2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

විපක්ෂය දකින ආණ්ඩුවේ කොවිඩ් සටන

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 24

මෙරට කොවිඩ් මර්දනය ගැන රට වටෙන් ඇහෙන කතා විවිධාකාරය. සමහර ප්‍රකාශ අවදානම ගැනය. තවත් කතා අනාගතයේ වීමට යන අනතුර ගැනය. ඒ කතාවලිනුත් බහුතර කතා ඔහේ කියන කතාය. ඇතැම් ඒවා විද්‍යාත්මක පදනමක් මත හැදෑරීම්ය. එහෙත් විද්‍යාත්මක පදනමක් මත කතාවලට වඩා රට වටේ වැඩියෙන්ම දුවන්නේ ඔහේ කියන කතාය. පුරාජේරුය. ඒ නිසා විද්‍යාත්මක ප්‍රකාශ මැරී ගොස්ය. බොහෝවිට පුරාජේරු, පදනමක් නැති කතා, පහර ගැසීම් සියල්ල ඇතිවන්නේ දේශපාලන කරළිය තුළය. බහුතරයක් දේශපාලන කතා එලෙසය. එහෙත් ඇතැම් ප්‍රකාශ ඉතාම වටිනා ප්‍රකාශය.

උදාහරණයක් ලෙස ගතහොත් ආණ්ඩුවේ බහුතරයක් මැති ඇමතිවරුන් රට කොවිඩ්වලින් ආරක්ෂිත බවට පවසන විට සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසන්නේ ඇතිව තිබෙන අවදානම ගැනය. එයට හේතුව ඇයගේ වෘත්තීය භාවය නිසාය. එසේම ඇතැම් දේශපාලනඥයන් වෘත්තීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නොවුණත් ඔවුන් සොයාගත් තොරතුරු, දැනුම අනුව පවසන කාරණා ඉතාම වටිනා ඒවාය. හුදෙක් දේශපාලන වෛරී හෝ ඇන්දිලි සහගත නොවන ප්‍රකාශ ජනතාවට අතිශය වැදගත්ය.

කෙසේ වෙතත් මෙලෙස ආරම්භයේ සඳහන් කළේ ජනතාවට වගකියන ආණ්ඩුව ජනවරමින් පත්වුවත් බොහෝ වෙලාවට ජනතාවගේ හඬවන්නේ විපක්ෂය නිසාය. විපක්ෂයට පක්ෂ විපක්ෂ ජනතාවගේ පොදු හඬ වන අතර බොහෝවිට විපක්ෂයේ භූමිකාව සහ ක්‍රියාකාරීත්වය රුඳි තිබෙන්නේ ආණ්ඩුව දිගින් දිගටම කරන ජනතා විරෝධී ක්‍රියාවන් හමුවේය. එසේ සිදුවන්න සිදුවන්න ආණ්ඩු විවේචන, ආණ්ඩු විරෝධී අරගල විපක්ෂය වෙනුවෙන් ඇති තරමට ඕනෑම ආකාරයකින් සිදුකළ හැක. ඉතිහාසයේ පටන් එවැනි අවස්ථා අනන්ත ඇත.

එහෙත් වර්තමානයේ කොවිඩ් මර්දනය ගැන විපක්ෂයේ මතය ආණ්ඩුවට එරෙහිව ඉතා දැඩිය. ඔවුන් සඳහන් කරන්නේ ආණ්ඩුවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ ඉතාමත් අසාර්ථක බවය. එහෙත් ආණ්ඩුව එය යටපත් කර විපක්ෂයට පෙන්වන්නේ ලෝකයේ වේගවත්ම එන්නත්කරණය මෙරට සිදුවන බවය. එය සැබෑය. ඒ නිසා එයට විපක්ෂයට පහරදිය නොහැක. කෙසේ වෙතත් මේ ඔබට සඳහන් කරන්නේ විපක්ෂයේ අය ආණ්ඩුවේ කොවිඩ් මර්දනය ගැන දරණ අදහස්ය. මතවාදය.

