වසංගතය සමයේ ජීවිත ආරක්ෂාව සඳහා ඇති සියලු අවි පරයන යමක් වේද ඒ මුහුණු ආවරණයි. කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට මුහුණු ආවරණය අපට නැතිවම බැරි පළඳනාවක් වී තිබේ. එහෙත් අප භාවිත කරන මුහුණු ආවරණවලින් සැබෑ ලෙසම ආරක්ෂාවක් සැලසේද? ඒවායේ ප්‍රමිතිය තහවුරු කර ඇද්ද? අප අද ඔබට කියන්න යන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රමිතිගත සුපිරි මුහුණ ආවරණයක් පිළිබඳ කතාවකි. නැනෝ තාක්ෂණය භාවිත කරමින් නිපදවා ඇති මෙම මුහුණු ආවරණය වෛරසයට අභියෝග කළ හැකි සුපිරි අවියක් යැයි කීම සාධාරණය.
මුහුණ ආවරණය පිළිබඳ අප දැනුවත් කරන්නට එකතු වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතාය. එතුමා මෙම නව සොයාගැනීම සිදු කරනු ලැබූ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සැලකීම වරදක් නැත. ඔහුට අනුව මෙම නව සොයාගැනීම උදෙසා කටයුතු ආරම්භ වන්නේ වසංගතයේ මුල් අවස්ථාවේදීය. ඒ මොහොතේ රටේ පැවති තත්ත්වය පිළිබඳ ඔහු හිතවත් විශේෂඥ වෛද්‍ය චමින්ද හේරත් මහතා සමඟ සිදුවූ සංවාදයකට පසු මේ පිළිබඳ අදහස ඔහු තුළ ඇතිව තිබේ. ඒ වන විට ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් සමඟ එක්ව මහචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා රෙදිවල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සම්බන්ධව පරීක්ෂණවල නිරතව සිටියේය. කුණු දූවිලි බැක්ටීරියා වෛරසවලට ඔරොත්තු දෙන නිතර සෝදන්නේ නැතිව කලක් භාවිත කළ හැකි රෙදිපිළි නිෂ්පාදනය වෙනුවෙන් පරීක්ෂණ රුසක් ඒ වන විට ගාමිණී රාජපක්ෂ මහතා සිදු කර තිබුණි.
“එතකොට මට හිතුණා අපි දැනට භාවිත කරන මාස්ක් එකවරයි භාවිත කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඒවා ඉවත දාන්න ඕනෑ. මේ මාස්ක් බහුතරය නිෂ්පාදනය කරලා තියෙන්නේ පොලිපොප්ලින් කියන ද්‍රව්‍යයෙන්. ඒ ද්‍රව්‍ය දිරන්නේ නෑ. එකට අවුරුදු දෙතුන් සීයක් යනවා. ලෝකයේ ජනගහනය බිලියන 7.5ක් ඉන්නවා. ඔවුන් සියල්ලන්ම පාහේ මාස්ක් භාවිත කරනවා. එතකොට දිනකට පොලිපොප්ලින් කැබලි බිලියන 7.5ක් මේ පරිසරයට මුදාහරින්න වෙනවා. මේක දැවැන්ත හානියක්. අපි හිතුවා ඒ නිසා කපු රෙදිවලින් පරිසර හිතකාමී විදිහට මේ නිෂ්පාදනය සිදු කරන්න."
කපු රෙදිවලින් මුහුණු ආවරණ නිෂ්පාදනය කළද ඒවායේ සිදුරු තිබේ. ඒ ඔස්සේ වෛරසයට ගමන් කළ හැකිය. එසේ නම් එම සිදුරු වසා දැමිය යුතුය. නමුත් වාතය ගමන් කිරීමට අවකාශ සැලසිය යුතුමය. ඒ අනුව මහචාර්යවරයා ඇතුළු කණ්ඩායමට ජයගත යුතු වූ ප්‍රධානම අභියෝගය එය විය. අවසානයේ නැනෝ තාක්ෂණය භාවිත කරමින් මයික්‍රෝ අංශු යොදා මෙම සිදුරු වසා දැමීමට ඔවුහු කටයුතු කළහ. එය අප සරලව පැවසුවත් ඉතා සංකීර්ණ කටයුත්තක් විය. පිටතින් පැමිණෙන වෛරසය විනාශ කළ හැකි මතුපිටක් ඔවුහු මෙම මුහුණු ආවරණය උදෙසා නිපදවූහ. එහි තාක්ෂණික පැහැදිලි කිරීම මෙහිලා සිදු කිරීම අපහසුය. එහෙත් සරලව කිවහොත් මෙහිදී සිදුවන්නේ පිටතින් පැමිණ වෛරසය මුහුණු ආවරණය මත ගැටීමත් සමඟ ඒවා කැබලිවලට බිඳ දමා විනාශ කිරීමයි. ඒ අනුව රසායනික ක්‍රියාවලියකදී මෙන් මෙම ක්‍රියාවලියට අනුගත වීමට වෛරසයකට නොහැකිය. සැබවින්ම නැනෝ තාක්ෂණයේ විශ්මය එයයි.
