අද දින පමණක් නොව යම්තාක් කාලයක් දේශීය දෘෂ්‍ය කාව්‍ය කලාවක් වන නාඩගම් කලාව ලාංකිකයන්ගේ සිත් සතන් රසයෙන් පෝෂණය කරමින් පවතීද ඒ තාක් කල් ගුණසිංහ ගුරුන්නාන්සේ අප අතර නොනැසී ජීවත් වන්නේය. ලාංකිකයන් විසින්ම අවමානයට භාජනය කරන ලදුව පසෙකට දමා තිබුණු මේ නාටක කලාව කෙරෙහි යළිත් ලාංකිකයන්ගේ සැලකිල්ල යොමුකරවා එය ජාතික දායාදයක් බවට පත් කළ ඔහුට සියලුම ලාංකිකයෝ කෘතඥ වෙති. මෙකල ඇතිවී තිබෙන සංස්කෘතික පුනරුත්ථාපනයට මහත් රුකුලක් වූ ගුණසිංහ ගුරුතුමාගේ නාමය ලංකා කලා ඉතිහාසයේ අමරණීය වනු ඇත.
ඔහු මුව ගින් ගිලිහුණු ගී සර සබඳ
අප හමුවෙහි දැක්වූ නළු සිප් නිබඳ
ඒ හැම කලාවක රස අප විඳින සඳ
දුක් සැමරුම් නැග එයි හද තු නොමඳ
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මේ හැඳින්වීම කරන්නේ තමා විසින් චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ නව ලොවට හඳුන්වාදීමේ පුරෝගාමියා ලෙසය. පනහ දශකයේ රට වටා ජන ගායනා ගැන සොයා බැලීම සඳහා ගුවන්විදුලි සේවය වෙනුවෙන් එම්.ජේ. පෙරේරා, එදිරිවීර සරච්චන්ද්‍ර හා සරණගුප්ත අමරසිංහ යන තිදෙනා සංචාරය කළහ. මේ පිරිසට ඇල්පිටියේ පිටිගල අසල රෑකඩ නැටුම් සංදර්ශනයකදී චාල්ස් සිල්වා ගුරුන්නාන්සේ හමුව ඇති බව මහාචාර්ය තිස්ස කාරියවසම් පවසා තිබුණි.
විවිධ ආකාරයේ කලා කටයුතු කරමින් ජීවිතයේ හෙම්බත්ව සිටි ගුරුන්නාන්සේ බටකොළ පොතු පෙට්ටියක ඇසුරුම් කරන ලද රෑකඩ කුට්ටම් තැනින් තැන හිස තබාගෙන යමින් රෑකඩ සංදර්ශන පවත්වා ඇත. රෑකඩ නටවන්නාද, කථාකාරයාද වූ ඔහු ගැන සරච්චන්ද්‍රයන්ගේ හිත ගොස් ඇත්තේ ඔහුගේ ගායනයට බව මහාචාර්ය කාරියවසම් පවසා තිබුණි. 1953 සරච්චන්ද්‍රයන් විසින් නිෂ්පාදනය කළ පබාවතී^ නාට්‍යයේ නාඩගම් ගීත දෙකක් ගායනා කිරීමට සරච්චන්ද්‍රයන් ගුරුන්නාන්සේට ආරාධනා කළේය. අම්බලන්ගොඩ සිට පැමිණි ගුරුන්නාන්සේ පුහුණුවීම් කටයුතු සඳහා සහභාගි වී ඇති අතර සරච්චන්ද්‍රයන්ගේ ලෙන්ගතු මිත්‍රයකුව සිට පබාවතී^ නාටකයේ පොතේගුරු ලෙස ගීත ගායනාවෙන් සම්බන්ධ වූ ගුරුන්නාන්සේට ලැබුණු මහඟු අවස්ථාව සරච්චන්ද්‍රයන්ගේ මනමේ^ නාඩගමට සම්බන්ධවීමට ඉඩකඩ සැලසීම බවද මහාචාර්ය කාරියවසම් පවසා තිබුණි.
චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ 1896 අප්‍රේල් 26 වැනිදා දින බලපිටියේ අම්පේ මහගෙදරවත්ත මුහුදුබඩ ආශ්‍රිත ගම්මානයක උපත ලැබීය. ඔහු තුළ කලාව ඇල්ම ඇතිකොට ඒ මාවතට යොමුකර ඇත්තේ රන්දොඹේ ඇන්. බස්තියන් ගුරුන්නාන්සේ හෙවත් සිච්චෝරිස් ගුරුන්නාන්සේය. මේ ගුරුන්නාන්සේ රන්දොඹේ සුප්‍රකට හාස්‍ය උත්පාදක නළුවකු ලෙස සහ නාඩගම් නාට්‍ය නිෂ්පාදකයකු ලෙස සිට ඇත. ගුණසිංහ ගුරුන්නාන්සේගේ බාල පුත්‍රයා වූ පුණ්‍යසේන ගුණසිංහ නාට්‍යවේදියා කියා ඇති පරිදි අම්බලන්ගොඩ කන්දෙගොඩ සරනේරිස් ගුරුන්නාන්සේ, ඕදිරිස්, ඩයනේරිස්, මානිස් යන ගුරුන්නාන්සේලාද, වැලිතර ජේමිස්, ඒ. සයිමන්ද තම පියාගේ කුසලතා ඔපමට්ටම් කළ අය වූහ.
මගේ පියාට චාර්ල්ස්, චලෝ සිඤ්ඤෝ, සිරිනේරිස්, ආර්ලිස් නම් සහෝදරයෝ හතර දෙනෙක් හිටියා. පියා අම්පේ කතෝලික පාසලේත්, කෑගල්ලේ පිරිවෙණකත් ඉගෙනගෙන තියෙනවා. මගේ අම්මාගේ නම ජී. සාරිනෝනා. අපේ පවුලේ බාලයා බඩපිස්සා මම. සහෝදරයෝ හතර දෙනෙක්ද, එක දියණියක්ද අපේ පවුලේ හිටියා. පවුලේ තුන්වැනියා වූ නෝමන් ගුණසිංහ දක්ෂ මද්දල වාදකයකු හා නාඩගම් ගී ගායකයෙක්. කලාව වෙනුවෙන් කැප වූ තාත්තාගේ ජීවිතය ආර්ථික අතින් සාර්ථක එකක් වුණේ නෑ. තාත්තා ඇතැම් නාඩගම් නිෂ්පාදනය කර ඉදිරිපත් කිරීමට දේපළ පවා වික්කා. තාත්තාගේ නාට්‍ය කෘති අතුරින් එකක් වූ දික්තල කාලගෝල^ මුද්‍රණයෙන් 1989 දී නිකුත් කිරීමට හැකි වුණා වගේම මම ඒ නාට්‍ය නිෂ්පාදනය කළා. මම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිසා මේ නාට්‍ය පිටපත් මුද්‍රණය කරවීමට ලොකු රුකුලක් වුණා. පුණ්‍යසේන පවසා තිබුණි.
පියා රචනා කළ නාට්‍ය ප්‍රමාණය 20ක් බවත් ඒ අතර කාලිංග, මල්එතනා, හරිස්චන්ද්‍ර, සාලිය අශෝකමාලා, විදුර, රාමායණය, සිංහවල්ලි, සපුමල් හෙවත් සුළඹාවතී, කාලගෝල, බුවනෙකබාහු, බාලසන්ත, කාපිරි කතාව, මාතලන්, වෙස්සන්තර, සූර සරදියෙල්, සඳකිඳුරු, සම්බුලා සහ සංඛපාල යන ස්වතන්ත්‍ර නිර්මාණ තිබූ බව පුණ්‍යසේන පවසා තිබුණි. මෙයට අමතරව ගුරුන්නාන්සේ නාඩගම් 108ක් පමණ නිෂ්පාදනය කර තිබුණි. පාරම්පරික කලාව යානයක් ලෙස ගෙන යාමට තම දරුවන්ව යොමුකිරීම ගුරුන්නාන්සේගේ එකම අභිප්‍රාය විය.
