ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට රුගෙන යාම සඳහා “රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුන” ඉදිරිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරියේය. රත්නපුර දෙමුවාවතේ තනන මෙම මැණික් කුලුන අදියර දෙකක් යටතේ ගොඩනැගීමට සැලසුම් සකස් කර තිබේ. රත්නපුර ප්‍රදේශයෙන් ලොව විශාලතම නිල් ආරනූල් පොකුර හමුවූ බව වාර්තා වූයේ පසුගිය සතියේය. ඒ අතරම විශාල නිල් මැණික් පොකුරක් ගැන ද වාර්තා විය. මෙසේ අලංකාර මාධ්‍ය වාර්තා උඩ දමන අතර රත්නපුරයම වැනසෙන ආරංචි ද තිබුණත් ඒවා උඩට මතුවීමක් නම් නැත. ඒ අනවසරයෙන් කෙරෙන මහා පරිමාණ යාන්ත්‍රික මැණික් ගැරීම් ගැනයි.
රත්නපුරය මිණිපුරය වුණේ මැණික් නිසාය. අවුරුදු දහස් ගණනක් තිස්සේ රත්නපුර මැණික් ලෝකයේ ප්‍රකටය. එකල සුළු පරිමාණයෙන් පරිසරයට හානිදායක නොවන ආකාරයෙන් කළ මැණික් පතල් කර්මාන්තය මෑත අතීතයක සිට මහා පරිමාණ යාන්ත්‍රික ගැරීමක් දක්වා ව්‍යාප්තව පවතී. මෙහිදී පරිසර හානිය ගැන තුට්ටුවකටවත් නොසැලකෙන අතර මුදල් ඉපයීම පමණක් සලකා බැලේ. මේ ගැරිල්ල පිටුපස ඉන්නේ දේශපාලනඥයන් බව ප්‍රකට රහසකි. මේ නිසා බලපත්‍ර ලත් පතල්වලට තිබෙන කොන්දේසි මේවාට අදාළ වන්නේ නැත. 2015 සිට ටික කාලයකට අනවසර මැණික් ගැරීම අඩුවුවද මෑතක සිට යළිත් හිස ඔසවා තිබේ.
පරිසර අධිකාරිය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, පොලීසිය වැනි කිසිදු ආයතනයක් මෙම අනවසර ක්‍රියාවලියට එරෙහිව කටයුතු නොකළේ, බොහෝ දේශපාලුවන්ට මුදල් වියදම් කරන්නේ මැණික් පතල් මෙහෙයවන මැණික් මුදලාලිලා විසින් බැවිනි. පන්නිල ඇතුළු වැසි වනාන්තර සහ රක්ෂිත පවා වැනසීමට ඉඩ දී, ඒවාට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වෙනත් ආයතනවලට කටයුතු කරන්නට නොදෙන්නේද දේශපාලනඥයන් පිරිසම බව පැවසේ.
මේ පිළිබඳව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පර්ෙය්ෂක සජීව චාමිකර මෙසේ පවසයි:
“ප්‍රබල දේශපාලනඥයන්ගේ මෙහෙයවීම යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් විශාල වාසි අත්පත් කර ගන්නවා. නමුත් බහුතර ජනතාවක් දැඩි පීඩාවකට පත්ව සිටිනවා. පානීය ජලය අහිමිවීම, දෛනික ජල අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොහැකි වීම, කුඹුරු ඉඩම් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්වීම, කඳුවැටි නාය යෑමට ලක්වීම, මාර්ග හා ජනාවාස භාවිතයට ගත නොහැකිවීම ඒ නිසා සිදුවනවා. සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස ජන දිවිය බිඳ වැටී බොහෝ ජනතාවකට අවතැන් වීමට සිදුව තිබෙනවා. නමුත් ව්‍යාපාරික බලය හා දේශපාලන බලය නිසා ඔවුන්ගේ ගැටලු ගැන කතා කරන්න කෙනෙක් නැහැ. ජනතා පීඩනය යටපත් කරලා. යාන්ත්‍රික පතල් කැණීම් ප්‍රදේශ අවට ජීවත් වන ජනතාවට මූලික අයිතිවාසිකම් අහිමි වූ ජනතාවක් ලෙසයි ජීවත් වන්නට සිදුව ඇත්තේ.
කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් 2020 අවුරුද්දේ මැද වන විට රත්නපුරේ මැණික් මිල ඉතා පහළ මට්ටමකට වැටී තිබුණි. මේ නිසා ශ්‍රමයට සරිලන මිලක් මැණික් සඳහා ලබාගත නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්වී ඇතැයි පතල් කම්කරුවෝ එකල පැවසූහ. රත්නපුර දිස්ත්‍රිකයේ පල්ලේබැද්ද, ගොඩකවෙල, නිවිතිගල, කලවාන, කහවත්ත, පැල්මඩුල්ල, බලංගොඩ, ඇඹිලිපිටිය ඇතුළු සියලු ප්‍රදේශවල පතල් කර්මාන්තයේ නියැලෙන පිරිස මේ නිසා දුෂ්කරතාවලට පත්ව සිටියහ. එකල රුපියල් ලක්‍ෂ 100ක් පමණ වටිනා මැණික් ගලක මිල රුපියල් ලක්‍ෂ 20ක් හෝ ලක්ෂ 30ක පමණ මිල දක්වා පහත වැටී තිබුණු බව පැවසේ. දැන් කොරෝනා ව්‍යාප්තිය වර්ධනය වී පැවතුණ ද ලෝක වෙළෙඳපොළ යළිත් විවෘත වී පැවතීම නිසා මැණික්වලට වෙළෙඳපොළ වර්ධනය වෙමින් පවතී. මේ නිසා යළිත් බලපත්‍ර ලබාගෙන මැණික් ගැරීමට අමතරව හොරෙන් මැණික් ගැරීම වේගයෙන් ඉහළ නැග ඇත. හොර ගැරුම්කරුවෝ බාධාවකින් තොරව ඉල්ලම් පුරවමින් සිටිති.
මේ තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා පොලිස් දෙපාර්තමේන්තුව වගකීම් පැහැර හැරීම බවයි පැවසෙන්නේ. නීති විරෝධී මැණික් කැණීම් නතර කිරීමට අවශ්‍ය වැටලීම් සිදුවන්නේ ඕනෑවට එපාවට බවයි ආරංචි වන්නේ. බලපත්‍රවල කොන්දේසි අනුව කැණීම් කරන්නේදැයි පසු විපරම් නොකිරීම පමණක් නොව නීති විරෝධී කැණීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට අල්ලස් ලබාගැනීම ද සිදුවන බව පැවසේ.
1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත පනවා තිබෙන්නේ මැණික් කර්මාන්තය විධිමත් කිරීම සඳහාය. 2020 ජනවාරි 14 වැනි දින දරණ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදුකර ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවෙන් පැහැදිලි වන්නේ නීති විරෝධී මැණික් කැණීම්වලට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් පරිදි සිදුකර නැති බවයි. 2013 විගණන වාර්තාවේද එම කරුණම අවධාරණය කර තිබේ. යාන්ත්‍රිකව සිදු කරන පතල් කැණිම් නිරීක්ෂණය අසතුටුදායක බවත් ස්ථානීය පරික්ෂණ අසතුටුදායක බවත් එම ස්ථාන නිරික්ෂණයට සවි කළ යුතු සී.සී.ටී.වී. පද්ධති කිසිම පතලක සවිකර නොතිබූ බවත් එම විගණන වාර්තාව සඳහන් කර තිබේ. ලොකු වියදමක් දරා සකස් කරන විගණන වාර්තා බලධාරින් හමස් පෙට්ටියට දමා ඇති බවයි පෙනෙන්නේ.
මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ඔක්කම්පිටිය කුඹුක්කන්ඔයේ නියදැල්ල, උපාලිය ප්‍රදේශවල හා රත්නපුර දිස්ත්‍රික්කයේ වේ ගඟ ආදී ස්ථාන බොහොමයක නීති විරෝධී මහ පරිමාණ යාන්ත්‍රික මැණික් කැණීම් කටයුතු සිදු කිරීමට මැණික් ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබාදීම හා පසු විපරම් කරමින් නීති ක්‍රියාත්මක කිරීමට බලධාරීන් ක්‍රියා නොකිරීම නිසා විශාල පාරිසරික හානියක් සිදුව තිබේ. කළු ගඟ, වේ ගඟ, බඹරබොටුව ගඟ, දෙනවක් ගඟ ආදී ජල මාර්ගවල ස්ථාන ද මේ නිසා හානියට පත්ව ඇත. කුරු ගඟේ අතු ගංගාවක් වන එල්ලාවල ගඟේ ද යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කෙරේ.
