2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

අතපය බැඳ ගඟට විසි කළ බස් - දුම්රිය සේවා

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 35

අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීම මෙරට බලධාරීන්ගේ සාමාන්‍ය පුරුද්දකි. මේ කතාවද ඊට අදාළ වූවකි. කොවිඩ් වසංගත සමයේ නිරන්තර අභියෝගයට ලක්වන පොදු ප්‍රවාහන සේවා පිළිබඳ විමසා බැලීමට අපි තීරණය කළෙමු. නැවත සිදුවන වසංගතයේ ශීඝ්‍ර ව්‍යාපෘතියත් සමඟ පොදු ප්‍රවාහනය සම්බන්ධව සීමාවන් බලාත්මක කිරීමට බලධාරීහු කටයුතු කරමින් සිටිති. පසුගිය දිනවල සම්පූර්ණයෙන්ම මෙම සීමා නොතකා හැර තිබූ බව අපට මතකය. එමනිසාම මෙම විමසා බැලීම විවේනාත්මක ප්‍රවේශයකිනි.

ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පසුගියදා හිටිහැටියේම පවතින තත්ත්වය තේරුම් ගෙන ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කරන ලෙස බස්රථ සේවකයන්ගෙන් ඉල්ලා සිටින බව පැවසීය. ලබා දී ඇති උපදෙස් සහ එම කොන්දේසි උල්ලංඝණය කළ බස් රථ 70කට ආසන්න සංඛ්‍යාවක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව දිලුම් අමුණුගම මහතා කීවේය. ඇමැතිවරයකු වගකීමෙන් පවසන නිසාවෙන් මෙම ප්‍රකාශ සත්‍යයක් යැයි අපි සිතමු. එහෙත් ඉහත දෙසතිය තුළම බස් රථ ධාවනයේදී ආසන සංඛ්‍යාව අනුව මගීන් රැගෙන යාමක් සිදුවූයේ නැත. කොළඹ අවට මාර්ගවල මෙන්ම පළාත් මායිම් වලින් ආරම්භ වී කොළඹ පැමිණෙන බස් රථවල සැලකිය යුතු තදබදයක් පැවතුණි. ආසන සංඛ්‍යාවට බස් රථ ධාවනය කරන්නට නොහැකි තරම් මගීන් පිරිසක් වූහ. ඊට හේතුව වූයේ වසංගතය පිළිබඳ නොතකා බලධාරීන් සංචරණ සීමා ලිහිල් කිරීමයි. මේ වනවිට නැවත සංචරණ සීමා දැඩිකර තිබුණද මගී ප්‍රවාහනයේ සැලකිය යුතු වෙනසක් සිදුවී ඇති බවක් නිරීක්ෂණය නොවුණි.

අගෝස්තු 9 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක්කරන බව ලංගම සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියේය. ලංගම සේවක සේවිකාවන් ද සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බවද හෙතෙම පැවසීය. කිසියම් ආකාරයකට මහජනතාව මාර්ගවලට අවතීර්ණ වෙනවා නම් ඒ අයට සෞඛ්‍ය පුරුදු නිසිපරිදි පවත්වා ගෙන යෑමට සහ සමාජ දුරස්ථභාවය නිසිපරිදි පවත්වාගෙන යෑමට හැකිවන පරිදි බස්රථ අවශ්‍ය ප්‍රමාණයට වැඩිපුර ධාවනය යොදවන ලෙස තමන්ට සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී ඇති බවද සභාපතිවරයා කීවේය. එහෙත් ලංගම බස් ගමන්වාර වැඩි කිරීමට කීම එක්තරා ආකාරයකට විහිළුවක් බව කිවයුතුමය. ලංගම බස් ධාවනය සාමාන්‍ය කාලවලදී පවා කිසිසේත්ම ප්‍රමාණවත් මට්ටමක නොපවතියි. එවන් තත්ත්වයක් තුළ පවතින තදබදය අඩු කිරීම ලංගමට විසඳුම් ලබාදීම සිදුකළ නොහැක්කකි.

