2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

ගෙවල්වලම නිරෝධානයනය කරන්නෙ කොහොමද?

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 22

කොවිඩ් 19 වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් මේ වනවිට දක්නට ලැබෙන අතර දෛනික මරණ සංඛ්‍යාවද සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. මේ වනවිට දිනකට ආසාදිතයන් 3000ක් පමණ වාර්තා අතර මරණ 100 ඉක්මවා වාර්තා වේ. ශ්‍රී ලංකා සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනුයේ ඉදිරි දෙසතිය තුළ ඉතා විශාල වශයෙන් රෝගීන් සහ මරණ ඉහළ යෑමක් සිදුවිය හැකි බවටය. මේ වනවිටත් රෝහල් පද්ධතියට සහ සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තරමට රෝගය ව්‍යාප්ත  වෙමින් පවතින බවද, එහෙයින් සියලු සමාජ ඒකරාශීවීම් අත්හිටුවා දිස්ත්‍රික් හා පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු යැයිද ඔහු සඳහන් කරයි. 

ඩෙල්ටා ප්‍රභේදය පෙර පැවති කොවිඩ් ප්‍රභේදයනට සාපේක්ෂව ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ ඩෙල්ඩා වෛරසය නමැති බෝම්බය මේ වනවිට පුපුරා ගොස් ඇති බවටය. දැන් සියලුදෙනා එකාවන්ව මේ උවදුරට මුහුණ දී අභියෝගය ජයගත යුතු යැයි ඔහු කියා සිටී. සියලු රජයේ රෝහල් කොවිඩ් රෝහල් බවට පත් කිරීමට රජය මේ වනවිට තීරණය කර තිබේ. ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට කොළඹ නගරය ආක්‍රමණය කර අවසන්ය. නුදුරේදීම එය වෙනත් ප්‍රදේශවලටද ව්‍යාප්ත වීමේ අනතුරට අපි මුහුණ පා සිටිමු. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන පරිදි ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය පෙර ප්‍රභේදයනට වඩා සියයට 100කින් වැඩිවී තිබේ. මේ වනවිට  මෙරට ජනගහනයෙන් සෑම මිලියනයකටම 15,340 දෙනෙක් ආසාදිතයන් බවට පත්ව තිබීම හේතුවෙන් රෝහල් රුසක දැඩි තදබදයක් ඇති වී ඇති අතර ඇතැම් රෝගීන් ඇඳන් යට සහ රෝහල් භූමියේ ගස් යට පවා ප්‍රතිකාර ලබන බවට මාධ්‍ය වාර්තා මගින් දැකිය හැකිවිය. රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්ද රෝගීන්ගෙන් පිරී එහි උපරිම ධාරිතාවට ළගාවී ඇති ඇතැයි  වාර්තා වේ. පසුගිය සතියේ රෝහල් මෘත ශරීරාගාරයන්හි මළ සිරුරු විශාල ලෙස ගොඩ ගැසී තිබූ අතර ආදාහනාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට සිදුවිය.  

විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන පරිදි මෙම වෛරසය හඳුනා ගැනීම සඳහා සිදුකරන පීසීආර් පරීක්ෂණයේදී සිදුවන්නේ සෙම පටලයක් පරීක්ෂාවට ලක් කිරීමයි. එහිදී එම සෙම පටලය 40 වතාවක් වර්ධනය කරනු ලබයි. එම අවස්ථාවේ වෛරසය හමු නොවුණහොත් එම පුද්ගලයාට රෝගය වැළඳී නොමැති බවට තහවුරු වේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ මුල් අවස්ථාවේ වෛරසය හමුවූයේ මෙම සෙම පටල 33 වරක් පමණ වර්ධනය කරන විටය. දෙවැනි රුල්ලේදී එය 23 වරක් පමණ වර්ධනය කරන විට වෛරසය හඳුනාගත හැකි විය. පසුගිය මාර්තු වන විට සෙම පටලයක් පසළොස් වතාවක් පමණ වර්ධනය කරන විට වෛරසය හඳුනා ගත් අතර මේ වන විට එක් වතාවක් වර්ධනය කරන විට වෛරසය හමුවන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව මෙම වෛරසය කෙතරම් දරුණුද යන්න හා පැතිරීමේ වේගය වටහාගත හැකිය.

