2021 ජුලි 31 වන සෙනසුරාදා

සිසුන් වයසට යවන අපේ සරසවි ප්‍රවේශය

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 195

කොවිඩ් වසංගතය රටම ගිලගත් දෙවැනි වසර ගෙවී යන මේ කාලයේ රටම ක්‍රියාත්මක වන්නේ අර්ධ වශයෙනි. මේ නිසා බොහෝ රාජ්‍ය ආයතනවල පමණක් නොව පෞද්ගලික ආයතනවල ද ප්‍රමාදවීම් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. නමුත් කොවිඩ් නැති කාලයේ පටන් ඉබිගමනින් යන තැනක් අප රටේ ඇත. ඒ රටේ උසස් අධ්‍යාපනයේ  මුදුන්මුල වන විශ්වවිද්‍යාල ප්‍රවේශයයි. දශක කිහිපයක සිටම උසස් පෙළ ලිවීමෙන් පසුව විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් වන්නේ දිගු කාල අන්තරයකින් පසුවය. විභාගෙ ලියනා සිසුන් අවුරුද්දකට වැඩි කලක් ගෙදර ගත කිරීම දැන් සාමාන්‍යකරණය වී පවතී. 

2020 උසස් පෙළ විභාගයෙන් මෙවර සිසුන් 195000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඉන් සිසුන් 41755ක් ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන විශ්වවිද්‍යාල 16ට බඳවා ගැනීමට නියමිතය. එය මෙතෙක් බඳවා ගන්නා වැඩිම සිසුන් සංඛ්‍යාවයි. 

පසුගියදා ප්‍රකාශ වුණේ 2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයැදුම් කිරීමට සිසුන්ට ලබාදුන් කාලය නැවත දීර්ඝ කර තිබෙන බවයි.  එම කාලය ජූලි 29 වැනිදා දක්වා දීර්ඝ කර තිබුණි.  
විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධිය සඳහා සිසුන් තේරීමේ වගකීම මෙන්ම ඒ ස්‌වාධීනත්වය ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටය. එම වගකීම ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරෙන්නේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේය. ලෝකයේ පවත්වන අතිශය තරගකාරී විභාගය ලෙස සැලකිය හැකි උසස්‌ පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබන සිසු සිසුවියන්ට සාධාරණ ක්‍රමවේදයකින් විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමිකර දීම එම ආයතනය විසින් සිදු කරන ප්‍රධාන කාර්යයයි. සභාපති, උප සභාපති, ලේකම්, අතිරේක ලේකම් තනතුරු දෙකක්‌ ඇතුළු විශාල කාර්ය මණ්‌ඩලයක්‌ ප්‍රතිපාදන කොමිසමට අයත් වන අතර කොමිෂන් සභාව නිල සාමාජිකයන් සත් දෙනකුගෙන් සමන්විතය. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති තනතුරට මෙන්ම කොමිෂන් සභාවට නිල සාමාජිකයන් පත් කිරීමේ බලය සතු වන්නේ ජනාධිපතිවරයාටය. වර්තමානයේ එහි සභාපතිවරයා වන්නේ දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාල අත්දැකීම් සහිත මහාචාර්ය සම්පත් අමරතුංගයි. 

සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රමාදය අවම කර ගැනීමට විවිධ සැලසුම් සකස් කළ ද තවමත් ප්‍රමාදය එලෙසමය. 2019 උසස්පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලැබූ සිසුන් මාස 06ක් තුළ ඒ ඒ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බව මුලින්ම උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළත් එය ද ඉටුවුණේ නැත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස පොරොන්දු දුන්නේ සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන සියලු සිසු සිසුවියන්ට සරසවියට ඇතුළත් වීමේ පහසුකම් සපුරන බවයි. පවතින විශ්වවිද්‍යාල සීමිත පහසුකම් තත්ත්වය නිසා මේ දක්වා උසස් අධ්‍යාපනයේ සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන දහස් ගණනක් විභාග අපේක්ෂක දරු දැරියන් අතුරින් සරසවි අධ්‍යාපනයට අවස්ථාව ලබාගත්තේ 30000ක් වැනි පිරිසක් පමණි. මෙවර එම සංඛ්‍යාව ඉහළ නැංවීම සාධනීය කරුණකි. ආචාර්යවරු ඇතුළු මානව සම්පත් හිඟය, දේශන ශාලා, නේවාසිකාගාර, තාක්ෂණික පහසුකම් ආදී වශයෙන් පවතින අඩුපාඩුද සමගින් පවතින සරසවි අධ්‍යාපනයද දුර්වල මට්ටමක තිබෙන බව විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පවසති. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදතයේ 6෴ක ප්‍රතිශතයක් වෙන්කරන තුරු මෙවැනි අඩු පහසුකම් යටතේ පාසල් මට්ටමේ සිට උසස් අධ්‍යාපනය දක්වා වරණයන්ට ලක්වන්නට ශිෂ්‍ය පරපුරට සිදුවන බවයි. මේ පිළිබඳව විමසීමට අප මුලින්ම සම්බන්ධ කර ගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ සහ කළමනාකරණ පීඨයේ අලෙවිකරණ අධ්‍යයනාංශයේ මහාචාර්ය සුදත් වීරසිරිය. 

මේ ප්‍රමාදය අපි විශ්වවිද්‍යාලට ඇතුළත් වූ 1990 දශකයේ පටන් පැවතුණා. තවමත් තිබෙනවා. අපිටත් ඒ නිසා වයස වැඩිපුර ගත කරන්න වුණා. එකට ප්‍රධාන හේතුව නම් විශ්වවිද්‍යාලවල පවතින සම්පත් එම සිසුන් කඩිනමින් ඇතුළත් කර ගැනීමට ප්‍රමාණවත් නොවීමයි. අගෝස්තු මාසේ උසස් පෙළ විභාගය කළ පසු දෙසැම්බර් වන විට ප්‍රතිඵල ඇවිත් ජනවාරියෙදිවත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ පහසුව තිබිය යුතුයි. එහෙම වුණොත් සිසුන් ගෙදර ඉඳන් වයසට යාම සිදුවන්නේ නැහැ. විභාගෙ ප්‍රතිඵල ඇවිත් කඩයිම් ලකුණු නිකුත් වීමට තවත් මාස ගණනක් යනවා. ඉතින් අවුරුදු එකහමාරක් විතර යනවා විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට. විශ්වවිද්‍යාලයට නොගිය සම වයසේ පිරිස් රුකියා ලබාගෙන උසස්වීම් පවා ලබාගෙන දියුණු වූ අවස්ථා තිබෙනවා. විශ්වවිද්‍යාලයට ගිය පිරිස අවුරුදු ගණනක් ඉගෙන ගන්නවා. මේක රුකියා වෙළෙඳපොළට පිවිසීමේ දී ප්‍රධාන බාධාවක් වෙනවා. ඒ වයස් ප්‍රමාදය ජීවිත කාලයටම බලපානවා. ඒ නිසා අවුරුදු පහක විතර ප්‍රමාදයක් ඇතිවෙනවා. විවාහය ප්‍රමාද වෙනවා. දරුවන් ලැබීම ප්‍රමාද වෙනවා. පෞද්ගලික ජීවිතය කඩා වැටෙනවා.

පසුගිය කාලයේ විශ්වවිද්‍යාල උපාධිධාරීන් රුකියා ඉල්ලා කළ උද්ඝෝෂණවලදී ඔවුන්ගේ වියපත් වීම අපට පැහැදිලිව දැකගත හැකි විය. සමහරුන් අත දරුවන් අල්ලාගෙන සිටියහ. තවත් අයගේ කොණ්ඩය ඉදිලාය. එක් අවස්ථාවක ඒ පිරිස් අතරට ගිය ජනාධිපතිවරයා පවා විමසා සිටියේ මෙතරම් වයසට යන තෙක් රැකියා විරහිතව සිටියේ ඇයිද කියාය. 

