2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

අනුරාධපුර මුල් යුගයේ තොරතුරු සොයා යන සුළුගුළු විහාර කැණීම්

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 190

මිහින්තලය ආසන්නව පිහිටා ඇති අනුරාධපුර යුගයටම අයත් පුරාණ විහාරයක් වන ගල්මඩුව ඓතිහාසික සුළුගුළු චේතියාරාම රජමහා විහාරය වැඩිදෙනෙක් යන තැනක් නොවේ. නමුත් එහි පුරාවිද්‍යාත්මක අගය නම් ඉහළය. මෙම විහාර භුමියේ නොදන්නා ඉතිහාසය විද්‍යාත්මක කැණීම් ක්‍රම ඔස්සේ සොයාගැනීමට එම භූමියේ කැණීම් කටයුතු පසුගිය අගෝස්තු 7දා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ආරම්භ කෙරිණි.

අනුරාධපුර ඓතිහාසික මිහින්තලය අවට කරවා තිබෙන වෙහෙර විහාරස්ථාන රාශියක් ගැන විස්තර හමුවේ. මිහින්තලය භික්ෂූන් දහස් ගණනක් සිටි මහා විහාරයක් ලෙස සංවර්ධනය වෙද්දී ඒ වටා පිහිටි ගම්මානවල බැතිමතුන්ට වැඳපුදා ගැනීම් සඳහා කුඩා විහාරස්ථාන ඉදිව තිබුණු බව අවට නටබුන් සහිත විහාරවලින් පැහැදිලි වේ. සුළුගුළු චේතියාරාම විහාරය ඒ අතරින් එකකි.

සුළුගුළු විහාරස්ථානය ආශ්‍රිතව පිහිටා ඇති පුරාවිද්‍යා භූමිය සුවිශේෂි ස්ථානයක් ගන්නා බවත්, අනුරාධපුර මුල් යුගයට අයත් ආරාමික නටබුන් මෙහි දක්නට ඇති බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග සඳහන් කරයි.

සුළුගුළු උපාසකතුමන් මලියදේව මහ රහතන්වහන්සේගේ කාලයේ ජීවත්වූ චරිතයක් බව ඓතිහාසික කෘතිවල සඳහන්ය. මේ උපාසකයා මෙම විහාරය කරවන ලද්දේ මලියදේව රහත් හිමියන් උදෙසා බව සඳහන්ය. සුළුගුළු චේතියාරාමය නමින් තවත් විහාරයක් කුරුණෑගල ගිරිඋල්ලට නුදුරින්ද පිහිටා තිබේ. එහි දක්නට ලැබෙන්නේ මහනුවර යුගයට අයත් ටැම්පිට විහාරයකි. 

සුළුගුළු උපාසකතුමන් මෙම පුණ්‍ය භූමියේ වෙද මැඳුරක් කරමින් සිටියදී කැඳ වැළඳීමට මලියදේව මහරහතන් වහන්සේ වැඩිබවත් එහිදී මෙම භූමිය ආරාමයක් කොට රහතුන්වහන්සේ උදෙසා පූජා කළ බවත් ජනප්‍රවාදයේ කියැවේ.

කැණීම් කටයුතු ආරම්භ කළ සුළුගුළු චේතියාරාම රජමහා විහාරස්ථානයේ දාගැබේ මලියදේව මහ රහතන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබෙන්නට ඇති බවට මතයක් පවතින බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙහි අනුරාධපුර යුගයට අයත් නටබුන් දාගැබක්, ගල්කණු සහිත ගොඩනැගිලි, කොරවක් ගල්, පියගැට පෙළ ආදියේ නටබුන් දක්නට ලැබේ.

