ආසියාව මේ වන විට ලෝක කොවිඩ් ව්‍යාප්තියේ සරු ගොදුරු බිමක් වී හමාරය. අසල්වැසි ඉන්දියාව තුළින් දිනෙන් දින නව මාදිලි රුසක් වාර්තා වෙමින් ව්‍යාප්ත වන්නේ ලෝකයේ වෙන කිසිදු කලාපයකින් වාර්තා නොවන අන්දමටය. දැන් ආසියාවේ කොවිඩ් තවාන ලෙස හැඳින්විය හැකිව ඇත්තේ ඉන්දුනීසියාවයි. ඒ රටට දැරිය නොහැකි මට්ටමට දැන් එහි කොවිඩ් වසංගතය පැතිරී යමින් දිනකට දහස් ගණනක් බිලිගනිමින් පවතියි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු අඟවා ඇත්තේ ආසියාව මේ වසංගතය පිළිබඳ දක්වන නොසැලකිලිමත් බව ඉතා දරුණු ඛේදවාචකයකට මුලපිරීමට හේතු වනු ඇති කියාය.
ආසියාව තුළ මේ වන විට සමස්ත ආසාදිත පිරිස +61,408,141කි. මරණ ප්‍රමාණය +886,047ක් පන්නා තිබේ. ලෝකයේ තුන්වැනි තැනට ඉහළම කොවිඩ් ව්‍යාප්තියක් මේ කලාපයෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
ශ්‍රී ලංකාව තුළින් මේ වන විට ආසාදිතයන් +300,000 පන්නා වාර්තා වී ඇත. මරණ +4,195ට වැඩිය. දිනපතා රෝගීන් වාර්තාවීමේ සාමාන්‍යය 1473 ලෙස දක්වා තිබේ. එසේ වුවද මේ වන විට ශ්‍රී ලංකාව තුළ පි.සී.ආර්. සිදු කරන ප්‍රමාණයද පහළ වැටි තිබේ. එය පසුගිය 27දා වන විට 9000ක් තරම් අවම අගයකි. එවන් අවම අගයක් ගනිද්දීත් වාර්තා වන රෝගීන් ගණන සාපේක්ෂව ඉහළ අගයකි. ඒ අනුව වෛද්‍ය විශේෂඥයන්ම පෙන්වා දෙන්නේ සැබෑ ආසාදිත සංඛ්‍යාව මේ අගය මෙන් කිහිප ගුණයකින් ඉහළ බවය.
මේ අතර ලෝක ජනගහණයෙන් හතරෙන් එකක් නියෝජනය කරන ශ්‍රී ලංකාවද ඇතුළත් දකුණු ආසියා කලාපයේ ගතවෙන සෑම විනාඩියකටම තුන් දෙනෙක් කොරෝනා රෝගයෙන් මියයන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය දකුණු ආසියාව සම්බන්ධව නිකුත් කරන නවතම සතිපතා වාර්තාව ඉදිරිපත් කර තිබූ කාරණාවද දැඩි සැලකිල්ලට ගත යුතුව තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව අනුව දැනට ලොව කොරෝනා ව්‍යාප්තිය අතින් තුන්වැනි තැනට පත්ව ඇති මේ කලාපයේ පසුගිය සති හතරක කාලය තුළ දෛනිකව සිදුවන මරණ මෙන්ම හඳුනාගන්නා ආසාදිතයන් ප්‍රමාණය ඉතා වේගයෙන් ඉහළ යන බැවින් එය ලොව අන් කලාප අභිබවමින් අනතුරුදායක මට්ටමකට පත්වෙමින් ඇති බව තහවුරු වී තිබේ. කලාපයට අයත් රටවල් 11න්ම මේ වන විට ආසාදිතයන් වාර්තා වී ඇත. ඒ අනුව කොරෝනා රෝගයේ කේන්ද්‍රස්ථානයක් බවට දකුණු ආසියාව පත්වී හමාරය.
මේ වන විට වඩාත් බරපතළ ලෙස රෝගය පැතිරෙන කලාපයේ තවත් රටක් වන නේපාලයෙන් ලැබෙන නවතම වාර්තා අනුව එරට සෞඛ්‍ය පරීක්ෂණයට ලක්වන සෑම තැනැත්තන් දෙදෙනකුගෙන් එක් අයකුම ආසාදිතයකු බව හඳුනාගෙන තිබේ. ඒ අනුව ලොව වඩාත්ම වේගයෙන් කොවිඩ් ව්‍යාප්ත වන රට බවට දැන් නේපාලය පත්ව ඇත.
