2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාවට “රන් පදක්කමක්”

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 50

මේ මොහොතේ ශ්‍රී ලංකාවට ලෝකයාගේ පැසසුම් හිමිවන දෙයක් වේ නම් ඒ එන්නත්කරණ වැඩසටහනයි. ලෝකයේ වේගයෙන්ම එන්නත්කරණය සිදුවන රාජ්‍ය අතර ප්‍රමුඛස්ථානයක අපි රැඳී සිටිමු. එම නිසාම මෙරට එන්නත්කරණය සම්බන්ධ වැඩපිළිවෙළ ජාත්‍යන්තර ප්‍රජාවගේ ද ඇගයුමට බඳුන් වී ඇත. මෙවන් තත්ත්වයක් තුළ අපි ද ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන පිළිබඳව ධනාත්මක ප්‍රවේශයකින් කතාබහක් සිදු කිරීම සුදුසු යැයි සිතූවෙමු. මේ කතාබහ අතරේ මෙරට එන්නත්කරණ වැඩසටහනේ යම් අඩුපාඩුවක්, මඟහැරීමක් වෙතොත් එය ද පෙන්වා දීමට අපි මැලි නොවෙමු.

මේ වන විටත් දෙකෝටි විසි ලක්ෂයක් පමණ වූ මෙරට ජනගහනයෙන් හරි අඩක පමණ ජනතාව ප්‍රතිශක්තීකරණය එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා සිටිති. සති අන්තය ළං වන විට එන්නත්කරණය සම්බන්ධ සංඛ්‍යාත්මක දත්ත ඔස්සේ හෙළිදරව් වූයේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස එක් කෝටි දස ලක්ෂයකට ආසන්න බවයි. එසේම ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස ලක්ෂ 30කට ආසන්න බවද  හෙළිදරව් විය. තවදුරටත් එම දත්ත පරිශීලනයේදී පෙනී ගියේ මෙරට සමස්ත වැඩිහිටි ජනගහනයෙන් සියයට 70%කට වඩා වැඩි පිරිසක් මේ වන විටත් එන්නත ලබා සිටින බවයි. පැහැදිලිවම මෙය ඉතා සාධනීය තත්ත්වයක් බව කිව යුතුය. අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටක් කොවිඩ් ආර්ථික අරාජිකත්වය මැද මෙවන් වූ ඉලක්කයක් සාධනය කර ගැනීම ඇත්තෙන්ම විශ්මය ජනකය.

කොවිඩ් වසංගතයට රට ගොදුරු වන අවස්ථාව වන විටත් රටේ වාර්ෂික ණය වාරික පවා ගෙවාගැනීම අපට අභියෝගයක් වී තිබූ බව සිහිපත් කළ යුතුය. එවන් තත්ත්වයක් තුළ වුවද වසංගතය මර්දනය කිරීම වෙනුවෙන් මූල්‍ය ප්‍රමුඛතාව ලබා දිය යුතු බවට නියෝග කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. එම නිසාම එන්නත්කරණ වැඩසටහන සම්බන්ධව යම් ප්‍රශංසාවක් වේ ද එහි වැඩි ගෞරවයක් ජනපතිට ලබාදීමට අපි මැලි නොවෙමු. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට අනුව 2021 ජූනි මාසය වන විට එන්නත්කරණය හැර වංසගතය මර්දනය සඳහා වන සෙසු වියදම රුපියල් බිලියන 53කට (කෝටි 5300 ක්) අධිකය. එන්නත් මිලදී ගැනීමට පමණක් ඒ දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 110ක් (රුපියල් කෝටි 2200ක්) පමණ වියදම් වී තිබේ. මෙම මූල්‍ය දත්ත ඔස්සේ හෙළිදරව් වන්නේ ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස වසංගතය මර්දනයට ප්‍රමුඛතාව ලබා දී ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන පරිදි රට පුරා එන්නත්කරණ මධ්‍යස්ථාන 350කදී පමණ එන්නත්කරණය සිදුවෙයි. ඒ අනුව  ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පිරිස වෙනුවෙන් එහි දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා මධ්‍යස්ථාන 109ක් ක්‍රියාත්මකව පවතියි. එසේම  දිස්ත්‍රික්ක 19ක තවත් මධ්‍යස්ථාන 270කදී අනෙකුත් එන්නත් ලබාදීම ද සිදුවේ. රට පුරා තෝරාගත් රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා යුද හමුදාව මගින් මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි. 
යුද හමුදාව මගින් පවත්වාගෙන යන එන්නත්කරණ මධ්‍යස්ථාන පිළිබඳ මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය. පසුගිය සතියේ අප නිරීක්ෂණය කළ පරිදි ඉතා විධිමත්ව එන්නත්කරණය සිදුවන මෙම මධ්‍යස්ථාන ජනතා ප්‍රසාදය දිනාගෙන තිබේ. ඒ අතරිනුත් ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලබාදීම පිණිස පැය 24 පුරා විවෘතව තැබුණු කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ එන්නත් මධ්‍යස්ථානයට, බත්තරමුල්ල දියත උයන එන්නත්කරණ මධ්‍යස්ථානය සුවිශේෂීය.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය වැඩසටහනට හිමිවෙන ජත්‍යන්තර ප්‍රසාදය පිළිබඳව ද අප සිහිපත් කළ යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩෙනම් මහතා පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධව ට්විටර් පණිවිඩයක් තබා තිබිණි. සැප්තැම්බර් ඉලක්කයට පෙර ශ්‍රී ලංකාව සිය ජනගහනයෙන් 10%කට පූර්ණ එන්නත ලබාදීමට කටයුතු කරමින් සිටින බව දැකීම සතුටට කරුණක් බව ඒ ඔස්සේ ඔහු කියා සිටියේය. ඊට අමතරව වෛරසය මැඩපැවැත්වීම සඳහා ප්‍රදර්ශනය කර ඇති මහජන සෞඛ්‍ය හා සමාජීය පියවරයන් පිළිබඳව ශ්‍රී ලංකා රජයේ හා ජනතාවගේ උත්සාහයට ස්තුතිවන්ත වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ ට්විටර් පණිවුඩයට ස්තූතිය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුටම ප්‍රතිශක්තීකරණය තහවුරු කිරීමට කැප වී සිටින බවත් සියලු දෙනා එක්ව විජයග්‍රාහීව නැගී සිටිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි.

