
කොවිඩ් වසංගතය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගෙන් සීමිත පිරිසක් සේවයට වාර්තා කොට ඉතිරි සේවකයන් පිරිස නිවෙස්වල සිට සේවය ලබාදුන් කාලසීමාව අවසන් කරමින් මේ මස දෙවැනි දින සිට නැවතත් රාජ්‍ය සේවය සාමාන්‍යකරණය කිරීමට රජය තීරණය කළේය. එම තීරණය හමුවේ රාජ්‍ය සේවයේ නිරතව සිටින ගැබිනි කාන්තාවන් හා කිරි දෙන මව්වරුන් විශාල ගැටලුවකට මුහුණ පා ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ වන විට දිනකට කොවිඩ් රෝගීන් දෙදහසකට අධික පිරිසක් වාර්තා වන බව සෞඛ්‍ය අංශය නිවේදනය කරනවා. මේ අතරින් ඩෙල්ටා ප්‍රභේදය ඉතා සීඝ්රයෙන් පැතිරී යන බවත් සෞඛ්‍ය අංශය අවධාරණය කරනවා. ඒ නිසා වෙනදාටත් වඩා ආරක්ෂාකාරීව නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශය ජනතාවගෙන් ඉල්ලීම්ද කරනවා. එවැනි ඉතා අවදානමක් තියෙන කාලයක රාජ්‍ය අංශයේ සියලුම සේවක සේවිකාවන්ට සේවයට වාර්තා කරන ලෙස රජය විසින් දැනුම් දීමක් කරනවා. ඇත්තටම මේ පවතින තත්ත්වය හමුවේ ඒක හරිම අසාධාරණයක්. සමස්ත රාජ්‍ය සේවකයන් පමණක් කැඳවීමත් ප්‍රශ්නයක්. මේ අවදානමත් එක්ක ජනතාව රාජ්‍ය ආයතනවලට පැමිණ වැඩකර ගැනීමට දක්වන්නේ බයක්. මේ කාලයේදී පළාත් අතර සංචරණ සීමා තියෙනවා. ඒ නිසා බොහෝ දෙනා online ක්‍රමයට තමයි වැඩ කරගන්නෙ. එවැනි තත්ත්වයක් රට තුළ පවතිද්දී සමස්ත රාජ්‍ය සේවය වාර්තා කරනවා.
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා දේශයට අදහස් දක්වමින් එසේ පැවසීය.
මේ අනුව 02/2021 (iii) හා 2021.07.30 දිනැතිව නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් අගෝස්තු 02 දින සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට උපදෙස් ලබා දී තිබේ.
මේ වන විටත් කොවිඩ් රෝගයේ ඉතා දරුණු ප්‍රභේදයක් වන ඩෙල්ටා ආසාදනය වුණු කොවිඩ් රෝගීන් දිනෙන් දින මෙරටින් වාර්තා වේ. ඒ අනුව එම ප්‍රභේදය සමාජගත වී ඇති බව විශේෂඥවරු පවසති. මෙයින් ඉතා ප්‍රවේසම් විය යුතු අවදානම වැඩි කාණ්ඩ අතරට ගැබිනි කාන්තාවන්ද ඇතුළත්ය. එවැනි වටපිටාවක රාජ්‍ය සේවයේ නිරතව සිටින ගැබිනි කාන්තාවන් හා කිරි දෙන මව්වරුන් සේවයට වාර්තා කිරීම අවදානම් තත්ත්වයක් බව ඔවුහු පවසති.
2020.03.19 සිට 2020.11.25 දින දක්වා නිකුත් කර ඇති සියලු චක්‍රලේඛ හා විධිවිධාන නව නියෝග යටතේ අහෝසි කර තිබේ.
