2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

ඩොලර් නැතුව වරායේ හිරවෙන රටින් ගෙන්වූ බඩු

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 60

මෙලෙස භාණ්ඩ බහාලුම් හිස්කර නොගෙන තබාගෙන සිටීමට සිදුව ඇත්තේ ඒවාට ගෙවීමට අවශ්‍ය ඩොලර් හිඟයක් මේ වන විට නිර්මාණය වී ඇති නිසාය. මෙයට හේතුව ණයවර ලිපි විවෘත කළ බැංකුවලට ඒ සඳහා ගනුදෙනුකරුට ගෙවීමට ඩොලර් මුදල් නොමැති වීමය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෙවැනි ණයවර ලිපි සඳහා ගෙවීමට අවශ්‍ය ඩොලර් වාණිජ බැංකුවලට ලබාදෙන නමුත් දැනට රටේ උද්ගතව ඇති ඩොලර් හිඟය නිසා අවශ්‍ය තරම් නිකුත් කළ නොහැකිව ඇත. වාණිජ බැංකු ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ ඩොලර් නිකුත් කරන්නේ ගිණුමේ ඇති ශේෂයෙන් සියයට 10ක ප්‍රමාණයකට පමණක් බවය.

ණයවර ලිපියක් යනු විදේශීය හා දේශීය බැංකු දෙකක් අතරේ ණයට ගනුදෙනු කිරීමේ ගිවිසුමක් වැන්නකි. මෙරට බැංකුවක් ණයවර ලිපියක් නිකුත් කළ පසු විදේශ බැංකුව ඒ සඳහා විශ්වාසය ගොඩනගාගෙන අදාළ භාණ්ඩ තොග මෙරටට එවයි. එහිදී මෙරට ආනයනකරුවා ණයවර ලිපියේ මුදල් වාණිජ බැංකුවෙන් ලබාගෙන එම ණය මුදල පියවයි. එහෙත් ණයවර ලිපිය අනුව මුදල් නොලැබුණුහොත් භාණ්ඩ එවූ නිෂ්පාදකයා හෝ වෙළෙන්දා අමාරුවේ වැටේ. ඔහුට සිදුවන්නේ එම මුදල ලැබෙන තුරු භාණ්ඩ නිෂ්කාශනය නොකර බඩු රඳවා තබා ගැනීමකි. අද වන විට බහාලුම් විශාල සංඛ්‍යාවක් රඳවා තබාගැනීමට සිදුව ඇත්තේ මෙම කාරණය නිසාය.

සීනි අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් අබේසේකර පැවසුවේ තමන්ට මැයි මස 21 දිනට පෙර නිකුත් කළ සීනි අපනයන බලපත්‍ර වලංගු කාලය ජූනි 22 දින රජය මගින් නැවැත්වූ බවයි. එහෙත් එම බලපත්‍රවල වලංගු කාලය දින 90ක් ලෙස මුද්‍රා තබා ඇත. එසේ තිබියදී නියමිත කාලයට පෙර එය අවලංගු කිරීම නීති විරෝධී බව ඔහු කියයි. එලෙස ගෙනා සීනි කන්ටේනර්ද ගොඩ බා ගැනීමට නොහැකි වී තිබීමෙන් අමාරුවේ වැටී ඇති බව ඔහු කියයි. රටේ පවතින ඩොලර් හිඟය නිසා ඉදිරියේදී භාණ්ඩ ආනයනයෙන් ඉවත් වීමට පෞද්ගලික ආනයනකරුවන්ට සිදුව ඇතැයි ඔහු කියයි. සීනි ආනයන බද්ද ශත 25ට බැස්සවීමෙන් ප්‍රයෝජන ගත්තේ සීනි ආනයන වෙළෙඳුන් නොව වෙනත් සුවිශේෂ පුද්ගලයන් බවත් ඔහු කියයි.

දැනට වරායේ නවතා ඇති බහාලුම්වල කල් ඉකුත් විය හැකි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇති බව වරාය සේවක ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට මේවා ගොඩබෑමට ප්‍රමාද වීම නිසා ප්‍රමාද ගාස්තු ගෙවීමටද සිදුවන අතර එහිදී ප්‍රමාද ගාස්තුද භාණ්ඩවල මිලට එකතු වීමෙන් ඒවායේ දේශීය මිල ඉහළ යා හැකි අතර ඒ නිසා මෙරට පාරිභෝගිකයන්ට භාණ්ඩවලට අද පවතින මිලට වඩා වැඩි මුදලක් ගෙවන්නට සිදුවන බවද අනාවරණය වෙයි.

