2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

මවුන්ට්බැටන් සාමිගේ දියණියගේ සිත් දිනූ යමුනා යමුනා සෝබන ගංඟා ගීතය ගැයූ චිත්‍රා සෝමපාල

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 237

කොළඹ තර්ස්ටන් පාරේ (අද මුනිදාස කුමාරතුංග මාවත) බගතලේ පාරේ අංක 33 වැනි පටුමගේ නිවෙසක මීට වසර 89කට පෙර දරු උපතක් සිදුවිය. රාජපතිරණගේ ගිරිගෝරිස් පෙරේරාට හා තෙරේසා පෙරේරාට දාව සිය හයවැනි දරුවා වූ මේරි මාග්‍රට් පෙරේරා නම් දියණියක් 1932 මැයි 25 වැනිදා උපන්නාය. ඇයට ජෝසප්, මාකස්, නොයෙල්, නෙවිල් යන සොහොයුරන් හතර දෙනෙක් ද, මේබල් නම් සොහොයුරියක් ද, පසුව ඇන්ටනී නම් බාල සොහොයුරෙක්ද වූහ.

දැනට මුනිදාස කුමාරතුංග මාවතේ තර්ස්ටන් විද්‍යාලය ඉදිරිපිට තිබෙන රහුමානියා හෝටලය පිහිටි ස්ථානයේ මීට වසර අනූවකට පෙර තිබුණේ ඔගස්ටා හෝටලය හා බේකරියයි. එහි අයිතිකාරිය වූයේ මේ දරුවන් හත්දෙනාගේ මව වූ තෙරේසා පෙරේරා මහත්මියයි. කතෝලික භක්තිමතුන් වූ මේ පවුල සංගීතයට ලැදි වූහ. ඔවුහු ගී ගැයූහ. වාදනයට දක්ෂයෝ වූහ. ගායනයට පවුලේ හපනා වූයේ තුන්වැන්නා වූ නොයෙල් හා පවුලේ පස්වැනියා වූ මේබල්ය. ඔවුන්ගේ බාල සොහොයුරිය මේරි මාග්‍රට් සිය ගායන ජීවිතය 1941 දී ඇරඹුවේ සුනිල් සාන්තයන් යටතේ අත්පොත තබමිනි. එය සිදුවූයේද අහම්බෙනි. නොයෙල් අයියා හා මේබල් අක්කා සමඟ ඇය නිකමට මෙන් සුනිල් සාන්තයන්ගේ සංගීත පන්තියට ගියාය.

මේරි මාග්‍රට් පෙරේරා අධ්‍යාපනය ලැබුවේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේය. ගෙදර තිබූ සංගීත පරිසරය ඇයට බලපෑ අතර, මව්පියන්ද සමඟ පවුලේ දරුවන් හත්දෙනාම ගීත ගැයූහ. එකල සුනිල් සාන්තයන් සංගීත පන්තියේත් ගුවන්විදුලියේත් ගී ගැයුවේ ලීලා අශෝකා හා මේබල් පෙරේරා සමඟය. අහම්බෙන් මෙන් මේබල් නොපැමිණි දිනක මේරි මාග්‍රට්ට සුනිල් සාන්තගේ ගීතයක සහාය ගායිකාවක් වීමේ භාග්‍ය ලැබෙන්නේ දෛවයේ හාස්කමකිනි. එදා ඔවුන් ගැයුවේ %බෝවිටියා දං පලුකන් වාරේ% ගීතයයි. මේ කාලයේ සුනිල් සාන්තගේ සංගීත කණ්ඩායමේ සිතාර් වාදකයා වූ පී.එල්. සෝමපාලයන් මේරි මාග්‍රට්ගේ හඬට වශීව සිටියේය. ඔහු ගායකයෙක් ද විය.

