණයක් ගංවතුර ඒ ප්‍රදේශවලට එනවා. එදා ඉඳන්ම මැති ඇමැතිවරු මේ රක්ෂිතයේ ඉඩම් තමන්ගේ ඡන්දදායකයන්ට බෙදල දුන්නා. මුහුදු වැලි ඉවත් කිරීම අවුරුදු ගණනාවක සිට සිදුවෙනවා. උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

මේ ව්‍යාපෘති ආරංචියත් සමඟ එයට යාබද ගම්මානවල ජනතාව කැළඹී සිටිති. එම බලාගාර තීරණයට විරෝධය පා පසුගිය දිනවල බෝපිටිය, පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශවල ජනතාව තම නිවෙස් ඉදිරිපිට පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක යෙදුණහ. මුහුදෙන් වැලි ගසා මුතුරාජවෙල වනසා පමුණුගම පේරුව මුහුදට යට කිරීමට හිතන්නවත් එපා, මුතුරාජවෙල ගොඩකර බලාගාර සෑදීමට හිතන්නවත් එපා, මුතුරාජවෙලට අත තියන්නවත් එපා, අහිංසක ධීවර ජනතාව යළිත් අනතුරේ ආදී පාඨ රුගත් පුවරු එහිදී ප්‍රදර්ශනය කෙරුණි. මුතුරාජවෙල බලාගාර මූලික ගැටලුව මතුවී තිබෙන්නේ එහි පරිසර බලපෑම් තක්සේරු වාර්තාවටයි. පසුගිය මැයි 21දා සිට ජූලි 8දා දක්වා එම වාර්තාව වන ලංවිම සඳහා මුතුරාජවෙල පිහිටි ඉඩම සංවර්ධනය කිරීම මහජන අදහස් සඳහා විවෘතව තැබිණි.

මුතුරාජවෙල තෙත්බිම් පද්ධතියේ පරිසර ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශයක අක්කර 110ක් බලාගාරයට වෙන්කර තිබේ. එය වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පට්ටියවෙල ග්‍රාම නිලධාරී වසමට අයත් වේ. අපට පෙනී යන්නේ පූර්ව නිගමන මත මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇති බවයි. ඊට හේතුව මීට අවුරුදු තුනකට පෙර මෙම ව්‍යාපෘතිය සඳහා මුතුරාජවෙලින් වෙන්කළ භූමිය සාධාරණීකරණය කිරීමට මෙම වාර්තාවෙන් කරුණු ගොනු කිරීමයි. පරිසර බලපෑම් වාර්තාවක ඇතුළත් ප්‍රධාන අංගයක් වන විකල්ප අධ්‍යයනය මේ වාර්තාවේ නැහැ. විකල්ප අධ්‍යයන මගින් කරන්නේ යෝග්‍ය විකල්ප තුනක් අතරින් ඉතාම යෝග්‍ය ස්ථානය හඳුනාගැනීමට කරුණු ගොනු කිරීමයි. එමගින් ව්‍යාපෘතියට සුදුසුම භූමිය හඳුනාගැනීමට අවස්ථාව ලැබෙනවා. එම ප්‍රධාන නෛතික අංගය මේ වාර්තාවේ නැහැ.* ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසර පර් සජීව චාමිකර පැවසුවේය.

යෝජිත දුව වායු බලාගාරය ඉදිකිරීමේ මුල් පියවර පසුගිය ආණ්ඩුව දක්වා ඇදී යයි. ඒ සඳහා මුල්වරට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ 2017.07.12 දා එම රජයේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැතිවරයා සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් සංදේශයක් සඳහාය. එහිදී ඉන්දීය සහ ජපන් රජයන්වල සහයෝගයෙන් මෙගාවොට් 500ක ද්‍රව වායු බලාගාරයක් ඉදිකිරීමට අනුමැතිය හිමිව තිබුණි. එය ඉදි නොවුණු අතර යළිත් වරක් 2018.02.27 දින කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණේ එම රජයේ සංවර්ධන උපාය මාර්ග හා වෙළෙඳ අමාත්‍යවරයා සහ වරාය සහ නාවික ඇමැතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට සංදේශයකටය. එහිදී අනුමැතිය හිමිව තිබුණේ ද්‍රව වායු බලාගාරයක් සහ පාවෙන ස්වභාවික වායු පර්යන්තයක් ස්ථාපිත කිරීමටය. එය ශ්‍රී ලංකා ජපන් සහ ඉන්දීය ත්‍රෛපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමක් මගින් ක්‍රියාත්මක වන බව සඳහන් විය. වත්තල කෙරවලපිටියේ එම බලාගාරය ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබුණි. එම ප්‍රදේශයේ රජය සතු අක්කර 110ක භූමිය නිසි පාරිසරික ඇගයීමක් කිරීමෙන් පසුව ද්‍රව වායු බලාගාරය ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. &මෙම කැබිනට් අනුමැතින් විමසන විට පෙනෙන්නේ යෝජිත ව්‍යාපෘති භූමිය සඳහා මූලික ශක්‍යතා ඇගයීමක් හෝ උපාය මාර්ගික පරිසර බලපෑම් ඇගයීමක් හෝ මූලික ව්‍යාපෘති වාර්තාවක් හෝ සකස් කර නැති බවයි. මෙය පූර්ව නිගමන මත සකස් කළ වාර්තාවක් බව එම සාධකවලින් තහවුරු වෙනවා.* සජීව චාමිකර වැඩිදුරටත් කීවේය.

මුතුරාජවෙල ස්වභාවික ද්‍රව වායු බලාගාරය මූලික කොටස් පහකින් සමන්විතය. වායු බලාගාරය ඉදිකිරීමට ගොඩකරන තෙත්බිම් ප්‍රදේශය, ගොඩකිරීමට වැලි ලබාගන්නා සාගර ප්‍රදේශය, ගොඩකළ බිමේ වායු බලාගාරය ඉදිකිරීම සහ පාවෙන වායු බලාගාරය ස්ථාපිත කෙරෙන සාගර ප්‍රදේශය, බලාගාරය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන සාගර කලාපය, බලාගාරයෙන් බැහැර කෙරෙන උණුසුම් ජලය මුදාහරින සාගර කලාපය ලෙසිනි. මෙසේ කොටස් ගණනාවකින් සමන්විත ව්‍යාපෘතියේ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර මහජනතාවට විවෘත කළේ යෝජිත භූමිය සකස් කිරීමට පමණකි. සමස්ත ව්‍යාපෘතියෙන් වන බලපෑම ඉන් හෙළි නොවේ.

මේ අතර පසුගිය මැයි, ජූනි මාසවල හටගත් ගංවතුර නිසා මුතුරාජවෙල පවුල් 5000ක් පමණ අවතැන් විය. තවත් අක්කර 110ක් ගොඩ කළහොත් තමන් තවදුරටත් දරුණු ගංවතුර රකුසාට බිලිවිය හැකි බවට ප්‍රදේශවාසීහු බියට පත්ව සිටිති.

 කුසුම්සිරි

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03