ඇතැම් වාණිජ බැංකු ණයවර ලිපිවලට අවශ්‍ය ඩොලර් පිටතින් සොයාගෙන එන ලෙසට ආනයනකරුවන්ට පවසන බවද දැනගන්නට තිබේ. එවැනි කළුකඩ මිලට ගන්නා ඩොලරයකට ඇතැම් විට රුපියල් 250ක් පමණ ගෙවන්නට සිදුවන බව ඔවුහු කියති. විශේෂයෙන් ඇඟලුම් ආදී නිෂ්පාදන සඳහා මෙන්ම විවිධ කර්මාන්ත සඳහාද අමුද්‍රව්‍ය ආනයනය කිරීමට සිදුවේ. මේ හේතුවෙන් එම ආනයනකරුවෝ මේ වන විට දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

මෙම තත්ත්වය අනාගතයේ රටේ සෑම දේශීය කර්මාන්තයකටම බලපාන බව දැනගන්නට තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදන්ත සිල්වා පවසන්නේ මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක ප්‍රතිඵලයක් ලෙස බවය.

2020-21 වසරවල කොවිඩ්-19 වසංගත තත්ත්වය අපේ රටේ ආර්ථිකයට විශාල ලෙස අහිතකර බලපෑමක් ඇති කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ විනිමය අනුපාත ගැටලු උද්ගත වුණා. රජය තීරණය කළා ඇතැම් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට සහ ඇතැම් ඒවා සීමා කිරීමට. එහිදී ඇතැම් භාණ්ඩ ආනයනය කිරීම දුර්වල කිරීම උදෙසා ඒවාට ණයවර ලිපි හෙවත් එල්.සී. විවෘත කිරීම තහනම් කළා. ශ්‍රී ලංකා මහ බැංකුව ඒ පිළිබඳ වාණිජ බැංකුවලට උපදෙස් දීලා තිබෙනවා. ඒ නිසා එවැනි භාණ්ඩ යම් කෙනෙක් ආනයනය කර තිබෙනවා නම් එම භාණ්ඩවලට ගෙවීම් කළ නොහැකියි.

කෙසේ නමුත් යම් භාණ්ඩයකට ණයවර ලිපියක් වාණිජ බැංකුවක් මගින් නිකුත් කළා නම් එම මුදල් ගෙවීමට බැඳී සිටිනවා. එය පිටරට බැංකුවත් සහ අපේ බැංකුවත් අතර තිබෙන ගිවිසුමක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා එම ගිවිසුම කඩ කළ නොහැකියි. එම මුදල් ගෙවිය යුතු වෙනවා. ණයවර ලිපියේ මුළු මුදලම ගෙව්වාට පසුයි ඒ භාණ්ඩ නිදහස් කරන්නේ. කෙසේ වුවත් ණයවර ලිපි නිකුත් කරලා භාණ්ඩ ආනයනය කළා නම් එම මුදල් ගෙවීමට වාණිජ බැංකු බැඳී සිටිනවා. නිකුත් කළ ණයවර ලිපියකට ගෙවීම් නොකර සිටීමට කිසිදු හැකියාවක් නැහැ. එහෙම කළොත් බැංකු අතර විශ්වාසය පළුදු වෙනවා. එය ඉදිරි ගනුදෙනුවලට අහිතකර ලෙස බලපාවි.

අනිත් අතට වරායට භාණ්ඩ ගෙනත් නියමිත දිනයට පෙර ඒවා ඉවත් කළ නොහැකි වුවහොත් ඒ සඳහා ප්‍රමාද ගාස්තු සහ අධිභාර ගෙවිය යුතු වෙනවා. එහිදී ඇණවුම් කළ අය අපහසුතාවට පත් වෙනවා. ණයවර ලිපි හෝ වෙනත් යම් හේතුවක් නිසා භාණ්ඩ මුදාගැනීමට ප්‍රමාද වුවහොත්, ඇතැම් විට දීර්ඝ කාලයක් තබාගතහොත් විශාල මුදලක් ගෙවිය යුතු වෙනවා. එය ඇතැම් විට කන්ටේනරය ඇතුළු තිබෙන භාණ්ඩවල වටිනාකමටද වැඩි විය හැකියි. එවැනි භාණ්ඩ වැඩි මුදලක් ගෙවා ගතහොත් එම අතිරේක මුදල ලබාගැනීම සඳහා එය මෙරට අලෙවි කළ හැකි වන්නේ වැඩි මුදලකටයි. එයින් පාරිභෝගිකයා තමා අමාරුවේ වැටෙන්නේ.