මේරි මාග්‍රට්ගේ ගායන ජීවිතය දෝලනය වී ඇත්තේ නොසිතූ විරෑ අයුරිනි. මේරිගේ විචිත්‍ර ගායනයක් ගෙදරදී ගයනු අසන්නට ලැබුණු ජේ. විජේවීර නම් මහතකු (ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහන වූ %වටින් පිටින්^ ඉදිරිපත් කළ ශිල්පියා) විසින් මුල්වරට මේරිව ගුවන්විදුලියට කැඳවාගෙන ගොස් බාරදුන්නේ පී.එල්.ඒ. සෝමපාල නම් වාදක මණ්ඩලයේ සිතාර් වාදකයාටය. මෙය සෝමපාලයන්ට පරණ පිනක් හිසේ කඩා වැටීමක් විය. සෝමපාල මේරි සමඟ යුග ගීයක් ගැයීමට යෝජනා කළේය. මේ දෙදෙනා ගැයූ මුල්ම යුග ගීතය එනම්, අදයි වෙසක් පෝදාය.

මේරි මෙන්ම පවුලේ සහෝදරයා වූ නොයෙල් හා සොහොයුරිය වූ මේබල් ද ගායනයට දස්කම් පෑවත් පවුලේ දෙවැනි අයියා මාකස් පෙරේරා වේදිකා නළුවකු ලෙස දස්කම් පෑ අතර පසුව ඔහු චිත්‍රපට නළුවකු ලෙස %හඳපාන^ චිත්‍රපටයේ චාලි නම් ඔතෑනි චරිතය රඟපෑ අතර දස්කොන්, කිංකිණි පාද ඇතුළු චිත්‍රපට කිහිපයක රඟපෑවේය.

මේරි මාග්‍රට්ගේ ගායන කුසලතාව දැනගත් සංගීතඥ යූ.ඩී. පෙරේරා මාස්ටර් කොලොම්බියා තැටියකට ගී ගැයීමට ඇයට අවස්ථාව ලබා දුන්නේය. ඔහු මේරිගේ මවගේ ඥාතිවරයකු වීම මෙයට තවත් හේතුවක් විය.

මේරි, අපි කොලොම්බියා තැටියට ගායිකාවක් ලෙස ඔයාව හඳුන්වා දෙන්නේ චිත්‍රා කියලා.

හොඳයි, මාස්ටර්

මේ අනුව චිත්‍රා ගැයූ මුල්ම කොලොම්බියා තැටිය වූ %ශ්‍රීලේ ශ්‍රීලේ^ නම් මේ ගීතයේ රචකයා ද ඔහු විය. චිත්‍රා ගායන ලෝකයේ විශිෂ්ට ගායිකාවක් ලෙස ප්‍රවිශ්ට වූවාය. චිත්‍රා හා සෝමපාල සංගීත සුසංයෝගය සංගීත ලෝකයේ අභිෂේක ලැබීමට සමත් වූහ. පී.එල්.ඒ. සෝමපාල විසින් තනු නිර්මාණවලට අර්ථවත් ගීත රචනා ලැබීම චිත්‍රාට භාග්‍ය උදාවීමක් විය. මර්සලීනු ජයකොඩි පියතුමා, පියසේන කොස්තා, ආතර් එම්. ද අල්විස්, ආටිගල සරච්චන්ද්‍ර, සුසිල් සේනාධීර, හියුබත් දිසානායක, හර්බට් එම්. සෙනෙවිරත්න, ආනන්ද සරත් විමලවීර චිත්‍රාවන්ට ගීත රචනා කර දුන්හ. 1952 සැප්තැම්බර් 27 වැනිදා සෝමපාල චිත්‍රා විවාහ පත්වූහ.

