2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

නොදනිමු... කාගේ දෝසා හයිසින්ත් මරාගත් හදිසි අනතුරු වැල

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 233

කුඩා දැරියක කාලයේ හෙදියක වන්නට සිහින මැවූ ඈ යොවුන් වියේදී හෙදියක නොවී රූමත් දක්ෂ නිළියක වී සුවහසක් ප්‍රේක්ෂක සිත් සතන් පිනවමින් ඔවුන් සුවපත් කළාය. රංගනය පිළිබඳව අදහසක් හෝ නොතිබූ ඇයව නිළියක කිරීමේ සිහිනය නැන්දණියගේ වූ ආශාවකි. (පෙම්බර මධූ) චිත්‍රපටයේ මේනකාගේ චරිතයට පණ පොවමින් සිනමා රංගනයට පිවිස පසුව වේදිකාවත් පුංචි තිරයත් ඇය නතුකර ගත්තාය. අවසන “පුංචි තිරයේ අම්මා” ලෙසින් විරදාවලි ලබන්නට වාසනාවන්ත වූ හයිසින්ත් විජේරත්න මහත්මිය රූගත කිරීමක් සඳහා නුවරඑළියට ගොස් නැවත එන අතරමඟදී සිදු වූ මාරක රිය අනතුරක් හේතුවෙන් පසුගියදා ජීවිතක්ෂයට පත් වූවාය.

ගෙවුණු ජූලි මාසයේ අවසන් සතිය තුළ සිදු වූ රිය අනතුරු ප්‍රමාණය 385ක් බව රථවාහන පොලීසිය වාර්තා කරයි. ඒ අනුව එම සතියේ දෛනික රිය අනතුරු ප්‍රමාණය 55ක් පමණ බවද පොලිස් වාර්තා උපුටා දක්වයි. මෙකී රිය අනතුරු 385 හේතුවෙන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 108 දෙනකු බරපතළ තුවාල ලබා තවත් 260ක පිරිසක් සුළු තුවාල ලබා ඇතැයි වාර්තා වූයේ රථවාහන 152ක් අනතුරට ලක්ව ඇතැයිද වාර්තා කරමිනි.

මේ අතරින් කාගේත් අවධානය යොමුව තිබුණේ ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය ගමන්ගත් මෝටර් රථය නුවරඑළිය ලිඳුල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් ඇය ජීවිතක්ෂයට පත්වීම පිළිබඳවය. එම අනතුර පසුගිය 30 වැනිදා රාත්‍රියේ සිදුව තිබුණේ නුවරඑළිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේදීය. 

ප්‍රසිද්ධ රෑපවාහිනී නාලිකාවක මේ දිනවලදී විකාශය වෙමින් පවතින ජනප්‍රිය ටෙලිනාට්‍යයකි. එහි බොහෝ රූගත කිරීම් නුවරඑළිය නගරය ආශ්‍රිතව සිදු කෙරෙයි. ඉදිරියේදී විකාශය වීමට නියමිත කොටස් කිහිපයක රංගනය සඳහා හයිසින්ත් විජේරත්න මහත්මිය ආරාධනා ලැබ ඊට දායක වෙමින් සිටියාය. ඉකුත් 30 වැනිදා පෙරවරුව වන විට ඇය නුවරඑළියට පැමිණෙමින් සිටියාය. ඒ අදාළ රූපවාහිනී ආයතනයේ නිෂ්පාදන කණ්ඩායම විසින් සපයා තිබූ වෑන් රථයෙනි.

වත්තල - මාබෝල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවෙස වෙත පැමිණි වෑන් රථය ඇය කැටුව නුවරඑළියට ගොස් තිබුණි. අදාළ වෑන් රථයේ රියැදුරු නුවරඑළියට ගිය පසුව වෙනත් අවශ්‍යතාවන්ට හා ඇතැම් පුද්ගලයන් ප්‍රවාහනය සඳහා ද වෑන් රථය පදවා ඇතැයි කියති. අනතුරුව 30 වැනිදා සවස් යාමයේ වෑන් රථය නැවත කොළඹ යාමට සූදානම්ව තිබුණේ පසුදිනට නියමිත රෑගත කිරීමක් සඳහා අවශ්‍ය රංගන ශිල්පිනියන් දෙදෙනකු රැගෙන ඒම සඳහාය. 