තවත් අතකට මෙම භාණ්ඩ කල් ඉකුත්වීම නිසා නරක් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඒවා ඉවත් කර ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. පහුගිය දිනවල වරායේ වැඩවර්ජන තිබෙන විට මේ තත්ත්වය උද්ගත වුණා. මෙවරත් එවැනි දෙයක් සිදුවන්නට පුළුවන්. රජය නොමග යවා ආනයනය තහනම් කළ භාණ්ඩ වෙනත් දේවල් බව පෙන්නලා හොර රහසේ රුගෙන ආවොත් ගොඩබාන්නට බැරි වෙනවා. මෙවරද එවැනි දෙයක් වෙන්න පුළුවන්. ඒත් කන්ටේනර් විවෘත කර පරීක්ෂා කර බලන තුරු අපට කිසිවක් පවසන්න බැහැ.

කෙසේ නමුත් වරායට ගෙන්වූ භාණ්ඩ සඳහා රේගුව සම්බන්ධ වන්නේ එය නිදහස් කර ගන්නා අවස්ථාවේදී අන්තිම මොහොතේ අදාළ බදු අයකර ගන්නයි. එසේ නොමැතිව අපි මේ කාර්යයට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම නැතිව වරායේ සිරවී තිබෙන භාණ්ඩ පිළිබඳ අප වගකියන්නේ නැහැ. කෙසේ නමුත් මෙම භාණ්ඩ නිදහස් කර ගැනීමට නම් එල්.සී. වලට ගෙවිය යුතු මුදල් ඩොලර්වලින් ගෙවිය යුතු වෙනවා. එහෙත් භාණ්ඩ නැව්ගත කළාට පසු ඇතිවූ ගැටලුවක් මත ඩොලර් නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා නම් එම භාණ්ඩවලට ගෙවීම් කිරීමට වාණිජ බැංකුවලට ඩොලර් නැති තත්ත්වයක් ඇතිවෙනවා. අද එහෙම තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ ඩොලර් පිරිමැසීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත විය හැකියි. එහෙත් එවැනි අවස්ථාවලදී ප්‍රමාද ගාස්තු ගෙවීමෙන් සැපයුම්කරු නිදහස් කළ යුතුය. එයට හේතුව ප්‍රමාද වීමට හේතුව සැපයුම්කරුගේ වරදක් නිසා නොවන බැවින්. දැනට වරායේ හිරවී ඇති භාණ්ඩ සඳහා එවැනි ක්‍රමයක් අනුගමනය කළ යුතු වෙනවා.*
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසන්නේ රටේ ඩොලර් නැතිවීම නිසා තම ආනයනකරුවන් අමාරුවේ වැටී ඇති බවයි. එය තමන්ගේ ඉදිරි ව්‍යාපාර කටයුතුවලට අහිතකරව බලපාන බව ඔහු සඳහන් කරයි.

රටේ ඩොලර් හිඟයක් තිබෙන බව සත්‍යයක්. වෙනදා විදේශ මුදල් ලැබෙන මාර්ග ඇහිරිලා තියෙන්නේ. විදේශ ණය ගෙවීමට සිදුවීම නිසාද රටේ තිබෙන විදේශ සංචිත පිටරටට ඇදී යනවා. මේ තත්ත්වය මත ආනයනකරුවන් අමාරුවේ වැටිලා තියෙන්නේ. වාණිජ බැංකුවලට මහ බැංකුවෙන් උපදෙස් දි තිබෙනවා ඩොලර් නිකුත් කිරීම සීමා කරන්නය කියලා. ආනයනකරුවන්ගේ තියෙන්නේ ඩොලර් ගිණුම්. එලෙස ඩොලර් ගිණුම් පවත්වාගෙන යන්නේ අප ගෙන්වන භාණ්ඩවලට ඩොලර්වලින් ගෙවීම් කළ යුතු නිසයි. උදාහරණයක් වශයෙන් කිවහොත් මගේ ඩොලර් ගිණුමේ ඩොලර් ලක්ෂ 100ක් තිබෙනවා නම් අපට නිකුත් කරන්නේ ඩොලර් ලක්ෂ 10ක් විය හැකියි. එයට හේතුව වාණිජ බැංකුවල ඩොලර් වත්කම නැතිවීමයි.

