ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ඉතාලි ජාතික මාසෙල් ජේකොබ්ස් ලොව වේගවත්ම මිනිසා බවට පත්වෙමින් මීටර් 100 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීම වඩාත් කතාබහට පත්ව තිබේ.
ජේකොබ්ස් එම රන් පදක්කම දිනාගනිමින් ඉතාලි ක‍්‍රීඩා ඉතිහාසයට රන් පරිච්ඡේදයක් එකතු කිරීමට සමත් විය. මෙම රන් පදක්කම ඔලිම්පික් ක‍්‍රීඩා ඉතිහාසයේ ඉතාලිය මීටර් 100 පිරිමි ඉසව්වෙන් දිනාගත් පළමු රන් පදක්කම වීම වඩාත් කැපී පෙනේ.
මාසෙල් ජේකොබ්ස්ගේ මළල ක‍්‍රීඩාවේ ආරම්භක ඉසව්ව දුර පැනීම වන අතර ඔහු 2016 වසරේ මීටර් 7.89ක දස්කමක් දක්වමින් ඉතාලි දුර පැනීමේ ජාතික ශූරයා බවට පත්විය. එම ආරම්භයත් සමඟ ජේකොබ්ස් 2017 වසර අවසන් වන විට ලෝක මළල ක‍්‍රීඩා ශ්‍රේණිගත කිරීමේ දුර පැනීමේ ඉසව්වේ පළමු ක‍්‍රීඩකයන් දස දෙනා අතර පැමිණීමට සමත් විය.
ජේකොබ්ස් පසුගිය මැයි මස 13 වැනිදා මීටර් 100 ඉසව්ව තත්පර 9.95කින් අවසන් කරමින් නව ඉතාලි ජාතික වාර්තාවක් පිහිටුවමින් මෙම රන් පදක්කම සඳහා පසුබිම සකසා ගත්තේය.
අමෙරිකානු ජාතික පියකුට සහ ඉතාලි ජාතික මවකට දාව 1994 වසරේ අමෙරිකාවේ ටෙක්සාස්හි උපත ලැබූ ඔහු මෙලොව එළිය දැක මාසයක පමණ කාලයකදී ඉතාලියේ ස්ථිර පදිංචිකරුවෙක් බවට පත්විය.
ටෝකියෝ ක‍්‍රීඩාංගණයේදී පසුගිය 1 වැනිදා පස්වරැවේ පිරිමි මීටර් 100 අවසන් තරගය ආරම්භ වීමට පෙර ද මාසෙල් ජේකොබ්ස් ජයග‍්‍රහණය කරන බවට විචාරකයන් පවා ප‍්‍රකාශ නොකිරීම කැපී පෙනුණි.
කෙසේ වෙතත් ජේකොබ්ස් ජයග‍්‍රහණයෙන් පසුව පවසා තිබුණේ රන් පදක්කම තම අවසන් ඉලක්කය බවට පත්ව තිබූ බවයි.
ජේකොබ්ස්ගේ ජයග‍්‍රහණයත් සමඟ ජැමෙයිකාව, අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය යන රටවල් ලෝක මළල ක‍්‍රීඩා පිටියේ මීටර් 100 ඉසව්වේ නිර්මාණය කරගෙන තිබූ බලය බිඳ වැටුණි. මෙවර මීටර් 100 පිරිමි ඉසව්වට කිසිදු ජැමෙයිකානු ක‍්‍රීඩකයකු සුදුසුකම් නොලැබීමත් ප‍්‍රබල බ්‍රිතාන්‍ය ක‍්‍රීඩකයන් දෙදෙනාම වැරදි ආරම්භයන් හේතුවෙන් අවසන් පූර්ව තරගයේදී සහ අවසන් මහා තරගයේදී තරගයෙන් ඉවත්වීමට සිදුවීමත් වඩාත් කැපී පෙනුණි.
ජේකොබ්ස්, දිනාගත් ඓතිහාසික රන් පදක්කමත් සමඟ විනාඩි පහක පමණ කාලයක් තුළ ඉතාලියට මළල ක‍්‍රීඩා ඉසව් දෙකකින් රන් පදක්කම් දෙකක් හිමිවිය. ඉතාලි උස පැනීමේ ශූර ජන්මර්කෝ තම්බෙරී රන් පදක්කම දිනා සිය මිතුරා වන ජේකොබ්ස් මීටර් 100 ඉසව්ව ජයග‍්‍රහණය කරන දෙස බලා සිට ඔහුට පළමුවෙන්ම සුබ පැතීම බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.
