2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

ඉදිරි සියවසේ හයි ටෙක් වැසිකිළි

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 153

වැසිකිළි හෝ කැසිකිලි ගැන කතා කිරීම එපමණ සිත්ගන්නා මාතෘකාවක් නොවේ. අලුත් අදහස් ඉදිරිපත් කෙරෙන නමුත්, ඒවා ගැන ප‍්‍රසිද්ධියේ අදහස් දැක්වීමට පවා මැළිකමක් සමාජය තුළ තිබේ. ඉදිකරන නිවෙස තුළ ඉස්තරම් වැසිකිළි පද්ධතියක් තනාගෙන, මනා සෞඛ්‍යාරක්ෂිත පහසුකම් සකස් කරගැනීම සෑම පුරවැසියකුගේම අදහසය. කෙසේ නමුත් ලෝක ජනගහනයෙන් හරි අඩකට නිසි සෞඛ්‍යාරක්ෂිත වැසිකිළි පහසුකම් නැත. එය පුදුමයට කාරණයකි. සංවර්ධනය, මානව අයිතිවාසිකම් හෝ අභ්‍යවකාශ යුගය ගැන කතා කරන සමාජයක දෙදෙනකුගෙන් එක් අයකුගේ වැසිකිළි භාවිතය ගැටලු සහගත තැනක තිබීම බලවත් අවධානයකට ලක් විය යුතුය.

ප‍්‍රකට ධන කුවේරයකු වන බිල් ගේට්ස් සම සභාපතිත්වය උසුලන බිල් හා මෙලෙන්ඩා පදනම 2011 වසරේ දී ලෝක ව්‍යාප්ත අභියෝගයක් ඉදිරිපත් කළේය. අනාගතය ගැන සලකා වැසිකිළි ගැන නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරන සේ නවෝත්පාදකයන්ට දැක්වීය. වැසිකිළි පහසුකම් රහිත මිලියන සංඛ්‍යාත පිරිසකට ඒවා සකස් කර ගැනීමට ආධාර කිරීම වෙනුවට ගැටලුව දෙස වෙනත් කෝණයකින් අවධානය යොමු කරන ලද අවස්ථාවකි. යෝජනා අතරින් කැලිෆෝනියා තාක්ෂණික ආයතනය ඉදිරිපත් කරන ලද අදහස ඉතාමත් ආකර්ශණීය එකක් විය. අමෙරිකානු ඩොලර් ලක්ෂයක තෑග්ගක් පිරිනැමිණි. එහිදී වැසිකිළියක එකතුවන මළ අපද්‍රව්‍ය, සූර්ය තාපය භාවිතයෙන් හයිඩ‍්‍රජන් හා විදුලිය උත්පාදනය කෙරේ. දෙවැනි තැන ගත් යෝජනාව ඉදිරිපත් කළේ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයකි. ජෛව ගල් අඟුරු, ඛනිජ ද්‍රව්‍ය සහ පිරිසුදු වතුර එම වැසිකිළිය භාවිත කරන්නන් පරිසරයට ලබා දෙනු ඇත. තවත් අදහස් සෑහෙන ප‍්‍රමාණයක් යෝජනා වී තිබුණි. සියලුම දෙනාට මිනිස් අපද්‍රව්‍ය කළමනාකරණය හා දැනට පවතින ක‍්‍රම වෙනස් කිරීම සම්බන්ධව බලවත් උවමනාවක් සහිත බව මෙහි දී සනාථ වූ එක කරුණකි. 

අලුත් අදහස් ලෝකයේ පැවැත්ම වෙනස් කරනු ඇතැයි බිල් ගේට්ස් සඳහන් කරන වැදගත් ආදර්ශ පාඨයකි. කරුණකි. වැසිකිළිවල නරක තත්ත්වය නිසා පැතිරෙන විෂබීජ ජල ප‍්‍රවාහයන්ට එකතුවන අතර එයින් ආසාදනය වන වයස අවුරුදු පහට අඩු දරුවන් මිලියන 1.5 ක් වසරකට ජීවිතක්ෂයට පත්වන බව ගණන් බලා තිබේ. එම ජීවිත ආරක්ෂා කර ගතහොත් ලෝකය වඩා වැදගත් තැනකට පත්වනු ඇත. වැසිකිළි පහසුකම් වෙනුවෙන් ආයෝජනය කරන එක අමෙරිකානු ඩොලරයකින් අමෙරිකානු ඩොලර් නමයක ඵලදායීතාවයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉලක්ක කරයි. නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම ලෝක ආර්ථිකයට කොපමණ හිසරදයක් ද යන්න අවබෝධ කරගත හැකිය. 

