2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

මොනවද මේ ආරුනූල්!

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 1265

පුරාණයේ රත්නදීපය ලෙස නම් ලද ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරාද මේ දිනවල කතාබහට ලක්ව ඇති ආරනූල් මැණික් අයත් වන්නේ කොරන්ඩම් හෙවත් කුරුවින්ද මැණික් ඝනයටය. භූ විද්‍යාත්මකව එම පාෂාණ ඇලුමිනියම් ඔක්සයිඩ් සංයුතිය සහිත ඛනිජයකි. සුදු (අවර්ණ) නිල් සහ කහ ආරුනූල් මෙන්ම රතු වැනි මැණික් වර්ගත් ඊට අයත් වේ.

ආරනූල් (ස්ටාර් සෆායර්) රවුම් මතුපිටක් ලැබෙන සේ කපා ඔප දැමූවිට රේඛා 6ක තරු ලකුණක් දැකිය හැක. කලාතුරකින් රේඛා හෙවත් නූල් 12ක් පවතින මැණික්ද හමුව තිබේ. මෙම ඛණිජයේ ඇලුමිනියම් ඔක්සයිඩ්වලට අමතරව රූටයිල් කෙඳි පවතී. රූටයිල් තට්ටු තුනක් පවතින විට තරු ලකුණ හොඳින් දිස්වේ. ඉහළ මිලක් ලැබෙන්නේ තරු ලකුණ පැහැදිලිව දිස්වන පැහැදිලි මැණික් ගල්වලටය.

සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයේ (කැරට් 10 හෝ 15) ආරුනූල් වැඩි වශයෙන්ම හමුවන්නේ ශ්‍රී ලංකාවෙන් බවයි වාර්තා පවසන්නේ. රත්නපුර, පැල්මඩුල්ල, ඇලහැර, ඔක්කම්පිටිය, නිවිතිගල ආදී ප්‍රදේශවලින් එම මැණික් හමුවේ.

කොරන්ඩම් වර්ගයේ නිල්, රතු මැණික් හමුවන සෙසු රටවලද ආරනූල් සුළු වශයෙන් හමුවේ. නමුත් ලොව ආරනූල්වලට ප්‍රකටව පවතින්නේ ශ්‍රී ලංකාවයි. අප රටේ ආරනූල් වර්ග අලෙවියට තබා ඇති අයුරු දැක්වෙන උදාහරණ අන්තර්ජාලයේ අපමණ දැකගත හැකිය.

පසුගියදා රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමුවූ ආරනූල් පොකුර බරින් කිලෝග්‍රෑම් 510ක් වන අතර එය ලොව විශාලතම ආරනූල් පොකුර ලෙස වාර්තා විය. එම මැණික් පොකුරේ වටිනාකම ඩොලර් මිලියන 200ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්විණි. පසුව එහි වටිනාකම සම්බන්ධයෙන් විවිධ පරස්පර අදහස් ඉදිරිපත්වනු මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි.

ඒ සම්බන්ධයෙන් සමහර මැණික් ව්‍යාපාරිකයන් සහ රත්න විශේෂඥයන් පවසා තිබුණේ එහි මූල්‍ය වටිනාකම ඊට වඩා බෙහෙවින් අඩු අගයක් ගන්නා බවත් එහි ඇත්තේ කෞතුක වටිනාකමක් පමණක් බවත්ය. මුලින්ම එහි අගය ඔසවා කතා කළ ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ ඉන්පසු මාධ්‍ය වෙත පවසා තිබුණේ මූල්‍ය වටිනාකමට වඩා එහි ඇත්තේ කෞතුක වටිනාකමක් බවයි.

රත්නපුර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් හමුවූ ශ්‍රී ලංකාවේ මැණික් ලොව ප්‍රසිද්ධ කෞතුකාගාර මෙන්ම බ්‍රිතාන්‍ය රජ පවුල සහ ලොව ධනවත් පුද්ගලයන්ගේ මැණික් හා ස්වර්ණාභරණ එකතු සරසන්නට සමත්ව තිබේ. මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මගින් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව උපයාගෙන ඇති ආදායම ඩොලර් මිලියන 500 ඉක්මවන බව වාර්තා වේ. මෙම ආරනූල් පොකුර එළඹෙන නොවැම්බරයේ චීනයේ පැවැත්වෙන ෂැංහයි මැණික් ප්‍රදර්ශනයට රැගෙන යන බවත් ඒ සඳහා විශේෂ ගුවන් යානයක් යොදාගන්නා බවත් බලධාරීහු ප්‍රකාශ කරති.

“බොහෝ මාධ්‍යවල වාර්තා වන්නේ එය ලොව විශාලතම මැණික බවයි. ඒක වැරදියි. එය ලොව මෙතෙක් වාර්තාවන විශාලතම කොරන්ඩම් (කුරුවින්ද) පොකුර ලෙස නිවැරදි විය යුතුයි.”

එසේ සඳහන් කරන්නේ මැණික් පිළිබඳ විශේෂඥ මහාචාර්ය පී.ජී.ආර්. ධර්මරත්නයි.

