2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

තැන තැන මතුවන මඟුල් පොකුරු

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 11

කොවිඩ් රට පුරා ව්‍යාප්ත වෙද්දී කොවිඩ් රෝගීන් දිවයිනේ සෑම පළාතකින්ම වාර්තා වෙද්දී සංචරණ සීමා පැනවීම හා උත්සව සම්පූර්ණයෙන් නතර කිරීමට සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ උපදෙස් පරිදි රජය තීන්දු කළේය. මේ හේතුවෙන් සූදානම්ව පැවැති බොහෝ විවාහ උත්සව දින නියමයක් නොමැතිව කල් ගිය අතර තවත් පිරිසක් රජය විසින් සඳහන් කළ පරිදි ඉතාමත් අඩු සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් ලියාපදිංචි කිරීමට පමණක් සීමා කොට විවාහය පැවැත්වූහ.

කෙසේ වුවද කොවිඩ් වසංගතය යම් තරමට යහපත් වටපිටාවක් පෙන්නුම් කරද්දී රෝගීන්ගේ වාර්තා වීම අඩු වෙද්දී උත්සව පිළිබඳව රජය ගෙන තිබූ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවල යම් ලිහිල් බවක් සිදුවිය. ඒ අනුව උත්සවවලට සහභාගි වන අමුත්තන්ගේ සංඛ්‍යාවේ යම් වැඩිවීමක් ඇතිවූ අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව විවාහ උත්සව පැවැත්වීමට අවසරය ලබාදීම ඇරඹුණි.

මේ අතර ඇතැම්හු මෙම අවසරය අවභාවිත කොට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට පටහැණිව ක්‍රියාත්මක වූහ. එය තවත් කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කිරීමට හේතු විය.

පයාගල ගොරකදෙණිය, මල්වර උත්සවයක් සඳහා සහභාගි වූ පුද්ගලයන් හා එහි ආශ්‍රිතයන් අසූ පස් දෙනකුට කොවිඩ් ආසාදනය වන්නේ සෞඛ්‍ය අංශවලින් ලබාදුන් උපදෙස්වලට පටහැණිව ක්‍රියා කිරීම හේතුවෙනි.

ජූලි මස විසි හතර වැනිදා සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස්වලට පටහැණිව ගොරකදෙණිය ප්‍රදේශයේ නිවෙසක මල්වර උත්සවයක් සූදානම් කර තිබූ අතර බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් ඒ කටයුත්ත නවතා දමා තිබිණි. නමුත් ඒ වන විටත් උත්සවයට අවශ්‍ය සියලු ආහාරපාන මෙන්ම සියලු කටයුතු නිවැසියන් විසින් සූදානම් කර තිබිණි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒ අදාළ නිවෙස වෙත යද්දීත් උත්සවය සඳහා පැමිණි අමුත්තන්, අසල්වැසියන් බොහොමයක් නිවෙසේ රුඳී සිටිනු දක්නට ලැබිණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් උත්සවය නවතා දමා තිබුණද උත්සවයට පිසූ ආහාරපාන නිවැසියන් විසින් පාර්සල් කොට අසල නිවෙස්වලට බෙදා හැර තිබිණි. නමුත් දින කිහිපයකට පසුව මේ බොහෝ නිවෙස්වල අයට කොවිඩ් ආසාදිත වී තිබිණි. එසේ වූයේ මල්වර උත්සවයේ ආහාරපාන පිසීමට ආ පුද්ගලයා කොවිඩ් ආසාදිතයකු වීම හේතුවෙනි.

මෙයින් මෙම මල්වර උත්සවයේ ආශ්‍රිතයන් අසූ පස් දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරන්නේ මෙම උත්සවයේ ආහාර පිසීමට ගිය පුද්ගලයා එම ආහාර පිසූ දිනට පසු දින පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර තිබූ අතර ඔහුට මෙම කොවිඩ් රෝගය ආසාදනය වී ඇති බවට එහිදී වාර්තා වූ බවය. මේ අනුව අනුමාන කෙරෙන්නේ මෙම පුද්ගලයා අදාළ මල්වර උත්සවයේ ආහාර පිසීමට ගොස් ඇත්තේද කොවිඩ් රෝග ලක්ෂණ මතුව තිබියදී බවය.

මෙයින් පළමුව එම නිවෙසට පැමිණි පුද්ගලයන්ගෙන් 23 දෙනකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වූ අතර පසුව දෙසිය දොළහකගෙන් ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණවලදී තවත් හැට දෙදෙනකු කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබිණි.

එමෙන්ම පසුගියදා ගලෙන්බිඳුණුවැව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයට අයත් වූ පහළදික්වැව ගම්මානයේදී පැවැත්වූ විවාහ මංගල උත්සවයක් හේතුවෙන් පුද්ගලයන් පනහකට කොවිඩ් වෛරසය ආසාදිත වී තිබූ බව වාර්තා වේ. ඒ අනුව එම ගම්මානයද හුදෙකලා කිරීමට කටයුතු කර ඇත. මනාලයා හා මනාලියද ආසාදනය වූවන් අතර සිටිති. මෙම විවාහ උත්සවය පවත්වන ලද්දේ කිසිදු අවසරයකින් හෝ දැනුවත් කිරීමකින් තොරව බවද සඳහන් වෙයි.

“මේ වන විට ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් විවාහ මංගල උත්සව ආශ්‍රිත පොකුරු වර්ධනය වෙනවා. මේ තත්ත්වය ඉදිරියට වර්ධනය වුණොත් විවාහ මංගල උත්සව පිළිබඳ කටයුතු කරන්න බැරි වේවි. එන්නත් ලබාගත් අය පමණක් විවාහ මංගල උත්සවයට සහභාගි වීමටත්, උත්සවයට අත්‍යාවශ්‍ය පාර්ශ්වයන් උත්සවයට පෙර අදාළ කොවිඩ් පරීක්ෂණවලට යොමු වී මෙම උත්සවවලට සහභාගි වෙනවා නම් ඉතාමත් සුදුසු යැයි අපි යෝජනා කරනවා.” යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

කොයි තරම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව මංගල උත්සවවලට සහභාගි වුවද ස්වල්ප මොහොතකින් සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අමතක වී යයි. නිසි පරිදි මුඛ ආවරණය පැළඳීම අමතක කරන බොහෝ අමුත්තෝ එය භාණ්ඩ බෑගයට හෝ කලිසම් සාක්කුවට දමා ගනිති. ඇතැමුන්ගේ මුඛ ආවරණය නිකටේය. ආ ගිය තොරතුරැ කතා කරන අතරතුර මීටරයේ දුරක් නොමැත. ආහාරපාන ගනිද්දීත් කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක් නොමැත. එම නිසා අවසානයේදී සිදුවන්නේ (මංගල පොකුරු) ලෙසින් ආසාදිතයන් වාර්තා වීමය. පවතින ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ඉතා සීඝ්‍රයෙන් කොවිඩ් ආසාදිත වන බවට විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවන මේ දිනවල උත්සව ගැනීමට පෙර මේ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03