එමෙන්ම පසුගිය සමය තුළ කොරෝනා නව ආසාදිතයන් වාර්තාවීම ආසියා කලාපයේ සියයට 6.9කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය වාර්තාවද පෙන්වා දෙයි. ඒ අනුව ජූලි මුල සතිය වන විට කලාපය තුළ මිලියන 35.2ක් ආසාදිතයන් වාර්තා වී ඇත. මෙයින් සියයට 51ක්ම අලුතෙන් වාර්තාවී ඇත්තේ ඉන්දියාවෙනි.
බුරුමය තුළ ආසාදිතයන් 138.3%ක දරුණු වැඩිවීමක් දක්වන අතර පිළිවෙළින් බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ තායිලන්තය කලාපීය ආසාදිතයන් ඉහළ යාමට දායකව ඇත.
මෙම කලාපයේ රටවල් 10ක් තුළ ජූලි මුල වන විට එන්නත් මාත්‍රා ලක්ෂ 4360කට වැඩි ප්‍රමාණයක් එන්නත් කර හමාරය. ඉන් වැඩිම සංඛ්‍යාවක් හෙවත් ලක්ෂ 3570ක් ඉන්දියාවටය. එසේ වුවද සෑහෙන මට්ටමක ජනගත ප්‍රතිශක්තියක් මේ රටවල් කරා තවම ළඟා වී නැත.
ඉකුත් සති කිහිපය තුළ ආසියාවේ මර්මස්ථානය බවට පත්ව තිබුණේ ඉන්දුනීසියාවයි. ඔක්සිජන් හිඟයක් මැද ඉන්දුනීසියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය මේ වන විට වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය 28දා වන විට ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සහ මරණ ද එරටින් වාර්තා විය. මෙලෙස වත්මන් කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඉන්දුනීසියාව කොවිඩ් වෛරස් දෙවැනි රැල්ල හමුවේ මහා ව්‍යසනයක් වෙත යමින් සිටී.
ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ලොව සෙසු රටවල් අභිබවමින් එරට කොවිඩ් ආසාදිතයන් ඉහළ ගොස් ඇත්තේ වාර්තාගත ලෙසය. 28දා වන විට අඛණ්ඩව දෙවැනි දිනටත් එරට දෛනික මරණ දහසේ සීමාව ඉක්මවා ගිය අතර අලුතින් රෝගීන් 51,952ක් වාර්තා වී තිබුණි.
මේ වන විට ඉන්දුනීසියාවේ අගනගරය වන ජකර්තා හි දෛනික වෛද්‍ය ඔක්සිජන් අවශ්‍යතාව ටොන් 100කි. දැනට පවතින ඔක්සිජන් හිඟය පියවීම සඳහා රජයට කඩිනම් පියවර ගැනීමට සිදුව ඇති බවත් සඳහන් වේ. ජකර්තා බලධාරීන් පවසන්නේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඔක්සිජන් තොග නොමැති අතර ඉහළ යන ඉල්ලුම හේතුවෙන් ඔක්සිජන් මිල සියයට 900කින් ඉහළ ගොස් ඇති බවය.
ඊට ප්‍රතිචාර දක්වමින් රජය මධ්‍යම ජකර්තා හි දෛනිකව ඔක්සිජන් සිලින්ඩර 300ක් පිරවිය හැකි කියුබික් මීටර් 6ක ධාරිතාවයකින් යුත් තාවකාලික ඔක්සිජන් මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇතත් ඒ අසලද දැන් දිගු පෝලිම් දක්නට ලැබේ.
ආසියා කලාපයේ මතුව ඇති මේ දැඩි කොවිඩ් ව්‍යාප්තිය ලංකා ආණ්ඩුව නොසලකා හැර ඇති බවත් මෙය ඉතා බරපතළ අවදානමක් මතුකරන්නක් බවටත් දැන් වෛද්‍ය විශේෂඥයෝම එළපිට කතාබහට ලක් කරමින් සිටිති.
මේ අන්දමට කලාපය තුළ පවතින දැඩි කොවිඩ් ව්‍යාප්තිය ශ්‍රී ලංකා ආණ්ඩුව නොසලකා හැර ඇති තත්ත්වයක් පවතින බව ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඉකුත් දිනෙක කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා තිබුණි.