ජනාධිපති ලේකම් විසින් ඉදිරිපත් කරපු චක්‍රලේඛ විධිවිධාන නවයකුත් රාජ්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් ඉදිරිපත් කළ චක්‍රලේඛ විධිවිධාන පහකුත් අහෝසි කළා. මෙහිදී ඉදිරිපත් කළ ආරක්ෂිත ක්‍රමවේදයන් සියල්ලම අහෝසි වීමෙන් දැඩි ලෙස වසංගතය ව්‍යාප්ත වන මේ වගේ කාලයකදී රාජ්‍ය සේවකයො සමස්තයම සමාජයට විවෘත කිරීමක් තමයි සිදු වුණේ. ඒ අතර මේ ගර්භණී කාන්තාවන් හා කිරි දෙන මව්වරැන් පිළිබඳව කිසිදු සඳහනක්වත් කරලා නැහැ. යැයි ඒකාබද්ධ නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
මැයි මස දහ වැනි දින නිකුත් කර තිබූ චක්‍රලේඛයේද ගර්භණී කාන්තාවන් හා කිරි දෙන මව්වරැන් හට සහනයක් ලැබී නැත. ඒ අනුව ඒ කාලය තුළදී ගර්භණී කාන්තාවන්ට රාජ්‍ය සේවයට වාර්තා කිරීමට සිදුවිය. එම කාලයේදී කොවිඩ් එන්නත්කරණය සිදු නොවීම හේතුවෙන් බොහෝ ගර්භණී කාන්තාවන් හට කොවිඩ් වැළඳුණු අතර කිහිප දෙනෙක් කොවිඩ් හේතුවෙන් මිය ගියහ. නැවත රාජ්‍ය සේවකයන් අගෝස්තු මස ආරම්භයත් සමඟ සේවයට වාර්තා කළ යුතු බවට කළ දැනුම් දීමත් සමඟ රජය පවසන්නේ මේ වන විටත් ගැබිනි කාන්තාවන්ට එන්නත්කරණය සිදුකර ඇති බවය.
නමුත් මේ වන විටත් සේවයේ යෙදෙන ගැබිනි කාන්තාවන්ගෙන් 60කට විවිධ හේතු නිසා එන්නත්කරණය සිදු කර නැති බව ඒකාබද්ධ නිලධාරී මධ්‍යස්ථානය චෝදනා කරයි. එන්නත ලබාගත් ගැබිනි කාන්තාවන්ගෙන් බොහෝ පිරිසක් තවමත් දෙවැනි මාත්‍රාව ගෙන නොමැත.
මෙලෙස ගැබිනි කාන්තාවන් හා කිරි දෙන මව්වරැන් මේ අවදානම් කාලසීමාවේ සේවයට වාර්තා නොකරගන්නා ලෙස අපි ජනාධිපති ලේකම්තුමත්, අගමැති ලේකම්තුමත් ඇතුළු ඉහළ නිලධාරීන්ටත් ලිඛිතව කරුණු ඉදිරිපත් කළා. නමුත් තවමත් මේ සම්බන්ධව සාධාරණ පිළිතුරක් ලබා දුන්නේ නැහැ. ගර්භණී කාන්තාවන්, කිරි දෙන මව්වරුන් මේ අවදානම් කාලසීමාවේ සේවයට නොගෙන්වන ලෙස අපි ඉල්ලා සිටියා. අභ්යාසලාභිනියන්, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් සේවිකාවන් ගැනද අවධානය යොමු කරන ලෙස අපි ඉල්ලා සිටියා. නමුත් තවමත් ඒ සඳහා විසඳුමක් ලබා දුන්නේ නැහැ. යැයි ධම්මික මුණසිංහ මහතා පැවසීය.
රාජ්‍ය සේවකයන් බොහෝ දෙනකු සේවයට වාර්තා කරනු ලබන්නේ පොදු ප්‍රවාහන සේවය ඔස්සේය. රාජ්‍ය සේවකයන් සේවයට වාර්තා කිරීමත් සමඟ බස් රථවල සහ දුම්රියවල ඉතා විශාල මගීන් පිරිසක් ගමන් කරන බව පෙනී යයි. සීමිත අසුන්වලට මගීන් නංවාගන්නා යැයි කොයි තරම් සෞඛ්‍ය අංශය උපදෙස් ලබා දුන්නද එය ප්‍රායෝගික නොවේ. මොවුන් අතර මීටරයක් නොමැත. සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයක් නොමැත. මේ නිසා ගමන් ගන්නා ගැබිනි කාන්තාවන් පමණක් නොව සියල්ලන්ගේම ජීවිත අනතුරේය.
රාජ්‍ය සේවයේ සියලු දෙනා අගෝස්තු මස දෙවැනි දින සිට සේවයට කැඳවා ඇතත් ගැබිනි කාන්තාවන් මෙන්ම විශේෂ කණ්ඩායම් සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් එම අදාළ ආයතනවල ප්‍රධානීන්ට තීරණය ගැනීම සිදු කළ හැකි බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
එහෙත් ගැබිණි මව්වරුන් සේවයට කැඳවීම ගිය බ්‍රහස්පතින්දා අවලංගු කළේය.
දිශානි ජයමාලි කරුණාරත්න