වෑන් රථය එදිනම කොළඹ යන බව දැනගත් හයිසින්ත් මහත්මිය එම රථයේම කොළඹ පැමිණ නිවෙසට යාමට සූදානම්ව ඇතැයි කියති. එම ගමනට තවත් තරුණ රංගන ශිල්පියකු සහභාගි වීමට සූදානමින් සිට ඇතත් ඔහු අවසන් මොහොතේ ගමන අත්හැර තිබුණේ පසු දිනක ඔහුට රූගත කිරීම් යෙදී තිබුණු බැවිනි. රෑගත කිරීම්වලින් පසුව රාත්‍රී 11ට පමණ හයිසින්ත් විජේරත්න රැගත් වෑන් රිය නුවරඑළිය සිට තලවකැලේ මාර්ගය හරහා කොළඹ දෙසට ධාවනය විය. අවාසනාවකට මෙන් වෑන් රථය ලිඳුල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී තිබුණේ රථයේ පසුපස අසුනක හයිසින්ත් මහත්මිය නින්දත් නොනින්දත් අතර පසුවන මොහොතකය.

රථය ප්‍රපාතයට පෙරළී නැවතුණු පසුව ආරක්ෂිත ආසන පටි පැළඳ සිටි රියැදුරු රථය පසුපස බැලූ නමුත් හයිසින්ත් මහත්මිය පෙනෙන්නට සිට නැතැයි පැවසේ. ඔහු අපහසුවෙන් බිමට බැස හයිසින්ත් මහත්මිය වැටී සිටි ස්ථානයට ගොස් ඇයට කතා කර වත්තන් කර වෙනත් තැනකින් තැබූ බවද පැවසේ. කළුවරේ අතපත ගාමින් මාර්ගයට පැමිණ ප්‍රදේශවාසීන්ගේ උදව්වෙන් හයිසින්ත් මහත්මිය ඔසවා රෝහල් ගත කිරීමට පියවර ගත්තද අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ඇය ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටියාය. රිය අනතුර සම්බන්ධයෙන් එම රථය පැදවූ රියැදුරු ලිඳුල පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

හයිසින්ත් මහත්මිය වයස අවුරුදු 26 දී රංගනයට පිවිසියාය. ඇය රූපවාහිනී ටෙලිනාට්‍යයකට මුලින් සම්බන්ධව ඇත්තේ (දිමුතු මුතු) නාට්‍ය මගිනි. සිනමාපට රාශියකට දායක වී ඇති හයිසින්ත් මහත්මිය මෑතකදී තිරගත වූ (හෝ ගානා පොකුණ), (අප්පට සිරි), (සුපර්ණා) වැනි චිත්‍රපට තුළින් ඇගේ රංගන ප්‍රතිභාව ඉස්මතු කළාය. මාබෝල කට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය එක් පුත්‍රයකුගේ ආදරණීය මවකි. මීට දෙවසරකට පමණ ඉහතදී ඇගේ සැමියාගේ අභාවය සිදුව ඇති අතර හයිසින්ත් මහත්මිය මියයන විට 75 වැනි වියේ පසු වූවාය. කලාකරුවකුට ජීවිතයේ එක් වතාවක් පමණක් ලැබෙන OCIC සම්මානයෙන් ඇය වරක් පිදුම් ලැබුවාය.

මේ අතර ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය පැදවූ මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරක් සම්බන්ධයෙන්ද වාර්තා වූයේ ඉකුත් සතියේය. එය සිදුව ඇත්තේ රාජගිරිය ගුවන් පාලම අසලදීය. 

උමාරියා විසින් පැදවූ මෝටර් රථය බොරැල්ල දෙස සිට බත්තරමුල්ල බලා ධාවනය විය. ඒ අතර බත්තරමුල්ල දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් ගුවන් පාලම අසලින් පරණ කෝට්ටේ දෙසට හරවා තිබිණි. එහිදී එකිනෙක ගැටුණු රථ දෙකින් ත්‍රීරෝද රථයේ පැමිණි රියැදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි. එම අනතුර එදින පස්වරු 5.15ට පමණ සිදුව තිබූ බව වැලිකඩ පොලීසිය සඳහන් කරයි.