මේ වනවිට විද්‍යාත්මක දත්ත එකතු කිරීමක් සිදු නොකරන බවත්, කිසිදු දිස්ත්‍රික්කයක අහඹු පරීක්ෂණ සිදු නොකරන බවත්  සඳහන් කරන පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩයේ සභාපති රවි කුමුදේශ් මහතා අවම වශයෙන් ඩෙල්ටා පැතිරීම සම්බන්ධයෙන් පුරෝකථනයක් කරගත නොහැකි තත්ත්වයත් ඇතිවී ඇතැයිද එහෙයින් යළි සංචරණ සීමා පැනවිය යුතු බවත් සඳහන් කරයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය වෙනත් රටවලින් වාර්තාවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් පුරෝකථනයක් සිදුකළ බවත්, ඒ පිළිබඳව දිනපතා අවධානයෙන් සිටි බවත් එම ප්‍රභේදය ලංකාවට ඇතුළු වුවහොත් ඒ සඳහා ගන්නා ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සැලසුම් සකස් කර තිබූ බවත්ය. &ඇල්ෆා ප්‍රභේදයේදී ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය වූයේ සියයට 5ක් වුවත් ඩෙල්ටා ප්‍රභේදයේදී සියයට 10කට පමණ ඔක්සිජන් අවශ්‍ය වනු ඇතැයි අප නිගමනය කළා. රෝගීන් සම්බන්ධයෙන්, පැමිණිය හැකි නව ප්‍රභේද සම්බන්ධයෙන් හා රෝගීන්ට අවශ්‍ය පහසුකම්, ඔක්සිජන් වැනි සියල්ල සම්බන්ධයෙන් පුරෝකථනය කළා. පසුගියදා ලැම්ඩා කියල ප්‍රභේදයක් වාර්තා වුණා. දැන් බෙල්ජියමේ කැපා නමින් නව ප්‍රභේදයක් වාර්තා වෙනවා. මෙවැනි ප්‍රභේදයන් වෙනස් වන ආකාරය පිළිබඳව පුරෝකථන වෙනස් විය යුතුයි. ඒ සම්බන්ධයෙන් අප සැලකිළිමත් වෙනවා. වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥයන් සහ තවත් විවිධ විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මගින් මෙම තීරණ ගනු ලබනවා.

රෝගයෙන් වැළකීමට ප්‍රත්‍යක්ෂ විසඳුම එන්නත්කරණය බවයි වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ. මේ වනවිට මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක ලෙස සිදුවන බව පෙනෙන්නට තිබේ. එහෙත් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ද යළි කොවිඩ් ආසාදිතයන් බවට පත්වීම හේතුවෙන් අවශ්‍ය නම් තෙවැනි එන්නත් මාත්‍රාවක්ද ලබාදීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ දැනුම්වත් කර තිබේ.

දරුණු ලෙස රෝග ව්‍යාප්තිය පැතිර යමින් තිබියදී පවා ජනතාව නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරමින් කටයුතු කිරීම කනගාටුදායකය. තවමත් නිසි පරිදි මුව ආවරණ නොපැළඳීම, අත් නොසේදීම, විෂබීජ නාශක දියර භාවිත නොකිරීම දකින්නට ලැබේ.. රෝගය පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බවට හොඳම උදාහරණයක් ලෙස පසුගිය ඉරිදා මඩකලපුව මාමාම්ගා ඊශ්වර කොවිලේ පැවැති ආගමික උත්සවය සඳහන් කළ හැකිය. සෞඛ්‍ය මාර්ගෝපදේශ කිසිවක් නොතකමින් අති විශාල ජනකායක් එහි වැවකට බැස ආගමික උත්සවයක් සිදුකළඅතර නොබෝ දිනකින්ම එම පිරිස අතරින් තවත් කොවිඩ් පොකුරක් නිර්මාණ නොවුණහොත් එය අරුමයකි. මේ වනවිට කෝවිල තාවකාලිකව වසා දමා ඇති අතර එහි භාරකාර මණ්ඩලය නිරෝධායනය කර තිබේ.

රෝහල්වල ධාරිතාව ඉහළ යමින් පැවතීම මත කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වී මෙතෙක් බස්නාහිර පළාතේ නියමු ව්‍යාපෘතියක් ලෙස පමණක් ක්‍රියාත්මක වූ සංකූලතා නොමැති, අඩු අවදානමක් සහිත තෝරාගත් ආසාදිතයන් නිවෙස් තුළම තබා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය රජය දීපව්‍යාප්ත ලෙස පසුගිය සඳුදා සිට ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය කියා සිටියේ  පසුගිය කාලයේ බස්නාහිර පළාතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවුණු අතර එම කාලය තුළ රෝගීන් 7000කට ආසන්න ප්‍රමාණයක් එලෙස නිවෙස්වල තබා ප්‍රතිකාර කර ඇති අතර ඔවුන්ගෙන් රෝහල් ගත කිරීමට සිදුවූයේ සියයට 5ක් වැනි ප්‍රමාණයක් පමණක් බවයි. ඔවුන් අතුරින් කිසිදු මරණයක් වාර්තා නොවූ බවද ඇය සඳහන් කර සිටියාය.