කොවිඩ් වසංගතය හේතුවෙන් බස් ගාස්තු ඉහළ නැංවීමක් ආරම්භක අදියරේදීම සිදුවූ බව මේ වනවිට බොහෝ දෙනකුට අමතකය. මගීන් සංඛ්‍යාව අඩුවීම ආසන සංඛ්‍යාව ප්‍රවාහන සිදුකිරීමට නියෝග ලැබීම ආදීය මෙම බස් ගාස්තු ඉහළ නැංවීමට හේතුවිය. නමුත් පෞද්ගලික බස් රථවල ආසන සංඛ්‍යාවට මගී ප්‍රවාහනය කිරීමක් ගෙවුණු කාලය පුරා සිදු නොවුණි. සංචරණ සීමා සම්බන්ධව බලධාරීන් නිදි ඇඳෙන් අවදිවී කඩිමුඩියේ කතාබහ කරන සතියක දෙකක කාලයේදී පමණක් යම් මගීන්ගේ අඩුවීමක් දක්නට ලැබුණි. කෙසේ වෙතත් අන්තර් පළාත් සීමා හේතුවෙන් සැලකිය යුතු පෞද්ගලික බස් රථ ප්‍රමාණයට ධාවනයෙන් ඉවත් වීමට සිදුවුණි. ඒ හරහා යම් පාඩුවක් පෞද්ගලික බස් හිමියන්ට සිදුවූ බව සැබෑවකි.

කෙසේ වෙතත් පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පසුගියදාක පවසා තිබුණේ මගී ප්‍රවාහන පෞද්ගලික බස් හිමියන් පසුගිය මාස 16 පුරාම රුපියල් මිලියන 13,500ක පාඩුවක් ලබා ඇති බවයි. එසේම මගී ප්‍රවාහනයට යොදවා තිබූ බස්රථ 20,000න් දැනට ධාවනය කරනු ලබන්නේ බස් රථ 8,000ක් බවද ඔහු අගොස්තුව අරම්භයේ දී කීවේය. මේ අතර මාස 6ක් බස් ධාවනය නොකිරීමේ හේතුව මත බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් එක් බස්රථයකට රුපියල් 30,000 දක්වා දඩ නියම කර ඇති බව ගැමුණු විජේරත්න මහතා කීවේය. ඒ අනුව දඩ නියම කිරීමට ඔහු ඇතුළු වෘත්තීය සමිති නායකයන් විරෝධතාවක් ගොනුකරමින් සිටියෝය. ප්‍රවාහන ඇමතිවරයා වෙතද මෙම ගැටලු ඉදිරිපත් විය.

පෞද්ගලික බස් රථවල මගී ප්‍රවාහන සම්බන්ධව තවත් අමුතු කතාවක් පසුගියදා අපට අසන්නට ලැබුණි. ඒ අනුව කියැවුණේ බස් රථවල ගමන් කරන කොරෝනා මර්දන එන්නත ලබානොගත් වයස අවුරුදු 30ට වැඩි මගීන්ගෙන් බස් ගාස්තුව මෙන් දෙගුණයක් අය කර ගන්නා බවයි. ඒ අනුව කොරෝනා මර්දන එන්නත ලබාගත් මගීන් බස් රථවල ගමන් කිරීමේදී එම කාඩ්පතේ ඡායා පිටපතක් ළඟ තබාගත යුතු බවද කියැවුණි. කෙසේ වෙතත් මෙය බලධාරීන්ගේ අදහසක් නොවුණි. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ තීරණයක් ලෙස මෙය ප්‍රකාශයට පත්විය. පසුගිය සමයේ නැවත රට විවෘත කිරීමට ආණ්ඩුව දැරෑ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙම යෝජනා ඉදිරිපත් විය. කෙසේවෙතත් බස් හිමියන්ගේ මෙම තීරණය ක්‍රියාත්මක නොවුණු අතර එහි ප්‍රායෝගිකත්වය සම්බන්ධව ගැටලු මතුවිණි.

