2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

ආණ්ඩුවේ සිත් රිදවන ගුරු- විදුහල්පති සටන

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 83

ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා ගන්නට නම් වැටුප් වර්ධක දෙන්නටම ආණ්ඩුවට සිදුවන බව පෙනී යයි. අප මේ සූදානම් වන්නේ ගෙවුණු සතියේ ගුරු වර්ජනයේ දිශානතිය පිළිබඳ විමසා බැලීමටය. ගෙවුණු සතියේ ගුරු වර්ජනය කොවිඩ් වසංගතය තරමටම ආණ්ඩුවට අර්බුදයක් වූයේය. මුලදී නොසලකා හැරීම හේතුකොට එය විසඳිය නොහැකි අර්බුදයක් බවට පරිවර්තනය වූ බව කිවයුතුය.

සුපුරුදු පරිදි සඳුදා කැබිනට්ටුවෙන් ගුරු වර්ජනයට විසඳුම් ලැබෙතැයි පසුගිය සතියේද රටම බලා සිටියේය. එහෙත් එම අපේක්ෂාව භංග වූයේය. සඳුදා (2) කැබිනට්ටුවේදී ආණ්ඩුව තීරණය කළේ ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් අවසන් තීරණය එළඹෙන අයවැයේදී ලබාදීමටයි. වසර 25කට අධික කාලයක් තිස්සේ පවතින ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවට ස්ථිර විසඳුමක් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය මේ තීරණයට එළඹුණි. ආණ්ඩුවේ එම තීරණය අඟහරුවාදා (3) දා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිවේදනය කළේය.

ගත්ත තීන්දුව තමයි වසර අවසානයේ අයවැයත් එක්ක මේ සම්බන්ධයෙන් සහ අනෙකුත් රජයේ සේවකයන්ගේ වැටුප් සම්බන්ධව සහ ජීවන වියදම් සම්බන්ධව ගන්නා තීන්දුවලට සමාන්තරව කිරීමට අපි අවසාන වශයෙන් තීන්දුවක් අරන් තියෙනවා. මොකද එක ප්‍රශ්නයක් විසඳන කොට තවත් ප්‍රශ්න ගණනාවක් මතු වෙන්න පුළුවන්.

මෙම තීරණයක් සමඟ ගුරු සංගම් තවත් උරණ වන බව පෙනී ගියේය. තම ගැටලුව සඳහා විසඳුමක් ලබා නොදෙන්නේ නම් දැනට ක්‍රියාත්මක කර තිබෙන වෘත්තිය සමිති අරගලය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන බව ඔවුහු දැඩිව කියා සිටියහ. කැබිනට් තීරණයට ක්ෂණික ප්‍රතිචාර දැක්වූයේය ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාය. අපේ ඉල්ලීම් ලබාගන්නා තුරු අරගලය මේ රටේ යනවා. අපිට වෙන විකල්පයක් නෑ. අපිට තියෙන්නේ ගණන් ගන්නකම් ක්‍රියාමාර්ගයක් ගන්න. යනුවෙන් ඔහු කියා සිටියේය.

මේ සියල්ල අතරේ ආණ්ඩුව පාර්ශ්වයෙන් තවත් ගුරු වර්ජයනයට එරෙහි විවිධ ක්‍රියාත්මක ගත්තේය. පළමුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් අධ්‍යයන, අනධ්‍යන කාර්යමණ්ඩල ඇතුළු පිරිස් රාජකාරීවලට වාර්තාකරන ලෙස අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛය නිකුත් කර තිබුණි. පාසල් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පෙර සූදානම් කටයුතු සිදු කිරීමට සේවයට වාර්තා කරන්නැයි සියලු ගුරු - විදුහල්පතිවරුන්ගෙන් තමන් ඉල්ලා සිටින බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාද මේ සමඟම පැවසීය.