සුළුගුළු චේතියාරාම රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අනුරාධපුර ධම්මාරාම හිමි, කන්තලේ මහින්ද හිමි, අකුරේගොඩ දේවානන්ද හිමි, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්  මහාචාර්ය අනුර මනතුංග, අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ කේ.ඩී. පාලිත විරසිංහ, පුරාවිද්‍යා කැණීම් නිලධාරී ඒ.ඒ. විජේරත්න, වැඩබිම් කළමනාකරු ටී.එම්. චම්පා කුමාරි, පුරාවිද්‍යා කලාප භාර නිලධාරී ආර්.එම්.එම්.බී. රත්නායක, ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ඇතුළු පිරිසක් මෙම විහාරයේ කැණීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වූහ.

සද්ධර්මාලංකාරයේ සඳහන් අයුරින් සුළුගුළු නම් ගම පිහිටා තිබී ඇත්තේ කුරුණෑගල  දැදුරුඔයට නුදුරුවය. එම නමින් ප්‍රසිද්ධ වූ විහාරයක් ද එහි පැවතුණි. ඒ විහාරය සිය ගණන් භික්‍ෂූන් වහන්සේගෙන් හා ශ්‍රද්ධාවන්ත ජනයාගෙන් ගැවසී ගත්තේ ය. ඒ ගමෙහි තුනුරුවන් කෙරෙහි ප්‍රසන්න ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් විසීය. ඔහු සුළුගුළු උපාසක ලෙස පසු කාලයේ ජනප්‍රවාදවලට එක්වූ චරිතයයි. 

ඔහු භික්‍ෂූන් වහන්සේ උදෙසා විසිතුරු භෝජන ශාලාවක් කරවීය. එහි උඩ සුදුවියන් ආදියෙන් සරසා, සතර දිගින් වඩින සංඝයා වහන්සේලාට නිරන්තරයෙන් ජලස්නානයටද, වැඩසිටීමට ද අවස්ථාව සලසා තිබුණේය. ගිලනුන් වහන්සේට අවශ්‍ය උණුපැන්, සිහිල්පැන් ගෙනවිත් තැබීය. බෙහෙත් කැඳ ආදිය සකස් කර දුන්නේය.

මෙකල සිටි මලියදේව මහ රහත් තෙරුන් වහන්සේට දිනක් රාත්‍රි භාගයෙහි බලවත් බඩේ අමාරුවක් හට ගත්තේය. උන්වහන්සේ නුවණින් බලා විමසා බලන විට එම බඩේ රුදාව දුරු මිරිස් ආදි වූ ඖෂධ එකොළොසක් දමා පිසින ඒකාදසයාගු නම් වූ බෙහෙත් කැඳක් වැළඳූ කල්හි සංසිඳෙන්නේ යයි අවබෝධ කර ගත්තෝය.  එවැනි කැඳක් සුළුගුළු නම් උපාසකයන් වෙතින් ලබාගත හැකි බව උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කර ගත්හ.   මලියදේව හිමියෝ උදෑසනනින්ම නැඟී සිට අතින් පාත්‍රය ගෙන සුළුගුළු උපාසකයන්ගේ ගමට බැස්සාහ. පිටත සිට පාත්‍රය අතින් ගෙන ඇතුළු ගමට පිවිස ගෙපිළිවළින් පිඬු පිණිස ගොස් ආසන ශාලාවට වැඩි සේක. එකල්හි සුළුගුළු උපාසකයා එම ශාලාවෙහි භික්ෂුන් වහන්සේට වතාවත්  කරමින් සිටියේය. තෙරුන් වහන්සේ දුටු උපාසක තැන අසුන් පනවා, වඩා හිඳුවීය. තෙරුන් වහන්සේ තමාට බඩේ රුදාවක් ඇති බව උපාසකට හැඟවීය.

උපාසක තැන “මේ රුදාවට ඒකාදසයාගු නම් වූ බෙහෙත් කැඳ යහපතැ”යි සිතා   තමාගේ නිවෙසට ගොස් බෙහෙත් බඩු පිළියෙළ කොට බෙහෙත අවශ්‍ය මට්ටමට තැම්බෙන තෙක් නැවත අවුත් තෙරුන් වහන්සේ සමඟ කතා කරමින් සිටියේය. 
උපාසකතුමනි, බෙහෙත් කැඳ පිසෙන තෙක් තවුතිසා දෙව්ලොවට ගොස් සිළුමිණිසෑය වැඳ එමු* යැයි මලියදේව හිමියෝ පැවසූහ.