බස් සම්බන්ධව කතාව එසේ වනවිට දුම්රිය ධාවනය සම්බන්ධව කතාව ඉතා සංකීර්ණ වෙමින් පවතින බව ගෙවුණු සතියේ පෙනී ගියේය. පළාත් අතර සංචරණ සීමා යළිත් දැඩි කිරීමට ගත් තීරණයත් සමග අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ගමන් ගන්නා පුද්ගලයන්ට පමණක් සීමා කිරීම පිළිබඳ පසුගිය සතියේ කතාබහක් ඇති විය. ඒ අනුව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කර තිබුණේ දුම්රියෙන් ගමන් කිරීමට අපේක්ෂා කරන පිට පළාත්වල මගීන් තම සේවා හැඳුනුම්පත දුම්රිය බලධාරීන්ට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවයි. ඒ අනුව පොලීසිය සමග ඒකාබද්ධ ඒ සම්බන්ධ පරීක්ෂා කිරීම් සිදු කෙරෙන බව කියැවුණි. මීට ඉහතදීද මෙවන් ක්‍රමවේදයක් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරෑ නමුත් එය අසාර්ථක විය.

වසංගතය නැවත නැගී සිටින තුරුම දුම්රිය මගී ප්‍රවාහනය තුළ කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත බවක් නොතිබුණ බව සිහිපත් කළ යුතුය. ප්‍රධාන මාර්ගයේ සේම වෙරළබඩ මාර්ගයේද දුම්රියවල පැවැතියේ අධික තදබදයකි. බස් රථවලට පනවන ආසන්න සීමා එහි නොවීය. දුම්රිය කොවිඩ් මුක්ත කලාපයක් බව සිතා බලධාරීන් කටයුතු කළ බවක් පෙනීගියේය. ජන ඒකාරාශීවීම් සීමා කිරීමට බලධාරීන් නියෝග පනවන අතරේ දුම්රියේ මගීන් පිරී ඉතිරී ගියේය. ඇතැම් අවස්ථාවල දුම්රිය ප්‍රමාදවීම් ගමන්වාර මගහැරීම් ආදියද සුපුරුදු පරිදි සිදුවිය. රාජකාරි අවශ්‍යතාව මත ජනතාව දිනපතා මරුවා සමඟ වාසයට ගියෝය. එම නිසාම වර්තමාන සීමා පැනවීම් නාමික සංදර්ශන පමණක් බව පැහැදිලිවම කිවයුතුය. රට තුළ පවතින වර්තමාන වසංගත තත්ත්වයට පොදු ප්‍රවහානයේ වූ අඩුපාඩු නොසැලකිල්ල හේතුවක් වූ ප්‍රත්‍යක්ෂය.

මේ අතර පසුගියදාක දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසා තිබුණේ දුම්රිය තෝරා ගැනීමේදී මගීන් හැකි සෑම අවස්ථාවකම එහි ඉඩකඩ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි. දුම්රිය මගීන් අතරේ මෙම ප්‍රකාශ හාස්‍යයට ලක්වන අයුරු ගෙවුණු සතියේ අප නිරීක්ෂණය කළෙමු. හැකි සෑම අවස්ථාවකම එහි ඉඩකඩ පිළිබඳව සැලකිලිමත් වීම කාර්යාල දුම්රිය තුළ සිදුකළ නොහැක්කක් බව ඔවුන් කියා තිබුණි. එසේම දුම්රිය මගීන් පෙන්වා දෙන පරිද්දෙන් පොදු මගී ප්‍රවාහන සේවයේ ප්‍රායෝගික යථාර්ථය පිළිබඳ අබමල් රේණුවක තරම් අවබෝධයෙක් තිබේ නම් එසේ පැවසීමට කිසිවකුට නොහැකි බව අපිද පිළිගනිමු.

කෙසේ හෝ අවසානයේ සඳහන් කළ යුත්තේ බලධාරීන් පවසා ඇති පරිදි මේ වනවිට දෛනික දුම්රිය ගමන්වාර 130ක් සහ අන්තර් පළාත් බස් ගමන්වාර 1500කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බවයි. එහෙත් මෙම සංඛ්‍යාව එලෙසම ක්‍රියාත්මක වේද? එය ප්‍රමාණවත්ද? යන්නට නිශ්චිතව පිළිතුරක් අප සතුව නොමැත. ඇතැම් විට ඔබ සතුව ඊට පිළිතුරක් තිබිය හැකිය.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03