2021 ජුලි 31 වන සෙනසුරාදා

ආර්ථික ගැටලු ලිහන්න අලුත් මාර්ග

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 58

අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් කල් පිරුණු සංවර්ධන බැඳුම්කරයක් පියවන්නට ශ‍්‍රී ලංකා ආණ්ඩුව සමත් වී තිබේ. විදේශ විනිමය සම්බන්ධව ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක පසුවන අතරතුර මෙම තොරතුර ඉහළින් වාර්තා කරන්නට ජනමාධ්‍ය ඉදිරිපත් විය. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙරට ණය ආපසු ගෙවීමේ හැකියාව තරමක අවදානමක් පවතින බව නිවේදනය කරමින් සිටිය දී මෙම විදේශ ණය පියවීම තවත් අවධානයට ගත යුතු පැත්තකි. ඩොලර් බිලියනය පියවීම සමඟ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගැන විශ්වාසය තරමක් තහවුරු වී තිබේ. කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අඟහරුවාදා සහ බදාදා සුබවාදී ආකල්පයකින් අවසන් විය. කොටස් මිල දී ගැනීමට නැඹුරුවක් තිබුණි. එය එක පැත්තක් පමණකි. මෙතැනින් ඔබ්බට ගමන් කරන්නේ කෙසේද?

 විදේශ සංචිත පවතින තරම 

ඩොලර් බිලියනය ගෙවීමෙන් පසු මෙම මොහොත වන විට ශ‍්‍රී ලංකාව සතු නිල විදේශ සංචිත ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන තුන දක්වා අඩු වී ඇති බව කියවේ. කොවිඩ් හේතුවෙන් තියුණු ආර්ථික බලපෑමක් එල්ල වූ බව නොරහසකි. ආදායම පහත වැටිණි. වියදම ඉහළ නැග ගියේය. සොඛ්‍ය වියදම ඉතිහාසයේ නොවූ තැනකට පත් විය. ජනතාවට, ව්‍යාපාරවලට හා කර්මාන්තකරුවන්ට සහන සපයන්නට සිදුවිය. මෙවැනි අංශවලට ධනය යොදවන විට ආර්ථිකය ආරක්ෂා කර ගැනීම පහසු නැත. 2020 වසර තුළ අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක පමණ කලින් ගත් විදේශ ණය, ඒවායේ පොලිය ගෙවන්නට සිදුවෙයි. විදේශ ණය දෙපාර්තමේන්තුව දක්වන පරිදි පසුගිය අප්‍රේල් අවසානය වන විට නියත වශයෙන්ම ගෙවන්නට සිදුවී තිබුණු ණය වාරිකය අමෙරිකානු ඩොලර් මිලියන 981ක්ව තිබුණි.

ශ‍්‍රී ලංකාව පසුගිය දිනවල අනුගමනය කරන ලද පිළිවෙළ තරමක දුෂ්කරතා ඇති කළේය. ආනයන පාලනය කළේය. තෝරාගත් සමහර දේ ගෙන්වීම සීමා කරන ලදී. ටයර් ටියුබ්වල සිට කර්මාන්ත මෙවලම් හා ඉදිකිරීම්වලට අවශ්‍ය දේ පවා ඒ අතර විය. අවසානයේ විගාමිකයන්ගේ අරමුදල් යැවීම අමෙරිකානු ඩොලර් 10,000ක් හෝ ඒ සමාන ප‍්‍රමාණයක් දක්වා සීමා කර ඇත. අතර පොදු අවසරය යටතේ විගාමිකයන් සඳහා සුදුසුකම් ලත් සංක‍්‍රමණික දීමනාව පළමු වරට ලබාගන්නා අවස්ථාවේ යැවිය හැකි සීමාව අමෙරිකානු ඩොලර් 30,000 හෝ ඒ සමාන උපරිමයක් දක්වා සීමා කර ඇත. මෙම නියමය මාස හයක කාලයක් සඳහා බලපවත්වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කළේය. මෙවැනි පසුබිමක් නිර්මාණය වූයේ විදේශ වත්කම් හිඟය හේතුවෙන් බව දැක්විය යුතුය.