පාසල් නැවත ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනුව සැප්තැම්බර් මාසයේදී පාසල් සිසුන් සියයකට අඩුවෙන් සිටින පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂාවෙන් සිටිනවා. අධ්‍යාපන කටයුතු ඇනහිටීමෙන් විශාලම පාඩුව සිදුවෙලා තිබෙන්නේ සමාජයේ වරප්‍රසාද නැති පවුල්වල දරුවන්ට. එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. පහසුකම් තිබෙන දරුවන්ට මේක ගැටලුවක් වෙලා නෑ. මොකද ඔවුන් යන පාසල්වල අධ්‍යයන කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. දුෂ්කර පළාත්වල වෙසෙන දූ දරුවන්ට මේක විශාල වශයෙන් බලපානවා. ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීමට අපි සෑම උත්සාහයක්ම ගන්නවා. සියලුම දරුවන් පෙනී සිටින්නේ පොදු තරග විභාගවලට. විභාග පැවැත්වෙන දිනත් අපි දැනුම් දී තිබෙනවා. මේ තත්ත්වය තුළ ප්‍රමුඛ අවශ්‍යතාව තමයි සෞඛ්‍ය නිර්දේශවලට යටත් වෙමින් හැකිතාක් ඉක්මනින් පාසල් විවෘත කිරීම.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ ඉල්ලා සිටියද ගුරුවරු සිය වර්ජන ක්‍රියාමාර්ග අතහැරියේ නැත. අවසානයේ අදාළ චක්‍රලේඛය අකුලා ගන්නා තැනට ඔවුහු ආණ්ඩුවට බලපෑම් කළහ. ඒ සමඟ විරෝධතා තවදුරටත් පුළුල් කිරීමට ගුරු සංගම් තීරණය කළේය. මේ අතර ගුරු විදුහල්පති සංගම් සහ රජය අතර තවත් නිල සාකච්ඡාවක් අඟහරුවාදා (3) පැවැත්වුණි. අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරු එක්ව සිටියහ. එහිදී විශේෂ යමක් සිදුනොවු අතර කැබිනට් තීරණය ගුරු සංගම් වෙත දැනුම් දීම සිදුවිය. වෘත්තීය සමිති නියෝජිතයන් අයවැයෙන් ලබාදෙන විසඳුම කුමක්ද යන්න ප‍්‍රශ්න කළ අතර, ඒ පිළිබඳ පැහැදිලි පිළිතුරක් නොවීය. පෙරදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ‘සුභෝධනී කමිටු’ වාර්තාව ක්‍රි‍යාත්මක කළ යුතු බව වෘත්තීය සංගම් දැඩිව කියා සිටියේය. අවසානයේ සුපුරු පරිදිම ඉදිරි කැබිනට්ටුවේ දී මෙය සාකච්ඡා කරන බව අමාත්‍යවරුද කියා සිටියහ.

මෙම සාකච්ඡා සිදුවන විටත් බදාදා (4) දැවැන්ත විරෝධතාවක් වෙනුවෙන් ගුරු විදුහල්පති සංගම් පිඹුරුපත් සකස්කර තිබුණි. ඒ අනුව බදාදා විරෝධය දැවැන්ත විරෝධතාවක් බවට පරිවර්තනය විය. වැලිසර නවලෝක කී‍්‍රඩාංගණය අසලින්, කඩවත අධිවේගී පිවිසුම අසලින්, පන්නිපිටිය ධර්මපාල විදුහල අසලින් හා මොරටුව නගරයෙන් ආරම්භ වන රථ පෙළපාළිවලින් කොළඹ නගරයට පැමිණි ගුරුවරු ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් දියත් කළහ. කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් සිදුකළ මෙම විරෝධතාවට එරෙහිව පොලිස් ස්ථාන කිහිපයකින්ම අධිකරණ නියෝග ලබාගෙන තිබුණද විරෝධතාකරුවෝ ඒ සියල්ල නොතකා හැරියහ. කොළඹ ජානපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තත්ත්වය බරපතළ වූ අතර විරෝධතාකරුවෝ ප්‍රකෝපකාරීව හැසිරෙන්නට වූහ. අවසානයේ ගුරුවරු ඇතුළු 44 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. ගුරු සංගම් නියෝජිතයන් ඊට එරෙහිව වූ අතර. එම සිදුවීම අවස්ථාවේදී ගුරු වෘත්තීය සමීති නායක ජෝශප් ස්ටාලින් මෙසේ කියා සිටියේය.