මුහුණු ආවරණයේ පිටත පෘෂ්ඨය නෙළුම් කොළයක් ලෙස පිටතින් පැමිණෙන කිසිවක් ඇතුළට ලබා නොගෙන බැර කරන අතර මුහුණු ආවරණයේ මැද පෘෂ්ඨයට ද වෛරසය අඩපණ කිරීමේ ශක්තිය ලබා දී ඇති බව මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා තාක්ෂණිකව පැහැදිලි කරයි. එසේම අප මුහුණට ළං වන කොටස ද ඉතා විශේෂ බව ඔහු පහදා දෙයි. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ වෙනත් මුහුණු ආවරණ පැළඳි විට ඔබට දැනෙන හුස්ම ගැනීමේ අපහසුතාව මෙම නැනෝ මුහුණු ආවරණය පැළඳි විට නොදැනෙන බවයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ අප පිට කළ කාබන්ඩයොක්සයිඩ් මුහුණු ආවරණය සහ අපේ මුහුණ අතර රුඳීමයි. වාතයට වඩා බර කාබන්ඩයොක්සයිඩ් මෙසේ රුඳීම නිසා විටක මුහුණු ආවරණ පළඳින විට හුස්ම ගැනීමට අපහසු බව ඔබට දැනී ඇතැයි අපි සිතමු. එහෙත් මහචාර්යවරයා පෙන්වා දෙන ආකාරයට මෙම නැනෝ මුහුණු ආවරණ කාබන්ඩයොක්සයිඩ් ජල වාෂ්ප උරාගෙන ඉක්මනින් අපට ඔක්සිජන් ලබාගැනීමට අවකාශ සලසා දෙයි. එසේම සාමාන්‍ය මුහුණු ආවරණයකදී මෙන් නොව ආසාදිතයකු පිට කරන වෛරසය මෙම මුහුණු ආවරණයේ මැද ඇති වෛරසය අඩපණ කරන ස්ථරය හේතුවෙන් පිටත පරිසරයට ගමන් කිරීම වැළැක්වීම දි සිදුවෙයි.
“අපි මේ මුහුණු ආවරණයට රසායනික වශයෙන් වර්ධනය කරලා එක් කරපු කුඩු සේදුවා කියලා යන්නේ නෑ. අපි තිස් පස් වතාවක් විතර සෝද සෝදා බැලුවා. ඒක යන්නේ නෑ. ඒ නිසා අපි මේ මුහුණු ආවරණය විසි වතාවක් විසි පස් වතාවක් විතර සේදුම් වාර සංඛ්‍යාවකට නිර්දේශ කරනවා. හැමදාම හෝදන්න ඕනෙත් නෑ. අව්වේ දාන්න පුළුවන් අයන් කරන්න පුළුවන්. සෝදලා අයන් කළාම එය මිලදී ගත් ආකාරයටම තියෙනවා."
මහාචාර්යවරයා පෙන්වා දෙන ආකාරයට මෙහි සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් කිහිප දෙනකුම මේ වන විටත් පරීක්ෂණ සිදු කර තිබේ. එසේම දෙස් විදෙස් පරීක්ෂණ ගණනාවක් ද සිදු කර ඇත. මීට යම් සමානකමක් දක්වන මුහුණු ආවරණයක් දැනට අමෙරිකා එක්සත් ජනපදය ද භාවිත කරයි. එහෙත් එහි සෞඛ්‍ය ආරක්ෂිත බව ඊට යොදාගෙන ඇති අමුද්‍රව්‍යවල හිතකර බව පිළිබඳ මේ වන විටත් ගැටලු මතු වී තිබේ. එහෙත් මෙරට නිෂ්පාදිත මෙම නැනෝ මුහුණු ආවරණ පිළිබඳව එවන් ගැටලු මතු වී නැත. එම නිසාම දැනට ලොව තිබෙන විෂබීජනාශක මුහුණු ආවරණ අතරින් විශිෂ්ටතම මුහුණු ආවරණය මෙය බව පැවසීමේ වරදක් නොවේ. ඊට සාක්ෂි දරණ විද්වත් මත ඕනෑ තරම් තිබේ.
Respirone Nano AV 99 Face Mask යන නමින් නම් කර ඇති මෙම මුහුණු ආවරණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා ඇතුළු විශේෂඥයන් පිරිසකගේ දීර්ඝකාලීන පරීක්ෂණයක විශිෂ්ට ප්‍රතිඵලයකි. පසුගිය සතියේ හෙළිදරව් කළ පරිදි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සතොස හරහා මෙම මුඛ ආවරණය සාධාරණ මුදලකට ජනතාවට දැනටමත් අලෙවි කිරීමට පටන්ගෙන තිබේ. එසේම මෙම මුහුණු ආවරණය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු පිරිසක් හමු වී පරීක්ෂණ කණ්ඩායමක් හඳුන්වා දීමක් සිදු කර තිබේ.
දැනටමත් විදේශ රටවලින්ද මීට සැලකිය යුතු ලෙස ඇණවුම් ලැබී ඇති බව අපට දැනගන්නට ලැබිණි. එහෙත් ඖෂධ නියාමන අධිකාරිය මාස ගණනක් තිස්සේ ඊට අනුමැතිය ලබා නොදීම නිසා එයට ලැබී තිබෙන අපනයන ඇණවුම් සිදු කරගත නොහැකි වී ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත් මීට හේතුව පරීක්ෂණ සඳහා ඔවුන් සතුව ඇති තාක්ෂණය ප්‍රමාණවත් නොවීම බවද අපට දැනගන්නට ලැබිණි. තත්ත්වය එසේ වුවත් නුදුරේදීම ජාත්‍යන්තරයට ශ්‍රී ලාංකික නාමය රුගෙන යන නැනෝ මුහුණු ආවරණ විප්ලවය ආරම්භ වනු ඇතැයි අපි අපේක්ෂාවෙන් බලා සිටිමු.
චමිඳු නිසල් ද සිල්වා