2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

ඉෂාලිනිගේ මරණයෙන් රෙදි ගැලවුණු ළමා මෙහෙකාර අපරාධය

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 108

ඉෂාලිනී යන්නට යන්න ගියාය. කාටවත්ම නොකී වේදනාවක් හිතේ රඳවාගෙන ශරීරයේ සියලු වේදනා තනියම දරාගෙන ඒ දැරිය කාටත් හොරා දෑස් පියා ගත්තාය. නමුත් ඉෂාලිනී මේ මුළු ලෝකයටම පාඩමක් ඉගැන්වූවාය.

දරිද්‍රතාවය නිසා තම පවුලෙන් ඈත් වුවද ඉෂාලිනී කොළඹට ආවේ අනුන්ට බැලමෙහෙවරකම් කරන්නටය. සංචාරක හෝටලයක කෝකියකු වන ඉෂාලිනීගේ පියාගේ රුකියාව කොරෝනා වසංගතයත් සමඟ අහිමිව යද්දී ඒ නිවහනේ ආර්ථික අපහසු එන්න එන්නම වැඩිවිය. එක් පිරිමි දරුවකුත්, ගැහැනු දරුවන් පස් දෙනකුත් සිටි නිවසේ සිටි බාලම දියණියගේ වයස අවුරුදු එකහමාරකි. ඒ නිසාම ඉෂාලිනීගේ අම්මාට තම බාල දියණිය නිවසේ දමා රුකියාවකට යාමට පුළුවන්කමක් තිබුණේ නැත. ආර්ථික අපහසුතා අතරේ ඉෂාලිනිගේ මව කිහිපදෙනෙකුට ණය වී තිබුණි. ඒ අතරේ රුපියල් තිස්පන්දහසක් ණයට දුන් පුද්ගලයකු පැමිණ ණය මුදල ඉල්ලා සිටියද දෙන්නට මුදල් ඉෂාලිනීගේ මවට තිබුණේ නැත. ඔහු යෝජනාවක් ගෙනාවේය. ඒ කොළඹ ගෙදරක මෙහෙකාරියක ලෙස මවට යාමටය. නමුත් බාල දියණිය නිසාවෙන් ඒ යෝජනාවට කැමැත්ත දෙන්නට ඉෂාලිනීගේ මවට පුළුවන් වූයේ නැත.
අම්මා.... මම ඒ ගෙදරට යන්නම්.

ගෙනා යෝජනාවට ඉෂාලිනී කැමැත්ත දුන්නේ ණය තුරුස්වලින් බේරීමට එකම විසඳුම එය වන්නට යැයි සිතුණ බැවිනි. අවසානයේදී අවුරුදු පහළොවක් ගෙවුණු ඉෂාලිනී ජූඩ් ඩයගම සිට මෙම තැරුව්කරුවා කොළඹට රැගෙන එන්නේ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ බොරුල්ල බෞද්ධාලෝක මාවතේ පිහිටා තිබෙන සුවිසල් නිවසේ මෙහෙකාරකමටය. ඒ අනුව වයස අවුරුදු දාසයට අඩු ඉෂාලිනී බාලවයස්කාර මෙහෙකාර සේවයේ යෙදෙන්නීය.

ඉෂාලිනී අනේක විධි දුකක් විඳ ඇත. තිරිසන් සතෙකුටවත් නිදාගන්නට නොවුණු කුඩා බිත්ති හතරක් තුළ ඇය ඒ කාලය පුරාවට ආලෝක එළියක්වත් නොමැතිව රැය පහන් කළාය. ඒ හැම දවසකම ඇය කොයිතරම් වේදනාවක් හිතින් විඳවන්නට ඇත්ද? බාල වයස්කාර දරුවකුට තබා වැඩිහිටියකුටවත් දරාගන්නට බැරිවුණ ක_ර වධහිංසාවලට ඇය ලක්වූ බව මේ වනවිට පෙනී ගොස් ඇත.

ඉෂාලිනී මේ වනවිට ජීවිතය හැරගොස් අවසන්ය. ඒ රිෂාඩ් නිවහනේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ශරීරයට සිදුවූ පිළිස්සුම් තුවාලත් සමඟය. නමුත් ඇය ඒ වනවිටත් රිෂාඩ්ගේ නිවසේ ලිංගික අපයෝජනයන්ට ලක්වී ඇතැයි කරන ලද පරීක්ෂණ හමුවේ හෙළි විය. ඒ ලිංගික වදහිංසාවලට ඇය ලක්වී ඇත්තේ අද ඊයෙක සිට නම් නොවේ.

