2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

කොවිඩ් එන්නත් 3 වැනි මාත්‍රාවක් ඇයි?

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 47

කොවිඩ් මර්දනයට 3 වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත. මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය රට තුළ මූලික ප්‍රභේදය ලෙස පැතිර යනවාය යන සැකයත්, මෑත කාලීනව රෝගීන් සහ මරණ සංඛ්‍යාව අධික ලෙස ඉහළ යාමත් ගැන සලකා මේ ගැන අවධානය යොමුව ඇත. මේ වන විට ලෝකයේ බොහෝ රටවල්ද 3 වැනි මාත්‍රාව සඳහා අතගසා හමාරය.   

කොවිඩ් මර්දනය සඳහා අමෙරිකාවේ නිපද වූ ෆයිසර් එන්නතට තුන්වැනි මාත්‍රාවක් එක් කිරීමට ෆයිසර් සමාගම විසින් තීරණය කර තිබුණේ ෆයිසර් එන්නත් ලබාගත් ඊශ්‍රායලයේ බහුතරයකට කොවිඩ් වෛරසය නැවත  ආසාදනය වීම පිළිබඳ අවධානය යොමු කරමිනි. ඒ අනුව ඊශ්‍රායලය මේ වන විටද ෆයිසර් එන්නත තෙවැනි මාත්‍රාවක් 60ට වැඩි පුද්ගලයන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙන් බේරාගැනීම සඳහා ලබා දෙයි. මේ අනුව තෙවැනි මාත්‍රාව ලබා දුන් මුල්ම රට බවට ඊශ්‍රායලය වාර්තාගත වේ.
බ්‍රිතාන්‍යය ලබන මස සිට ජනගහණයෙන් මිලියන 32කට තෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට නියමිතය. තුර්කිය සහ හංගේරියාවද තම ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාදීම ආරම්භ කර ඇත.
ඉදිරි සැප්තැම්බර් මාසයේදී ජර්මනියේ කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සඳහා තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලෙස වැඩි අවදානම් සහිත හා වයස්ගත පුද්ගලයන්ට බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබේ. 

මේ අන්දමට ලංකාව තුළද කොවිඩ් මර්දන එන්නත් තෙවැනි මාත්‍රාව ලබාදීම පිළිබඳව මතූව ඇති කතාබහට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරාද කීවේ ලැබෙන දත්ත අනුව ඉදිරියේදී ඒ කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඇති වුණොත් ඒ සඳහා සූදානම් වන බවය.

“මෙවැනි වෛරස් බොහොමයකට වාර්ෂිකව එන්නත් කිරීම මේ දක්වා කරගෙන ගිය සාමාන්‍ය ක්‍රමවේදයයි. ඒ නිසා විද්‍යානුකූලව සලකලා බැලුවොත් මේ අලුත් වෛරසයටත් එවැනි එන්නත් කිරීමක් අවශ්‍ය වෙන්න ඉඩ තියෙනවා. ලැබිලා තිබෙන තොරතුරු අනුව බොහෝ රටවල් තුන්වැනි මාත්‍රාවක් ලබාදීම හෝ වාර්ෂිකව අමතර මාත්‍රාවක් ලබාදීම ගැන දැනටමත් සලකලා බලනවා. ලංකාවෙත් ඒ තත්ත්වය ඒ ආකාරයෙන්ම තමයි. ඕනෑ වුණොත් අපි ඒ සඳහා සූදානම් වනවා." යැයි ඔහු කියයි.

මේ වන විට වේගවත් එන්නත්කරණය අතින් ලංකාව සිටින්නේ ප්‍රමුඛස්ථානයකය. ඒ අතර බූස්ටර් එන්නතක් හෝ තුන්වැනි මාත්‍රාවක් හෝ පිළිබඳ ඉඟියක් ලෝකය පුරා කතාබහට ලක්වෙමින් පවතී. මේ අනුව කොවිඩ් පාලනයට තුන්වැනි මාත්‍රාව ලබා දීමට සූදානම් වන්නැයි ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් ලැබී ඇත. අදාළ බලධාරීන් ඒ සඳහා දැන් කරැණු සොයා බලා සූදානම් වන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ලද කියා ඇත.