කොරෝනා උග්‍ර වීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි

සජිත් ප්‍රේමදාස (විපක්ෂ නායක)

කොරෝනා මරණ සමඟ අපේ රට බිහිසුණු තත්ත්වයකටයි මුහුණ දෙමින් සිටින්නේ. ඇත්ත දත්ත මීට වඩා වැඩිවිය හැකියි. මේ ආකාරයෙන් කොරෝනා තත්ත්වය උග්‍ර අතට හැරෙන්න සම්පූර්ණයෙන් වගකීම ගන්න ඕන ආණ්ඩුව. ඒත් මේ සියල්ල සිදුවන විට ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කියලා තියෙනවා &ඉදිරිය දෙවියන්ට බාර දියයුතුයි කියලා. එවැනි අමනෝඥ ආකාරයෙන් සහ වගකීම් විරහිතව හැසිරෙන්නේ මරණ හා ආසාදිතයන් හමුවීම ප්‍රතිශතයක් ලෙස ලෝකයේ අංක එක තැනට ශ්‍රී ලංකාව පත්වෙමින් ඇති වෙලාවක. සමස්ත රට ගැන කෙසේ වෙතත් 69 ලක්ෂයේ ජනතාවගේ බුද්ධියට නිගාදෙන අයුරින් ප්‍රකාශ දෙන තැනට ආණ්ඩුව වැටී තිබීම ඇත්තටම කනගාටුදායකයි.

කාර්ය සාධක බළකාය මේ මරණවලට වගකිව යුතුයි

රනිල් වික්‍රමසිංහ (පා.ම) - එක්සත් ජාතික පක්ෂ නායක - හිටපු අගමැති

ඉන්දියාවට වඩා දරුණු තත්ත්වයකට රට යන්න පුළුවන්. ඔක්සිජන් හිඟය තමයි එන්න පුළුවන් ලොකුම ප්‍රශ්නය. ගොඩනැගිලි දෙනවා කිව්වා. ඇඳවල් දෙනවා කිව්වා. ඒ කිසිදෙයක් අද නෑ. අපි බේරිලා ඉන්නේ වෛද්‍ය සහ සෞඛ්‍ය අංශය නිසා. ඒත් ඒ අයට ඇහුම්කන් දෙන්නේ නෑ. වෛද්‍යවරු කියනවා ලොක්ඩවුන් කරන්න කියලා. ඒත් ආණ්ඩුව කරන්නේ නෑ. මේ සියල්ල බාරවෙලා තියෙන්නේ කාර්ය සාධක බළකායකට. ඒ අයට ශක්තියක් නෑ. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිහිටවපු කමිටුවක් නෑ. ලංකාවේ විතරයි නැත්තේ. අනික් හැම රටේම තියෙනවා. මේ මරණ දිහා බලපුවම මේක අප්‍රේල් මාසයේ ඉඳලා නතර කරන්න තිබුණ දෙයක්. ඒත් ඒක වෙලා නෑ. ඒ නිසා මරණවලට මේ කාර්ය සාධක බළකාය වගකියන්න ඕන. මේ කමිටුවට ක්‍රියාත්මක වෙන්න නීතියෙන් අවසර නෑ. මේක වැඩකරන්නේ නීතියෙන් පිට. මේ කමිටුව විසුරුවන්න. ඊටපස්සේ නීත්‍යානුකූල එකක් පිහිටුවන්න. නැත්තන් ලංකාව 21 වැනි ශත වර්ෂයේ විශාලාව වෙයි.

රැල්ල ගහනකොට සෞඛ්‍ය විශේෂඥයන් ඉවත් කළා

වෛද්‍ය නලින්ද ජයතිස්ස (ජනතා විමුක්ති පෙරමුණ)