‘යාන්ත්‍රික මැණික් කැණීමේ දී ගංගාවල් ඇතුළු ජල මූලාශ්‍ර භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වෙනවා. ඒවායෙහි ජීවත් වන සියලු ජෛව ප්‍රජාව සම්පූර්ණයෙන්ම වඳවීමට ලක් වී සිටිනවා. මේ කටයුතුවලට බැකෝ යන්ත්‍ර, බුල්ඩෝසර් යන්ත්‍ර, උකහා ගැනීමේ යන්ත්‍ර (උකහා ගැනීමේ යන්ත්‍ර රත්නපුර ප්‍රදේශයේ පොම්ප ගැසීම ලෙස හඳුන්වයි.) පමණක් නොව යාන්ත්‍රික සැල්ලඩ ද භාවිත කරනවා. මේවා භාවිතයෙන් එක් වරකට විශාල ප්‍රදේශයක් කැණීම් කරනවා. යාන්ත්‍රික ඉල්ලම් පස් සේදීමේ දී විශාල රොන්මඩ ප්‍රමාණයක් අඛණ්ඩව ජල මූලාශ්‍රවලට එක් වෙනවා. ඒ හේතුවෙන් ජල මූලාශ්‍ර සියල්ලම සම්පූර්ණයෙන්ම රොන්මඩින් පිරී යනවා. යාන්ත්‍රික මැණික් පතල් නිසා ගංගා පතුල් ගැඹුරු වීම, ඉවුරු විනාශ වීම සිදු වෙනවා. ගැඹුරට පතල් කැණීම හේතුවෙන් භූගත ජල මට්ටම පහළ යනවා. අවට බොහෝ ජනතාවකට ළිං ජලය භාවිත කළ නොහැකි වෙනවා. කුඹුරු ඉඩම් වගා කළ නොහැකි තත්ත්වයකට පත් වෙනවා.* පරිසරවේදී සජීව චාමිකර වැඩිදුරටත් පැවසුවේය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 15(1) වගන්තියට අනුව රජයේ හෝ පෞද්ගලික ඉඩමක මැණික් කැණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් එකම බලධරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. එම පනතේ 15(2) වගන්තියට අනුව බලපත්‍රයක් නොමැතිව කුමන ආකාරයක හෝ මැණික් පතල් කැණීමක් සිදු කිරීමට හැකියාවක් නැත. ලබාදෙන බලපත්‍රයේ කොන්දේසිවලට හා නියමයන්ට යටත්ව කැණීම් කටයුතු සිදු කළ යුතු අතර බලපත්‍රය මාස 12ක කාලයක් සඳහා පමණක් වලංගුය. බලපත්‍රයක් සහිතව හෝ රහිතව සිදු කරන මැණික් කැණීම් භූමියකට ඇතුළු වීම හා පරීක්ෂා කිරීමේ බලය අධිකාරියට හා අධිකාරිය විසින් බලය පවරන අයකුට හැකියාව ඇත.
එම පනතට අනුව බලතල ක්‍රියාත්මක කිරීම සඳහා එම අධිකාරියට වෙනත් රාජ්‍ය නිලධාරීන්ට බලය පැවරිය හැකිය. ඒ අනුව 2013.10.16 වැනි දින අංක IGP/IN/1634/2014 දරන ලිපිය මගින් එම බලය පොලිස් නිලධාරීන්ට හා පොලිස් විශේෂ කාර්යය බලකායේ කඳවුරු භාර නිලධාරීන්ට පවරා ඇත. ඉන් පසුව 2015.05.11 වැනි දින නිකුත් කළ පොලිස් චක්‍රලේඛ අංක 2542/2015 අනුව බලපත්‍ර නොමැතිව නීති විරෝධීව මැණික් කැණීම් සිදු කරන ස්ථාන වටලා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලය පිළිබඳව සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී ඇත. පනතට අනුව නම් පරිසරයට හානිවන අයුරින් යාන්ත්‍රික මැණික් ගැරීම තබා පොළොවේ මැණික් ලබාගැනීමේ අරමුණික් අනවසරයෙන් වළක් හෑරීමටවත් නොහැකිය.
