
අතිශය දුෂ්කර කාලවකවානුවක් ශ‍්‍රී ලංකාව ගත කරමින් සිටී. කොවිඩ් වසංගත තත්ත්ව දිගින් දිගටම පීඩනයක් එල්ල කර තිබේ. ජන සමාජය නොසන්සුන්ය. ආර්ථිකය පාලනය කරගැනීම අපහසු අඩවියක බව පෙනේ. ආදායම හා වියදම ගලපා ගැනීම පහසු නැත. වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසරකි. අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙනයෑම අපේක්ෂාව වී තිබුණි. එහෙත් පරිසරය හිතකර තැනක නැත.
ජීවිත ආරක්ෂා කරගැනීම ඉතාම අවශ්‍ය කාරණය බව දැක්විය යුතුය. පොදු ජනතාව ජීවත්වීමට අවශ්‍ය පහසුකම් ඉල්ලා සිටිති. අර්බුද, විරෝධතා සහ ගැටුම් රහිත රටවල් නැත. ලෝකයේ සෑම තැනක්ම ඇවිලෙමින් තිබේ. පාලකයන්ට අභියෝග කරන වකවානුවකි. මෙතැනින් ඉදිරියට ගමන ඉතා පරීක්ෂාකාරී විය යුතු බව අවිවාදිතය.
• පවතින ආර්ථික රාමුව
ඇමරිකානු ඩොලර් බිලියනයක කල් පිරැණ සංවර්ධන බැඳුම්කරයක් පියවන්නට සමත් වූ බව පසුගිය දිනවල වාර්තා වූ කරුණකි. ඩොලර් බිලියනයක් පියවන්නට උත්සාහ කිරීමේ දී විදේශ සංචිත කළමනාකරණය කරන්නට අපහසු වූ තරම ගැන නොදන්නෝ නොවෙති. ඉකුත් අප්‍රේල් අවසානය වනවිට ශ‍්‍රී ලංකාවේ විදේශ ණය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 35.16 කි. උද්ධමනය කොපමණ බරපතළ විය හැකි නමුත් දේශීය ණය ගෙවීමට අලුත් මුදල් නෝට්ටු නිකුත් කිරීමේ හැකියාව තිබේ. ශ‍්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 5.7 කි. 1980 ගණන් වල සියයට 21 දක්වා උද්ධමන අනුපාතිකය නැග තිබුණ බව අමතක කළ යුතු නැත. සියයට දොළහක පමණ ස්ථාවර බැංකු පොලී අනුපාතයක් පැවැති එකල උද්ධමනය දෙගුණයක් පමණ ඉහළ මටට්මක තිබිය දී පැවති අසීරු යුගය මතක් කළ යුතුය. විදේශ ණය ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් උපයා ගත යුතුය. විදේශ වත්කම් උපයා ගත හැකි අවස්ථා ඇවිරෙමින් තිබිය දී තත්ත්වය දුෂ්කරය. පහසුවෙන් ආදායම් උපයා ගත හැකිව තිබුණ සංචාරක කර්මාන්තය දුර්වල වී ඇත. විදේශ රුකියාවල නියුතු පිරිස් එවන විනිමය සීමා වී තිබේ. ඇඟළුම් අපනයනය පවා වර්ධනය වන ස්වභාවයක නැත. දුෂ්කර කාලවකවානුවක් බව සඳහන් කළ යුතුව තිබේ.
කොවිඩ් වසංගත තත්ත්වය හෙයින් ලෝක ආර්ථික වර්ධනය අඩාල අවධියක ශ‍්‍රී ලංකාවට පමණක් තනිව නැගී සිටින්නට අවකාශයක් නැත. සංවර්ධන ප‍්‍රතිපත්ති ගැන අවධානය යොමු කරනු වෙනුවට ආරක්ෂණවාදී පිළිවෙළක් ගැන අවධානය වැදගත්ය. කටුක කාල පරිච්ඡේද තිබේ. ශ‍්‍රී ලංකාව යුද කාල වකවානුවකින් පසු සාමකාමී යුගයකට අවතීර්ණ වූ නමුත් නිසි අවස්ථාවේදී තීරණ ගැනීමට යුහුසුළු වූයේ නැත. ඉකුත් වසර දහය තුළ අතපසු වූ කරුණු තිබේ. ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී වේගවත් ගමනකට ශ‍්‍රී ලංකාව සූදානම් නොකිරීම පසුගිය කාලයේ සිදුවූ වරදකි. අතීතයට දොස් පැවැරීම පලක් නැත. පාඩම් ඉගෙන ගත යුතුව තිබේ. කොවිඩ් වෛරසය පාලනය කරගැනීමෙන් පසු ශ‍්‍රී ලංකාවට වේගවත් ගමන අනිවාර්ය කාරණයකි. රට තුළ කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් ගැන සැලසුම් සකස් කිරීමට සුදුසු කාල වකවානුවකි. පරිවර්තනයකින් තොරව අනාගතය ගැන විශාල බලාපොරොත්තු තැබිය නොහැක.