ජන්මර්කෝ තම්බෙරී ජයග‍්‍රහණය කළ උස පැනීමේ රන් පදක්කම ද වඩාත් කතාබහට ලක්ව තිබේ. එහිදී කටාර් ක‍්‍රීඩක මුතාස් බර්ෂීම් සහ ජන්මර්කෝ තම්බෙරී අතර එම ඉසව්වේ රන් පදක්කම සම ශූරයන් ලෙස සමව බෙදුණි.
මෙම ක‍්‍රීඩකයන් දෙදෙනාම මීටර් 2.37ක උස සාර්ථක කර සිටියදී මීටර් 2.39ක උස අභියෝගය ජය ගැනීමට දෙදෙනාම අපොහොසත් වූහ. ඒ අනුව දෙදෙනාට තවත් එක අවස්ථාව බැගින් ලබාදීමට තරග නිලධාරීහු කටයුතු කළහ.
නමුත් එම අවස්ථාව වන විට තම්බෙරී ආබාධයකට ලක්ව සිටීම නිසා ඔහු අතිරේක අවස්ථාවෙන් ඉවත් විය. එහිදී කටාර් ක‍්‍රීඩක මුතාස් බර්ෂීම් ද අතිරේක අවස්ථාවෙන් ඉවත්ව තරග නිලධාරීන් වෙත ගොස් දෙදෙනාට රන් පදක්කම සමව බෙදා දිය හැකිදැයි විමසීය. එහිදී ඔලිම්පික් නිලධාරීන් එම ඉල්ලීමට එකඟ වීමත් සමඟ එම ක‍්‍රීඩකයන් දෙදෙනාට රන් පදක්කම බැගින් ප‍්‍රදානය කළ අතර එම ඉසව්වේ රිදී පදක්කම ඉවත් කළේය.
රන් පදක්කම සමව බෙදාදීමේ සිද්ධියක් මෙවර වාර්තා වූයේ වසර 109කට පසුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
යගුලිය විසිකිරීමේ කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනූ අමෙරිකානු ක‍්‍රීඩිකා රවෙන් සවුන්ඩ‍්‍රස් පදක්කම් ප‍්‍රදානෝත්සවයේදී දෑත්වලින් ‘එක්ස්’ අක්‍ෂරය පෙන්වමින් කළු ජාතිකයන්ට වන කෙණහිළිකම් පිළිබඳව කළ ඉඟියක් පිළිබඳව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව පරීක්‍ෂණයක් ආරම්භ කර තිබුණි.
ඇය සිය ඉඟිය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යයට පවසා තිබුණේ අසාධාරණයට ලක්ව විරෝධය ප‍්‍රකාශ කරන්නන් හමුවන මංසන්ධිය තමන් එසේ පෙන්වූ බවයි.
ටොකියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මෙවැනි සිද්ධීන් වන අතරතුරදී එම ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නව දෙනාම දැඩි අසාර්ථකත්වයක් ප‍්‍රදර්ශනය කිරීම කැපී පෙනුණි.
ඉතාලියේ සිට පැමිණ මීටර් 100 පිරිමි ඉසව්වට සහභාගි වූ යුපුන් අබේකෝන් මූලික වටයේ තරගයේ හයවැනි ස්ථානයට පත්විය. එහිදී යුපුන් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට අපොහොසත් වීම පැහැදිලිව දැකගත හැකිවිය.
ස්වීඩනයේ සිට අශ්වයන් මෙහෙයවීමේ තරගයට සහභාගි වූ මැටිල්ඩා කාල්සන්ට ද පළමු වටයෙන්ම තරගයේ ඉවත්වීමට සිදුවූවාය. රැපියල් මිලියන 140කට අධික වටිනාකමකින් යුත් යැයි කියන මැටිල්ඩාගේ ‘චොපින්’ නැමැති අශ්වයා දෙවරක්ම පැනීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා ඇයට ශ‍්‍රී ලංකාවේ සෙසු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අත්වූ ඉරණමට මුහුණ දීමට සිදුවිය.
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නව දෙනකු සමඟ නිල වශයෙන් 26 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ අතර තවත් පරම්පරා දෙකක් ගත වුවද ශ‍්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමට නොහැකි තත්ත්වයක් මේ වන විට ප‍්‍රදර්ශනය වේ.
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට යාන්තමින් සුදුසුකම් ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ලක්‍ෂ ගණනින් මහජන මුදල් බෙදා දීමෙන් ක‍්‍රීඩාව ගොඩගත හැකි යැයි මෙරට ක‍්‍රීඩා බලධාරීන් සිතන්නේ නම් අනාගතය කෙබඳු විය හැකිද යන්න අපහසු නොවේ.
යොහාන් භාසුර