ලෝක වෙළෙඳපොළ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වූ කතිකාවන් පිළිබඳව අසන්නට ලැබිණි. ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් මේ වෙනුවෙන් දිගින් දිගටම ඉල්ලීම් කළේය. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද දේශීය වෙළෙඳපොළෙහි ගෑස් මිල කිසිසේත් වැඩි නොකිරීමට වෙළෙඳ අමාත්‍යවරයා ප්රමුඛ ආණ්ඩුව ඉඩ නොදෙන බව පෙනී සිටියේය. එහෙත් පවතින ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ මෙරට ගෑස් සමාගම් වැඩි වියදමක් දරමින් ගෑස් ආනයනය කරන බවත් ඒ අනුව මිල යම් පමණකට වැඩිවිය යුතු බවත් ආණ්ඩුව දැන සිටියේය.
මේ අතරතුර දිවයින පුරා ගෑස් අලෙවි මධ්‍යස්ථානවල ලාෆ් වර්ගයේ ගෑස්වල හිඟයක් පවතින බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් රට පුරා පාරිභෝගික ජනතාව මැසිවිලි නගන බවද දකින්නට ලැබේ. මේ වන විට සියලුම ගෑස් අලෙවි මධ්‍යස්ථානවල ලාෆ් වර්ගයේ ගෑස් අලෙවියට නොමැති අතර ඒ සම්බන්ධයෙන් ගෑස් අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කරන්නේ පසුගිය දින කිහිපයක පටන් අදාළ ගෑස් සමාගම විසින් තමන් වෙත ගෑස් නිකුත් කිරීම නවත්වා ඇති බවය. මේ අනුව වෙළෙඳපොළේ ගෑස් හිඟයක් පවතින බව පැහැදිලිය.
මෙරට ගෑස් ව්‍යාපාරයේ ප්රමුඛ ආයතන දෙකෙන් ලිට්රෝ සමාගම වෙළෙඳපොළ ගෑස් අවශ්‍යතාවයෙන් 65 - 70ක් පමණ සපුරන අතර ලාෆ් සමාගම වෙළෙඳපොළ අවශ්‍යතාවයෙන් 25 - 30ක් සපුරන බව කියයි. මෙම සමාගම් ද්විත්වය විසින් ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමේදී රජයේ පාර්ශ්වය විසින් ඊට එකඟ නොවී තරමක සහනයක් වනු පිණිස දන්වා තිබුණේ ගෑස් මිලදී ගැනීම, ප්‍රවාහනය හා ගබඩා කිරීම ආදිය සමාගම් දෙක විසින් ඒකාබද්ධව සිදුකිරීමට පියවර ගන්නා ලෙසය. මේ අතර ගෑස් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා සමාගම් දෙකෙහිම නියෝජිතයන් ඇතුළත් කමිටුවක් පත් කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබීය.
ලෝක වෙළෙඳපොළ ගෑස් මිල ඉහළ යාමත් සමඟ එහි බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වී තිබේ. මෙරට ගෘහස්ත ගෑස් කර්මාන්තයේ යෙදී සිටින ප්‍රධානම සමාගම් දෙක අතුරින් ලාෆ් සමාගමට මේ ගැටලුව බරපතළ ලෙස බලපා ඇතැයි කියයි. ප්‍රධාන කරුණු දෙකක් හේතුවෙන් ලාෆ් සමාගම ගෑස් ගෙන්වීම අත්හිටුවීමට තීරණය කිරීම නිසා වෙළෙඳපොළේ ගෑස් හිඟයක් ඇතිවන බව පෙනෙන්නට තිබේ. පාරිභෝගිකයන් වෙත ලාෆ් ගෑස් නොකඩවා සැපයීමට මාසයකට ඩොලර් මිලියන 7ක පමණ ගෑස් ආනයනය කිරීමට අදාළ සමාගමට සිදුවන බව වාර්තා වේ. ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු මුහුණපා සිටින විදේශ විනිමය ගැටලුව හෙවත් ඩොලර් හිඟය නිසා ණයවර ලිපි නිකුත් කර ගැනීමට තිබෙන නොහැකියාව හේතුවෙන් ගෑස් ගෙන්වීම ගැටලුවක්ව පවතී. මේ අතර එම සමාගමේ නියෝජ්‍ය සභාපති තිලක් ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා තිබුණේ සිය සමාගම මේ වන විට රුපියල් බිලියන 5.3ක අලාභයක් ලබා ඇති බවය. ඒ අනුව ගෑස් සිලින්ඩරයකින් රුපියල් 750ක අලාභයක් ලබන බවද කියා තිබිණි.