මේ අනුව උමාරියා මහත්මිය පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ නොසැලකිලිමත්ව රිය ධාවනය කර ත්‍රීරෝද රථයක අනතුරට පත් කර එහි රියැදුරුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙනි. ඇය අධිකරණයට ඉදිරිපත් කළ පසුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කරනු ලැබීය. එසේම සැකකාරියගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද නියෝග කෙරිණි. එමෙන්ම බලපත්‍රය අධිකරණය බාරයට ගැනීමටද නියෝග කෙරිණි. අනතුරින් තුවාල ලබා රෝහල් ගතවූ අය බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි. එම රියැදුරුට සානුකම්පිත දීමනාවක් වශයෙන් රුපියල් 80,000ක් ලබාදීමට උමාරියා මහත්මිය අධිකරණයේදී එකඟ වූවාය. අනතුර වළක්වා නොගැනීම, අපරීක්ෂාකාරී රිය ධාවනය, අනතුරක් සිදු කිරීම උමාරිය සිංහවංශ මහත්මියට එරෙහිව වූ චෝදනාය. සිද්ධිය පිළිබඳ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 18 වැනිදා යළි කැඳවීමට නියමිතය.

මේ අතර පනාගොඩ බෝධිරාජාරාමයේ ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත යමින් සිටි ත්‍රීරෝද රථයක් වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේදී ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් මාස තුනක දැරියක ඇතුළු තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ පසුගිය 3 වැනිදා පෙරවරුවේය. අනතුරින් මියගිය බිළිඳියගේ මව තුවාල ලබා රෝහල් ගත කර සිටින්නීය. ඇයගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි. ත්‍රීරෝද රථය පාදුක්ක දෙස සිට ගොඩගම දෙසටක් ලොරි රථය ගොඩගම සිට පාදුක්ක දෙසටත් ධාවනය වෙමින් තිබියදී ලොරි රථය මාර්ගයේ ලිස්සා ගොස් අනතුරට ලක්විය.

 සමන්ත විල්තෙර

වැඩිම අනතුරු යතුරුපැදි - ත්‍රිරෝද රථ හේතුවෙන්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

“පසුගිය 5 වැනිදා පමණක් සිදු වූ රිය අනතුරු මරණ ගණන 9ක්. ඉන් පදිකයන්ගේ මරණ 3ක් සිදුව තිබෙනවා. තව මරණ 4ක් යතුරුපැදිකරුවන්ගේ. ත්‍රීරෝදවල ගමන්ගත් අයගෙන් දෙනෙකු මරණයට පත්වෙලා. පදිකයන් තිදෙනාම මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී අනතුරට ලක්වෙලා තිබුණා. පදික මාරුව භාවිතයේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව කියන්න කැමතියි. මේ මාසය ආරම්භයේදීම පැය 24ක් තුළ රිය අනතුරු මරණ 9ක් වාර්තා වුණා. ජූලි 24 – 30 අතර කාලයේ රිය අනතුරු 385ක් වාර්තා වුණා. සාපේක්ෂව දිනකට රිය අනතුරු 50ක් සිදුවෙලා. මේ හේතුවෙන් පුද්ගලයන් 51ක් ජීවිතක්ෂයට පත්වෙලා. 260 දෙනකු තුවාල ලබලා. 108 දෙනකුට බරපතළ තුවාල සිදුවෙලා. 152කට සුළු තුවාල වෙලා. වැඩිම අනතුරට පත්ව ඇත්තේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ. මේ රිය අනතුරුවලට හේතුව වශයෙන් 73%ක්ම වාර්තා වන්නේ රියැදුරන්ගේ නොසැලකිලිමත් බවයි. රියැදුරන්ගෙන් මගීන්ගෙන් හා පදිකයන්ගෙන් ඉල්ලා සිටීමට කැමැතියි මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන්න කියලා.”

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03