ඈත පළාත්වලට යන තාත්තා නාට්‍යවලට අවශ්‍ය දක්ෂ නළු නිළියන් තෝරාගන්නවා. කිසිම මුදල් ගෙවීමක් ගැන කතා නොකරන තාත්තා අනෙක් ශිල්පීන්, වාදක ගායක පිරිස සඳහා පවුලේ ඥාතීන් සහ අසල්වැසි දක්ෂයන් යොදාගන්නවා. නාට්‍ය සංවිධායකයෝ තාත්තාට ඉමහත් ගරු සම්මාන සැලකිලි සහ අල්ප වූ මුදල්මය තෑගි පිරිනමා තිබෙනවා. ඇතැමුන් ගසක ඵලදාවක් හෝ කුඹුරක වපසරියක් පියා වෙනුවෙන් කැප කරනවා. මෙම වපසරියෙන් කලාකරුවන් පිදීම එකල තිබූ සිරිතක්. නාඩගම් කලාවට අමතරව මගේ පියා කෝලම් නාට්‍ය කලාවට, රෑකඩ නාට්‍ය කලාවට දක්ෂයෙක්. තාත්තාට සන්තක රෑකඩ මෙවලම් හෙවත් කුට්ටමක්ද තිබුණා. නාඩගම් ජනප්‍රියත්වයෙන් අඩුවන විට තම පිටපත් ආශ්‍රයෙන් රෑකඩ නාට්‍ය ගණනක් කළා. මේ රෑකඩ මෙවලම් කුට්ටම තාත්තා මියගියාට පසුව මම 1983 දී ජාතික කෞතුකාගාරයට බාර දුන්නා. පුණ්‍යසේන පවසා තිබුණි.
බොහෝ දෙනා කියා ඇති ආකාරයට ගුරුන්නාන්සේ තරුණ කාලයේ ප්‍රතාපවත් මනා පෞරුෂත්වයකින් යුත් නළුවෙකි. ඔහු රඟපා ඇත්තේද ප්‍රධාන චරිතයි. ඔහුගේ නාඩගම් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ මීගමුව, හලාවත, මොරටුව, කොරලවැල්ල ආදී ප්‍රදේශවලය. ඔහු රඟපෑ චරිත අතුරින් විදුර^ නාඩගමේ පූර්ණක යක්ෂයාගේ චරිතය රඟපෑම නැරඹීමටම ප්‍රේක්ෂකයන් දෙතුන් වරක් පැමිණි බව වාර්තා වේ.
චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගෙන් උපරිම සහාය ලබාගත්තේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ ගැන සරච්චන්ද්‍රයන් විසින් ලියූ පින් ඇති සරසවි වරමක් දෙන්නේ^ කෘතියේ මෙසේ සඳහන් වෙයි.
මා මනමේ නාටකයේ පිටපත ලියද්දීත්, නිෂ්පාදනය කරද්දීත්, චාල්ස් ගුණසිංහ ගුරුන්නාන්සේ මා ළඟ උන්නේය. ඒ දවස්වල ඔහු අපේ ගෙදර වාසය කළේය. කිසියම් අවස්ථාවක් නිරෑපණය කිරීමට අසවල් විදියේ තනුවක් වුවමනා යැයි මා කී විට ඔහු සින්දු කිහිපයක් ගායනා කොට දක්වයි. මම ඒවායින් මට අභිමත තනුවක් තෝරාගනිමි. මනමේ කුමාරයා, තම දියණියට විවාහ කර දෙන අවස්ථාවෙහි දිසාපාමොක් ආචාරින් කියන ආශිර්වාදය බොහෝ නාඩගම්වල පාවිච්චි කරන පොදු එකක් යැයි ගුරුන්නාන්සේ කී බැවින් මම එය ඒ ස්වරෑපයෙන්ම මගේ නාට්‍ය තුළට බහාලීමි. එය නම්,
සත් හට සෙත් දෙන ලෝක දිවාකර භගවත්
අප මුනිඳුන් සරණා