ශ්‍රී ලංකාව එන්නත්කරණය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතර ඊට සම්බන්ධ වන ගෝලීය දේශපාලනය අමතක කළ නොහැකිය. එන්නත්කරණය මෙන්ම එන්නත් ලබාගැනීම ද ආරම්භයේ පටන්ම අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට පහසු කරුණක් නොවීය. ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා අනුව ධනවත් රටවල් විසින් ලොව පුරා ඖෂධ සමාගම් විසින් නිපදවන ලද එන්නත්වලින් 90%ක් පමණ මිලදී ගෙන තිබිණි. සෙසු දියුණු වන රටවල් සියල්ලටම මිලදී ගන්නට ඉතිරි වූයේ එන්නත්වලින් 10%ක් පමණි. එසේ නම් ශ්‍රී ලංකාව එන්නත් ලබාගත්තේ කෙලෙසද? සැබැවින්ම එය ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කරමින් සිටින විවේචනාත්මක විදේශ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිටුපස සිටින බලවේගය මහජන චීනයයි. මෙරට අවශ්‍ය පරිමාණයට එන්නත් ලබාදීම පමණක් නොව ඒ උදෙසා  ප්‍රසිද්ධියක් ද ලබාදීමට ඔවුහු කටයුතු කරමින් සිටිති. කොළඹ චීන තානාපති කාර්යාලයේ සමාජ මාධ්‍ය හැසිරවීම ඊට කදිම උදාහරණයකි. ඔවුහු නිරන්තර ශ්‍රී ලංකාව ලබන සාර්ථකත්වය වාර්තා කරමින් සිටිති.