උපාසකයා එවිට  “ස්වාමිනි, මම සිළුමිණිසෑය වැඳීමට කැමැත්තෙමි. එසේ වුවත් ආකාශයෙන් යන තරම් ඍද්ධියක් නැත යැයි පැවසුවේය. එවිට තෙරුන් වහන්සේ “උපාසකය, සිළුමිණිසෑය වැඳීමට කැමැති නම් අපි, අපගේ ආනුභාවයෙන් කැඳවාගෙන ගොස් වන්දවාලම්හ, අප හා සමඟ එව යි පැවසූහ. 

අනතුරුව මහ තෙරුන් වහන්සේ තමන් වැඩහිඳීනා සම්කඩ සුළුගුළු උපාසක අතට දී “මේ උපාසක තෙම මා හා සමඟ එව”යි අධිෂ්ඨාන කොට ගුරුළුරාජයකු සේ අහසට පැන නැඟී තවුතිසා දෙව්ලොවට ගියහ. සිළුමිණි සෑයෙහි සත් රුවන්මය සත්වන දොරටුවෙහි වැඩ සිටිමින් මලියදේව මහ තෙරුන් වහන්සේ සුළුගුළු උපාසකයන් හා කතා කරමින් සිටියහ. එවිට මතු බුදුවන මෛත්‍රී මහ බෝසතාණෝ රථයකින් එහි ආහ. මහ තෙරුන් වහන්සේ වෙත පැමිණ “ස්වාමිනි, කුමක් පිණිස දෙව්ලොවට වැඩිසේක්දැ”යි විචාළහ.

අපි සිළුමිණි සෑය වැඳීම පිණිස පැමිණියෙමු.”යි උන් වහන්සේ කීහ. පසුව සුළුගලු උපාසක තෙම මෛත්‍රී බෝධිසත්‍වයන් වැඳ එකත්පස්ව සිටියේ ය.

මෛත්‍රී බෝධිසත්‍වයෝ සුළුගුළු උපාසකයන්ට දිවසළු දෙකක් ලබාදී තව තවත් පිංකම් කරන්න යයි පැවසූහ. මහ තෙරුන් වහන්සේද සිළුමිණසෑය වැඳ උපාසකයන් හා සමඟ සුළුගලු විහාරයට අවුත් භෝජන ශාලාවෙහි වැඩහිඳ බෙහෙත් කැඳ වළඳා ව්‍යාධිය සංසිඳුණු පසු තමන් වහන්සේ වසන විහාරයට වැඩිසේක.

පසුව මහජනයා කුසල් කිරීමෙහි  උනන්දු කරවූ උපාසක තෙමේ සත් දවසක් මුළුල්ලෙහි නොයෙක් පින්කම් කොට අටවන දවස නිදාගත්තාක් මෙන් මෙලොවින් සමුගෙන  තුසිත දෙව්ලොව මෛත්‍රී බෝධිසත්‍වයන් ආසන්නයෙහි දෙවියෙක් ලෙස උපන් බව  සද්ධර්මාලංකාර කතාවේ සඳහන්ය. 

සුළුගුළු උපාසක කතාව මෙන්ම මලියදේව කතාවද ජනප්‍රවාදවල අලංකාරව සඳහන් වන ඓතිහාසික කතා පුවත්ය. මේ පුවත්වල ඓතිහාසික නිවැරදිභාවය තහවුරු කර ගැනීමට නම් පුරාවිද්‍යාත්මත සාක්ෂි අවශ්‍ය වේ. සුළුගුළු චේතියාරාම කැණීමෙන් ලැබෙන තොරතුරුවලින් සමහරවිට එය ගැන බොහෝ දත්ත ලැබෙන්නට ඉඩ තිබේ.

විශේෂ ස්තූතිය : පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සුනිල් බණ්ඩාර කෝරළගේ

 කුසුම්සිරි විජයවර්ධන