• දෙකොණ විලක්කුවක කතාව යළිත්
උතුර හා දකුණ ගැටුම් සහගත තත්ත්වයක තිබිය දී දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලැබුණි. තමන්ට ලැබුණේ දෙකොණ විලක්කුවම ඇවිලෙන රටක් බව හෙතෙම ප‍්‍රකාශ කළේය. දෙපැත්තකින් ඇවිලෙන විට අඩව්වක් ඇල්ලීම පහසු නැත. ශ‍්‍රී ලංකාව අද පසුකරමින් පවතින ස්වභාවය එයට නොදෙවැනිය. රට නැවතත් ලොක් ඩවුන් කරන සේ වෛද්‍ය විශේෂඥයෝ එක හෙළා කියා සිටිති. රජයේ සේවකයන් වහාම සුපුරුදු පරිදි කාර්යාලයට පැමිණිය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කර ඇත. ඉකුත් සඳුදා (අගෝ. 02) සිට සාමාන්‍ය පරිදි රාජකාරි කරගෙන යන අතර දිනපතා ආසාදිතයන් වැඩිවන බව පෙනේ. ජීවිතක්ෂයට පත්වන සංඛ්‍යාව ද ඉහළ යමින් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ප‍්‍රවීණ අංශ මෙරට එන්නත්කරණයෙහි වේගවත්කම ගැන ප‍්‍රශංසා කර ඇත. වැඩිහිටි පුරවැසියන්ගෙන් සියයට හැත්තෑ හයක් අවම වශයෙන් කොවිඩ් එන්නත එක මාත‍්‍රාවක් හෝ ලබාගෙන ඇත. වෙනත් අතුරු ආබාධ රහිත කිසිවකුට ජීවිත අවදානම ඉතාම අවම විය හැක. නිසි සෞඛ්‍ය විධිවිධාන අනුගමනය කළහොත් සෙමෙන්, ප‍්‍රවේසමෙන් ඉදිරියට යා හැකිය.
වසංගත තත්ත්වය වරින්වර වාර්තා වී තිබේ. මැලේරියා වසංගත අමතක කළ නොහැකි සේ ඉතිහාසයේ ලියැවී තිබේ. 1934-35 කාලයේ මෙරට ජනගහනය මිලියන හයකි. හතරෙන් එකකට මැලේරියාව වැළඳී ඇති බව සෞඛ්‍ය වාර්තා දක්වයි. මාස හතක් තුළ අසූදහසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ලෝක ප‍්‍රජාව භීතියට පත් කර ඇති කොවිඩ් වසංගතය අවුරුද්දකුත් මාස ගණනක් රට තුළ පවතී. 2020 මාර්තු දහ වැනි දා රට ලොක් ඩවුන් කරන ලද නමුත් අගෝස්තු වනවිට මහ මැතිවරණයක් පවත්වන්නට සුදුසු වාතාවරණයක් සකස් කරගන්නට අදාළ අංශ සමත්විය. ලක්ෂ ගණනක් ආසාදිත වී ඇති නමුත් මරණ ගණන හාරදහස් පන්සියයකට සීමා කරගන්නට සමත්ව තිබේ. මැලේරියාව පැතිරෙන කාලයේ අලුත් දේශපාලනයක් එනම් වාමාංශික පක්ෂ නිර්මාණය වූ බව සිහිපත් කළ යුතුය. පරිප්පු මහත්තයා යන අන්වර්ත නාමය සමග නායකයෝ බිහිවූහ. ක්වීනින් පෙති සමග වමේ නායකයෝ ගෙයින් ගෙදරට ගියහ. එකල තිබුණ ආණ්ඩුවට දොස් තැබීම පසෙකට තැබූ ඔවුහු අතට දෙන බෙහෙත් පෙති ගිලින තෙක් බලා සිටියහ. ඒවායේ අමිහිරි සුවඳ හා ඇතිවන පිලිකුළ නිසා මරණය පෙනි පෙනී සිටි රෝගීහු පවා පෙති ගැනීම ප‍්‍රතික්ෂේප කළහ. සමහර නිවැසියෝ මදුරු නාශකයක් වශයෙන් මැලතියන් ස්ප්‍රේ කිරීමට ඉඩ නොදුන්හ. එකල විපක්ෂය ඒවා අතට ගෙන ආණ්ඩුව අසාර්ථක යැයි පෙළපාළි ගියේ නම් අදත් ලංකාව මැලේරියාවෙන් පීඩා විඳින රටකි. කොවිඩ් වසංගතය හමුවේ ක‍්‍රියා කළ යුතු ආකාරය ගැන ජනතා නායකයෝ අලුතින් කල්පනා කළ යුතු වකවානුවකි.