ඔහු පෙන්වා දෙන්නේ අප්‍රේල් අග, මැයි සහ ජූනි මාස තුළදී ශ්‍රී ලංකාව තුළද කොවිඩ් ව්‍යාප්තිය වැඩි වූ බවත් ඒ සමඟම මරණ සංඛ්‍යාවද වැඩි වූ බවත්ය. මේ මොහොතේ කොවිඩ් අර්බුදය ගැන ආණ්ඩුව නොසලකා හැරීම තුළ බරපතළ ව්‍යසනයකට ඉරිදියේදී මුහුණදීමට සිදුවන බව වෛද්‍ය අබේසිංහ සඳහන් කර තිබුණි. ඔහු අනතුරු අඟවා තිබුණේ වසංගතය නවතම මානයකින් අවුස්සාලන්නට සමත් වූ ඩෙල්ටා මාදිලියේ ව්‍යාප්තිය ගැන මීට වඩා අවධානය යොමුවිය යුතුය කියාය. ඩෙල්ටා සාමාන්‍ය ප්‍රමුඛ මාදිලිය මෙන් 5 ගුණයක පමණ වේගයකින් පැතිර යන බව දැන් සනාථ වී හමාරය. දැන් ආසියාකරයට පොදු මේ අනතුර ලංකාවටද එක සේම බලපායි.
‘’ඩෙල්ටා ප්‍රභේදය නිසා තමයි තායිලන්තයත්, මියන්මාරයත්, ඉන්දුනීසියාවත් සෞඛ්‍ය පද්ධති බිඳවැටෙන තරමටම බරපතළ අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ. මේකෙන් පාඩම් ඉගෙන නොගෙන අපි ක්‍රියාත්මක නොවුණොත් අපිටත් මේ අර්බුදයට මුහුණ දෙන්න වෙනවා. මේ වෙනකොටත් අපේ ජාතික රෝහල් පද්ධතියේ රෝහල්වල ධාරිතාව ඉක්මවා යමින් තිබෙනවා. අපි දන්නවා සමහර පෞද්ගලික රෝහල් කොළඹ කොවිඩ් ආසාදිතයන් ඇතුළු කර ගැනීම නතර කරලා තිබෙනවා ඒගොල්ලන්ගේ දැඩි සත්කාර ඒකක පිරී යාම නිසා. ඒ වගේම අපි දන්නවා එන්නත්කරණයේදී ආණ්ඩුව අධි අවදානම් කණ්ඩායම් ඉලක්ක කරලා එන්නත් කළේ නැහැ. ඒ නිසා මේ අර්බුදය අනික් රටවලට වගේම අපිටත් මුහුණ දෙන්න වෙනවා. ලෝකයේ චීනය විතරයි මේ රුල්ලට සාර්ථකව මුහුණ දෙමින් ඉන්නේ. බරපතළ නොවුණත් ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයෙත් යම් වැඩිවීමක් තිබෙනවා. කිසිම විදිහකින් මේ වසංගත තත්ත්වය ලෝකය තුළ නිර්මාණය වෙමින් තිබෙන තත්ත්වය නොසලකා හරින්න අපිට බැහැ. විශේෂයෙන්ම තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය, ලාඕසය වැනි රටවල් ඉතාම හොඳින් මෙය පාලනය කරගෙන තිබුණා අප්‍රේල් දක්වා. නමුත් ඒ රටවල්වලටත් දැන් මේ තුන්වැනි රුල්ල පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ.” එම නිසා මේ මොහොතේ මතුව ඇති මේ අවදානම බරපතළ ලෙස අවධානයට ලක්කර නිසි පූර්ව ආරක්ෂක පියවර නොගතහොත් පාලනය කළ නොහැකි දැඩි අවදානම් තත්ත්වයකට රට පත්වන බව මේ විශේෂඥයා ප්‍රමුඛ තතුදත් විද්වත් බහුතරය අවධාරණය කර සිටිති.
සංචරණ සීමා ලිහිල් කරමින් ලබා දී ඇති නිදහස හේතුවෙන් ඉදිරියේ දී දෛනික ආසාදිතයන් ඉහළ යාමට හේතුවිය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ද අනතුරු අඟවා තිබුණි. ආසාදිතයන්ගේ වැඩිවීමට ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමක් නොමැති බව පැවසිය නොහැකි වුවද ජනතාවට ලබා දී ඇති ලිහිල් කිරීම් තුළින් කොවිඩ් වෛරසයේ සමාජ ව්‍යාප්තිය දැඩිව වර්ධනය වී ඇතැයි කියන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්, රට දීර්ඝ කාලයක් වසා දැමිය නොහැකි තත්ත්වයක් තුළ ජනතාව එය සමබරව පවත්වා ගත යුතු යැයිද කියා සිටියේය.
සුගත් පී. කුලතුංගආරච්චි