දැන් වරායට ගෙනත් තිබෙන භාණ්ඩ කන්ටේනර් ගෙන්වා ඇත්තේ එල්.සී. මතයි. ඒවා නිදහස් කර ගැනීමට ඉතිරි මුදල් ගෙවිය යුතුයි. අපේ ගිණුම් මුදල් තිබුණත් අපට බැංකුවලින් මුදල් නොලැබෙන නිසා ඒවාට ගෙවීම් කළ නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ නිසා විශාල අමාරුවක වැටිලයි ඉන්නේ. කන්ටේනර් නිදහස් නොකළ විට ඒවාට ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙනවා. එහෙත් එය සිදුවන්නේ අපේ වරදක් නිසා නොවෙයි. බැංකුවල වරද නිසයි. ඒ නිසා වෙළෙඳුන් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රමාද ගාස්තු සහ අධිභාරවලින් තමන් නිදහස් කරන්න කියලයි. එහෙම නැති වුණොත් ඉදිරියට අපේ ආනයන කටයුතු කර ගන්න බැරි වෙනවා. පිටරටවල බැංකුද අප ගැන සැක කරනවා. ඒ විශ්වාසය පළුදු වීම අපට පමණක් නොව රජයටද අහිතකර බව කිව යුතුයි.

පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ

දැනට කොවිඩ් වසංගතය නිසා රට මුහුණපා ඇති තත්ත්වය අනුව ජනතාව විශාල පීඩනයකට ලකව තිබෙනවා. ඔවුන්ගෙ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් උද්ගතව ඇති අතර ඇතැම් ද්‍රව්‍යවල මිලද සැලකිව යුතු මට්ටමින් වැඩි වී තිබෙනවා. වෙළෙඳ ඇමැතිතුමා ලක් සතොස ශාඛා සඳහා භාණ්ඩ බෙදාහැරීමට උත්සාහ කළද සතොස ජාලය මුළු රටටම අවශ්‍ය භාණ්ඩ ලබාදීමට තරම් සෑහෙන්නේ නැහැ. ඇමැතිවරයා පවසන ඇතැම් ආහාර ද්‍රව්‍ය ලක් සතොසවල නැහැ. ඇතැම් ශාඛාවල මෙම භාණ්ඩ බෙදාහරින්නේ සීමාවකට යටත්වයි. ඉල්ලූ තරම් මිලට ගත නොහැකියි. අවශ්‍ය තරම් භාණ්ඩ නොලැබීම නිසා තමන්ට එක් අයකුට අලෙවි කරන භාණ්ඩ ප්‍රමාණය සීමා කරන්නට සිදුව ඇති බව සතොස කළමනාකරුවන් පවසනවා.

මෙවැනි තත්ත්වයක් මත රටට ආනයනය කළ භාණ්ඩ වරායෙන් පිටතට ගැනීමට නොහැකිව පැවතීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. රටේ ඩොලර් හිඟයක් ඇති බව සත්‍යයක්. එසේ වුවත් ආනයනය කළ දේවල් රට තුළට නිදහස් කළ යුතුයි. ඩොලර් වැය කළ නොහැකි නම් ඒවා රටට ගෙනෙන්නට කටයුතු කළේ ඇයිද යන්න ප්‍රශ්නයක්. ඒවාට එල්.සී. දුන්නේ ඇයිද යන්න ගැටලුවක්. අද රටේ පවතින තත්ත්වය ගැන සලකා මේවා වරායෙන් මුදාහැරීම අප්‍රමාදව කළ යුතුයි. එසේ ප්‍රමාද වුවහොත් ඒවාට අතිරේක ප්‍රමාද ගාස්තු ගෙවන්නට සිදුවීමෙන් භාණ්ඩ ගොඩබාන අවස්ථාවේ පිරිවැය වැඩි වන්නට බලපානවා. එවිට රට තුළ භාණ්ඩ මිල ඉහළ යන අතර එයද පාරිභෝගිකයාගේ කර මතින් යා හැකියි. ඒ තත්ත්වය සලකා බලා දැනට ගෙන්වා ඇති දේවල් අවහිරතාවයකින් තොරව ගොඩබෑමට අවස්ථාව ලබාදීම බලධාරීන්ගේ යුතුකමක් හා වගකීමක්. කොතැනකින් හෝ වැරදීමක් සිදුව තිබේ නම් එය නිවැරදි කළ යුතු වෙනවා.

දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

දැනට රටේ පවතින ඩොලර් අර්බුදය නිසා රට හැම පැත්තෙන්ම බිඳවැටීමට පටන්ගෙන තිබෙනවා. වරායේ බහාලුම් හිරවෙලා තිබීමද එහි එක පැතිකඩක් පමණයි. ඩොලර් සොයා නොගෙන මෙම ගැටලුවෙන් ගැලවීමට බැහැ. ලාෆ් ගෑස් සමාගම ගෑස් අලෙවියෙන් දැනට සම්පූර්ණයෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා. වසර හතරක් තිස්සේ පාඩු ලබමින් තමා ඔවුන් ලාෆ් ගෑස් සමාගම ණයවර ලිපි හයක් රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලට ඉදිරිපත් කළත් ඒ එකකින්වත් ඔවුන්ට ඩොලර් ලැබුණේ නැහැ. ඒ නිසයි ව්‍යාපාරය බිඳ වැටුණේ. ගෙවීමට ඩොලර් නැතුව ගෑස් ආනයනය කරන්නේ කෙසේද? මෙය ඛනිජ තෙල්වලටද අහිතකර ලෙස බලපා ඇත. අන්තිමට ඛනිජ තෙල් ගෙනා නැවට දින දෙකක් වරායේ නවතා තිබීමට සිදු වුණා. ඩොලර් වෙනුවට වෙනත් ඉන්ධන වර්ගයක් හුවමාරු කරලයි තෙල් බාරගන්න හැකි වුණේ.

මේ වන විට කිරිපිටි ආනයනය 70%ක් අඩු කිරීම නිසා කිරිපිටි හිඟයක් ඇතිව තිබෙනවා. පොහොර, ටයර්, වාහන, පිළිකා, දියවැඩියා, හදවත් රෝග ආදියට අත්‍යවශ්‍ය බෙහෙත් පමණක් නොව මාමයිට් කුප්පියක් පවා ආනයනය කරන්න බැරිවෙලා තියෙනවා. රසායනික පොහොර ආනයනය නැවැත්වුවේද මෙම ඩොලර් ගැටලුව නිසයි. 1970 ගණන්වලින් පසු දරුණුම ඩොලර් හිඟයක් ඇතිවුණේ අද තමා. ඩොලර් අවශ්‍යතාවයෙන් 20%ක් වැනි කුඩා ප්‍රමාණයක් තමා සැපයිය හැකි වන්නේ. මේ නිසා වාණිජ බැංකුවලට ණයවර ලිපි නිකුත් කරන්න බැරිවෙලා. ණයවර ලිපි මගින් ගෙනා භාණ්ඩවලටද මුදල් ගෙවීම ගැටලුවක් වෙලා. අද වරායේ භාණ්ඩ කන්ටේනර් හිරවෙලා තියෙන්නේ මේ නිසයි. ඉදිරියේදී මේවා නිදහස් කර ගැනීම ගැටලුවක්. දැන් රට පවතින තත්ත්වය අනුව ඩොලර් ගැටලුවට පිළියමක් පෙනෙන තෙක් මානයේවත් නැහැ. ඒ නිසා ඉදිරියේදී රට තුළ විශාල ආර්ථික අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්.

මේ පිළිබඳ විමසීමේදී වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ මෙලෙස ආහාර ද්‍රව්‍ය බහාලුම් වරායේ රඳවාගෙන ඇති බව තමා නොදන්නා බවය. ඒ බහාලුම්වල ආහාර ද්‍රව්‍ය අඩංගුව තිබේද යන්න තමා නොදන්නා අතර එලෙස තිබේ නම් ආනයනකරුවන් තමාට දැනුම් දිය යුතු යැයි ඔහු කියයි. එහෙත් මේ දක්වා ඒ පිළිබඳ තමාට පැමිණිලි ලැබී නැතැයි ඔහු කියා සිටී. ඔහු පවසන්නේ බොහෝ විට ආනයන භාණ්ඩ ගෙන්වන්නේ බැංකු මගින් නිකුත් කරන ණයවර ලිපි මගින් වන අතර එසේ එල්.සී. නිකුත් කර ඇති නම් ඒවා වරායට පැමිණි පසු එම මුදල් ගෙවා ඉවත් කර ගැනීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙළ බවයි. ණයවර ලිපි යනු බැංකු දෙපාර්ශ්වය අතර පැමිණෙන එකඟතාවක් වන නිසා ඒවා කඩ කිරීමක් සිදුවීමට ඉඩ නැතැයි ඔහු කියයි.
කෙසේ වුවද මේ වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කර අඩු මිලට බෙදාහැරීමේ වගකීම ක්‍රමයෙන් සතොස මගින් සිදු කිරීමට පියවර ගෙන ඇති නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව බෙදාහැරීමට කැපවීමකින් කටයුතු කරන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

 යසවර්ධන රුද්රිගූ