පත්මෙ මුරුන් වන විෂ්ණු කතරගම සමන්
විභීෂණ දෙවි සරණා
අත් බැඳ දෙන්නෙමි දෙදෙන චිරාකල් සැපතින්
වසනා ලෙසිනා
පත්වන දුක් සැම දුර හැර ලෝ සැප අත්වේවා
දෙදෙනට සෙහෙනා
ගුණසිංහ ගුරුන්නාන්සේට සාහිත්‍ය පිළිබඳ දැනුමක් නොතිබුණද, ඔහු ජනශ්‍රුතියෙහි හසල බුද්ධිමතෙක් බව පවසා ඇති සරච්චන්ද්‍රයෝ, තමා කියන කාර්යය ඔහු අවබෝධ කරගෙන ඊට අනුකූල වන පරිදි උපදෙස් දුන් බව පවසති. සරච්චන්ද්‍රයන් නාඩගම් රංග ශෛලිය පිළිබඳව වුවද යම් යම් දේ ප්‍රතික්ෂේප කළ විට ගුරුන්නාන්සේ ඊට විරුද්ධ වී නැත. චිරාගත සම්ප්‍රදායක් වුවද මේ කාලයට අවශ්‍ය අයුරින් සකස් කරගත යුතු බව ඔහු පිළිගෙන ඇත. එහෙත් ඇතැම් විටෙක ඔහු සරච්චන්ද්‍රයන් හා ආවේගයෙන් අදහස් දැක්වූ අවස්ථාවක්ද පින් ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියේ සඳහන් වෙයි.
පැරණි කතාවේ තේමාව හා චරිත නිරූපණය වෙනස් කොට මගේ නාට්‍ය සකස් කරන බව මම ඔහුට කීවෙමි. බිසව ඒ කෙරෙහි අනුකම්පා සහගත දෘෂ්ටියකින් බැලිය යුතු බව මම කී විට, ඔහුට තරහ ගියේය.
ඔහොම ගෑනුන්ට මොන අනුකම්පාවක්ද මහත්තයො? යි කියමින් ඔහු මට කඩා පැන්නේය.
ගුණසිංහ ගුරුන්නාන්සේ ගායනයෙහි මෙන් නැටුමෙහිද මද්දල වාදනයෙහිද එක සේ දක්ෂ විය. මේ හෙයින් මගේ නිෂ්පාදන කාර්යභාරය බෙහෙවින් සැහැල්ලු වූයේය.
1956 වසරේ මනමේ^ නාටකය නිෂ්පාදනය කරන අවස්ථාවේ සරච්චන්ද්‍රයන් තම විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය හේමපාල විජයවර්ධනට (පසුව මහාචාර්ය) කතා කොට මෙසේ කියා තිබුණි.
මේ නාඩගමේ දෙවිදියකට මද්දල වාදනය කරනවා අඩු තාල් හා වැඩි තාල් කියලා. ඉතින් මේ අඩු තාල් වාදනය කිරීමට අපේ විශ්වවිද්‍යාලෙ ශිෂ්‍යයෙක් යොදාගන්න පුළුවන් නම් මං හුඟාක් කැමැතියි. විජයවර්ධන තබ්ලා එහෙම අධ්‍යයනය කරලා තියෙන නිසා පුළුවන්ද මේ මද්දල අඩු තාල් වාදනය කිරීම ප්‍රගුණ කරන්න.
ඉතින් මට ඒ දවස්වල නාඩගම් සංගීතය ගැන කිසිම අවබෝධයක් තිබුණෙ නැහැ මම කිව්වා, සර් මම නම් මොකවත් දන්නෙ නැහැ. නමුත් මම ඉගෙන ගන්න නං කැමතියි කියලා.
එහෙම නං ගුණසිංහ ගුරුන්නාන්සේ මේ දවස්වල අපේ ගෙදර නතරවෙලා ඉඳගෙන සංගීත තනු පුරුදු කරනවා ළමයින්ට. විජයවර්ධනට පුළුවන් නම් ඇවිල්ල වෙලාවක ගුරුන්නාන්සේ හම්බවෙලා අඩු තාල් වාදනය ඉගෙන ගන්න පුළුවන්ද?
