රැඳවුම් කඳවුරේ ගේට්ටු හොරුන්ට ඇරේ යන සිරසින් යුතු ප්‍රවෘත්තියක් ඉකුත් සතියේ අපි පුවත්පත මගින් වාර්තා කළෙමු. එය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මිරිහාන රැඳවුම් කඳවුරට නිසි ආරක්ෂාවක් නොමැතිකම සම්බන්ධයෙනි. ඒ හේතුවෙන් එහි රඳවා සිටින නයිජීරියානු ජාතික රැඳවියන් කඳවුරු බිමෙන් පලාගොස් මූල්‍ය වංචා සිදුකොට නැවත රහසේ පැමිණෙන බව හෙළිදරව් කළෙමු.
කොළඹ හා අවට ප්‍රදේශවලදී පොලීසිය විසින් සිදුකළ වැටලීම් හා අන්තර්ජාලය හරහා සිදුකර තිබූ මහා පරිමාණ මූල්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලිවලට අදාළව රහස් පොලීසිය මගින් සිදුකළ විමර්ශන අනුව මෙම කරුණු අනාවරණය වී තිබේ. නීති විරෝධී ජාවාරම් මූල්‍ය වංචා හා අන්තර්ජාලය භාවිතයෙන් සිදුකරන අපරාධ ඇතුළු වැරදි සම්බන්ධයෙන් හා වීසා රහිතව රැඳී සිටීමේ වරදට අත්අඩංගුවට ගෙන හා සරණාගතයන් වශයෙන් රඳවා සිටින විදේශිකයන් රටින් පිටුවහල් කරන තෙක් මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ ඔවුහු රඳවා සිටිති. මෙසේ රඳවා සිටි විදේශිකයන් අතර නයිජීරියානු ජාතිකයන් තිස් දෙනෙකු එම කඳවුරෙන් අතුරුදන් වූ පුවතක් වාර්තා වූයේ මීට දෙවසරකට පමණ ඉහතදීය.
වීසා රහිතව හෝ විවිධ වැරදි හා ජාවාරම් සම්බන්ධයෙන් හෝ සරණාගතයන් වශයෙන් හඳුනාගෙන රටින් පිටුවහල් කරනතුරු රඳවා තබන මෙම කඳවුර මිරිහාන මූලස්ථාන පොලිසියට පසුපස ඉඩමේ පවත්වාගෙන යයි. එක් පසෙක පොලීසියද අනෙක් පස තාප්ප කටුකම්බි වැට හා ප්‍රධාන පිවිසුම ගේට්ටු ඇතුළු ආරක්ෂිත මෙවලම්වලින් සපුරා ඇත. මේ හැර ආගමන විගමන නිලධාරීහුද වෙති. විදේශ කටයුතු අමාත්‍යංශයට අයත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ රඳවා සිටින පිරිස් අතුරින් නොයෙක් වර වාර්තා වී ඇත්තේ නයිජීරියානු ජාතිකයන් විවිධ වංචා හා ජාවාරම්වල නිරත වන බවත් ඇතැම් විට කඳවුරෙන් පලාගොස් නැවත පැමිණෙන බවය.
කොළඹට ආසන්න උප නගරයක් ආශ්‍රිතව පදිංචි පුද්ගලයකු මාස කිහිපයකට පෙර කොළඹ නගරයට පැමිණ තිබුණේ රාජ්‍ය ආයතනයකින් යම් සේවාවක් ලබා ගැනීමටය. පෙරවරුවේ පැමිණි ඔහු වැඩකටයුත්ත සඳහා හෝරා කිහිපයක් රැඳී සිටීමට අවශ්‍ය වූ නිසා ගාලුමුවදොර පිටිය පැමිණ සිට ඇත. ඒ අවස්ථාවේ ඔහු අසළට පැමිණි අයෙකි. පෙනුමට නයිජීරියා ජාතිකයකු බව හඳුනාගත්තද ඔහු පෙර කී තැනැත්තා සමඟ සුහදව කතාබහක නිරතව තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. ආගිය විස්තර කතා කළ නයිජීරියානු ජාතිකයා පෙර කී අයගේ විශ්වාසය දිනාගෙන තිබුණේ සුළු මොහොතක් තුළය.
මට හදිස්සියේම හෙට නයිජීරියා යන්න වෙලා තියෙනවා. ඒත් මට අනුරාධපුර ඉන්න කෙනෙක්ගෙන් ලක්ෂ 30ක් ගන්න තියෙනවා. මගේ ගිණුමක් මෙහේ නැති නිසා දාගන්න විදියක් නෑ. මාර ප්‍රශ්නයක්... මට අනුරාධපුර යන්න වෙලාවත් නෑ...
මේ කතාව කියන අතරතුර පෙර කී අය ඔහු දෙස විශ්මයෙන් බලා සිට ඇත. ඒ සමඟ නයිජීරියානු ජාතිකයා මෙසේ කියා තිබුණි.
ඔයාගේ ලංකාවේ බැංකු ගිණුමක් ඇති නේද? මට පුළුවන් නම් මගෙ සල්ලි ටික ඔයාගේ ගිණුමට දාගෙන මට අරන් දෙන්න පුළුවන්ද? ඒ සල්ලිවලින් 5%ක් මම ඔයාට දෙන්නම්....
