ගුරු වර්ජනය නොනැවතී ඉදිරියට යමින් තිබේ. සාකච්ඡා සියල්ල අසාර්ථක වී ඇත. දරුවන්ගේ අධ්‍යාපනය කබලෙන් ළිපට වැටී අතර අනාගතය සම්බන්ධව පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි. පාසල් වසා ඇති නිසාම ගුරු වර්ජනයේ බරපතළ බව නොපෙනෙන සෙයකි. එහෙත් මාර්ග අධ්‍යාපනය අඩාල වීමේ ප්‍රතිඵල අනාගත පරපුරට භුක්ති විඳීමට සිදුවනු ඇත. මේ විනාශ වී යන්නේ දරුවන්ගේ ජීවිතයේ මිල කළ නොහැකි කාලයකි.
පසුගිය සඳුදා (26) කැබිනට් මණ්ඩල හමුවෙන් පසු ගුරු ගැටලුව විසඳේ යැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළහ. අධ්‍යාපන අමාත්‍යවරයා පොරොන්දු වූ පරිදි කැබිනට් පත්‍රිකාව සඳුදා ඉදිරිපත් කළේය. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස එයින් ඉල්ලා තිබුණි. එසේම ගුරු, ගුරු උපදේශක සහ විදුහල්පති සේවා සංයුක්ත සේවා බවට පත් කිරීමටද එමගින් යෝජනා කර තිබිණි. ඒ අනුව මෙම යෝජනා සම්බන්ධයෙන් කැබිනට් රුස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා ඇතිවිය. මේ මොහොතේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍යාංශය එහිදී පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් කැබිනට්ටුවේ දී සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පසුව පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැහැදිලි කළේය. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය වූ බව ඔහු කීවේය. ඊට අමතරව දැනට රටේ තිබෙන මූල්‍ය තත්ත්වය සමඟ අදාළ වෙනස්කම් ක්ෂණිකව සිදුකිරීමට වර්තමානයේ දී රජයට හැකියාවක් නොමැති බවද මෙහිදී ප්‍රකාශ විය. එම නිසාවෙන් ගුරු - විදුහල්පති වැටුප් සංශෝධනයට අදාළව ලබන අයවැයට යෝජනා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ගුරු - විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කළ යුතුයැයි කියන ප්‍රතිපත්තිමය තීන්දුවට රජය එකඟවෙලා තියෙනවා. ඒක ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සුබෝධනී කමිටු වාර්තාවේ වැටුප් පරිමාණයන්ට වැටුප් සහ කාර්ය සාධන කොමිසමේ එකඟතාවය පළවෙලා නෑ. ඒ ඔස්සේ අනෙකුත් ක්ෂේත්රයන් ගණනාවක වැටුප් විෂමතාවයන් නැවත ඇතිවිය හැකි නිසා සමස්තයක් ලෙස සලකා විසඳුම් ඉදිරිපත් කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් වුණා. ඒ සම්බන්ධයෙන් අඟහරුවාදා වැඩිදුරටත් සංගම් සමඟ සාකච්ඡා කෙරෙනවා. ඒ සාකච්ඡා තුළින් අපි බලාපොරොත්තු වෙනවා ගුරුවරුන්ට අදාළ විෂමතා ඉවත් කරනවා වගේම රජයේ අනෙකුත් සේවකයන්ගේ වැටුප් විෂමතාවයක් ඇති නොවෙන පරිදි එම යෝජනා ක්‍රියාත්මක කර ගැනීම සහ යෝජනා මාලාවක් ලබාගෙන කටයුතු කරන්න. එහි පළවෙනි පියවර ඉදිරි අයවැය ලේඛනයට ඉදිරිපත් කරන්න තමයි රජය තීරණය කරගෙන තියෙන්නේ.
මෙම ප්‍රකාශයට අනුව කැබිනට් හමුවෙන් අනතුරුව ගෙවුණු සතියේ ගුරු විරෝධය සමනය කිරීමට ආණ්ඩුව නැවත උත්සාහ කළේය. ඒ අනුව ජූලි 27 වැනි අඟහරුවාදා ගුරු සංගම් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ආණ්ඩුව පාර්ශ්වයෙන් තමන්ට ඇති ගැටලු පිළිබඳ අග්‍රාමාත්‍යවරයා ගුරු සංගම් නියෝජිතයන්ට මෙලෙස පැහැදිලි කළේය.
ප්‍රතිපත්තියක් වශයෙන් තමුන්නාන්සේලා කියන දේ රජය පිළිගන්නවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. අපි බලන්න ඕනෑ මේක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා. මුදල් පිළිබඳව ගැටලුවක් තියෙනවා අපිට. ඒක විසඳගන්න වගේම අනික් ක්ෂේත්රවලට බලනොපාන විදියට මේක කරන්නේ කොහොමද කියලා අපිට තෝරාගන්න තියෙනවා. මේ යෝජනාව අනිවාර්යෙන්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නම් ලබන සඳුදා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරල තීන්දුවක් අරගෙන අපි නැවත ලබන සතියේ මුණගැහෙමු.
අගමැතිවරයා සහ ගුරු සංගම් අතර පැය දෙකකට අධික කාලයක් සාකච්ඡා පැවැත්විණි. ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැවති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු, කැබිනට් මණ්ඩලය අනුමත කළ කැබිනට් තීරණ මෙන්ම සුබෝධනී වාර්තාව ද පාදක කර ගනිමින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. ගුරු - විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමේදී අනෙකුත් රාජ්‍ය සේවාවන්ගේ වැටුප් තල කෙරෙහි බලනොපාන පරිදි මෙම වැටුප් විෂමතාව අවම කිරීම සිදු කළ යුතු බවත් දැනටමත් මෙම සේවාව සංවෘත සේවාවක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබි ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය.
