2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

පෙරටුගාමීන් දේශපාලන ගරිල්ලා මෙහෙයුමක

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 84

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෑත ඉතිහාසයේ ආරම්භ වුණු ක්‍රියාකාරී වාමාංශික පක්ෂයකි. මෙරට යල් පැනගිය වාමාංශික ව්‍යාපාරයට එරෙහිව නව ආරයක් ලබාදීමේ අරමුණින් එම පක්ෂය ආරම්භ කළත් ඔවුන් බලාපොරොත්තු වූ අරමුණ වෙනුවෙන් ළඟා වීමට හැකි වූවාද යන්න පිළිබඳ ප්‍රශ්නයක් ඇත. මෙරට ක්‍රියාත්මක ඡන්ද කිහිපයකටම තරග කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් වුවත් ඒ කිසිදු ඡන්දයකින් සාර්ථකත්වයක් ලබා ගැනීමට ඔවුන්ට හැකිවූයේ නැත. බොහෝදෙනා ජනතා විමුක්ති පෙරමුණට පවා පෙරටුගාමී පක්ෂය අභියෝගයක් වනු ඇතැයි සිතුවත් එයද එකී විචාර තරමට සිදුවූයේ නැත.

එහෙත් පෙරටුගාමී පක්ෂය මේ වනවිට මේ රට තුළ දලුලා වැඩෙන පක්ෂයක් බවට පත්ව ඇත. අද බොහෝ රැඩිකල් තරුණ ප්‍රජාව පක්ෂය කෙරෙහි නංවා ගැනීම සඳහා ඔවුන් නොකරන දෙයක් නැත. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබූ විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල පවා අද පෙරටුගාමීන් වෙත ඇදෙමින් ඇත. බලය අල්ලා ඇත. ඒ නිසා අභ්‍යන්තරික වශයෙන් පෙරටුගාමීන් දේශපාලනික ගරිල්ලා සටනක නිරත වෙමින් සිටින ඕනෑම දේශපාලන ඉවක් ඇති අයකුට දැනෙන දෙයකි.
වර්තමානයේ ආණ්ඩුවට එරෙහි ජනතා අරගල, වෘත්තීය අරගලවල කොටස්කරුවකු ලෙස පෙරටුගාමීන් පෙනී සිටීම එකී දේශපාලනික ගරිල්ලා මෙහෙයුමේ එක් කොටසක් ලෙස හැඳින්විය හැක. බලය ලබා ගැනීමේ අරමුණ වෙනුවෙන් නොව මේ ක්‍රමය වෙනස් කරමින් බලය වෙත පාර කපා ගැනීම මොවුන්ගේ මුලික අරමුණ වී ඇත. එය කෙතරම් සාර්ථකද? එය කළ හැකි දෙයක්ද යන්න වෙනම කතාකළ යුතු මාතෘකාවකි.

කෙසේ වෙතත් පෙරටුගාමී පක්ෂය පිළිබඳව මේ අටුවා ටීකා ටිප්පනි ලීවේ ඔවුන්ගේ පක්ෂය පිළිබඳ ගුණ වැයීමට නොව ඔවුන් මෙවර දේශපාලන කරළියේ සිදුකරමින් පවතින වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යම් දේශපාලනික කියවීමක් සිදුකිරීමේ අරමුණින්ය. මේ වනවිට දැනටමත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වර්තමානයේ පවතින ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ වර්ජන ගැනත් ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාකලාප ගැන වාමාංශික පක්ෂ අතර එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇත. ඒ පෙරටුගාමී පක්ෂය විසින් ඒ වෙනුවෙන්ම සකසන ලද වැඩපිළිවෙළක්ද සමඟය.

මේ සඳහා ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සමඟත් ඊට අමතරව දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇත. පසුගියදා මෙහි එක් සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවති අතර ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි විය.

කෙසේ වෙතත් දැඩි වාමාංශික මතධාරී පෙරටුගාමී පක්ෂය සමඟ ශ්‍රීලනිපය සාකච්ඡා කිරීම බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබුණත් එය එතරම් තීරණාත්මක සාකච්ඡාවක් නොවූ බව සඳහන් වේ. එහෙත් ගුරු අරගලය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ මතය එක හා සමාන විය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් පෙරටුගාමී පක්ෂය මාධ්‍ය නිවේදන නිකුත් කළත් ශ්‍රීලනිපය මෙය ගණන් නොගත් හමුවීමක් බවට පත්කළේ ඒ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් නොකියා සිටිමිනි. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අදහස වූයේ පෙරටුගාමී නොව ඕනෑම පක්ෂයක් සමඟ තම පක්ෂය සාකච්ඡා කරන බවය. 
මේ සම්බන්ධයෙන් පෙරටුගාමී පක්ෂයේ මාධ්‍ය ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවගෙන් විමසීමක් කළවිට ඔහු සඳහන් කර සිටියේ මෙවැනි අදහසකි.