මේ වන විටත් කොවිඩ් පළමු මාත්‍රාව සහ දෙවැනි මාත්‍රාව, මිනිස් සිරුරට කෙතරම් කාලයකට අවශ්‍ය ප්‍රතිශක්තීකරණයක් ඇතිකරනවාද යන්න ගැන කිසිදු පර් යේෂණයකින් සනාථ වී නොමැත. එබැවින් මෙලෙස තුන්වැනි මාත්‍රාවකට යෑමේ අවශ්‍යතාව පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයද කරැණු පහදා දී ඇත.

තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය වන්නට හේතුව ලෙස වෛද්‍ය විශේෂඥයන් දක්වන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තත් කොවිඩ් රෝගය වළක්වාලීමට අවශ්‍ය තරමට ශරීරයේ ප්‍රතිශක්තිය නියම ප්‍රමාණයට ගොඩනොනැගීම නිසාය. නැතිනම් ගොඩනැගුණු   එම ප්‍රතිදේහ ක්‍රියා නොකරන වෙනත් නව කොවිඩ් ප්‍රභේදයක් ශරීරගත වීම නිසාය. කලින් කොවිඩ් රෝගය ආසාදිත වුණු අයකුට වුවද මේ හේතුව නිසාම නැවත කොවිඩ් ආසාදනය විය හැකිය. එසේම තමන්ගේ වයස, වෙනත් රෝගී තත්ත්වයන්, දුබලතාවන්  අනුව ශරීරයේ සෑදෙන ප්‍රතිශක්තී ප්‍රමාණය ද වෙනස් විය හැකිය. විවිධ එන්නත්වල ඵලදායීතාව (efficiency) හා efficacy (සාර්ථක භාවය) වෙනස් වීමද මෙයට යම් ආකාරයක බලපෑමක් සිදු කරනු ඇත. මේ නිසා තුන්වැනි මාත්‍රාවක් වැඩි ආරක්ෂාව සඳහා නිර්දේශ කිරිමට සිදුවන බව විශේෂඥ මතයයි. ‍

කෙනකුට තමන් තුළ අවශ්‍ය පමණ කොවිඩ් ප්‍රතිදේහ තිබෙනවාද කියා මැන බලන රුධිර පරීක්ෂණයක් පෞද්ගලික රෝහලක හෝ තෝරාගත් අයට රජයේ රෝහල්වලදීත් සිදුකර ගත හැකි බව විශේෂඥ වෛද්‍ය නිහාල් රාජපක්ෂ පෙන්වා දෙයි. "Covid IgG Antibody test” යනු එම පරීක්ෂණයයි. (මෙය Covid antigen test නොවේ.)

මෙය ඕනෑම කෙනකුට සිදු කර ගත හැකි අතර විශේෂයෙන් කලින් කොවිඩ් රෝගය සෑදුණු අය, පූර්ණ එන්නත්කරණය ලබා ගත් අය, පළමු මාත්‍රාව ලබා දෙවැනි එක පමා වෙවී කලබල වී සිටින අය, හෝ සාමාන්‍ය ජනතාව අතරින් ශරීරයට නිකම්ම කොවිඩ් ඇවිත් හොඳ වුණාද කියා බලාගැනීමට කැමැති අය, හෝ කැමැති ඕනෑම කෙනකුට.    විශාල මුදලක් වැය නොකර මෙය සිදුකර ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.
මෙබඳු පරීක්ෂාවකින් පසු අවශ්‍ය කෙනකුට තුන්වැනි මාත්‍රාවක් ලබාගැනීමට නිර්දේශ කළ හැකිය.

මේ වන විට විවිධ කොවිඩ් ප්‍රභේද බහුලව ප්‍රතිඵල වීමත් ඒවා ශීඝ්‍ර පැතිරීමක් දැක්වීමත් නිසා අවශ්‍ය තරම් ප්‍රතිදේහ සිරැරේ තැනීමට පෙර වෙනත් මාදිලියක් මගින් රෝගය උත්සන්න විය හැකිය. මේ නිසා තුන්වැනි මාත්‍රාවක් කරා යාම වඩාත් සෞඛ්‍ය සම්පන්න පියවරක් වනු ඇත. එසේ වුවද මේ කෙබඳු මාත්‍රා ගණනක් ලබාගත්තේ වුවද සෞඛ්‍ය නීති නිසි ලෙස පිළිපැදීම එකම ගැලවුම බව විද්වත්හු පෙන්වා දෙති.

  සුගත් පී කුලතුංග ආරච්චි