ඊට අමතරව ජාතික පාරිසරික පනත ද මේ සඳහා බලපාන තවත් නීතියකි. ජාතික පාරිසරික නියෝගවලට අනුව තහනම් උපකරණ වන බැකෝ යන්ත්‍ර, බුල්ඩෝසර් යන්ත්‍ර හා උකහා ගැනීමේ යන්ත්‍ර භාවිත කර ගංගා තුළ හෝ ගං ඉවුරුවල හෝ ගංගා රක්ෂිතවල මැණික් කැණීම තහනම් කර තිබේ. ගංගාවල හෝ එහි රක්ෂිත ප්‍රදේශවල නීති විරෝධී යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරන පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට හිමිය. මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ ස්වභාවික සම්පත් කළමනාකරණ මාර්ගෝපදේශවලට අනුව නම් මේ යාන්ත්‍රික මැණික් ගැරීම පරිසරයට විනකරන කර්මාන්තයකි. ඉන් සිදුවන හානිය නිසා 2016 දී යාන්ත්‍රික මැණික් ගැරීම තහනම් කළ අතර ඉන් පසු සීමිතව පමණක් බලපත්‍ර ලබාදීම සිදුවිය. එහෙත් මෙම පනත් ක්‍රියාත්මක වන ආකාරය රත්නපුර දිස්ත්‍රික්කයේ පතල් පොළවල්වලට යන ඕනෑම අයකුට දැකගත හැකිය.
සාරවත් කුඹුරු ඉඩම් රාශියක යාන්ත්‍රික පතල් ක්‍රියාත්මකය. එය ගොවිජන සේවා පනත පවා උල්ලංඝණය කිරීමකි. ඊට අමතරව පොල්, තේ හා රබර් ඉඩම්වල ද අද වන විට බැකෝ යන්ත්‍ර ආධාරයෙන් පතල් කැණීම් සිදු කරන බව වාර්තා වේ. එසේ මැණික් කැණීම් කළ ස්ථාන ටික කලකින් අනතුරුදායක ලෙස අතහැර දමා තිබෙන අතර එම වළවල් වසා පරිසරය යථාවත් කිරීමට කාටත් අමතකව ගොසිනි. ඒ පිළිබඳව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කිසිදු සොයා බැලීමක් සිදු නොකරයි.
ඉදිරි වසර 4ක කාලය තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් රුපියල් බිලියන 5ක විදේශ විනිමය ලබාගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම මැණික් කුලුන ඉදිකිරීමේ අරමුණ බව පැවසිණි. මැණික් සහ ස්වර්ණාභරණ අපනයනය අප රටේ ප්‍රධාන විදේශ විනිමය ඉපයීමක් බව කිව යුතු නොවේ. එය වසර දහස් ගණනක් තිස්සේ සිදු කළ දෙයකි. නමුත් පුරාණයේ පැවතියේ ස්වභාවික පතල්ය. මහා පරිමාණ ජාවාරම් වශයෙන් මැණික් ගැරුවේ නැත. මෑත අතීතයේ පටන් රට පුරාම වනගත ප්‍රදේශවල හොරෙන් මැණික් ගැරීම ද සිදුවිය. ඒ ගංගා ඇදීම වැනි ස්වභාවික ක්‍රමවලටය. දැන් ඒ තත්ත්වය ධනවත් මුදලාලිලා විසින් යන්ත්‍රවලට භාර දී තිබේ.
මැණික් වෙළෙඳපොළ බිඳවැටුණු 2020 වර්ෂයේ මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයෙන් ලද ආදායම ඇ.ඩො. මිලියන 148කි. 2021 මුල් මාස තුන තුළ පමණක් මැණික් සහ ස්වර්ණාභරණ අපනයන ආදායම ඩො.මි. 28ක් වන අතර එය වර්ෂය අවසාන වන විට ඩොලර් බිලියන 1ක් දක්වා වර්ධනය කර ගැනීම රජයේ අපේක්ෂාව වී තිබේ. ලෝක වෙළෙඳපොළට නිල් මැණික් සහ වෙනත් උසස් මැණික් වර්ග සපයන රටවල් අතර 9 වැනි තැන ලංකාවට ලැබී තිබේ. ඒ නම ඉදිරියටත් රැකගැනීමට නම් තිරසාර ආකාරයෙන් මැණික් සොයාගෙන මේ කර්මාන්තය වර්ධනය කළ යුතුය. රැකියා අවස්ථා බිහිකරමින් පරිසරයත් රැකගත හැක්කේ එවිටය. වත්මන් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අට වැනි කොටසේ ඇත්තේ තිරසර පරිසර ප්‍රතිපත්තියක් ගැනයි. නමුත් රත්නපුරේ යාන්ත්‍රික පතල්වලට එම ප්‍රතිපත්ති අදාළ නැති බව පෙනේ.
කුසුම්සිරි