චිත්‍රා ගැයූ යමුනා යමුනා සෝබන ගංගා ගීතය කොතරම් ගුවන්විදුලි අසන්නන් අතර ජනප්‍රිය වී ද යත් අදත් විදේශවල සිටින ශ්‍රී ලාංකික විශේෂ සාදවලදී නිතර ගැයෙන ගීතයක් විය. මවුන්ට්බැටන් සාමිගේ දියණිය වූ රුම්ස්බොතම් ආර්යාව ලංකාවට පැමිණි අවස්ථාවේ ගායනය සඳහා තෝරාගත්තේ යමුනා යමුනා ගීතය බවත් මේ ගීය ඇය විසින් එච්.එම්.වී. තැටියකට නැගූ බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ සඳහන් කර තිබුණි. ආතර් එම්. ද අල්විස් විසින් රචිත මේ ගීතයේ තනු නිර්මාණය සෝමපාලයන්ගෙනි. මේ ගීතය මෙසේය.

යමුනා යමුනා සෝබන ගංගා
සුනිමල ජල ධාරා ගලන්නා
සුනිමල ජල ධාරා
විහිදා මඳ රැස්මී - හිරු නැග එති උදයේ
පිබිදේ නෙක මල් සුවඳ හමා
නැලවේ මඳ සුළඟේ

ලළනාවෝ බැස පීනා සුලලිත රඟ පානා
කොමල සිනා පා සුමධුර ගීතා
ගයති ප්‍රීතියෙනා

චිත්‍රාට වැඩිම ගීත ගණනාවක් ලියූ ගීත රචකයෙකි පියසේන කොස්තා. ඔහු රචනා කළ මේ ගීතය ඔබ කොතෙකුත් අසා ඇති.

ඉසුරුමුණියෙහි පැතැලි ගලෙකැ ඒ - ආලයෙ ලීලය පෑ
විශ්මිත ගල් වඩුවාණෙනි ඔබ හට - අප ණය ගැති නොවෙ‍දෝ
තුරුලට ළං වී - පෙම් රස උරනා
රසයේ රස උද්පා
පෙමටමැ කැප වුණු පෙම් යුවලෙකි ඒ - සීගිරි රජ දවසේ
සුලලිත පියයුරු - හා පුන් ඉඟ සුඟ
එකටෙක පරදාලා
පෙම් ලොව වැජඹුණු අග මෙහෙසිය දැයි - කියන්න කුමරියනේ
පිවිතුරු සුකොමල පෙම්බරියගෙ ඒ සිහිලස ළයට වැදී
ආලය මේ යයි පැවසෙන ගීතය - ඔබගෙ මුවින් ගිලිහේ

පියසේන කොස්තා ලියූ චිත්‍රා ගැයූ ගාලු පුරේ ගැන ගීතය ද දකුණේ ප්‍රචලිත ගීතයකි.

දකුණු ලකේ අග නගරේ - ගාලු පුරේ සිරි
කෙසේ කියම්දෝ ගාලු - සිරි වනම් දෝ
චිත්‍රාට කොස්තා රචනා කළ තවත් ප්‍රකට ගීත දෙකකි මේ.
කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී
බඳින දවස මඟුල අදයි යස හැඩකාරී*
දඹුලු ගලේ - දඹුලු ගලේ
රං ගිරි දඹුලු ගලේ

චිත්‍රා රසවත් ජනප්‍රිය ගීත කොතෙක් ගුවන්විදුලියෙන් ගයා ඇතත්, චිත්‍රපටයකට ගයා ඇත්තේ එකම ගීතයක් පමණි. 1955 වන විට චිත්‍රාගේ සැමියා චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස කලා ක්ෂේත්‍රයේ කැපීපෙනුණු අතර, ඔහු තම බිරියට චිත්‍රපට සඳහා පසුබිම් ගායනය සඳහා අවස්ථාව ලබා දී ඇත්තේ එම වසරේ තිරගත වූ අසෝකා (1955) චිත්‍රපටය සඳහා පමණි. අසෝකා චිත්‍රපටයේ එන මේ ගීතය චිත්‍රා ගැයුවේ ධර්මදාස වල්පොල සමඟය. සෝමපාලයන් සංගීත අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සියලුම ගීත රචනා කර තිබුණේ පියසේන කොස්තා විසිනි. මේ චිත්‍රා සහ ධර්මදාස ගැයූ ගීතයේ කොටසකි.

පෙම් සුවඳයි - මංගල සිරි දෙයි
සිරිබර පෙම් මල් උයනේ
සැළලිහිණි ගිරා කැල ප්‍රේම කතාවෙන්
නැලවෙති තුරු සෙවණේ

සෝමපාලගේ මියුරු තනු නිර්මාණය හා සංගීත සංයෝජනයෙන් යුතුව චිත්‍රා ගැයූ සුසිල් සේනාධීර විසින් රචිත %සුකොමල බඳ ලෙළවා^ හා සරච්චන්ද්‍ර ආටිගල රචනා කළ %දුන්හිඳ හැලෙනා^ හා %උඩරට කඳුකර^ ගීත දෙක සුවිශේෂය. ඒ ගීතවල මුල් කොටස් මෙසේය.
සුකොමල බඳ ලෙළවා
පයැ කිංකිණි සොලවා
කිරි මෙන් බැබළෙන සඳලු තලේ
රඟ දෙන සුර නිළියේ

දුන්හිඳ හැලෙනා
හැමතැනම නැගෙනා
දුන්හිඳ දිය හැලෙනා
දිය හැමතැන නැගෙනා
දුන්හිඳ දිය හැලෙනා
ගල්පරවල හැපෙනා

උඩරට කඳුකර
සිරියා පරදන
රෑබර මුහුණ ඔබේ
රතැඟිලි දිගු කර
මදහස නංවන
තේ දලු නෙලන ළඳේ

මර්සලින් ජයකොඩි පියතුමා විසින්ම රචනා කොට තනුව නිර්මාණය කළ චිත්‍රා ගැයූ මේ ගීතය හැම නත්තලකම, අනිවාර්යෙන්ම දේවස්ථානවල හා ගුවන්විදුලියෙන් අනිවාර්යෙන්ම ඇසෙයි.

පෙති විසිරිලා
ජලය සුවඳ වෙන්නා
මමත් මලක් නම් පිපී සුවඳ දී
ඔබ ළඟ පරවෙන්නා

කාන්ති කුමරියෙනි
නාද මිහිරියෙනි
සාන්ත සුසිලියෙනි
දේව දියණියෙනි
සීල සිතුමිණෙනි
රෑප සිරිනියෙනි
ධම්ම කිරුළෙහි
දිසි දිසි බබළන
රමණිය සිළුමිණෙනි

චිත්‍රා හා සෝමපාල සුසංයෝගයෙන් බිහි වූ ගීත ගැන හොඳම විවරණය කර ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි.

අවුරුදු හැටකටත් වඩා පැරණි චිත්‍රාගේ ගීත අද ජීවත් වන කුඩා දරුවෝද කට පාඩමින් ගයන්නට දනිති. ඊට හේතුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒවා %සරල ගීත^ වීමයි. අනුකාරක ගීතය විසින් සිංහල ගීතය ගල ග්‍රහණයෙන් ගෙන මිරිකා ගත් යුගයක මෙම සරල ගීත සමුච්චය විසින් ලද්දා වූ මෙහෙය අගය කළ යුතුය.

‍සෝමපාල හා චිත්‍රා විවාහ වී 50ක වසරක් පිරීම නිමිත්තෙන් පවුලේ දූ දරුවන්ද හිතවතුන්ද රසිකයන්ද රහසේ කතිකා කොට ඔවුන් විස්මිත කිරීමේ උළෙලක් ටාජ් හෝටලයේ සංවිධානය කොට තිබුණි. එහිදී වූ එක් අවාසනාවන්ත සිද්ධියක් එදා එම උළෙලට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ රන්වන් ගී ගැයූ චිත්‍රා සෝමපාල සමරු සංග්‍රහයට මෙසේ ලියා තිබුණි.

