2021 ජුලි 31 වන සෙනසුරාදා

කවුද මේ ඩිජිටල් සංචාරකයෝ?

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 190

කොවිඩ් වසංගතය විසින් තලා පෙලා පාගා දමනු ලැබූ සංචාරක කර්මාන්තය නැවත දලු ලන ලකුණු ගතවූ දින කිහිපය තුළ අපට දැකගන්නට ලැබුණි. වසංගත අවදානම අවම රටවලින් ප්‍රතිශක්තීකරණ එන්නත් දෙකම ලබා පැමිණෙන සංචාරකයන්ට ශ්‍රී ලංකාව විවෘත විය. ඒ අතරේ සංචාරක කර්මාන්තය සම්බන්ධව තවත් සුවිශේෂී පුවතක් අපට අසන්නට ලැබුණි. ඒ අනුව කියවුණේ මෙරටට ඩිජිටල් සංචාරකයන් රුගෙන ඒමට සංචාරක අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටින බවයි. ශ්‍රී ලංකාව ඩිජිටල් සංචාරකයන්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දීර්ඝකාලීන වීසා බලපත්‍ර කාණ්ඩයක් හඳුන්වාදීම සහ බදු සහන ලබාදීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කර තිබුණි. එසේ වුවද ඩිජිටල් සංචාරකයන් යනු කවුරුන්ද, සිදුවන්නට යන්නේ කුමක්ද යන්න පිළිබඳ බොහෝ දෙනකුට පැහැදිලි අවබෝධයක් නොවීය. එම නිසාම මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට අපි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය සම්බන්ධ කර ගතිමු. 

ඩිජිටල් සංචාරකයන් යනුවෙන් අප හඳුන්වන්නේ ලොව පුරා ඩිජිටල් නාමිකයන් (Digital nomads) ලෙසින් හඳුන්වනු ලබන ප්‍රජාවයි. ඔවුහු තම සේවා ස්ථාන තුළ රුඳෙමින් රාජකාරි කටයුතු සිදුකරන්නෝ නොවෙති. නූතන ඩිජිටල් ලෝකයට අනුගතව සේවා සපයන ආයතන විසින් ලෝකයේ ඕනෑම ස්ථානයක සිට ඔවුනට රාජකාරි කටයුතු කිරීමට අවකාශය සලසා දී තිබේ. උදාහරණයක් ලෙස ෆේස්බුක්, ගූගල්, මයික්‍රොසොෆ්ට් වැනි ආයතනවල මෙවන් තරුණ සේවකයෝ සිටිති. ඔවුහු ලොව පුරා විසිරී ඇති සුන්දර සංචාරක ගමනාන්තවල දීර්ඝ කාලයක් නවාතැන් ගෙන නිදහසේ සිය රාජකාරි කටයුතු සිදු කරති. මේ වන විටත් ලොව පුරා සංචාරක කර්මාන්තය ප්‍රමුඛ කරගත් රටවල් මෙම ප්‍රජාවට පහසුකම් ලබා දී තම රටවලට මෙම ප්‍රජාව ගෙන්වාගැනීමට තරගකාරී ලෙස පහසුකම් සපයමින් සිටියි.

“මේ අයට අවශ්‍ය කරන දේවල් තිබෙනවා. පළවෙනි කාරණව මේ අය එක් මාසයකට සංචාරක වීසා ලබාගෙන ලංකාවට එන්නේ නැහැ. ඔවුන් සැලසුම් කරන්නේ මාස තුනක්, මාස හයක්, අවුරුද්දක් වැනි කාලයක් එක් රටක ජීවත් වීමට. ඒ නිසා අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා Digital nomads සම්බන්ධව පැහැදිලි කරලා. ඒ වගේම අපි ඉල්ලා සිටියා මේ අයට අවුරුද්දක වීසා එකක් ලබා දෙන්න කියලා. ඒක අනුමත වුණා. ඒ වගේම අපි කිව්වා මේල් සඳහා වෙනම වීසා කාණ්ඩයක් (visa category) හදන්න කියලා."