“මේක තනි ගලක් ලෙස නොවෙයි තිබෙන්නේ. කොරන්ඩම් ක්‍රිස්ටල් පොකුරක් විදිහටයි. මෙය විශාලතම කොරන්ඩම් ක්‍රිස්ටල් පොකුර කිව්වොත් නිවැරදියි. බ්‍රසීලය වගේ රටවල හමුවන ක්වාර්ට්ස් (Quartz) ඛනිජ පොකුරු මීටර් 2-3ක් වගේ අති විශාලයි. ඒවා ට්‍රාන්ස්පේරන්ට් (පාරදෘශ්‍ය) වගේම ඇහැට ලස්සනට පේනවා. නමුත් කොරන්ඩම් ක්‍රිස්ටල් පොකුරු වෙන රටවලින් හමුවෙන බවට වාර්තා මම දැක නැහැ. ලංකාවේ තමයි එහෙම පොකුරු හම්බ වෙලා තිබෙන්නේ. ගල් 20, 30, 40, 50 සහිත කිලෝ තුන හතරේ පොකුරු ප්‍රදර්ශනවල සුලබව දකින්න පුළුවන්. ඒත් මෙතරම් විශාල එකක් දක්නට ලැබෙන පළමු අවස්ථාව මෙය බව සඳහන් කළ යුතුයි.” ඔහු වැඩිදුරටත් පවසා සිටී.

සමහර මැණික් පිළිබඳ දැනුමැත්තන් පවසන්නේ මෙය මැරුණු ගලක් නිසා එහි වටිනාකමක් නැති බවයි. මැරුණු මැණික්වල විනිවිද පෙනෙන ස්වභාවය නැත. මැරුණු ආරුනූල්වල විශේෂ ලක්ෂණය වන නූලෙන් සලකුණු වූ තරු ලකුණු සහිත රේඛා එහෙ මෙහෙ නොවී පණ නැති ගතියක් පෙන්නුම් කරයි. විදුලි පන්දමක් ඇල්ලූ විට ආලෝකය එය විනිවිදගෙන ගමන් කරන්නේද නැත.

ශ්‍රී ලංකාවේ මැණික් පිළිබඳව සඳහන් වනවිට ආරනුල්වලට අමතරව නිල්, රතු, වෛරෝඩි, පුෂ්පරාග වැනි ප්‍රකට මැණික් වර්ගයන්ය. ලොවපුරා පැතිරී තිබෙන මැණික් වර්ග දෙසීයකට අධික සංඛ්‍යාව අතරින් ශ්‍රී ලංකාවේදීද ඉන් හරි අඩක්ම හමුවේ.
අප රටෙන් ලැබෙන මැණික් ගල් විශාල ප්‍රමාණයක් සහ විශිෂ්ට විවිධත්වයක් සඳහා ලොවපුරා ප්‍රසිද්ධියට පත්ව ඇත. මෙම මැණික් ගල් ප්‍රධාන වශයෙන් නිර්මාණය වන්නේ  සිදුවන්නේ නිම්න පතුලේ ඇති ඇලුවීයල් බොරළුවලිනි. ඒ සඳහා වර්ෂ මිලියන ගණනාවක් ගතවේ. මැණික් ගල් රැගෙන යන අවසාදිත සැකැස්මට අමතරව සමහර පාෂාණවලද විශේෂයෙන් කොරන්ඩම් ප්‍රභේදවල මැණික් ගල් අඩංගු බව පෙන්වා දී තිබේ.

අප රටේ හමුවන මැණික් අතරින් කොරන්ඩම් ඉතා වැදගත්ය. එමෙන්ම එය අලංකාර මැණික් විශේෂයකි. ගුණාත්මක කොරන්ඩම් මැණික් ඉතා අධික මිලකට අලෙවි කළ හැකිය. කොරන්ඩම් මැණික් නිල්, රතු, දම් හෝ දෙගුණ ආරුනූල් ලෙසත්, පද්මරාග (කහ, රතු, නිල්), රත්න පුෂ්පරාග (තැඹිලි හෝ රන්වන්), පුෂ්පරාග (කහ), සුදුනිල් (අවර්ණ) කාක නිල් (තද නිල්) ලෙසත් හමුවේ.

ආරුනූල් මැණික් ග්‍රහ අපල දුරු කිරීමට පැළඳීමටද ශ්‍රී ලාංකිකයෝ හුරුව සිටිති. කොරන්ඩම් පවුලේ මැණික්වල මූලික විද්‍යාත්මක තොරතුරු මෙසේය:

• රසායනසංයුතිය – Al2O3
• ස්ඵටික සැකැස්ම – Trigonal
• දෘඪබව – 9.0
• විශිෂ්ට ගුරුත්වය – 3.99

• වර්තන අංකය – 1.762 – 1.770

ආරුනූල් වර්ගවල මිල අන්තර්ජාලයේ සොයාබැලීමේදී හමුවූ තොරතුරු කිහිපයක් පාඨකයාට ඉදිරිපත් කිරීමට සිත් විය. කැරට් 2.88 රෝස ආරනූලක මිල ඩොලර් 984.96ක් විය. කැරට් 16.40 නිල් ආරනූලක් ඩොලර් 15022කි. කැරට් 1.09ක නිල් ආරනූල ඩොලර් 69.76කි.

 කුසුම්සිරි විජයවර්ධන