මෙම ප්‍රමාදය නිසා විශ්වවිද්‍යාලයට තෝරාගන්නා සිසුන් ගෙන් එක්තරා පිරිසක් විශ්වවිද්‍යාලයයේ ලියාපදිංචි නොවන බවටද වර්ෂ කීපයක් තිස්සේ වාර්තා වේ. එසේ ළමුන් නොපැමිණෙන්නේ අනෙක්‌ පාඨමාලාවලට වඩා විද්‍යා සහ කෘෂිකර්ම විද්‍යා පාඨමාලාවලට බව දක්‌නට ලැබේ.  අපට හැඟී ගියේ එම විෂය මාලාවල සිසුන්ට වෙනත් වෘත්තීය අවස්ථා උදාකර ගැනීමට අවස්ථාව ලැබුණු විටම සරසවිය අමතක කර ඒවාට යන බවයි. කොළඹ කේන්ද්‍ර කරගත් විශ්වවිද්‍යාලවලට වඩා මේ ගැටලුව බහුලව පවතින්නේ කොළඹින් බැහැර පිහිටි විශ්වවිද්‍යාලවලට බව ද පැහැදිලිව ඇති කරුණකි.

කොළඹ ආශ්‍රිතව කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල තුන පිහිටා ඇත. කොළඹින් බැහැරව පිහිටා ඇත්තේ පේරාදෙණිය, යාපනය, රුහුණු, නැගෙනහිර, රජරට, සබරගමුව, වයඹ, අග්නිදිග යන විශ්වවිද්‍යාවේ.  මේ අර්බුදය මතු ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය හැර අනෙකුත් විශ්වවිද්‍යාලවලට බව ද පෙනේ.  

මෙම ප්‍රමාදය වළක්වා ගැනිමට පියවර ගන්නා අධ්‍යාපන විශේෂඥයන් අතර ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ ඒ පිළිබඳව දේශයට විස්තර කළේ මේ අයුරිනි:
අපි මේ ගැන ආණ්ඩුවට යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එකක් තමයි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කාලවකවානු වෙනස් කිරීම. මේකට කැබිනට් අනුමැතිය ලැබී තිබුණත් කොවිඩ් වසංගතය නිසා යම් ප්‍රමාදයක් තිබෙනවා. ඒ නිසා ඒක ක්‍රියාත්මක කරන දිනය නිශ්චිතව දන්වලා නැහැ. අනෙක තමයි විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කාලවකවානු වෙනස් කිරීම. 

උදාහරණ විදිහට 2022 දෙසැම්බර් මාසයේ පැවැත්විය යුතුව තිබෙන සාමාන්‍ය පෙළ විභාගය ඒ අවුරුද්දේ අගෝස්තු මාසයේ පැවැත්වෙනවා (නව සාමාන්‍යකරණය වූ පසු). ඉන් පසුව 2022 සාමාන්‍ය පෙළ සමතුන්ට 2023 ජනවාරිවල උසස් පෙළ පන්ති ආරම්භ කර 2025 දෙසැම්බර් වන විට විශ්වවිද්‍යාලවලට යාමට අවස්ථාව දෙනවා. මේ ක්‍රමයෙන් මාස 9ක් ඉතිරි කරගත හැකියි. 2025 දෙසැම්බර් උසස් පෙළ ලියන සෑම ළමයෙක්ම 2026 අගොස්තු වන විට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම කළ යුතුයි. 
ලෝකෙ හැම රටකම වාගේ විශ්විවිද්‍යාල නව අධ්‍යයන වාරෙ පටන් ගන්තේ සැප්තැම්බර්වල. මේ රටේ විතරයි එක එක කාලවල විශ්වවිද්‍යාල පටන් ගන්නේ. මේ පියවර දෙක පටන් ගත්තොත් සම්පූර්ණ කාලයෙන් අවුරුද්දයි මාස 9ක්. ඉතිරිකර ගැනීමට පුළුවන්. කොරෝනා උවදුර නිසා මේ යෝජනා ආරම්භ කිරීම තරමක් ප්‍රමාද වීමට ඉඩ තිබෙනවා. 