• නායකයන්ගේ වගකීම
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සම්පූර්ණ කාර්යක්ෂමතාවයෙන් නොසිටින පසුබිමක් සමහර අවස්ථාවල වාර්තා වෙයි. වෛද්‍යවරු, හෙදියෝ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වර්ජන අරඹති. වැඩි පහසුකම් ඉල්ලා සිටින අවස්ථා ගණනාවක් මෑත කාලයේ වාර්තා විය. එහෙත් ආරක්ෂක අංශ කොවිඩ් මර්දනයට අත ගසා තිබේ. යුද, ගුවන් සහ නාවික හමුදාව විශාල පරිශ‍්‍රමයකය. පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය බලවත් කැපවීමකය. පැය විසිහතරම වැඩ කරන තැනට තීරණ ගැනීම එහි උත්සන්න අවස්ථාවකි. මෙම සාමුහිකත්වය නොවේ නම් රට පවතින තැන ගැන අලුතින් කියන්නට අවශ්‍ය නැත. රට මිලිටරීකරණයක් කරා තල්ලු කරන බවට මැසිවිලි නගමින් සිටි පිරිස් පවා හමුදාව කරගෙන යන වැඩපිළිවෙළට ප‍්‍රශංසා කරන බව නිරීක්ෂණය කළ හැකිය. සමාජ මාධ්‍යවල අගය කිරීම් රට විනයක් සහිත තැනක් බවට හැරවීමේ අවශ්‍යතාව අනියමින් හුවා දක්වයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනතාවගේ අයිතිවාසිකම් හෝ නිදහස පැත්තකින් තැබීමේ අවශ්‍යතාව වක‍්‍රව පිළිගෙන තිබේ. මෙම භාරධුර අවස්ථාවේ දී ජනතාව එකතු කරගත යුතුය. ගිහි පැවිදි ජන නායකයන්ට විශාල වගකීමක් ඇත.
ජාතික අර්බුදයක් පවතින අවස්ථාවක සාමුහිකත්වය වැදගත්ය. කණ්ඩායම් හැඟීම අත්‍යවශ්‍ය කාරණයකි. පක්ෂ විපක්ෂ භේදයක් සුදුසු නැත. යුද කලබල, සුනාමි විපත අවස්ථාවල හැසිරුණ ආකාරයට වඩා තීක්ෂණ ස්වභාවයකින් ක‍්‍රියා කරන්නට අවශ්‍ය කාල පරිච්ඡේදයකි. ආණ්ඩුවකට පමණක් වගකීම පවරා පැත්තකටවීම සුදුසු නැත. විපක්ෂ කණ්ඩායම් යම් යම් ආධාර වැඩ පිළිවෙළ සහ ජනතාව දැනුම්වත් කරන ක‍්‍රියාමාර්ග ගත් බව රහසක් නොවේ. මැලේරියා කාලයේ දී ලංකාවේ බිහි වූ නායකයන් හා සමාන කණ්ඩායමක් රටට අවශ්‍යව තිබේ. ප‍්‍රශ්න වලට තල්ලු කර, සියලුම දේ විවේචනය කරන අතර ජනතාව තුළ සැකය හා අවිශ්වාසය තරකරන නායකත්ව වලින් රටට ප‍්‍රයෝජනයක් තිබේද? ජාතික හා ආගමික නායකයන් ද අවස්ථාවෝචිතව තීරණ ගැනීම අවශ්‍යය. ප‍්‍රදේශයක් බලා ගැනීමට දේශපාලනයට පමණක් භාර කළ යුතු නැත. ත‍්‍රස්තවාදී තර්ජන පැවැති කාලයේ සිවිල් ආරක්ෂක සංවිධාන බිහි කළේය. ගම, පන්සල හා පොලිසිය සම්බන්ධ කෙරිණ. පන්සල, රෝහල හා ගම සම්බන්ධ කරන පුළුල් ව්‍යාපාරයක් අවශ්‍යය. කොවිඩ් වංසගත තත්ත්වය අවසාන වන දිනයක් ගැන තවමත් ස්ථිර අදහසක් නැත. එවැනි පසුබිමක් තුළ සංවිධානගතවීම ප‍්‍රයෝජනවත්ය.