මේ රටේ බාලවයස්කාර දරුවන් මෙහෙකර සේවයේ යෙදෙන්නේ රිෂාඩ්ගේ මේ සුවිසල් මන්දිරයේ පමණක් නොවේ. ඉෂාලිනී වැනි අහිංසක අසරණ දරුවන් බොහෝමයක් මේ කොලොම්තොට සුවිසල් නිවෙස්වල, විශාල වතුවල සේවයේ යෙදෙති. ඒ දෑත්වල කරගැට එනතුරු, දරාගන්නට බැරි වේදනාවන් උහුලාගෙන මවගේ උණුහුම, පියාගේ රුකවරණය නොමැතිව ඒ දරුවන් අප්‍රමාණ දුකක් දරාගෙන මෙහෙකාර සේවයේ යෙදෙති.
මේ අතරේ බොහෝ බාලවයස්කාර දරුවෝ ලිංගික වදහිංසාවලට ලක්වෙති. කියා ගන්නට කෙනෙක් නැති, කරන්නට දෙයක් නැති මොහොතක සියලු වේදනාවන් උහුලාගෙන හැඩිදැඩි පිරිමි ශරීරයට යටවෙන මේ මල් කැකුළු කීයක් නම් මේ හැම වේදනාවන්ම ඉවසාගෙන මේ වනවිටත් ජීවිතයෙන් හැරගොස් ඇත්ද? කීයක් නම් මේ හැම වේදනාවක්ම ඉවසාගෙන තවමත් ජීවත් වෙනවාද?

බාලවයස්කාර දරුවන් බොහෝමයක්ම ලිංගික වදහිංසාවලට ලක්වන්නේ තම නිවෙස්වලදී බව සොයාගෙන ඇත. තම ලෙයින් උපන් දරුවන් ඇතැම් පාපතර පියවරු ලිංගික හිංසාවලට ලක්කරති. තවත් දරුවන් ලිංගික හිංසනයට ලක්වන්නේ සුළු පියා, සීයා, ඥාති සහෝදරයකු ඥාතිවරයකු හෝ අසල්වාසී පිරිමින් අතිනි. වයස අවුරුදු දාසයට අඩු, සෙල්ලමට වැඩි කැමැත්තක් දක්වන පුංචි දරු දැරියන් වැඩිපුර කැමැත්තක් දක්වන දෙයකට, ක්‍රීඩාවකට හෝ යොමු කරගනිමින් ඒ දරුවන්ට ලිංගික හිංසනයට ලක්කරන ඇතැම් පිරිමි ඕනෑතරම් මේ සමාජයේ පිරිසිදු චරිත යැයි සමාජයට ඒත්තු ගන්වමින් ජීවත් වෙති.

ඉෂාලිනී ද දිළිඳු පවුලක උපන් එවැනි මලක් වැනි දරුවෙකි. යෞවනයේ අපූර්වත්වය දකින්නට සිටි මලකි. අවිස්සාවේල්ල පුවක්පිටිය දෙමළ මහ විදුහලේ හත්වැනි වසර දක්වා පමණක් ඉගෙනගත් ඉෂාලිනී ආර්ථික අපහසුතා අහස උසට නැග එද්දී පාසල් අධ්‍යාපනයට තිත තබා ගෙදර නැවතුණාය.

රිෂාඩ් හිටපු ඇමැතිවරයෙකි. මේ රටේ මිනිසුන්ගේ වටිනා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරුණ පුද්ගලයෙකි. මිනිසුන්ගේ වටිනා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරුණු ඔහු මිනිසුන්ගේ බදු මුදලින් ජීවත්වන කෙනෙකි. එවැනි කෙනෙකුට මෙසේ අහිංසක දරුවන්ව තලා පෙලා දමන්නට කිසිසේත්ම අයිතියක් නැත. රිෂාඩ්ගේ බිරිඳ, මාමණ්ඩිය පමණක් නොව ඔවුන්ගේ නෑදෑ පරපුරම දරුවන්ට වද හිංසා පමුණුවා ඇතැයි හෙළිවිය. මොවුන්ගේ මේ තාඩන පීඩනවලට ලක්වූ එකම දැරිය ඉෂාලිනී වන්නේ නැත. මේ වනවිටත් නීතිය හමුවට ඔවුන්ගේ සුවිසල් මන්දිරවලින් තාඩන පීඩනයට ලක්වුණු දැරියන් කිහිපදෙනෙක්ම තමන් විඳි වේදනාවන් පිළිබඳව පාපොච්චාරණය කර ඇත. ඒ අතරේ තවත් කීයක් නම් තවමත් මේ වේදනාවන් නොකියා මුනිවත රකිනවා ඇත්ද?