මේ රටේ වර්තමානයේ ඇතිවෙලා තියෙන මරණ ගණන, ඒ වගේම වාර්තාවන ලෙඩ්ඩු ප්‍රමාණය, විශේෂයෙන් මේ ඩෙල්ටාව පැතිරයන ආකාරය, ඔක්සිජන් ගැටලු, ඉඩකඩ ප්‍රශ්න ගැන සලකලා බලද්දී කොවිඩ් මර්දනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය ගැන අපිට කිසිසේත් සෑහීමකට පත්වෙන්න බෑ. මේක වෛරසයක්. ඒ නිසා මේ වෙලාවේ මේ බළකායේ මූලිකත්වය ගත යුත්තේ සෞඛ්‍ය අංශ. වසංගතය ගැන දන්නේ සෞඛ්‍ය අංශ මිසක් වෙන අය නෙමෙයි. මෙය ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නම් අපිට පුළුවන් ආරක්ෂක විශේෂඥයන්ට මූලිකත්වය දෙන්න. නමුත් මේ වෛරසය පිළිබඳව ප්‍රශ්නයක් නිසා මේකට මූලිකත්වය ගත යුත්තේ සෞඛ්‍ය විශේෂඥයන්. ඒත් අවාසනාවකට ඒ සෞඛ්‍ය විශේෂඥයන් මේ හතරවැනි රුල්ල එනකොට රුල්ලෙන් රුල්ල අයින් කළා. වෛද්‍ය අනිල් ජාසිංහ පැත්තකට දැම්මා. පබා පලිහවඩන පැත්තකට දැම්මා. මේ ගැන තොරතුරු දුන්න ජයරුවන් බණ්ඩාර පැත්තකට දැම්මා. වෛද්‍ය සුදත් සමරවීර පැත්තකට දැම්මා. ඒ නිසා රුල්ලෙන් රුල්ල ඒ විශේෂඥවරු අයින් කළා. හැබැයි හතරවෙනි රුල්ල එනකොටත් ජනාධිපතිවරයට ඉතුරුවෙලා තියෙන්නේ හමුදාපතිවරයයි, බුද්ධි ප්‍රධානියයි විතරයි.

ගෙදර ඉන්න කියලා නිවේදනය කරලා රජයේ සේවකයන් ගෙන්වනවා

පුබුදු ජාගොඩ - අධ්‍යාපන ලේකම් (පෙරටුගාමී සමාජවාදී පක්ෂය)

අපි දන්නවා මේ වගේ වසංගතයක් වෙලාවට කරුණු තුනක් ගැන අවධානය යොමුකරන්න ඕන. එක තමයි රෝග ව්‍යාප්තිය නතර කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්න ඕන. දෙක මේ සඳහා අවශ්‍ය ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදෙන්න ඕන. තුන හඳුනාගන්නා රෝගීන්ට පහසුකම් සලසන්න ඕන. හැබැයි මේ එකක්වත් ආණ්ඩුව මුල් අදියරේ ඉඳලා කළේ නෑ. සම්පූර්ණයෙන් මාධ්‍ය සංදර්ශන විතරයි. උදාහරණයක් ගත්තම ලෙඩ්ඩු පහක් හයක් වාර්තා වෙනකොට මාස ගාණක් රට වැහුවා. ඒ වෙලාවේ දෛනික ආදායම් ලබන මිනිස්සු ගැන අවධානයක් යොමුකළේ නෑ. උද්ඝෝෂණය කරනකල්. අද වෙනකොට ගෙදර ඉන්න කියලා නිවේදන නිකුත් කරන්නේ වෛද්‍ය විශේෂඥයන්ට කලින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ. ඒ අස්සේ ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවකයෝ වැඩට ගෙන්නනවා. පස්සේ ඒක දවස් දෙක තුන වෙනවා. ඔන්න ඔහොමයි වැඩ ඒ අයගේ.

ආණ්ඩුවේ වැරැද්දෙන් රට අපායක් වෙමින් තිබෙනවා

පාඨලී චම්පික රණවක (සමගි ජනබලවේගය)

අපිට ජීවත්වෙන්න වෙලා තියෙන්නේ මේ ඩෙල්ටා පිපිරුමත් එක්ක. මළ කඳන් රට වටේ ගොඩගැහෙමින් තියෙනවා. පාරවල්වල, වාහනවල, ගෙවල්වල මිනිස්සු මියයමින් ඉන්නවා. ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන අඩුවෙන් තිබ්බට ලෝක විශේෂඥයන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව දැන් රට ඩෙල්ටා පිපිරුමට ලක්වෙමින් තියෙන්නේ. දැන් රට අපායක් වෙමින් යනවා. සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ වැරදි කළමනාකරණය නිසා තමයි මෙහෙම වුණේ. මේ වෛරසයේ ආරම්භයේ පටන් මේ සඳහා යොදාගත්තේ විශේෂඥයන් නෙමෙයි. විශේෂඥ බෝඩ් ගහගත්ත අය. විශේෂයෙන් එහෙයියෝ දා ගත්තේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉඳලා සමස්ත මෙහෙයුමටම දා ගත්තේ එහෙයියෝ පිරිසක්.

 ගයාන් ගාල්ලගේ