2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

කොවිඩ් හැදුණු කලා ලොවේ තරු

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 17

මේ වන විට රට පුරා ශීඝ්‍රයෙන් කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාවද දිනෙන් දිනම ඉහළ යමින් පවතී. මේ අතර කොවිඩ් ආසාදිතව අප රටේ කලාකරුවන් කලාකාරියන් කිහිප දෙනකුද මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තවත් කිහිප දෙනෙක් නිවෙසවලම නිරෝධායනයේ යෙදෙති.

ප්‍රවීණ කලාකරුවකු වන ජයසේකර අපොන්සු මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙයි. ඔහු පවසන්නේ පෙර තත්ත්වයට වඩා මඳක් සුවයක් දැනෙන අතර නොබෝ දිනකින් නිවෙසට යාමට හැකිවනු ඇති බවය. (සුභා) ටෙලි චිත්‍රපටයේ පිටපත බාරදීමේ මූලික වැඩ කටයුතු සඳහාත්, එම නිර්මාණයේ රූගත කිරීම් සඳහා අවශ්‍ය ස්ථාන තෝරාගැනීම සඳහාත් විවිධ ඉසව්වලට යාමට සිදු වූ බව පවසන ජයසේකර අපොන්සු කොයි තරම් ආරක්ෂිතව මුඛ ආවරණ පැළඳ සිටියද සෙල්ෆි ඡායාරූප ගැනීම වෙනුවෙන් ඇතැම් අවස්ථාවලදී මුඛ ආවරණ ගලවන්නට සිදු වූ බවද පැවසීය. අවසානයේදී කොවිඩ් ආසාදිතයකු වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමට ඔහුට සිදුවිය.

“අනේ සතුරෙක්වත් මේ දුෂ්ඨ කොරෝනා ව්‍යසනයට ගොදුරු නොවේවා” කොරෝනා ආසාදිත ප්‍රවීණ කලාකරු ජයසේකර අපොන්සුගේ පැතුමය.

ලාංකික සිනමාවේ ප්‍රවීණ කලාකාරියක වූ (රිදී තිරයේ අහිංසකාවිය) නමින් හඳුන්වන ශ්‍රියානි අමරසේන මහත්මියද කොවිඩ් ආසාදනය වී රෝහල්ගතව සිටියාය. ඇයද මේ වන විට සුවය ලබමින් පසුවෙයි. සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයත්, මඳ කැස්සත් හේතුවෙන් ඇය පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර තිබිණි. එහිදී ඇයද කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා විය. උණ, සිරුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග ලක්ෂණ ඇයට නොතිබුණු අතර ගඳ සුවඳ නොදැනීම පමණක් රෝග ලක්ෂණයක් ලෙස ඇති වී තිබිණි. කෙසේ වුවද පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රියානි අමරසේන කලාකාරිය ඒ වන විටත් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් දෙකම ලබාගෙන සිටියාය.

(කොවිඩ්-19 බරපතළකම බොහෝ දෙනා තේරුම් ගෙන නැහැ) ඇය කියන්නේ එලෙසිනි.

මීට අමතරව ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතාද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ෂර්ලි පී. දෙලංකාවල මහතාද කොවිඩ් ආසාදිතයන් බවට පත් වී සිටිති.

මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා සම්බන්ධව අසත්‍ය පුවතක් වාර්තා වෙමින් පවතී. හුස්ම ගැනීමට අපහසුව ඔක්සිජන් ලබාදෙන ඡායාරෑපයක් සමඟ ඔහුගේ හෘද ස්පන්දනය බවත් ඔහු දැඩි සේ අසාධ්‍යව සිටින බවත් ඒවායේ පළ කර තිබිණි. නමුත් සුනිල් පෙරේරා නිසි කලට රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ නිසාවෙන් මේ වන විටත් සුවය ලබමින් පසුවෙයි.