ඉතින් මේ උපදේශය අනුව දවසක් මම එවකට ගුණසිංහ ගුරුන්නාන්සේ නතරවෙලා හිටිය මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්තයාගෙ ගෙදර ගියා. නාට්‍ය පුහුණුවීම් කරගෙන යන අවස්ථාවක මමත් එක දවසක් ගිහිල්ලා ගුරුන්නාන්සේ හම්බවෙලා කිව්වා,
සරච්චන්ද්‍ර මහත්තයා මාව එව්වා අඩු තාල් වාදනය කිරීමට පුරුදු වෙන්න කියලා.
හා හොඳයි.
මම නම් මොකවත් දන්නෙ නැහැ. නමුත් මං ආසයි ඉගෙන ගන්න.
ඉතින් ගුරුන්නාන්සේ ඒ තරම් ඒකට කැමැති වුණේ නැහැ. මං මේ මොකවත් දන්නෙ නැතිව මේකට ආවෙ කොහොමද කියලා මට හිතුණා. නමුත් බොහොම සන්තෝසෙන් මට යමක් කියලා දෙන්න බාර අරගෙන, එදා ඉඳලා අඩු තාල් වාදනය කරන හැටියි නාඩගම් සංගීතයේ තියෙන සංකීර්ණ තාල පද්ධතිය ගැනයි මට කියලා දුන්නා. ඒ තමයි මට ගුරුන්නාන්සෙ හමු වූ හැටි.
මහාචාර්ය විජයවර්ධන කියා තිබුණේ නාඩගම් සංගීතය ගැන තමාට කිසියම් දැනුමක් ලැබුණා නම්, ඒ වගේම ඒ උගත් තාල ක්‍රමය ගැන තමා සම්පූර්ණයෙන්ම ගුරුන්නාන්සේට ණයගැති බවය. ගුරුන්නාන්සෙ තමයි මට ඒ දේවල් කියා දුන්නෙ. එබැවින් මගේ ගුරුවරයෙක් හැටියට මං සලකන්න ඕනෑ ඔහු කීය.
ගුරුන්නාන්සේ ඒ දවස්වල නාට්‍ය පුහුණු කරන විට සමහර ගායනා කරලා පෙන්වූ හැටිත්, ළමයින්ට ගී තනු කියල දීලා ඒකෙ නැටුම් හා වේදිකාවෙ හැසිරෙන ආකාරය, නාඩගම් අඩි තබා යන හැටි එහෙම පැන්නූ සැටි මහාචාර්ය විජයවර්ධන මතක් කර ඇත්තේ අසිරියෙනි.
ගුරුන්නාන්සේ ගැන ශ්‍රේෂ්ඨ ගැමි කලාකරුවකුට උපහාරයක් ලෙස 2001 වසරේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ හේමපාල රණසිංහ විසින් සංස්කරණය කළ මනමේ මුල්ගුරු චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ^ කෘතිය කාලෝචිත කෘතියක් ලෙස සැලකිය හැකිය. එම කෘතියේ කතු වදනයේ සංස්කාරකයෝ පවසා ඇත්තේ අග්නිදිග ආසියාවේ සංස්කෘතිය හැඳින්වීමේදී සමාජ විද්‍යාඥයන් චූල සම්ප්‍රදාය ලෙස නම් කළ ගැමි කලා - ගැමි සංස්කෘතිය විදග්ධ සංස්කෘතියට යා කළ හේතුව ගුණසිංහ ගුරුන්නාන්සේ ලෙස සැලකීම යුක්ති යුක්ත බවය.
ජාතක පොතේ එන චන්දකින්නර ජාතකය ඇසුරු කොට ගුණසේන ගලප්පත්ති විසින් නිෂ්පාදනය කළ සඳකිඳුරු^ නාට්‍යයටද උපදෙස් දෙන ලද්දේ චාර්ල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ විසිනි. අධිනීතිඥ ස්ටීව් අතුකෝරාළ විසින් නිෂ්පාදිත සපුමල්^ නාට්‍යයට උපදෙස් දෙන ලද්දේ ගුරුන්නාන්සේ විසිනි. මේ මහා කලාකරුවා 1962 අප්‍රේල් 13 වැනිදා බලපිටියේ අම්පෙ මහගෙදරවත්තේ නිවෙසේදී අභාවයට පත්විය.