උද්ඝෝෂණය කිරීමේදී පොලීසිය සම්පූර්ණයෙන්ම ඉඩ හදලා දීලා යනකොට අත්අඩංගුවට ගැනීම පස්ස දොරෙන් කරපු ක්‍රියාවක්. මාලිගාවත්ත, දෙමටගොඩ, පෑලියගොඩ, වැල්ලවත්ත වගේ පොලීසිවලින් මේ අයව අරගෙන වරාය ඇතුලේ පොලීසියට ගෙනියන්නේ. වරාය ඇතුළේ පොලීසියට කාටවත් යන්න බෑ. ඊයේ ඇඳන් හිටපු ඇඳුම් ඒ අයට තියෙන්නේ. කිරි දෙන අම්මා කෙනෙකුත් ඉන්නවා. ඇයත් ගුරුවරියක්.

කෙසේ වෙතත් රටපුරා සතිය පුරා පැවති ගුරු වර්ජන සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් එක්වූහ. සෞඛ්‍ය මාර්ග උපදේශ මුළුමනින්ම පහේ නොසකා හැරුණි. ගුරු වර්ජනය සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ විශාල මත ගැටුම් නිර්මාණය වූයේය. ගුරුවරුන්ගේ ක්‍රියාමාර්ගය ඇතැමෙක් දැඩිව විවේචනය කරන්නට වූහ. ගුරුවරුන්ට බඩු නොවිකුණන බව ලියා ප්‍රදර්ශනය කළ වෙළන්දෙකුගේ ඡායාරෑපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වීම හේතු කොටගෙන තත්ත්වය තවත් බරපතල වුණි. පාර්ලිමේන්තවද සතිය පුරා අවස්ථා කිහිපයකදීම ගුරු වර්ජන හේතුවෙන් උණුසුම් විය. විපක්ෂය විසින් ගුරු වර්ජනය මෙහෙවන බවට ආණ්ඩුව චෝදනා කළේය. එක් අවස්ථාවකදී සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා කියා සිටියේ ගුරු වර්ජනයට සහභාගීකරන සිය ආධාරකරුවන් සංඛ්‍යාව සම්බන්ධව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කතාබහ කරන ආකරය තමන් ඇතුළු පිරිසකට ඇසුණු බවයි.

දිවයින පුරා ක්‍රියාත්මක වූ ගුරු විරෝධතාවලදී අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම සිදුවිය. එසේම විරෝධතාවලට එරෙහිව අධිකරණ නියෝගද රැසක් සතිය පුරා නිකුත් විය. මේ අතර සුවිශේෂී සිදුවීම කිහිපයක්ම වාර්තා විය. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් බදාදා මහනුවරින් ඇරඹුණු විරෝධතා පාගමන බ්‍රහස්පතින්දා (05) දෙවැනි දිනට මාවනැල්ල නගරයේ සිට ගමන් ආරම්භ කෙරිණි. ඒ අතර මහනුවර සිට කොළඹ බලා පැමිණෙන මෙම පාගමන වළක්වන ලෙස ඉල්ලා කෑගල්ල පොලීසිය, කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එහෙත් එම ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණි.

ජනාධිපති ලේකම් කාර්යාලය අසල සිදුකළ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී ද වෘත්තීය සමිති සාමාජිකයන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. කෙසේ හෝ අවසානයේ විරෝධතාවයේ නිරතවී සිටියදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනා පෞද්ගලික ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඔවුන් සමඟ පොලිස් භාරයට ගත් වාහනද නිදහස් කිරීමට අධිකරණය නියෝග කළ අතර නඩුව නැවත සැප්තැම්බර් 17 වැනිදා යළි කැඳවීමට තීරණය විය.

සති අන්තය එළඹෙන විට තත්ත්වය බරපතළ වෙමින් තිබුණි. ආණ්ඩුවේ මූල්‍ය අර්බුදය, රට මුහුණ පා සිටින සෞඛ්‍ය අර්බුදය සියල්ල හරහා හීයක් පරිද්දෙන් ගුරු වර්ජනය ගමන් කරමින් සිටියේය. අධ්‍යාපනය මුළුමනින්ම කඩාවැටී මාසයක ආසන්න කාලයක් ගෙවී ගොස් තිබුණි. කවරකු හෝ නම්‍යශීලී වියයුතුය බව නම් පැහැදිලි පෙනී ගියේය. එහෙත් කිසිවෙක් එළඹ ගත් මතවාදවලින් මිදීමට අකමැති වූහ. අනාගත පරපුර බිලි පූජාවට රුගෙන යකැදුරෝද ආතුරයෝද තොවිල් පොළේ උමතුවෙන් නටමින් සිටිති.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03