ජනගහන වාර්තා අනුව වසර 2050 වන විට ලෝක ජනගහනය තවත් මිලියන දහයකින් ඉහළ යනු ඇත. මෙම පිරිස ජනගහනය අධික රටවලින් හා විශේෂයෙන් අධික තදබදයක් සහිත නගරවලින් වාර්තා වන බව දැක්වෙයි. අලුත් වැසිකිළි තනන්නටත්, මෙම ජනගහනය වැසිකිළි පාචිච්චි කිරීමෙන් පසු පරිහරණය කරන ජලය ප‍්‍රමාණයත් මිහිතලයට දරාගත නොහැකි වනු ඇතැයි සැලකේ. සියවස් ගණනක් එකම රාමුවක තිබුණ මළ අපද්‍රව්‍ය බැහැර කිරීම වෙනස් මානයකට නොකැඳවුවහොත් ගැටලු ඇති විය හැකිය. පර්යේෂණවලින් අලුත් අදහස් අනාවරණය කර තිබේ. මේවා අත්හදා බලන්නේ කෙසේද?

සංකල්ප ඉදිරිපත් කළ හැකි නමුත් ඒවා ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නැංවීම පහසු නැත. චීනය හා ඉන්දියාව වැසිකිළි පද්ධති ඉදිකිරීම වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් කර තිබේ. ඉන්දියානු අගමැතිවරයා ‘‘ස්වෙච් භාරත්’’ යනුවෙන් වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නැංවීය. එයට අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් යෙදවීය. චීනයේ පැවැති ප‍්‍රදර්ශනයකට සහභාගී වූ බිල් ගේට්ස් මෙම නවෝත්පාදන වැසිකිළි ගැන එහි දී කරුණු දක්වා ඇත. ලෝකයේ බලවත්ම ප‍්‍රදානක ආයතන මෙම සංකල්පයට සහාය පළ කර තිබේ. ප‍්‍රධාන නගරවල වාණිජ මට්ටමකින් ඉදිකරන මෙකී නවීන වැසිකිළි වෙනුවෙන් අවශ්‍ය මුදල් සම්පාදනය කරන්නට එකඟ වී ඇත. දියුණු වෙමින් පවතින නමුත් ශ‍්‍රී ලංකාවේ පවා පොදු වැසිකිළි පහසුකම් ඉතාම දුර්වලය. නගරයට එන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පරිහරණය කළ හැකි පිරිසුදු ස්ථානනැත. කාන්තාවෝ බෙහෙවින් අසරණ වී සිටිති. නගර නිර්මාණය කරන විට පදික වේදිකාව, පාර මාරුවන ස්ථාන සහ වාහන ගාල් ගැන අවධානය යොමු කරන නමුත් වැසිකිළි හා කැසිකිලි ගැන ප‍්‍රමාණවත් අවධානයක් යොමු නොකරන්නේ ඇයි? 

ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආසියානු සංවර්ධන බැංකුව නවීන පන්නයේ වැසිකිළි නගරබදව ඉදිකරන ව්‍යාපෘතිවලට ආධාර කරන්නට ඉදිරිපත්ව සිටී. මේවායෙන් සෞඛ්‍ය පහසුව පමණක් නොව බලශක්තිය, ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම වැනි අංශවලට ද ප‍්‍රයෝජනයක් ලැබේ. අඩු ජල ප‍්‍රමාණයක් භාවිත කරන අතර බලශක්තිය හෝ පිරිසුදු ජලය පෙරා වෙන්කර ගෙන ප‍්‍රතිචක්‍රියකරණයක් වන ස්ථාන වශයෙන් පවත්වාගෙන ගියහොත් විශාල වෙනස්කම් සිදුවනු ඇත. 
වසර හතක් තිස්සේ අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර අලුත් අදහස් ඉදිරිපත් කර තිබේ. ඒවා ලෝක නායකයන් හමුවේ තබා ඇත. නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළහොත් ආරක්ෂා කරගත හැකිවන ජීවිත ප‍්‍රමාණය ගණන් බලා තිබේ. සෞඛ්‍ය වියදම ඉතිරි කරගත හැකි තරම ගැන සවිස්තරාත්මකව කරුණු දක්වා ඇත. මෙම පර් යේෂණවලින් ප‍්‍රයෝජන ගෙන අනාගතයේ අලුත් හැඩතලයක් නිර්මාණය කිරීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ යුතුකමකි. නව ප‍්‍රවණතා ගැන අවධානයෙන් සිටීම පොදු ජනතාවගේ ද වගකීමක් බව සඳහන් කළ යුතුය.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.

 මිලින්ද මොරගොඩ