කිමාලි ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දෙන්නේ ඩිජිටල් සංචාරක කර්මාන්තයට විශේෂිත වූ පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය බවයි. අප ඩිජිටල් සංචාරකයන් මෙරටට ගෙන්වා ගන්නේ මෙරට තුළ මුදල් ඉපයීමට නොවේ. එම නිසා රෙසිඩන්ට් වීසා ලබා මෙරට පැමිණ වර්කින් පර්මිට් එකක් ලබාගෙන මෙරට තුළ සේවය කරන විදේශිකයන්ගේ ගණනට ඩිජිටල් සංචාරකයන් ඇතුළත් කළ නොහැක. උදාහරණයක් ලෙස අනාගතයේදී ෆේස්බුක්, ගූගල් හෝ වෙනත් ආයතනයක සේවය කරන මෙවන් සේවකයකුට තම සේවා කොන්ත්‍රාත්තුව, තමන්ගේ ආදායම ආදී තොරතුරු මෙරටට ඉදිරිපත් කරමින් මෙම වීසා කාණ්ඩය යටතේ වසරක පමණ කාලයකට වීසා අයැදුම් කළ හැකිය. මෙවන් සංචාරකයන් හට රට තුළ අවකාශය විවර කළහොත් ඔවුන් ලබන ආදායම මෙරටට ගලා එන්නේ ඩොලර්වලිනි. තාවකාලික නවාතැන් සොයාගැනීමට, දෛනික ජීවිතය පවත්වාගෙන යාමට, විනෝදාස්වාදය ලබාගැනීමට, ටෙලිෆෝන් විදුලිබිල් ගෙවීමට ඔවුන් එම මුදල් මෙරට තුළ වියදම් කරනු ඇත. 

 “ලෝකෙ වටේ ගොඩක් රටවල් මේක කරනවා. තායිලන්තය, ඉන්දුනීසියාව වගේ රටවල් මේ වන විටත් මෙම සංචාරක කර්මාන්තය ලොකුවට ප්‍රවර්ධනය කරනවා. ඊට ප්‍රධාන හේතුව මේ සංචාරකයන් දීර්ඝ කාලයක් තමන්ගේ රටවල් තුළ රුඳී සිටීම. වෙනදාට රට තුළ සංචාරකයන් රුඳී සිටීමේ සාමාන්‍ය දින 10ක් වගේ වෙන්නේ. ඒ සංචාරකයෝ හෝටල් බුක් කරලා ඇවිල්ලා ට්‍රුවල් කරලා යනවා. ඒත් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ඒ කටයුත්ත අපහසුයි. නමුත් මේ වෙද්දි නම් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගත් සංචාරකයන්ට දවසක් ට්‍රුවල් බබල් එකක රැඳී සිටීම ප්‍රමාණවත් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියලා තියෙනවා. කොහොම වුණත් Digital nomads සංචාරක ව්‍යාපාරයෙන් රටට වගේම සංචාරක කර්මාන්තයේ නියුතු බොහෝ පිරිසකට වාසි සැලසෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා."ඩිජිටල් සංචාරකයන් මෙරටට පැමිණීමත් සමඟ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ට විශාල වාසි සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. වෙරළ ආසන්නයේ හෝ වනාන්තර ආදී ස්වභාවික ප්‍රදේශයන් ආසන්නයේ කුඩා නවාතැන්වල රුඳී සිටිමින් රාජකාරි කටයුතු කරන්නට මෙම පිරිස වැඩි නැඹුරුවක් දක්වති. තායිලන්තය, බාලි දූපත්  තරම් නොවුණත් දැනටත් ශ්‍රී ලංකාවට යම් පමණකට ඩිජිටල් සංචාරකයෝ පැමිණෙමින් සිටිති. සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ ඒවා දීර්ඝ කරමින් ඔවුහු මෙරට රුඳී සිටිති. කෙසේ නමුත් එය ඉතාම වෙහෙසකර කටයුත්තකි. එම නිසාම මේ දක්වා ශ්‍රී ලංකාව ඩිජිටල් සංචාරකයන්ගේ සුවිශේෂී අවධානයට ලක් වී නොමැත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැහැදිලි කරන ආකාරයට විශේෂ වීසා කාණ්ඩය සඳහා අනුමැතිය ලැබුණු පසු ඩිජිටල් සංචාරකයන් ඉලක්ක කොටගත් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඔවුහු සූදානමින් සිටිති. එහිදී සාම්ප්‍රදායික ප්‍රචාරණ උපක්‍රම වෙනුවට සමාජ මාධ්‍ය වෙත වැඩි බරක් ලබාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය අදහස් කරයි.