• ගැලවීමේ ආර්ථිකය හදා ගැනීම
සමාජය පමණක් නොව ආර්ථිකය ද නිරෝගීව තබා ගැනීම වැදගත්ය. නගරබදව තිබුණ වෙළෙඳ ව්‍යාපාර, සේවා ස්ථාන අතරින් සමහරක් අඩාල වී තිබේ. කුලියට දෙන, බදු දීම සඳහා ඇති ස්ථාන ගැන සඳහන්වන විට ඒවා අත්හරින්නට සිදුවූ හේතු වටහා ගැනීම අපහසු නැත. ක්ෂුද්‍ර ව්‍යවසායකයෝ අසරණය, කුඩා ව්‍යවසාය අංශ වලට ගැටලු මතු වී තිබේ. මේවායෙන් සමහරක් පදික වේදිකාව ආක‍්‍රමණය කර ඇත. වීදි වෙළඳාම තහනම් කිරීමට තරමට ඇතැම් අනුවන පාර්ශව විධාන දී ඇත. මිනිසුන් ජීවත් කරවන ආර්ථිකයක් හැදීම වගකීමකි. ආර්ථිකය සකස්කරන්නට අලුත් ආයෝජන අවශ්‍යය. ලෝකයේ තරගකාරී රටවල පවතින අවස්ථා තුළ ශ‍්‍රී ලංකාව වෙනස් තැනක් බව ඔප්පු කරන්නේ කෙසේද? ව්‍යාපාර කරන පහසුව ඇති කළහොත් දෙස් විදෙස් ආයෝජකයන්ට ලිහිල් බවක් සැලසේ. වෙනත් රටකට වඩා ලංකාවට පැමිණීම වාසිදායක බව අඟවන සැලසුම් ප‍්‍රකාශයට පත්කළ යුතුව තිබේ.
මෑත කාලය තුළ ලෝකයේ ප‍්‍රකට අදානි සමාගමට සලකන ලද ආකාරය ආයෝජකයන්ට අමතක නැත. කොළඹ වරාය නගරය වෙනුවෙන් අලුත් පනත් සම්මත කරන්නට උත්සාහ කළ අවස්ථාවේ දී අවහිර පැන නැගුණ තරම සිහිපත් කළ යුතුය. විදේශ විනිමය හිඟ රටක් වශයෙන් දැන් පසුවෙන ස්වභාවය රට දැනගත යුතුව තිබේ. රටට ගෙන්වන ලද භාණ්ඩ නිදහස් කරගැනීමට පවා ඩොලර් නැත. ක්‍රෙඩිට් කාඩ් වලින් වෙනත් රටවලට කරන ගෙවීම් පවා අවහිර කරන්නට මහ බැංකුව නියෝග කර තිබේ. විදේශ විනිමය උපයා ගැනීමට යුහුසුළු නොවුණහොත් තවත් මාස දහ අටක් තුළ රටට අසීරුම තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවන බව සහතික කර දැක්විය හැකිය. අවසාන වශයෙන් ඇමරිකානු සමාගමක් ද්‍රව ගෑස් ආයෝජනයකට ඉදිරිපත්ව සිටින අවස්ථාවේ පවා ඊට එරෙහි වෙමින් සිටී. ඉහළම තාක්ෂණය ලැබෙන අතර ජාත්‍යන්තරයට ගෙන යන පණිවුඩය ගැන කල්පනා නොකරන්නේ ඇයි? පවතින අර්බුදය ආණ්ඩුවක් පෙරළා අලුත් ආණ්ඩුවක් බලයට පත් කළ වහා සාක්ෂාත් කරගත හැකි එකක් නොවේ. ඉදිරියේ දී එන ආණ්ඩුවකට මෙම ගැටලු මෙයට වඩා තීරණාත්මක ආකාරයකට මහජනතාවගේ ඉහළ අපේක්ෂා තුළ ඉෂ්ට කරන්නට සිදුවන බව අමතක කළ යුතු නැත.
ගාමිණී සරත් ගොඩකන්ද