 අභියෝගය අවසන්ව නැත

ඉදිරි වසරක කාලය තුළ තවත් අමෙරිකානු ඩොලර් මිලියන 500ක බැඳුම්කර සහ අමෙරිකානු ඩොලර් බිලියනයක විදේශ ණය පියවන්නට ඉතිරි වී ඇති බව වාර්තා දක්වයි. මෙම පියවීම් සඳහා අලුතින් සංවර්ධන බැඳුම්කර නිකුත් කළ හැක. පසුගිය ජූනි 30 වැනිදා අමෙරිකානු ඩොලර් මිලියන සියයක බැඳුම්කර නිකුත් කළේය. දැන් තවත් ඩොලර් මිලියන 100ක් නිකුත් කර ඇති අතර එය ලබන විසි හත් වැනිදා දක්වා මිල දී ගත හැකිය. කෙටි කාලයක සිට වසර හතර දක්වා කල් පිරෙන මෙම බැඳුම්කර විදේශ මුදල්වලින් මිල දී ගැනීමෙන් ආණ්ඩුවේ විනිමය අවශ්‍යතා කළමනාකරණය කරගත හැක. පියවන මුදල වෙනුවට සංචිත රුස්කර ගැනීමකි. නමුත් මෙවැනි වෙන්දේසිවලදී ගෙවන්නට සිදුවන පොලිය ආර්ථිකයකට හිරිහැරයක් වීමට ඉඩ තිබේ. සාමාන්‍යයෙන් සියයට හතරක සිට හත දක්වා වාණිජ පොලියක් මැදි ආර්ථිකයක් සහිත රටකට ඉසිලිය හැකිද? අනෙක සියලු ආදායම් ඇහිරී ඇති කොවිඩ් තර්ජනය මැද පසුවන අවස්ථාවක කළමනාකරණය පහසුද?

දැනට පවතින විනිමය සංචිත මාස තුනක විදේශීය මිල දී ගැනීම් සඳහා ප‍්‍රමාණවත් බව දැක්වෙයි. ඉකුත් අප්‍රේල් වන විට මෙරට සම්පූර්ණ විදේශ ණයගැතිභාවය රුපියල් බිලියන 35.16කි. මෙම ණයවලින් සියයට හතළිහක් ඉදිරි වසර දහය තුළ පියවිය යුතුය. ඒවා ගෙවන්නට ආදායම උත්පාදනය කරගත යුතුව තිබේ. උත්සාහයක් හා ධෛර්යයක් ඇතිකරන්නට අවශ්‍යය. ආයෝජන නංවන්නට පමණක් නොව ආයෝජනවලට හිතකර පරිසරයක් ද ඇති නොකළහොත් මෙහි වන්දිය ගෙවීමට රටට සිදුවනු ඇත. ශ‍්‍රී ලංකාවේ බලධාරීන්ට බරපතළ වගකීමක් තිබේ. අනවශ්‍ය පොලියකට සංවර්ධන බැඳුම්කර ගැනීම වෙනුවට මොනවා හෝ අපනයනය කර විනිමය උත්පාදනයට පියවර ගැනීම රටට වැඩදායකය.

 රාමුව වෙනස් කිරීම 

ශ‍්‍රී ලංකාවේ ආනයන සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 21ක් පමණ අවශ්‍යය. අපනයන ඇතුළු අංශවලින් ලැබෙන ආදායම එයට ප‍්‍රමාණවත් නැත. විදේශ රුකියාවල නිරතවූවන් එවන විනිමය මෙරට ඉහළම ආදායමය. එය අමෙරිකානු ඩොලර් බිලියන හයකට ආසන්නය. ඇඟලුම් අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන පහක්, තේ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන හතරක්, සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් බිලියන තුනක් පමණ රටට ලැබෙමින් තිබුණි. මේවායේ අගයන් වෙනස් වී තිබේ. සංචාරක ආදායම අහිමි වී ඇත. අනෙක ණය වාරික වෙනුවෙන් ගෙවිය යුතු මුදල වැඩි වී තිබේ. ආනයන පාලනය කරන ලද නමුත් සෞඛ්‍ය වියදම් වැනි පැතිවලින් රටට විදේශ විනිමය වියදම ඉහළ නැග ඇත. අධ්‍යාපන වැනි අව්‍යශතා සඳහා පිටරටවලට ගෙවන විනිමය ප‍්‍රමාණය ද සැලකිය යුතු ප‍්‍රමාණයකින් වර්ධනය වී තිබේ. මෙම තල වෙනස් නොකළහොත් ගැටලු මතුවිය හැකිය. විදේශ මුදල් වැය කරන අංශ අඩු කිරීම පහසු නැත. විදේශ විනිමය උපයා ගත හැකි අලුත් පැති ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. 

