2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

මළසිරුරු පිරී ගිය ’’මෝචරි’’

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 131

මෙරට වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය ඉතාම තීරණාත්මක තැනකට පත්ව ඇත. ඒ මෙවර ඉතාම දරුණු කොවිඩ් ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් රටපුරා පැතිරෙමින් තිබෙන නිසාය. මේ නිසා අධික ලෙස රෝගීන් වාර්තාවීමත් ජනගහනයට උසුලගත නොහැකි මරණ සංඛ්‍යාවකුත් රටින් වාර්තා වෙන්න පටන් ගෙන ඇත.

කෙසේ වෙතත් මෙකී තත්ත්වය ඇතිවීමට මුලසිටම සෞඛ්‍ය අංශයේ පිරිස් සඳහන් කර සිටියේ මෙවැනි දරුණු තත්වයක් ඇතිව රෝගීන් ප්‍රමාණයත් මරණ ප්‍රමාණයත් අධික ලෙස ඉහළ ගියහොත් එය සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි තත්වයක් බවට පත්වනු ඇති බවයි. එහෙත් බලධාරීන් එකී අවදානම තඹ සතයකට මායිම් කළේ නැත. නිරෝධායනය නීතිය වල්වැදී යාම නිසා ජනතාවගේ වගකීම් විරහිත හැසිරීම් හමුවේ මේ වනවිට රටපුරාම දරුණු ලෙස ඩෙල්ටා ප්‍රබේදය පැතිරෙමින් තිබේ. ඒ නිසා අද වනවිට දරුණු තත්ත්වයකට රටම මුහුණ දෙමින් ඇත.

මේ කතාව පටන් ගන්නේ වර්තමාන කොවිඩ් වසංගත තත්වයේ අතුරු කතාවක් ලෙසය. ඒ අධික ලෙස මරණ සංඛ්‍යාව ඉහළයාමත් සමඟ රෝහල් වර්තමානයේ මුහුණ දෙන්නට සිදුව ඇති ගැටලුවක් ගැනය. එනම් රෝහල්වල මෝචරිවල අධික ලෙස මළසිරුරු ගොඩ ගැසීමය. මේ සම්බන්ධයෙන් තොරතුරු පසුගියදා ප්‍රධාන මාධ්‍යයේ පවා ප්‍රචාරය කෙරිණි.

කෙසේ වෙතත් අප මේ තත්ත්වය ඇතිවීම සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළ අතර එහිදී අනාවරණය වූ කරුණු මෙසේ ඔබට ඉදිරිපත් කරන්නේ හදිසි තත්ත්වයක් තුළ රටේ අප නොසිතන අංශ අන්ත අසරණ වන අකාරය පෙන්වා දීම සඳහාය.
පසුගියදා අනාවරණය වූයේ ගම්පහ, රාගම සහ පානදුර ආදී රෝහල්වල මෘතශරීරාගාර මළසිරුරුවලින් පිරි ඉතිරී ගොස් ඇති බවය. ඒ සම්බන්ධයෙන් වූ ඡායාරූප පවා සමාජ මාධ්‍ය පුරා සංසරණය වූ අතර පසුව ප්‍රධාන මාධ්‍යවල ප්‍රවෘත්තිවල එක් කොටසක් බවට එය පත්විය. කෙසේ වෙතත් මෙම සිදුවීම දැකගත් ඕනෑම කෙනකුට ඇතිව තිගැස්ම, බිය අමුතුවෙන් කිවයුතු නැත. එනම් ඉන්දියාව මෙන් විශාලාවක් වෙමින් පවතිනවාද යන්න හැමෝටම හිතේ ඇතිවූ සැකයක් විය.

කෙසේ වෙතත් ඇත්තටම මළසිරුරු මේ අකාරයෙන් ගොඩගැසීමට බලපෑ හේතු කාරණා කීපයක් තිබුණි. ඉන් පළමුවැනිම ගැටලුව වී තිබුණේ ඉහත කී රෝහල් ඇතුළු බස්නාහිර පළාතේ රෝහල් නවයක 2017 වසරේ සිට හඳුනා නොගත් මළසිරුරු ගොඩගැසී තිබීමය. එවැනි මළ සිරුරු 131 හඳුනාගෙන තිබිණි. එම මළසිරුරු ඔවුන්ගේ ඥාතීන් විසින් හඳුනා නොගැනීම නිසා වසර ගණන් රෝහල්වල ශීතාගාරවල තැන්පත් කර තිබී ඇත.

මෙම තත්ත්වය තේරුම් ගත් පොලීසිය වහාම අනාගතයේ ඇතිවිය හැකි දරුණු ඛේදවාචකය හමුවේ මළසිරුරු තවදුරටත් ගොඩගැසිය හැකි නිසා වහාම නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් මත එම මළසිරුරු භූමදානය කිරීමට තීරණය කරනු ලැබීය. ඒ සඳහා අධිකරණ අවසරයක් ලබාගැනීමටත් ඔවුන් අමතක කළේ නැත. ඒ නිසා මළසිරුරු ගොඩගැසෙන්නට ප්‍රධාන හේතුව වී තිබුණේ එය බව සොයාබැලීමේදී පළමුව අනාවරණය විය.