“මේ අයව ආකර්ෂණය කරගන්න ටී.වී.වල පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා අපි සමාජ මාධ්‍ය පැත්තට වැඩි අවධානයක් දෙනවා. අමෙරිකාව සහ යුරෝපා රටවල් අපේ ඉලක්කය වේවි. ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවලත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ තරුණ කොටස් රැසක් මේ කොවිඩ් වසංගතය එක්ක හිරවෙලා ඉන්නවා. මේ වෙලාවේ මුහුදු වෙරළක් අසල ගංගාවක් අසල වනාන්තරයක් අසල රුඳෙමින් රාජකාරි කරන්නට ඔවුන් ලොකු කැමැත්තක් දක්වනවා. ඒ අයව දැනුවත් කරන්න තියෙන හොඳම විදිහ සමාජ මාධ්‍ය. අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව ලෝකේ ඉන්න හොඳම ව්ලොගර් (Vlogger) කෙනෙක් ලංකාවට ගෙන්වන්න. ඔහු හරහා අපිට පුළුවන් මේ අයට පෙන්නන්න අපේ රට ඔවුන්ට ජීවත්වෙන්න සුදුසුයි කියලා." 

කෙසේ නමුත් මෙම කටයුතු ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම්වල තත්ත්වය යම් ගැටලුවක් විය හැකිය. කෙසේ නමුත් එම අභියෝගය ජයගැනීම උදෙසා ද සංචාරක සංවර්ධන අධිකාරිය අදාළ අංශ සමඟ සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව පවසයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දෙන්නේ කුමන අභියෝග පැමිණිය ද මෙය ජයගත යුතු ඉලක්කයක් බවයි. 

මෙම කටයුත්ත නිසි ලෙස සිදුකර ගැනීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයක් සිදුවනු ඇත. ඊ-රෙසිඩන්සි සහ ස්මාර්ට් වීසා නමින් ඩිජිටල් නාමිකයන් ඉලක්ක කරගත් විශේෂ වීසා වැඩසටහන් කිහිපයක් තායිලන්තය ආදී රටවල් කිහිපයක් දැනටමත් නිර්මාණය කර තිබේ. බර්මියුඩා, බාර්බඩෝස්, ජෝර්ජියා සහ ක්‍රොඒෂියාව වැනි රටවල් සමාන ඩිජිටල් නෝමාඩ් වීසා වැඩසටහන් ලබාදීම දැනටමත් සාර්ථකව සිදුකරමින් සිටින බව වාර්තා වෙයි. කෙසේවෙතත් විධිමත් බදු ක්‍රමයක් සැකසීම, නිසි සේවා කොන්දේසි සැකසීම ආදිය මෙම කටයුත්තේදී අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව අප කළ සොයා බැලීමේදී පෙනී යයි. එම නිසාම අප්‍රමාදව සහ විධිමත්ව ඩිජිටල් සංචාරක කර්මාන්තයට ශ්‍රී ලංකාවේ දොරගුළු විවර කිරීම යහපත් යැයි අපි සිතමු.
සංවාදය ඇසුරු කොටගෙන සටහන 

 චමිදු නිසල් ද සිල්වා 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03