වාහන ගෙන්වීම පාලනය කිරීම හා පොහොර ආනයනය සීමා කළහොත් අමෙරිකානු ඩොලර් බිලියන තුනක පමණ වාසියක් වසරකට ලබාගත හැක. බොරතෙල් ආනයනය ද සෑහෙන පිරිවැයකි. පොසිල ඉන්ධන අත්හැරීම දියුණු වෙමින් පවතින රටවල ප‍්‍රතිපත්තියකි. සූර්ය තාපය මගින් විදුලිය උත්පාදනයට පියවර ගනිමින් සිටී. ප‍්‍රවාහනය විදුලිය බලයට හැරවෙන අතර එය වියදම අඩු කරන හේතුවකි. බලශක්ති පිරිවැය කළමනාකරණය සඳහා අලුත් ආයෝජනයක් අවශ්‍යය. ඉන්දියාව අමෙරිකානු ඩොලර් මිලියනයක ණය ආධාරයක් හා ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන පනහක සහන ණයක් රටට සපයා ඇත. මේවා ආයෝජනය කරන අතර මහා පරිමාණයෙන් සූර්ය විදුලි උත්පාදනය විනිමය ඉතිරි කරන මගකි. දිවා කාලයේ ලැබෙන විදුලිය පරිහරණය කරන අතර රාත‍්‍රී කාලය සඳහා ජල විදුලිය භාවිත කිරීමට උත්සාහ කිරීම සුදුසුය. සමහර රටවල් ජලාශවලින් ඉවතට ගලා යන ජලය නැවත විදුලි බලාගාරයේ ජලාශවලට පොම්ප කරන ක‍්‍රම අනුගමනය කරන අතර එම මෝටර් ක‍්‍රියාත්මක කරන්නේ ද විදුලියෙනි. 

 තව තවත් ණය ගැනීම

විදේශ විනිමය හිඟය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව රාජ්‍ය අතර ණය පහසුකම් වැඩිකර ගනිමින් සිටී. ඉකුත් මාර්තු මාසයේ දී චීන වාණිජ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාගෙන ඇත. බංගලාදේශයෙන් ලබාගත් ස්වැප් පහසුව අමෙරිකානු ඩොලර් මිලියන 250කි. ඉන්දියානු රිසව් බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400ක් ලබාගෙන ඇත. සංචිත සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක මුදලක් ඉන්දියාවෙන් නැවතත් ඉල්ලා තිබේ. සමහරවිට මුල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 800ක් අපේක්ෂා කරන බවද සඳහන්ය. වරින් වර සංවර්ධන බැඳුම්කර නිකුත් කරන අතර විදේශ මුදල් රටට එවන සියලුම දෙනාගෙන් අතිරේකව රුපියල් දෙක බැගින් ගෙවා විනිමය ගෙන්වා ගැනීමට ද ප‍්‍රයත්නයක් ඇත. මේවායෙන් රට තුළ සංචිතය තර වෙයි. තව තවත් ණය ගැනීම වෙනුවට ආදායම උපයන දේවලට යොමුවීම සුදුසුය.

ආයෝජන ගෙන්වා ගැනීම එක පැත්තකි. ධනය ඇති ව්‍යවසායකයන්ට ලෝකයේ  ඕනෑම රටකට ධනය යෙදවිය හැකිය. ශ‍්‍රී ලංකාව එයින් එකක් නොවන අතර අසමාන තැනක් බවට හරවා ගැනීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. රට තුළ පවතින ආර්ථිකයේ නියම හැඩය දක්වා ආයෝජන ගෙන්වා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීම පාලකයන්ගේ වගකීමකි. යමක් අලුතින් කරන්නට සූදානම් වන සෑම අවස්ථාවකම විරෝධයක් ඇතිවෙයි. කොළඹ වරාය නගර ආයෝජන අවස්ථාව හොඳම උදාහරණයකි. එතැනට ප‍්‍රමුඛ ආයෝජන කැඳවිය හැකිය. කොටස් වෙළෙඳපොළට ආයෝජන ගෙන්වා ගැනීමට අවස්ථාව තිබේ. පහසු නැත. ලෝකයේ අනෙක් රටවලද තරග කරමින් සිටී. දිනා ගතහොත් එහි වාසිය ලැබෙන්නේ රටටය. පොදු ජනතාවටය. රටට අවශ්‍ය දේ මිල දී ගැනීමට පවා විනිමය හිඟ පසුබිම නිසි මගට ගැනීමටය. ජනතාවට මෙම පැති පහදා දීම අවශ්‍යය. රට විකුණන්නට, වීදේශයට ණය කරන්නට යනුවෙන් චෝදනා නැගීම පහසුය. නමුත් රට ඉදිරියට ගෙන යන පියවර වෙනුවෙන් අලුත් අවකාශයක් හැදීම දුෂ්කරය. ලෝකය පුරා වසංගත තත්ත්වයක් පවතින අතරවාරයේ වර්ධනයක් වෙනුවෙන් පියවර ගැනීමට විශේෂ උත්සාහයක් අවශ්‍යය. රට වෙහෙස විය යුතු පවතින විනිමය ගැටලුවලින් ගැලවෙන අලුත් අවකාශයක් වෙනුවෙනි.

 ගාමිණී සරත් ගොඩකන්ද

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03