ලංකාව තුළ කොරෝනා පැතිරීම අනතුරුදායක මට්ටමකට ළඟා වී ඇති බවට මේ වන විට විවිධ වෛද්‍ය විශේෂඥයෝ මත පළකර සිටිති. ශ්‍රී ලංකාව දරුණුතම කොවිඩ් වසංගත තත්වයකට මුහුණ දෙනු ඇත්තේ ඉදිරි මාස කිහිපයේදී බවට හොංකොං විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා ද අනතුරු හඟවා තිබේ.
මෙරට දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන සටහන් වූයේ ඉකුත් අගෝස්තු 3 වැනිදාය. එදින කොවිඩ් මරණ ගණන 82කි. එම මරණ 82ත් සමඟ මෙරට තහවුරු කර ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,727ක් දක්වා ඉහළ ගොස් ඇත. ජූලි 6 න් ඇරඹි දින 7 තුළ කොවිඩ් මරණ 261ක් , ජුලි 13 න් ඇරඹි දින 7 තුළ මරණ 296ක් සහ ජුලි 20න් ඇරඹි දින 7 තුළ මරණ 325ක් වාර්තා වෙද්දී ගෙවුණු අවසන් සතියේ කොවිඩ් මරණ 450ක් වාර්තා වී තිබේ. .ඒ අනුව ගෙවුණු අවසන් සති 4 දෙස බැලීමේදී මෙරට වාර්තාවන කොවිඩ් මරණවල ක්‍රමානුකූල ඉහළයෑමක් මේ වනවිට දක්නට ලැබේ. එසේම දෛනික ආසාදිතයන් ගණනද 2,500 ඉක්මවා ගොසිනි. සමස්ත ආසාදිතයන් ගණන 318,755 දක්වා ඉහළ ගොස් තිබේ.
අද වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ආරම්භ වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ කොළඹ ගම්පහ කළුතර පළාත්වල ඩෙල්ටා ප‍්‍රභේදය සීඝ‍්‍රයෙන් පැතිරයමින් ඇති බවයි. මෙම තත්ත්වය මත සංචරණ සීමා දැඩිව පැනවූයේ නැත්නම් මෙය පාලනය කිරීම ඉතා අපහසු බවද ඇය පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාද පැවසුවේ පවතින තත්වය සමාලෝචනය කර සමබරව ගෙන යාමට නොහැකි වුවහොත් එම තීරණය ගැනීමට අනිවාර්යෙන්ම සිදු වනු ඇති බවය.
හොංකොං විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය ගැන දැඩි ලෙස අනතුරු හඟවා තිබුණි. මහාචාර්ය පීරිස් මහතා සායනික සහ මහජන වසංගත විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන අතර ඉන්ෆ්ලුවන්සා, කොරෝනා වැනි වෛරස පිළිබඳ විශේෂයෙන් අධ්‍යනය කරන විද්වතෙක් ද වෙයි. 2003 වසරේදී සාර්ස් වසංගතය පිළිබඳ පර් යේෂණ කටයුතුවලදී ද මහාචාර්ය මලික් පීරිස් මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර ඇත.
ඔහු ලංකාවේ තත්ත්වය ගැන පැහැදිලි කරමින් කියා ඇත්තේ ඉදිරියේදි එන්නත 3 වැනි මාත්‍රාවක් කරාද යාමට සිදුවිය හැකි බවය.
ගෝලීය වශයෙන් සහ දකුණු ආසියානු කලාපයේත් මූලික වශයෙන් කොවිඩ් - 19 ව්‍යාප්තියේ පහත වැටීමක් පැවතුණත් දකුණු ආසියානු කලාපය ඇතුළුව ගෝලීය වශයෙන් රෝගීන්ගේ වැඩිවීමක් යළිත් දකින්නට ලැබෙනවා. මීට මූලික වශයෙන් හේතුවී ඇත්තේ නව ඩෙල්ටා ප්‍රභේදයයි. මෙම ප්‍රභේදය නිසා ඉන්දියාවේ විශාල විනාශයක් සිදුවූ අතර ඉදිරි සති කිහිපය තුළ එය ශ්‍රී ලංකාවට ද විශාල බලපෑමක් සිදුකරනු ඇතැයි මම අවධාරණය කරන්න ඕනෙ. ඉදිරි මාස කිහිපය තුළ දරුණුතම කොවිඩ් වසංගතයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවන බවට අනතුරු හැඟවීමක් නොකළොත් මහජන සෞඛ්‍ය වෘත්තිකයකු වශයෙන් මම මගේ යුතුකම පැහැර හැරීමක් වෙයි.
ඔබ දන්නා පරිදි සැලකියයුතු බලපෑමක් ඇතිකිරීම සඳහා එන්නත් මාත්‍රා දෙකක් ලබාගැනීම අවශ්‍ය වෙනවා. නමුත් ඉදිරි මාස කිහිපය තුළ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට එම මාත්‍රා දෙක ලබාගැනීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ පිළිබඳව ජනතාවට හොඳින් උපදෙස් ලබාදී ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
අමාත්‍ය චන්න ජයසුමනද මේ ගැන අනතුරු අඟවා තිබුණේ සංචරණ සීමා ලිහිල් කළ පමණින් සියල්ල යහපත් වී නැති බව සිහියට ගන්නයැයි කියමිනි.
සංචරණ සීමා ලිහිල් කර ඇතත් කොවිඩ් වසංගතය පාලනය වී ඇතැයි හෝ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙන් අවදානමක් නැතැයි යනුවෙන් කිසිවකු වැරදි වැටහීමක් ඇතිකර නොගත යුතු බව අවධාරණය කරඇති ඔහු කොවිඩ් වසංගතය පාලනය වෙලා තියෙන්නෙ, ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රශ්නයක් නැහැ කියා නොසිතිය යුතු බව කියයි. “ඇත්තටම ඒ පිළිබඳ ලොකු අවදානමකයි අප සිටින්නේ!” යනුවෙන් අමාත්‍ය චන්න ජයසුමන අවධාරණය කර සිටියි.
සුගත් කුලතුංගආරච්චි