ඇත්තටම මේක මේ පක්ෂ අතර සන්ධාන ගතවීමක් නෙමෙයි. අපි මේ වර්තමානයේ රටේ ඇතිවෙලා තියෙන ප්‍රශ්න ගැන කතා කළා. ඒ වෙනුවෙන් විසඳුම් හොයන හැටි සහ ඒ සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තියත් රුගෙනයි ඒ පක්ෂ හම්බවෙන්නේ. අපි රටේ එක් එක් ප්‍රශ්නවලදී ඒ වෙනුවෙන් විසඳුම් හොයන ආකාරය සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. එක්ව සටන් වදිනවාද? වෙන වෙනම පක්ෂවල ප්‍රතිපත්ති එක්ක යනවද? කියලා. ඇතැම් ප්‍රශ්නවලදී පිළිතුරු තියෙන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති එක්ක. එතකොට අපිට පුළුවන් වෙන්ව සටන් කරන්න. හැබැයි හැමෝම එකඟ වෙන විසඳුමක් වෙනුවෙන් නම් එක්ව වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසයි අපි කියන්නේ මේ සන්ධානයක් නෙමෙයි කියලා.
ප්‍රශ්නය: එක්ව ගියොත් ආණ්ඩුවේ මර්දනයට කණ්ඩායමක් හැටියට ගොදුරු වෙන්න පුළුවන් නේද?

ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. ඒත් අපි ඔක්කොම එකට යනව කියලා තීරණය කරලා නෑ. ශ්‍රීලනිපය ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක්. ඒත් ඔවුන් එක්ක සාකච්ඡා කරන්නේ ආණ්ඩු පෙරළන්න නෙමෙයි. ඇත්තටම කතා කරන්නේ පවතින ප්‍රශ්නවලට විසඳුම් හොයන්න. විශේෂයෙන් පවතින ආර්ථික අර්බුද, පොහොර ප්‍රශ්නය, වගේ කාලීන ප්‍රශ්න. එහෙම නැතුව වෙන දෙයක් නෑ.

කෙසේ වෙතත් ඉදිරියේ සාකච්ඡා කිරීමට ඇත්තේ දෙමළ සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් සමඟයි. මෙහි තීරණාත්මක සාකච්ඡාව ජවිපෙ සමඟයි. එය බොහෝදෙනා බලා සිටින මොහොතකි. එනම් කාලයක් ජනතා විමුක්ති පෙරමුණේම කොටස්කරුවන් වූ පෙරටුගාමී සාමාජිකයන් තම පළමු පක්ෂය සමඟ එකඟතාවයකට පැමිණීම සියලු වාමාංශිකයන්ට අනාගත බලාපොරොත්තු තබාගත හැකි අවස්ථාවකි. එහෙත් ජවිපෙ සාමාජිකයන් විසින් පෙරටුගාමියේ කුමාර් ගුණරත්නම් වැනි ජවිපෙ පළමු සාමාජිකයන් නොදන්නා බව කීමත්, පෙරටුගාමය ජවිපෙට අභියෝගයක් නොවන බව කීමත් නිසා වර්තමානයේ මෙම පක්ෂ දෙක එක මතයකට පැමිණීම මෙරට වමේ දේශපාලනයේ වමේ මතය පිළිබඳ හොඳ මිම්මක් වනු ඇත. එහෙත් එය 100 සාර්ථක වේ දැයි දන්නේ නැත.

එසේම දෙමළ සන්ධානය සමඟ සාකච්ඡාවද එසේ වනු ඇත. උතුරු ගැටලුව සම්බන්ධයෙන් පෙරටුගාමීන්ගේ මතය කුමක්ද යන්නත් ඒ සඳහා දෙමළ සන්ධානයේ මතය කුමක්ද යන්නත් බලාගත හැකි අවස්ථාවක් වනු ඇත.

කෙසේ වෙතත් මේ සියල්ල බලාපොරොත්තු පමණකි. ආරම්භය පමණකි. ප්‍රශ්න වෙනුවෙන් එක්වීම දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුවුවත් මත ගැටුම් මත බොහෝ එක්වීම් වෙන්වී යාමේ ඉඩ විශාලය. මෙරට පක්ෂ තුළ එවැනි උදාහරණ එමටය. ඒ නිසා පෙරටුගාමීන් එය කෙසේ කළමනාකරණය කර ගනීද යන්න අනාගතයේ බලාගත හැක. 

 ගයාන් ගාල්ලගේ