ගිරිරාජ් කෞෂල්‍ය මෙරට සිටින ප්‍රවීණ රංගන ශිල්පියකු වන අතර චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. කාගේත් ආදරය දිනාගත් කලාකරැවකු වන ඔහුද මේ වන විට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටී. එසේම නිර්මාණ බොහොමයක තම රංගන කුසලතාවයන් පෙන්නුම් කළ නිරෝෂන් විජේසිංහ ද කොවිඩ් වසංගතයට ගොදුරු වුණු කලාකරුවෙකි. වේෂ නිරෑපණ ශිල්පියකු සහ සංගීතඥයකු වන රත්නකුමාර ලියනවඩුගේද මාරාන්තික කොරෝනා රෝගයට ගොදුරුව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සම්මානනීය ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුලටද කොවිඩ් ආසාදනය වී තිබේ.

ජනප්‍රිය රංගන ශිල්පියකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වන මේ වන විට සිරදඬුවම් ලබා බන්ධනාගාර ගතව සිටින රන්ජන් රාමනායක කලාකරුවාටද කොවිඩ් ආසාදනය වී තිබේ. පසුගිය දිනෙක ඔහුගේ මියගිය ඥාතිවරියකට අවසන් ගෞරව දැක්වීම පිණිස බන්ධනාගාරයේ ආරක්ෂාව සහිතව මීගමුවට පැමිණ සිටි අතර කොවිඩ් ආසාදිත වීමෙන් පසුව මේ වන විට ඔහු අඟුණකොළපැලැස්ස බන්ධනාගාර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රඳවා සිටියි.

කොවිඩ් ආසාදිත වුණු කලාකරුවන් කලාකාරියන් අතරට රොෂානා ඔන්ඩච්චි එකතු වන්නේ මීට දින දාහතරකට පමණ පෙරය. තමන් කොවිඩ් ආසාදිත වීමත් සමඟ ඇය එය තමන් ආශ්‍රය කළ හිතමිතුරන්ට දැනුම් දී තිබූ අතර මුහුණුපොත හරහාද මේ පිළිබඳව දැනුවත් කිරීමක් කර තිබිණි. දියණියක සිටින රොෂානාද මේ වන විට සුවය ලබමින් පසුවන්නීය.

(දෙවැනි ඉනිම) ටෙලිනාට්‍යයේ දෙව්මිගේ චරිතයෙන් බොහෝ දෙනා හඳුනාගත් නයනතාරා වික්‍රමආරච්චිද කොරෝනා ආසාදිත වුණු තවත් තරැණ කලාකාරියකි. ඇයද තම මුහුණුපොත හරහා මේ සම්බන්ධව දැනුවත් කිරීමක් කර තිබිණි. මේ වන විට නයනතාරාද සුවය ලබමින් පසුවෙයි.

පුංචි තිරයේ ආදරණීය කලාකාරිය, සම්මානනීය ජනප්‍රිය කලාකාරියක වන ශලනි තාරකාද මෙම මාරාන්තික රෝග ව්‍යසනයට මුහුණ දුන් කලාකාරියකි. ඇය රඟපෑ (සිහින ගෙනෙන කුමාරියේ) ටෙලිනාට්‍යයේ රෑගත කිරීම් අතරතුර ශිල්පීන් කිහිප දෙනකු කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් ඇයද නිවැසියන්ගෙන් ඈත්ව ස්වයං නිරෝධායනයට ලක් වූවාය. ඒ අතර ඇයට ඇතිව තිබූ සැක සහිත සුළු රෝග ලක්ෂණ කිහිපයක් හේතුවෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඇය කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගෙන තිබිණි. ඇයද එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙකි.

මේ අනුව බැලූ කල කලාවේ බොහෝ පිරිසක් කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වීමත් සමඟ ඔවුන් ආශ්‍රය කළ, ඔවුන් ඒ වන විටත් රෑගත කිරීම්වල නියැලුණු නිර්මාණවල ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

 දිශානි ජයමාලි කරුණාරත්න