ලාෆ් ගෑස් ආනයනය නවතා ඇති පසුබිමක බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන්නේ ලිට්රෝ ගෑස් හිඟයක්ද පවතින බවය. කෙසේ වෙතත් ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසා තිබුණේ මෙරට ඉල්ලුමට සරිලන ගෑස් සැපයුම සිය සමාගම වෙතින් ලබාදිය හැකි බවය. එසේ වුවද පාරිභෝගිකයන්ට පවතින ගැටලුව වන්නේ ලිට්රෝ ගෑස් සිලින්ඩරය වෙනුවට ලාෆ් ගෑස් සිලින්ඩරයක් හෝ ලාෆ් සිලින්ඩරය වෙනුවට ලිට්රෝ සිලින්ඩරයක් මාරු කර ගැනීමට ඇති නොහැකියාවයි. කලකට පෙර මුණ්ඩෝ නමින් ගෑස් සමාගමක් ආරම්භ කෙරිණි. ඒ හරහා ඕනෑම මාදිලියක ගෑස් සිලින්ඩරයක් වෙනුවෙන් මුණ්ඩෝ ගෑස් නිකුත් කිරීම සිදුකර ඇත. ඊට එරෙහිව වෙනත් සමාගමක් හරහා ගත් අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මුණ්ඩෝ ගෑස් සමාගම අත්හිටුවීමට සිදුවිය. මේ අනුව වෙනත් ගැස් සිලින්ඩරයක් වෙනුවෙන් තවත් ආයතනයක සිලින්ඩරයක් හුවමාරු කිරීමට නොහැකි බව පැහැදිලිය.
කොවිඩ් වසංගතය හමුවේ ලෝක ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව පවතී. එබැවින් ඩොලර් සම්බන්ධයෙන් පවතින්නේද බරපතළ ගැටලුවකි. එය ශ්‍රී ලංකාවට බරපතළ අයුරින් බලපා තිබේ. රථවාහන ආනයන තහනම, රසායනික පොහොර තහනම ඒ බලපෑමෙන් උද්ගත වූ ගැටලුය. මේ අතර වාර්තා වූ නවතම අර්බුදය ගෑස් වන අතර ඉදිරියේදී ඉන්ධන ආනයනය සීමා වුවහොත් විදුලිය සැපයීම ඇණහිටීම හරහා ආහාර ඇතුළු නොයෙක අර්බුද ඇතිවිය හැකිය.
පවතින තත්ත්වය හමුවේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලබාදෙමින් 2003 අංක 09 දරණ පාරිභෝගික අධිකාරී පනත විධිවිධාන යටතේ ලීටර් 18 ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රු. 1150/-ක්ද වෙළෙඳපොළට අලුතින් නිකුත් කරන LP ගෘහස්ත ගෑස් සිලින්ඩරයේ බර කිලෝග්‍රෑම්වලින් නිශ්චිතව දැක්විය යුතු බවද සඳහන් වේ. මේ අනුව 2021 ජූලි 25 වැනිදා අංක 2237/40 යටතේ 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත මගින් ඕනෑම ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් ලීටර් 18 (කිලෝග්‍රෑම් 9.6) දිස්ත්‍රික්ක අනුව අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල හඳුන්වා දී තිබේ. ඒ අනුව කොළඹ හා ගම්පහ රු. 1150/- වශයෙන්ද, කළුතර රු. 1158/-, පුත්තලම රු. 1174/-, කෑගල්ල රු. 1178/-, කුරුණෑගල රු. 1177/-, ගාල්ල රු. 1181/-, මහනුවර රු. 1191/-, රත්නපුරය රු. 1181/-, මාතර රු. 1194/-, අනුරාධපුරය රු. 1215/-, යාපනය රු. 1259/- ආදී වශයෙන් සටහන් කර ඇත. මේ අතරම දිස්ත්‍රික්කවලින් වැඩිම මිලක් සටහන්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටය. එය රු. 1259/-ක් ලෙස දක්වා ඇත. ගැසට් පත්‍රයට අදාළ මෙකී නියෝගය හා මිල ගණන් ජූලි 25 වැනිදා සිට බලපැවැත්වෙනු ඇත.
ලිට්රෝ හා ලාෆ් ගෑස් සමාගම් දෙකටම වෙළෙඳපොළේ දැඩි ඉල්ලුමක් පවතී. පවතින ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් ගෑස් හිඟය මුසාවක් නොවන බව පෙනෙන්නට තිබේ. ලාෆ් සමාගමට ගෑස් ආනයනය කිරීම හා ව්‍යාපාරය පවත්වාගෙන යාමට මූල්‍ය ශක්තිය ලැබෙන්නේ ඉදිරියට ආණ්ඩුව විසින් ලබාදෙන සහන අනුවය. එසේ නොවුවහොත් ගෑස් ආනයනය අත්හිටුවීම හරහා තවදුරටත් වෙළෙඳපොළේ උග්‍ර ගෑස හිඟයක් ඇතිවනු ඇත. එබැවින් ගෑස් සැපයුම නිසි ලෙස පවත්වා ගැනීමට ආණ්ඩුවේ සහාය අවැසිය.
සමන්ත විල්තෙර