මෙය ඇසූ තැනැත්තා විශ්මයට පත්වී ඊට එකඟ වී ඇත. වැඩි වෙලාවක් යන්නට පෙර අදාළ ගිණුම් අංකයට රුපියල් ලක්ෂ 30ක් ගිණුම්ගත කර තිබූ අතර ඉන් රු.150,000ක මුදලක් ගිණුමේ තිබියදී ඉතිරි ලක්ෂ 28,50000 ලබාගෙන තිබුණි. අනතුරුව නයිජීරියානු ජාතිකයා පෙර කී අයට ස්තූතිය ප්‍රකාශ කර ඊට සන්තෝෂමක් ලෙස තවත් රු.350,000ක් ලබාදී ඇත.
ටික දිනකට පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකින් දක්වා තිබුණේ අන්තර්ජාලය හරහා සිදුකළ ගනුදෙනුවක් අනුව ලක්ෂ 30ක් ගිණුමකට බැරකළ බවය. එහෙත් අදාළ කටයුත්ත නිසිලෙස සිදු නොවුණු බවත් ගනුදෙනුකාර පාර්ශ්වය මගහැර ඇති බවත්ය. ඒ අනුව විමර්ශන අරඹා අදාළ ගිණුම් හිමියා හඳුනාගෙන ප්‍රශ්න කිරීමේදී ගෝල්ෆේස් පිටියේදී නයිජීරියානු ජාතිකයා සමග වූ කතාබහ හා මුදල් හුවමාරුව පිළිබඳව පවසා ඇත. වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ එම මූල්‍ය වංචාව කළ නයිජීරියානු ජාතිකයා මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටි අයකු බවය.
කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක හටගත් ගැටුමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලීසියට ලැබී තිබිණ. ඒ පිළිබඳ විමර්ශන සිදුකළ නිලධාරීන්ට ගැටුම අතරතුර පහරදුන් අයකු සෙවීමට සී.සී.ටී.වී. කැමරා දර්ශන නිරීක්ෂණ කිරීමට සිදුවිය. සැකකාර පුද්ගලයා නයිජීරියා ජාතිකයෙකි. ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අතරතුර එම පොලිස් නිලධාරීන්ට හඳුනා ගැනීමට හැකිව ඇත්තේ සැකකාර නයිජීරියානු ජාතිකයා මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටින අයකු බවටය. ඔහු ඊට ඉහතදී සිදුකළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වීසා රහිතව රැඳී සිටි විදේශිකයකු හෙයින් අධිකරණ නියෝග මත මිරිහාන රැඳවුම් කඳවුර භාරයට පත්කර සිටි අයෙකි. එම සැකකරු කඳවුර වටා වූ කම්බි වැටකින් පළාගොස් ජාවාරම් සිදුකරන අතරතුර විනෝදාස්වාදය සඳහා සමාජ ශාලාවලට යන බව පවසා තිබුණි.
මේ ආකාරයට රැඳවුම් කඳවුරෙන් පලායන නයිජීරියන් ජාතිකයන් ඇතැම් සුපිරි වෙළඳසල් හා සිල්ලර වෙළෙඳසල් වලින් භාණ්ඩ සොරාගන්නා බවද පොලිසිය විසින් හෙළිකරගෙන ඇත. මේ ආකාරයට මිරිහාන රැඳවුම් කඳවුර තුළ රැඳවියන් අන්තර්ජාලය හා දුරකථන භාවිතයෙන් ජාවාරම් හා මූල්‍ය වංචා සිදුකරන බවට ලැබුණු පැමිණිලි අනුව සිදුකළ වැටලීමකි. ඒ සඳහා ආගමන විගමන නිලධාරීන්, මිරිහාන පොලිසිය හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් රුසක් සහභාගී වී ඇත. මෙහෙයුම අතරතුරදී රු.156,000කට අධික මුදල්, ජංගම දුරකථන 75ක් හා ලැප්ටොප් 5ක් පමණ අත්අඩංගුවට ගෙන තිබුණි.
රැඳවියන් පිළිබඳ සංඛ්‍යාලේඛන සහිතව සිදුකළ වැටලීමේදී අනාවරණය වී තිබුණේ ඒ අවස්ථාව වනවිටත් කඳවුරේ සිටි නයිජීරියානු ජාතිකයන් 30 දෙනකු එම භූමියෙන් අතුරුදන්ව සිට ඇති බවකි. මේ අයුරින් මිරිහාන කඳවුරේ රඳවා සිටන නයිජීරියානු ජාතිකයන් ඇතුළු විදේශිකයන් හොර රහසේ කඳවුරෙන් පිට වී නැවත එම පරිශ්‍රයට පැමිණෙන බව සැබෑවකි. එසේ යන එන බොහෝ අය කඳවුරෙන් අලුයම පැනගොස් රාත්‍රියට නැවත පැමිණෙන බව හෙළිව තිබේ. මෙසේ පලායන පිරිස් නොයෙක් වංචා ජාවාරම්වල නිරතව ලක්ෂ ගණන් උපයා ගනිමින් සුඛෝපභෝගී ජීවිත ගතකරන බව වාර්තා වේ.
සමන්ත ප්‍රදීප් විල්තෙර