එන්නත්කරණ වැඩසටහනේ ශ්‍රී ලංකාව පළමුවැන්නා, දෙවැන්නා යනුවෙන් වාර්තා කරන්නට පටන් ගත්තේ චීන තානාපති කාර්යාලයයි. දැන් එය පොදුවේ මාධ්‍ය විසින් සිදු කරමින් සිටියි. මෙම තොරතුරු වාර්තාකරණය සිදු වන්නේ Our World in Data නම් වෙබ් අඩවියේ දත්ත මත පදනම්වය. එම වෙබ් අඩවියේ පසුගිය අඟහරුවාදා (3) යාවත්කාලීන කිරීම අනුව මෙරට ජනගහනයට සාපේක්ෂව 48.14%ක ප්‍රතිශතයක් එක් එන්නත් මාත්‍රාවක්වත් හෝ ලබාගෙන තිබේ. මාත්‍රා දෙක ලබාගත් ප්‍රතිශතය 11.43%කි. කෙසේ වෙතත් මෙරට නිල සංඛ්‍යා දත්ත අනුව සමස්ත ජනගහනය දෙකෝටි දහ නම ලක්ෂයකට අධිකය (2,19,19,000). එන්නත්කරණය සඳහා තෝරාගැනෙන වයස අවුරුදු තිහට වැඩි ජනගහනය එක් කෝටි දාහතර ලක්ෂයකට අධිකය (1,14,96,906). මේ වන විටත් එක් කෝටි දස ලක්ෂයකට පමණ එක් මාත්‍රාවක් හෝ එන්නත්කරණය සිදු කර තිබේ. ඒ අනුව රටක් ලෙස අප එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය ප්‍රශ්න කළ යුතු නොවේ.

මෙරට එන්නත්කරණය වැඩසටහනේ අනාගත අපේක්ෂාවන් පිළිබඳ ද අප සාකච්ඡා කළ යුතුය. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන පරිදි අවුරුදු 30න් පහළ පිරිස්වලට ද එන්නත ලබාදීම පිළිබඳ මේ වන විට සාකච්ඡා සිදුවේ. ඒ අතර සියලුම පාසල් දරුවන්ට කොවිඩ් එන්නත ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ද ඉල්ලීමක් කර තිබේ. කෙසේ වෙතත් ප්‍රථමයෙන්ම වයස අවුරුදු 18ත් 30ත් අතර පිරිස් වෙත එන්නත ලබාදෙන බව ඔහු සඳහන් කරයි. පාසල් දරුවන් වෙත එන්නත්කරණය සිදුවන්නේ ඉන් අනතුරුවයි. ඒ අනුව වයස අවුරුදු 12 - 18 අතර, සියලුම දරුවන්ට දැනට තිබෙන සාධක අනුව වඩාත්ම යෝග්‍ය වන “ෆයිසර්” එන්නත ලබාදීමට අපේක්‍ෂා කරන බැවින් ඒ පිළිබඳව ද සාකච්ඡා කෙරෙමින් පවතින බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියි. මෙය ද ඉතා සාධනීය ප්‍රවේශයක් වන බව සඳහන් කළ යුතුය. මේ වන විටත් යුරෝපයේ රටවල් කිහිපයක්ම මෙම ඉලක්කය ජයගෙන තිබේ. රටක් ලෙස අපට දරුවන් සඳහා එන්නත ලබාදීමට හැකි වුවහොත් අධ්‍යාපනය සම්බන්ධව අර්බුදය විසඳීමට හැකිවනු ඇත.

අවසානයේ සඳහන් කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් වෙයි. කොවිඩ් වසංගතය ජයගැනීමට එකම විසඳුම එන්නත්කරණය බව සැබෑවකි. එහෙත් එන්නත්කරණයේ සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නම් පවතින වසංගත තත්ත්වය පාලනය කළ යුතුය. සාර්ථක එන්නත්කරණය ඉදිරියට තබා වසංගත පාලනය මගහරින ස්වරෑපයක් රට පුරා මේ වන විට දක්නට ලැබේ. ආශ්‍රිතයන් සොයා යාම ආදිය මෙන්ම ආසාදිතයන් අධික ප්‍රදේශවල සංචරණ සීමා යෙදීම ආදිය ද තවදුරටත් නිසි පරිදි සිදු නොවේ. නැවත වසංගතය බරපතළ ලෙස පැතිර යෑම ආරම්භ වීමට ද හේතු වී ඇත්තේ මෙම තත්ත්වයයි. මෙම තත්ත්වය තුළ වසංගතය සාර්ථකව මර්දනය කළ චීනය පවා නව කොවිඩ් ප්‍රභේදය හමුවේ සංචරණ සීමා යොදමින් සිටින බව අප අමතක නොකළ යුතුය. නොදුරේදීම සාර්ථක එන්නත්කරණය අසාර්ථක වීමට ලෝකය ඉදිරියේ අපවාදයට ලක්වීමට මෙය හේතුවක් විය හැකිය. එම නිසාම අපි මෙම ප්‍රශංසනාත්මක එන්නත්කරණය සංවාදයට ප්‍රශ්නාර්ථයක් එකතු කරමින් අවසන් කරමු.

 චමිඳු නිසල් ද සිල්වා 
සේයාරු I ළහිරු හර්ෂණ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03