ඒ අනුව නිවෙස්වල නිරෝධායනයේ සිටින රෝගීන් පරීක්ෂා කර ඔවුනට සහය වීමේ කාර්යභාරය එම ප්‍රදේශයන්හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් වෙත පැවරී තිබේ. නිවෙස්වල නිරෝධායනයට යොමු කළ හැකි වන්නේ වයස අවුරුදු 02ත් 65ත් අතර පුද්ගලයන්ය. එම ආසාදිතයා තරබාරුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග පෙනහළු හෝ වකුගඩු රෝග වැනි නිදන්ගත රෝගී තත්ත්වයන් නොමැති අයකු විය යුතුය. නිරෝධායනයට යොමු වන ස්ථානයේ නිසි සන්නිවේදන පහසුකම් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. 1390 යන අංකයෙන්  පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන මධ්‍යස්ථානය ඔස්සේ රෝගීන් පිළිබඳ කළමනාකරණය සිදු කෙරෙනු ඇත. එමෙන්ම වෛද්‍යවරයකු විසින් රෝගියා පිළිබඳ මූලික තක්සේරුවක් හා දෛනික අධීක්ෂණයක් සිදු කරනු ලබයි.  යම් හෙයකින් රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් වහා රෝහල් ගත කිරීමට කටයුතු කරනු ඇත. දින 14කට පසු රෝගියා මුදාහැරීමට පියවර ගැනේ. 

සෞඛ්‍ය අංශ ඒ අයුරින් ආසාදිතයන් පිළිබඳව කටයුතු කරන අතර නිවෙස තුළ සිටින රෝගියා විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන. කාර්යාංශය මෙලෙස පැහැදිලි කරයි. කොළඹ ජාතික රොහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ හර්ෂ සතිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ නිවෙසේ නිරෝධායනය වන රෝගියාට නිසි විවේකය ලැබිය යුතු බවයි. රෝගීයා හොඳින් ජලය පානය කළ යුතු වන අතර අවම වශයෙන් දිනකට ජලය ලීටර දෙකක්, දෙකහමාරක් පමණ පානය කළ යුතුය. එමෙන්ම පෝෂ්‍යදායි ආහාරද ලබාගත යුතුය. රෝගියා වෙහෙසට පත් නොවිය යුතුය. මනා නින්දක් ලබා ගත යුතු වන අතර වෙනත් රෝග සඳහා ඖෂධ භාවිත කරන්නේ නම් එම ඖෂධ නිසි පරිදි ලබාගත යුතුවේ. සාමාන්‍ය රෝග ලක්ෂණ ලෙස උණ, උගුරේ වේදනාව, කැස්ස, ගඳ සුවඳ නොදැනීම සහ සෙම තත්ත්වයක් පැවතිය හැකිය. උණ වැළඳී ඇත්නම් පැරසිටමෝල් පෙති දෙකක් ගැනීම ප්‍රමාණවත් වන අතර. වෙනත් විහේෂ  ඖෂධ ගැනීම අවශ්‍ය නොවේ. කිසියම් රෝගියකු වාඩිවී සිටින විටෙක හෝ ඇඳක වැතිර සිටින විට හතියක් නොදැනිය යුතුය. පියවර 30ක් 40ක් නිරෝධායනය වන කාමරය තුළ ඇවිද තමාට හති ගතියක් දැනෙනවාදැයි පරීක්ෂා කළ යුතු වන අතර හතියක් නොදැනෙන්නේ නම් ගැටලුකාරී තත්ත්වයක් නොමැත. ඉන් හැඟී යන්නේ එම පුද්ගලයාගේ සිරුරේ ඔක්සිජන් ප්‍රමාණයේ ඌණතාවක් නොමැති බවයි. ස්වසන අපහසුතාවක් දැනෙන්නේ නම් එම රෝගියා අධීක්ෂණය කරන ස්ථානය වෙත වහා දුරකතන ඇමතුමක් ලබා දිය යුතුවේ.

මේ අතර පසුගියදා ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් සම්බන්ධීකරණ කමිටුව රුස්වූ අවස්ථාවේ අනාවරණය වූ කනගාටුදායක තත්ත්වයක් වූයේ දිස්ත්‍රික්කය පුරා 7000කට අධික පිරිසක් රෝහලක් නොමැතිව තවමත් නිවෙස් තුළ රුඳී සිටින බවයි. සතියක කාලයක් තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,555ක් වාර්තා වී ඇති අතර සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඔවුන්ගෙන් මෙතෙක් රෝහල් ගත කිරීමට අවස්ථාව සැලසී ඇත්තේ 4046ක් පමණකි. රජය මගින් හඳුන්වා දුන් නිවෙස්වල  සිට ප්‍රතිකාර ගත කිරීමේ ක්‍රමවේදය සඳහා තවමත් යොමු කර ඇත්තේ 1506 දෙනකු වන අතර තවත් ආසාදිතයන් 7003 දෙනෙක් නිවෙස් ප්‍රතිකාරවලට හෝ රෝහල් ප්‍රතිකාර සඳහා හෝ යොමු කිරීමට හැකියාවක් නොමැතිව තවමත් නිවෙස් තුළම සිටින්නේයැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරිනියක් ප්‍රකාශ කර තිබේ. මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටින්නේ රට තව දින කිහිපයකින් දැඩි අර්බුදයක් කරා යොමුවීම පැහැදිලි හෙයින් ඇඳිරි නීති තත්ත්වයක් ක්‍රියාත්මක කළ යුතු බවටය. එහෙත් කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ අවශ්‍යම මොහොතක හැර රට වසා දැමීමක් සිදු නොකරන බවයි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා