2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

රොල්ස් රොයිස් සමාගමේ ශ්‍රී ලාංකික ඉංජිනේරු තාරකාව

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 162

මිනිසුන්ට බොහෝ සිහින තිබේ. බොහෝ අරමුණු තිබේ. එහෙත් එම අරමුණු ජයගෙන තම සිහින සැබෑකරගත හැක්කේ සුළු පිරිසකට පමණි. ඇය තම සිහින හා අරමුණු කෙසේ හෝ ජයගන්නා බව සිතූ තරුණියකි. කැපවීම, උනන්දුව හා අධිෂ්ඨානය තුළින් ඇය මේ වන විට ලොව කීර්තිමත් චරිතයක් බවට පත්ව සිටින්නීය. ශ්‍රී ලාංකික කාන්තාවක ගුවන්යානා තාක්ෂණික හා අභ්‍යවකාශ ඉංජිනේරුවරියක ලෙස ලොව ප්‍රධාන පෙළේ පුරුෂ මූලික කර්මාන්තයක ප්‍රධාන භූමිකාවක් නියෝජනය කිරීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපටද විශාල ආඩම්බරයකි. ඇය බ්‍රිතාන්‍යයේ රොල්ස් රොයිස් සමාගමේ ඩිජිටල් තාක්ෂණික කළමනාකාරිනිය ලෙස සේවය කරන නිපුනි කරුණාරත්නය.

බ්‍රිතාන්‍යයේ රොල්ස් රොයිස් සමාගම 1904 දී ආරම්භ කළේ චාල්ස් රොල්ස් සහ හෙන්රි රොයිස් විසිනි. ලොව අංක එකේ මෝටර් රථ සහ ගුවන්යානා එන්ජින් නිෂ්පාදන සමාගමක් ලෙස ප්‍රකටව ඇති එම සමාගම ලොව හොඳම මෝටර් රථ නිෂ්පාදකයා ලෙස කීර්තියක් දිනා සිටියේය. පළමු ලෝක යුද්ධයෙන් පසු ගුවන්යානා එන්ජින් නිෂ්පාදනය කිරීමේ නිරත වූ එම සමාගම 1940 සිට ජෙට් ගුවන්යානා සඳහා එන්ජින් නිෂ්පාදනයට යොමු විය. වර්තමානයේ අහස පුරා සැරිසරන ගුවන්යානා වැඩිම ප්‍රමාණයක එන්ජින් එම සමාගම මගින් නිෂ්පාදනය කරන ලද ඒවාය. ආරක්ෂාව, ඉංජිනේරු තාක්ෂණය, විශ්වාසය වැනි බොහෝ කරුණු අතින් ගුවන්යානා එන්ජින් පිළිබඳ ලොව ප්‍රමුඛයා වන්නේ රොල්ස් රොයිස් සමාගමයි.

නිපුනිට කුඩා කල සිටම නාසා ආයතනයට හෝ රොල්ස් රොයිස් ආයතනයට හෝ සම්බන්ධ වීමේ සිහිනයක් තිබිණි. අමෙරිකාවේ අධ්‍යාපනය නොලද හෙයින් නාසා ආයතනයට සම්බන්ධවීමේ අදහස අතහැර දැමූ ඇය රොල්ස් රොයිස් සමාගමට එක්වීමට තීරණය කළාය. විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පළමු වසරේ සිටම රොල්ස් රොයිස් සමාගම පිළිබඳව නිරන්තරව අවධානය යොමු කළාය. වසර තුනක පමණ කාලයක් ඇය ඒ පිළිබඳ සොයා බැලුවාය. උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු එම ආයතනයට අයැදුම්පතක් යොමු කළේ කිසියම් අවස්ථාවක් හිමිවනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුවය. ලොව පුරා සිටින ලක්ෂ ගණනක පිරිසක් එම ඇබෑර්තුවට ඉල්ලුම් කර තිබූ අතර ඉන් 180ක පමණ පිරිසක් එම ආයතනය මගින් තෝරාගෙන තිබිණි. එම ආයතනය පුද්ගලයකුගේ දැනුම මෙන්ම පෞරුෂය කෙරෙහිද දැඩි අවධානයක් යොමු කරයි. නිපුනි කරුණාරත්නද රොල්ස් රොයිස් සමාගමේ දොරටු විවර වූයේ ඇගේ දක්ෂතාව මෙන්ම පෞරුෂයද ඔවුන්ගේ සිත්ගත් බැවිනි.

ලොව පුරා ඉංජිනේරු වෘත්තියේ නිරත කාන්තාවන් සිටින්නේ අවම පිරිසකි. 2015 වර්ෂයේදී නිපුනි ඉංජිනේරුවරියක ලෙස රොල්ස් රොයිස් සමාගමට එක්වූයේ එම සමාගමේ එම තනතුරට පත් ළාබාලතම තැනැත්තිය මෙන්ම අග්නිදිග ආසියානු කලාපය නියෝජනය කරමින් එම තනතුරට පත් එකම කාන්තා ඉංජිනේරුවරියද ලෙසිනි. මාස 18ක පමණ කාලයක් ගුවන්යානා එන්ජින් ක්‍රියාකාරිත්වය, නිර්මාණය හා අලුත්වැඩියා කටයුතු පිළිබඳව ඇය පුහුණුව ලැබුවාය. පිරිමින් බහුල වෘත්තීමය කාර්යයක් තුළ ඇයටද යම් යම් කෙනෙහිලිකම් ඇති නොවූවා නොවේ. එහෙත් ඇය එම අභියෝගවලට නොබියව මුහුණ දුන්නාය. අවසානයේ ඔවුන් සියලු දෙනා ඇයට ළෙන්ගතු වූහ. නිෂ්පාදන ඉංජිනේරුවරියක ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ නිපුනි වර්තමානයේ ඩිජිටල් තාක්ෂණික කළමනාකාරිනිය වශයෙන් කටයුතු කරන්නීය.

ගුවන්සේවා කටයුතු බහුලව සිදුවීම මත ලොව පුරා එන්ජින් අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරීමේ අවශ්‍යතාවක් රොල්ස් රොයිස් සමාගමට ඇතිවිය. එහිදි උතුරු අමෙරිකාවේ අලුත්වැඩියා මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා මූලිකත්වය පැවරුණේ නිපුනිටය. මේ වන ඇය වසර හයහමාරක පමණ කාලයක් එම කීර්තිමත් සමාගමේ සේවය කරන අතර අමෙරිකාවේ ඇට්ලන්ටාහි පිහිටි ලොව විශාලතම ගුවන්යානා අලුත්වැඩියා මධ්‍යස්ථානය ඉදිකොට ඇත්තේද ඇයගේ නායකත්වය හා තාක්ෂණික උපදෙස් අනුවය. එහි ඉංජිනේරු තාක්ෂණික අංශය සඳහා ඇයගේ නායකත්වය ලැබිණි.

මේ වන විට ගුවන්යානා සඳහා කෘත්‍රිම බුද්ධිය සහිත එන්ජින් නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමුවී තිබේ. රොල්ස් රොයිස් සමාගමද එම සංකල්පය අනුව තමන්ගේ ගුවන්යානා එන්ජින් නිෂ්පාදනය කිරීමට තීරණය කර තිබේ. මෙතෙක් කිසිදු රටක එවැනි අත්හදාබැලීමක් සිදු නොවී ඇති අතර එම කාර්ය පිළිබඳ වගකීමද පැවරී ඇත්තේ නිපුනි ඇතුළු ඉංජිනේරු කණ්ඩායමකටය. ඒ අනුව ගුවනේදී යානයක ඇතිවන කිසියම් කාර්මික දෝෂයක් වහා හඳුනා ගැනීමට හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නියමුවා දැනුම්වත් කළ හැකි එන්ජින් ඉදිරියේදී නිර්මාණය කෙරෙනු ඇත. මේ දිනවල ඇය තම ඉංජිනේරු කණ්ඩායම සමඟ ඒ සම්බන්ධයෙන් පර්යේෂණවල නියැලී සිටින්නීය.