එංගලන්තය වගේ රටවල අවුරුදු 17 වන විට පාසල් අධ්‍යාපනය නිම කර වයස 22 වන විට උපාධිය සම්පූර්ණ කර පිටවෙනවා. අපේ ශිෂ්‍යයො විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේම අවුරදු 22දි. පිටවන විට 25 පනිනවා. 
විවිධ ප්‍රශ්න නිසා ළමා කාලයේ පාසල් කාලය වැඩි වෙලා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ඇති වයස වැඩිවෙලා. අපි පොදුවේ ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීමට යන්නේ එම ගැටලුව නිරාකරණය කිරීමටයි. මේ අවුරුද්දේ නියමිත පරිදි උසස් පෙළ අගෝස්තුවේ පැවැත්වීමට ඉඩ ලැබෙන්නේ නැහැ. ඊට අමතරව ගිය අවුරුද්දේ විභාගෙ නැවත සමීක්ෂණය තවම ආරම්භ කරලත් නෑ. එවැනි ප්‍රායෝගික ගැටලු කොවිඩ් නිසා පැන නැගිලා තිබෙනවා. මේ වසරේ සැප්තැම්බර්, ඔක්තෝබර් වන විට පාසල් නැවත ආරම්භ කර 2022 අගෝස්තු වන විට උසස් පෙළ විභාගය පැවැත්වීමට අවස්ථාව උදාකර ගත යුතුයි. 

උසස් පෙළ සමතුන්ගෙන් කිසිම රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට අවස්ථාව නොලැබෙන ශිෂ්‍ය සංඛ්‍යාව 140000කි. ඒ අතරින් 25000ක පමණ පිරිසක් බාහිර උපාධි හැදෑරීමට ලියාපදිංචි වෙති. විවෘත විශ්වවිද්‍යාලයට තවත් 20000ක් පමණ ඇතුළත් වන අතර විදේශ විශ්වවිද්‍යාලවලට 20000ක් ඇතුළත් වෙති. දැඩි තරගකාරී විභාගයකින් ඉහළම ප්‍රතිඵල ලබාගෙන අපේ රටේ විශ්වවිද්‍යාලවලට තේරෙන පිරිසට ගෙදරට නාකිවීමට සිදුවීම ඛේදවාචකයකි. එය නුදුරේදීම වෙනස් වී ඉක්මනින් සරසවි යාමට වරම් ලැබෙන්නේ නම් එය කෙතරම් වාසනාවක් දැයි කිවයුතු නොවේ. 

 

කඩයිම් ලකුණු මාස තුනකින් ලබා දෙනවා

අපි මෙවර වැඩිපුර සිසුන් 12000ක් ඇතුළත් කර ගත්තා. පසුගිය 29දා උසස් පෙළ සිසුන්ගෙන් විශ්වවිද්‍යාල අයැදුම්පත් කැඳවා නිම කළා. මේ අවුරුද්දේ සැප්තැම්බර්  මාසේ සරසවි පිවිසුම් කඩයිම් ලකුණු පිටවෙනවා. ඉදිරියේ දි මාස තුනක් ඇතුළත කඩයිම් ලකුණු පිට කිරීම සිදු කරනවා. ඉදිරියේ දී ක්‍රමයෙන් මේ ප්‍රමාදවීම් වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග සැලසුම් කර තිබෙනවා.

 

 කුසුම්සිරි විජයවර්ධන