තවදුරටත් සොයාබැලීමේදී අනාවරණය වූයේ රෝහල් අවට අදාහනාගාර රැසක් මේ වනවිට අක්‍රිය වී තිබී ඇති බවය. ඒ නිසා කොවිඩ් සිරුරු හැකි ඉක්මනින් අවසන් කටයුතු කිරීමට නොහැකිවීම නිසා රෝහල්වල මළසිරුරු ගොඩගැසීයාම සිදුවී ඇත. වහාම ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ මැදිහත්වීමෙන් එම අක්‍රියව ඇති ආදාහනාගාර නැවත සක්‍රීය කිරීමට මේ වනවිටත් කටයුතු ආරම්භ කර ඇත.

එපමණක් නොව මළසිරුරු ගොඩගැසීමට තවත් හේතුවක් වී ඇත්තේ කොවිඩ් මළසිරුරු හඳුනාගැනීමට ඇතැම්විට දින දාහතරක් ගතවීමය. එනම් පවුලක අයකු මියගියහොත් ඒ පුද්ගලයාගේ සමීපතමයන් නිරෝධායනයේ යෙදෙන නිසා ඔවුන් නිරෝධායනය වී පැමිණෙන තෙක් මළසිරුරු තබාගැනීමට සිදුවී ඇත. ඒ නිසා මෘතශරීරාගාර තුළ මළසිරුරු ගොඩගැසෙන්නට එයද එක් හේතුවක් වී ඇතිබව අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් වර්තමානය වනවිට පොලීසිය තීරණය කර ඇත්තේ එලෙස යම් අයකු මියගියපසු උපරිම සෞඛ්‍ය ආරක්ෂිතව ඔවුන්ගේ සමීපතමයකු කෙසේ හෝ ගෙන්වා අවසන් කටයුතු කිරීමටය.

එසේම අනෙක් කරුණ වන්නේ ආදාහනාගාර තුළ දවාලිය හැකි මළසිරුරු සංඛ්‍යාවය. එක්වතාවකට දැවිය හැකි මළසිරුරු සංඛ්‍යාව බොහෝ ආදාහනාගාර තුළ එකක් පමණි. එක් මළසිරුරක් සම්පූර්ණ වශයෙන් දවාලීමට පැය දෙකක කාලයක් ගතවන අතර සේවකයන්ගේ රැකියා කාල වේලාව සමඟ දවසට දවාලිය හැකි මළසිරුරු සංඛ්‍යාව පහක් හෝ හයකි. විශේෂයෙන් මළසිරුරු ලී පෙට්ටිවල අසුරණ නිසා මේ කාලය තව තවත් අඩුවිය හැකි බව සඳහන් වේ. කෙසේ වෙතත් මේ වනවිට රජය තීන්දු කර ඇත්තේ කොවිඩ් මළසිරුරු මින් ඉදිරියට කාඩ්බොඩ් පෙට්ටි තුළ ඇසුරුම් කිරීමටය. ඒ හරහා දැවීමේ කාලය ඉතාම අඩුවන බව හෙළිවී ඇත.

කෙසේ වෙතත් මෙහි තවත් දෙයක් සඳහන් වන්නේ ඇතැම් ආදාහනාගාර පාලනය කරන සේවකයන් කොවිඩ් රෝගයට බියවීම නිසා එම මළසිරුරු පිළිස්සීම ඔවුන් ප්‍රතික්ෂේප කිරීමය. විශේෂයෙන් ඒ වෙනුවෙන් දවසේ වැඩිකාලයක් ගතවන නිසා ඔවුන් මෙම මළසිරුරු ආදාහනය ප්‍රතික්ෂේප කරන බව සඳහන්ය.

මේ අකාරයෙන් බොහෝ රෝහල්වල ඇතිව තිබෙන ගැටලු නිසා බොහොමයක් මෘතශරීරාගාර මළසිරුරු වලින් පිරීගොස් ඇත. එය එක් පැත්තකින් ඉඩකඩ ප්‍රශ්නයකි. අනෙක් පැත්තෙන් සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ගැටලුවකි. මේ නිසා රෝහල්වල වෛද්‍යවරුන් පවා මේ සම්බන්ධයෙන් කොවිඩ් මර්දන කමිටු රුස්වීම්වලදී කතාබහට ලක්වන මාතෘකාවක් කරගෙන ඇත. කෙසේ වෙතත් වෛද්‍යවරුන් මෙම තත්ත්වය කළමානාකරණය කිරීම සඳහා එක් අවස්ථාවක කන්ටේනර් පෙට්ටි පවා රජයෙන් ඉල්ලා තිබිණි. ඒ මළසිරුරු තබා ගැනීමටය. එහෙත් ප්‍රායෝගික ගැටලුව වන මළසිරුරු හඳුනා ගැනීමේ ගැටලුව මේ සියල්ලටම හේතුවී තිබිණි. ඒ නිසාම එකී ප්‍රායෝගික ගැටලුවට පොලීසියත් නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ව පිළිතුරු සෙවීම නිසා පැවති තත්ත්වය යම් තරමක සමනය කර ගැනීමකට හැකිවිය.

එහෙත් ගැටලුවක් ඇත. තවදුරටත් මළසිරුරු රෝහල් පුරා ගොඩගැසුණහොත් මරණ සංඛ්‍යාව ඉහළ ගියහොත් සැබවින්ම මළසිරුරු රෝහල්වල කඳු ගසනු දැකිය හැකිවනු ඇත. එය කිසිලෙසකවත් නවත්වාලිය නොහැක. ඒ නිසා දැනට ප්‍රශ්නය නිරවුල් වූවාට ප්‍රශ්නයට හේතුව නිමවී නැත. හේතුව නිමවන තෙක් මෙය අභියෝගයක් වනු ඇත.

 ගයාන් ගාල්ලගේ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03