ඉෂාලිනී දැරිය රිෂාඩ්ගේ නිවසේදී ලිංගික හිංසාවලට ලක්වී ඇති බවට යම් යම් සාක්ෂි ඇත. එපමණක්ම නොව එම නිවෙස්වලදී තමන්ට ලිංගික හිංසා සිදුකළ බව ඇතැම් දැරියන් පොලිස් පොතේ සඳහන් කර තිබිණි. එසේ නම් මෙවැනි ලිංගික අතවර සිදුකරද්දී මේ නිවෙස්වල ජීවත්වුණු සෙසු සාමාජිකයන් මේ බව නොදැන සිටියේදැයි සැකසහිතය. දැරියකට කවුරුන් හෝ මානසික, කායික, ලිංගික හිංසනයන් සිදුකරද්දී ඇස් කන් පියා සිටියේ මේ දැරියන්ගේ දුප්පත්කම නිසාමද?
රටේ පවතින නීතියට අනුව වයස අවුරුදු දාසයට අඩු දරුවන් බාලවයස්කාරයන් ලෙස හැඳින්වේ. &ජාතික ළමා ආරක්ෂණ අධිකාරි 1798 පනතේ හතළිස් වන කොටසේ අපයෝජනයන් පිළිබඳව සඳහන් වෙනවා. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ කොටස් දහතුනක් සහ තවත් කොටස් හතරක් සම්බන්ධව මෙහි සඳහන් වෙනවා. ළමයකුට එරෙහිව කිසියම් බාරකරුවෙක් මේවා සිදුකළොත් එය ළමා අපයෝජනයක් වෙනවා.* යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

කොළඹ බොහෝ ගෙවල්වල පමණක් නොව මෙරට ධනවත්, බලවත් යැයි සම්මත බොහෝ ගෙවල්වල බාලවයස්කාර දරුවන් ඉතා අඩු මුදලකට සේවයට යොදවා තබාගත් බව ඔවුන් රහසක් කොට හිතුවද සමාජයට එය රහසක් වූයේ නැත. රිෂාඩ් මෙන්ම තවත් දේශපාලනඥයන්ද ඇතැම් ඉහළ පෙළේ නිලධාරීන්ද තම බලය පෙන්වා ඉතා දුෂ්කර ඈත ගම්වලින්, වතුවලින් බාලවයස්කාර දරුවන් නිවෙස්වලට ගෙන්වා මෙහෙකාරකමේ යොදවා තිබේ. අධ්‍යාපනය, නිසි පෝෂණය ලබාදෙන බවට පොරොන්දු වී තිබුණද බොහෝ දෙනෙකුට නිසි අධ්‍යාපනයක් තබා නිදාගැනීමට හෝ නිශ්චිත කාලයක්, වේලාවක් නැත. නමුත් ඉෂාලිනීගේ මරණයත් සමඟ මෙහෙකාරකමේ යෙදුණු ඒ සියලු බාලවයස්කාර දරුවන් නිවෙස්වලට ගොස් ඇත.
කෙසේ වුවද ඉෂාලිනීගේ නිසල සිරුර මේ මහපොළොවේ මිහිදන් කෙරුණේ තවත් අම්මා කෙනෙකුගේ වේදනාවන් ඉතිරි කරමිනි. ඒ ඇස්වලට කඳුළු නැත. ඒ හිතේ වේදනාව වචනවලට පෙරළන්නට තවමත් ඇයට නොහැකිය. ඉෂාලිනීගේ හැරගිය ජීවිතෙන් මේ රටේ පුංචි මල් කැකුළු පරෙස්සම් වෙයි නම්.... වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබෙයි නම්... ආර්ථික වේදනා විඳ රහසේම මෙලොව හැරගිය... දෙවතාවක් මේ පොළොවේ මිහිදන් වෙන ඉෂාලිනීට සැනසීමක් ලැබේවි.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03