1992  ශ්‍රී ලංකාවේ රද්දොළුගමදී උපත ලද නිපුනි කොළඹ මියුසියස් විදුහලේ ආදි ශිෂ්‍යාවකි. ඇගේ පියාද සොහොයුරාද ඉංජිනේරුවෝ වෙති. මව ගෘහණියකි. ඉංජිනේරුවකු වූ තම පියාගේ ක්‍රියාකාරකම් ඇසුරින් එම වෘත්තිය කෙරෙහි ඇය තුළ ඇල්මක් ඇතිවූයේ කුඩා කාලයේ සිටය. විශේෂයෙන් අභ්‍යවකාශ ඉංජිනේරුවිද්‍යාව කෙරෙහි ඇයට ඇල්මක් තිබිණි. ඇය අහස පිළිබඳව, ගුවන්යානා පිළිබඳව නිරතුරවම විමසිල්ලෙන් සොයා බැලුවාය. ඒ පිළිබඳ හදාරන්නට පෙළඹුණාය.. පාසල් කාලයේ ඇය අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටද දක්ෂතා දැක්වූවාය. පිහිනීමට මෙන්ම ටෙනිස් ක්‍රීඩාවටද සමත්කම් දැක්වූ ඇය ජාතික මට්ටමේ තරග නියෝජනය කළාය. ඇගේ මව්පියන්ගේ ආසාව වූයේ තම දියණිය වෛද්‍යවරියක වනු දැකීමය. 

වයස අවුරුදු 16 දී ඇය අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව උපාධිය ලබාගැනීම සඳහා ලන්ඩනයේ බ_නල් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. විශ්වවිද්‍යාලයේ සිටි ලාබාලතම සිසුවිය වූයේ ඇයයි. පළමු වසරේ සිසුන් 280ක් පමණ එම විෂය හැදෑරුවද දෙවැනි වසර වන විට එම ප්‍රමාණය 60 වැනි සංඛ්‍යාවක් දක්වා අවම විය. වැඩි වශයෙන් සිටියේ පිරිමි සිසුන්ය. සිසුවියන් සිටියේ ඉතා සුළු පිරිසකි. අවසානයේ අභ්‍යවකාශ තාක්ෂණ ඉංජිනේරු විද්‍යා අංශයෙන් උපාධිය හිමිකරගත් එකම සිසුවිය වූයේ නිපුනිය. මව්පියන්ගෙන් වෙන්ව දුරු රටකට යෑම ඇයට වේදනාවක් වුවද තම ආනාගත අරමුණු වෙනුවෙන් ඇය ඒ තනිකම දරා ගත්තාය. ඇගේ සොහොයුරාද ඒ වන විට එංගලන්තයේ අධ්‍යාපනය ලැබුවද ඔහු සිටියේ වෙනත් ප්‍රදේශයක වූ බැවින් ඔවුනට නිතර හමු විය නොහැකි විය. කෙසේ වුවද තම අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන ගිය ඇය අවසානයේ අභ්‍යවකාශ ඉංජිනේරුවරියක ලෙස අද කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කරන්නීය.

රොල්ස් රොයිස් සමාගමේ සේවය කරන අතරම නව සොයාගැනීම් හා  පර් යේෂණ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඇය තවත් කණ්ඩායමක් සමඟ අයි වි ටෙක් නමින් ඇයගේම සමාගමක්ද පිහිටුවා ගත්තාය. එහි බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමයට අයත් ව්‍යාපෘති ගණනාවක කටයුතු සිදු කරමින් පවතී. ශ්‍රී ලංකාවේ බොහෝ දක්ෂතා ඇති පිරිසක් සිටියද ඔවුනට වැඩි අවස්ථා හිමි නොවේ. නිපුනිගේ අරමුණ තම සමාගමේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ඇති කොට මේ පිරිසට අවස්ථාවක් ලබා දීමටය. මේ වන විටද එම කටයුතු සිදු කරමින් සිටින අතර ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවේ උගත් බුද්ධිමත් තරුණ තරුණියන්ට අධ්‍යාපනය ලබන අවදියේම අර්ධකාලීනව අවශ්‍ය දැනුම සහ පළපුරුද්ද ලබාගැනීමට අවස්ථාව එම ආයතනය මගින් ලබාගත හැකිවනු ඇත.
ඇගේ දක්ෂතා ඇගයීමට ලක් කෙරුණු අතර පසුගියදා ඇය සම්මානයටද පාත්‍ර වූවාය. ඒ බ්‍රිතාන්‍යයේ රයිසිං ස්ටාර් ඉන් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි හෙවත් විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයේ නැගී එන තරුව ලෙසිනි. අග්නිදිග ආසියාවෙන් එම සම්මානය සඳහා නිර්දේශ වූ එකම පුද්ගලයා නිපුනිය. එම සම්මානය සඳහා ඇයව නිර්දේශ කර තිබුණේ රොල්ස් රොයිස් සමාගම විසිනි. 

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03