එම රාත්‍රියේ වාදක මණ්ඩලය ඉදිරියේ චිත්‍රා පෙනී සිටි මොහොතේ එම යුවළ කෙරෙහි මෙන්ම සභාවේද ඇතිවූ ආකර්ශනීය හැඟුම විස්තර කළ යුතු නැත. චිත්‍රා ප්‍රථමයෙන් ඉසුරුමුණියෙහි පැතලි ගලෙක ගීතය ගැයුවාය. අවසාන ගීතය ලෙස %යමුනා යමුනා යමුනා ගීතය ගයන්නට සූදානම් වූවා පමණි. හදිසියේම වැළඳි හෘදයාබාධයකින් ඇය වහා රෝහල වෙත ගෙන යාමට කටයුතු යෙදිණි. එහෙත් රෝහල වෙත ළඟාවීමට පෙර, අඩ සියවසක් පුරා රසිකයන් නැලවූ අප ගීත කෝකිලාවිය අවසන් සුසුම් හෙළුවාය. 1994 සැප්තැම්බර් මස 18දා රාත්‍රියේ සිදු වූ චිත්‍රාගේ වියෝව ඇය සෝමපාල ගී ලකුණ කඳුළකින් යළි අපට සිහිපත් කරන අතිශය දුක්ඛිත මොහොතක් බඳුය.

සංගීතවේදී පී.එල්.ඒ. සෝමපාල හා ගායිකා චිත්‍රා සෝමපාලයන්ට උපහාර වස් පුත් චන්දන චිත්‍රාල් සෝමපාල (චිටී) විසින් %ලලිත කලා^ නමින් ප්‍රසංගයක් 2019 පෙබරවාරි 10 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ලදී. සෝමපාල යුවළගේ දෙවැනි පුත් චන්දන චිත්‍රාල් සෝමපාලය. ඔහු ගායකයෙකි. වාදකයෙකි. ගීත රචකයෙකි. සංගීත අධ්‍යක්ෂකවරයෙකි. විදේශීය ප්‍රසංග වේදිකාවේ තරුවකි. ඇගේ ඇස අග චිත්‍රපටයෙන් හොඳම පසුබිම් ගායකයා ලෙස සම්මානය දිනාගත් ඔහු 2015 ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කළ Believe in the Dream ගීතය අතිශයින්ම ජනප්‍රිය විය.

සෝමපාල යුවළගේ වැඩිමහල් පුතා ප්‍රසන්න චිත්‍රාල් සෝමපාල මහවැලි අමාත්‍යාංශයේ ප්‍රචාරක අංශයේ ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස සේවය කොට විශ්‍රාම ලබා සිටීයි. වරක් ප්‍රසන්න මාධ්‍යවේදී උදිත සමීර වීරසිංහට කියා තිබුණේ තම මව උදාර මානව ගතිගුණවලින් යුතු මාතාවක් ලෙසය. තම නිවෙස තාත්තාගේ කලාගාරයක් නොව ආදරණීය අම්මා කෙනකු ලෙස නංගිලා හා මල්ලිලාත් තමාවත් ආදරයෙන් රුකගෙන සියතින්ම කෑම පිස දෙන, රෙදි සෝදා දෙන, ඉගෙනීමත් බලාගත් ගෘහණියක් වූ බවය.

සෝමපාල හා චිත්‍රා පවුලේ දෙවැන්නා රොහාන් චිත්‍රාල් සෝමපාල පාර්ලිමේන්තුවේ ආහාර සැපයීමේ අංශයේ නිලධාරියකුව සිට විශ්‍රාම ගෙන ඇත. තෙවැනි පුතා නලින් චිත්‍රාල් සෝමපාල මෝටර් යන්ත්‍ර කාර්මික ශිල්පියෙකි. පවුලේ බාල දියණිය පියුමා චිත්‍රාල් සෝමපාලය.