එහෙත් තම ඉල්ලීම් ඉටුවන තුරු වර්ජන ක්‍රියාමාර්ගය අතහැරීමට ගුරු සංගම් එකඟ නොවීය. සාකච්ඡාව අවසානයේ දී ගුරු සංගම් නියෝජනය කරමින් මාධ්‍යයට අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ගැටලු විසඳන තෙක් සිය වෘත්තීය ක්‍රියාමාර්ග ද ඉදිරියට යනු ඇති බවයි.
ඇමැතිවරු තුන්දෙනෙක් ජපානයේ ගිහින් තියෙනවා. ඒවාට සල්ලි තියෙනවා. මේවාට සල්ලි නෑ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කිව්වට ඊළඟ අයවැයේදි විසඳුමක් දෙනවා කියලා අගමැතිගේ සාකච්ඡාවෙදි එහෙමවත් කිව්වේ නෑ. කිසිම සාධනීය ප්‍රවේශයක් නෑ. මෙතන කිව්ව එකම දේ කැබිනට් අනුකමිටුවක් දාලා තියෙනවා. ඒකෙන් කරනකම් ඉවසීමෙන් ඉන්න කියලා. දින 16ක් මේ අරගලයට. අධ්‍යාපන අමාත්‍යවරයා පුන පුනා කිව්වා සියලු ප්‍රශ්න ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් මම දැම්මේ කියලා. තව දාන්න දෙයකුත් නෑ කියලා. එහෙනම් තවත් කැබිනට් මණ්ඩලයකින් නම් මේ ප්රශ්නය විසඳන්නේ අපිත් ලෑස්තියි විසඳනකම් අපේ ක්‍රියාමාර්ගවලට යන්න.*
ගුරු වර්ජනය ආරම්භයේ දී තවත් සටන් පාඨ රුසක් තිබුණ ද ඒ සියල්ල පරයා වැටුප් විෂමතාව පිළිබඳ ගැටලුව ඉස්මතු විය. ඒ සමඟම කොතලාවල පනත පිළිබඳ විරෝධය ගුරුවරු වර්ජනයෙන් පිළිබිඹු නොවන තත්ත්වයක් ඉස්මතු විය. ඒ අනුව එම සටන තමන් වෙත පවරාගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු කටයුතු කළහ. ඔවුහු ද මාර්ගගත (online) අධ්‍යාපන කටයුතුවලින් ඉවත් වෙමින් වර්ජනය කරන්නට වූහ. බදාදා (28) කොතලාවල පනත හකුලා ගන්නා ලෙස බල කරමින් රට පුරා සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරු උද්ඝෝෂණයක ද නිරත වූහ.
මේ අතර කොතලාවල පනත හකුලා නොගතහොත් තමන්ද ඔන්ලයින් වර්ජනය අත්නොහරින බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියේය. ඒ අනුව මාර්ගගත දේශනවලින් ඉවත්වීම සංකේතාත්මක එක්දින විරෝධයක් ලෙස ක්‍රියාත්මක කරන බවත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට නොහැකි වී පාරට ගෙන යාමට සිදුවුවහොත් අවශ්‍යතාව අනුව විරෝධය දීර්ඝ කරන බවත් එම සංගමයේ සභාපති මහාචාර්ය ශාම බන්නැහැක මහතා පැවසීය. එසේම රාජ්‍ය විශ්වවිද්‍යාල මූලික කරගෙන අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය ප්‍රජාව සම්බන්ධ කරගෙන විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කරන බවද මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණි.
මේ අනුව සති අන්තය එළඹෙන විට පෙර පාසල පමණක් ඉතිරි කොට තබා මෙරට සමස්ත අධ්‍යාපන පද්ධතියම අඳුරෙන් අඳුරට ගමන් කරමින් තිබුණි. මෙය වූ කලී ඛේදවාචකයකි. එහෙත් ආණ්ඩුවේ ඇතැමකුට අනුව වර්ජකයන් මස් රාත්තලම ඉල්ලා සිටීම මෙම ගැටලුවලට හේතුවයි. අනෙක් පසින් වර්ජකයන්ට අනුව පාලකයන් තම ගැටලුවලට සංවේදී නොවීම මෙම අර්බුදයට හේතුවයි. ඔවුනොවුන්ගේ චෝදනා යෝජනා කවරක් වෙතත්, වැරදිකරුවන් නිවැරදිකරුවන් කවරකු වුවත් මෙම අධ්‍යාපන අර්බුදයේ පීඩිතයන් නම් අප රටේ දරුවන්මය. දරුවන් පීඩාවට පත් කරන්නේ දුදනන්ය. කොවිඩ් රකුසා විසින් වර්තමාන දරු පරපුරේ වටිනා කාලය මේ වන විටත් සැලකිය යුතු ලෙස කා දමා තිබේ. වසංගතය විසින් අනෙකුත් ක්ෂේත්රවලට කරනු ලැබූ බලපෑම ගණන් හිලව් තබා පෙන්විය හැකිය. නමුත් අධ්‍යාපනයට සිදු වූ බලපෑම අපට එසේ ගණනය කළ නොහැක. එනිසාම මේ මොහොතේ තවදුරටත් වර්ජනය කිරීම කොතරම් සාධාරණදැයි බුද්ධිමත් ගුරුවරුන් සිතා බැලිය යුතුමය. එසේම අධ්‍යාපනය සම්බන්ධ ගැටලු විසඳීමට කල්මැරීම කොතරම් භයානක දැයි ආණ්ඩුව ද අවබෝධ කරගත යුතුමය. මන්ද යත් අධ්‍යාපනය යනු අනාගතයයි.
චමිඳු නිසල් ද සිල්වා