ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් සීඝ්‍රයෙන් කොවිඩ් වෛරසය රටපුරා ව්‍යාප්ත වීමත් සමඟ දිවයිනේ සැම දිස්ත්‍රික්කයකම පිහිටා ඇති රජයේ රෝහල්වල ධාරිතාවයද ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව කොළඹ ජාතික රෝහලේද ප්‍රතිකාර ලබන රෝගීන් විශාල වශයෙන් වැඩිවෙමින් පවතී.
මේ වනවිටත් සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු නිලධාරීන්ගෙන් පිරිසකට මෙම රෝගය ආසාදනය වී තිබෙනවා. තුන් දෙනෙකු කරන සේවයක් එක් සේවකයකු කරන තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ. එකදිගට සේවය වාර්තා කරන හෙද නිලධාරීන් පිරිසක් ඉන්නවා. යම් හෙයකින් මේ පවතින ධාරිතාවය එන්න එන්නම වැඩිවුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් තාමත් අපි ඒක දරාගෙන ඉන්නවා. අනාගතයේ තත්ත්වය එතරම් සුභදායක වන්නේ නැහැ.*
කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා දේශයට සඳහන් කළාය.
පළපුරුදුකම් ලත් අත්දැකීම් ලත් අය පවසන්නේ මේ දරුණු තත්ත්වයෙන් බේරීමට මහජනතාවගේ විශාල වගකීමක් ඇති බවය. නමුත් මේ වනවිටත් තවමත් රටම ජනතාවගෙන් කොටසක් අඩුම වශයෙන් තමන්ට කළහැකි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් පවා නිසි ලෙස භාවිත කරන්නේ නැත.
කුමක් හෝ රෝගයකට රෝහලකට පැමිණෙන රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් අඩුම තරමේ නිසි ලෙස මුඛ ආවරණය පළඳින්නේවත් නැහැ. සෞඛ්‍ය අංශයේ නිලධාරියෙක් දුටු පමණින් ඒ අයට එය නිවැරදිව පළඳින්නට මතක් වෙනවා. නමුත් යම් හෙයකින් ඒ කොවිඩ් රෝගියෙක් නම් ඒ පොඩි කාලසීමාවක් ඔහුගෙන් තවත් බොහෝ පිරිසකට රෝගය ව්‍යාප්ත වෙන්න හොඳටම ප්‍රමාණවත් වෙනවා. අවුරුදු දෙකක් තිස්සේ මේ අවදානම් රෝගියෙක් එක්ක ජීවත්වුණ අපේ මිනිසුන්ගෙන් තවමත් බහුතරයකට මේ මුඛ ආවරණය නිසි විදිහට පැළඳීම සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ. සමහරුන්ගේ නිකටේ තිබෙන මුඛ ආවරණය නිසි විදිහට පළඳින්නේ ත්‍රිවිධ හමුදා නිලධාරියෙක් දැක්කොත් විතරයි. දැන් තමයි ඔවුන්ට තම වගකීම ඉෂ්ඨ කරන්න හොඳම කාලය වෙන්නේ සෙනඟ ගැවසෙන තැන්වලට පුළුවන් තරම් නොයා සිටීමත්, නිතරම අත්සේදීම ආදී සෞඛ්‍ය පුරුදු කිරීම ඉතා වැදගත් වෙනවා.
යැයිද පුෂ්පා රම්‍යානි ද සොයිසා වැඩිදුරටත් දේශයට පැවසීය.
කොවිඩ් හේතුවෙන් රෝගීන් විඳින වේදනාව, ඒ දරුණුකම තම ඇස්වලින් අනන්තවත් දකිනා බව ඇය පවසන්නීය. රෝහලට පැමිණෙන මෙම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කණ්ඩායමම දිවා රෑ නොබලා ප්‍රතිකාර ලබාදෙන්නේ ඔවුන්ගේ දරුවන්, දෙමව්පියන් ඇතුළු සමස්ත තම පෞද්ගලික ජීවිතය පවා මඳකට අමතක කර දමාය. තම නිවැසියන් සෞඛ්‍යාරක්ෂිතව සිටියද කොවිඩ් රෝගීන් සමඟ ගැවසෙන මොවුන් පමණක් නොව ඔවුන් හරහා තම නිවැසියන්ද කොවිඩ් ලෙස වාර්තා වී ඇත.
රෝහල් ගතවන රෝගීන්ගෙන්ද මේ කටයුත්ත ක්‍රමවත්ව සිදුකරන්න අපිට සහාය දෙනවා. ඒ හැමෝම හරිම අහිංසක මිනිස්සු. හැමෝටම තමන්ගේ ජීවිත රුකගන්නයි ඕනේ. රෝහල්ගතවන අය රෝහලට එන්නේ හරිම බයෙන්. ඒක මේ අවුරුදු දෙක පුරාවටම අපි අත්දැකපු අත්දැකීමක්. ඒ අයගේ නිවස පැල්පතක් වුණත්, ඒ නිවාස පරිසරය කුමක් වුණත් ඒ අයට ඒ නිවසේ තියෙන සහනය රෝහල ඇතුළේ නැති වෙන්න පුළුවන්. රෝහලේ වාට්ටුව, නාන කාමරය, පොදුවේ පාවිච්චි කරන්න සිදුවන්නේ. කොවිඩ් රෝගීන්ව නිතරම දකින්න ලැබෙනවා. ඒ සමහර රෝගීන් ඉතා අසාධ්‍ය රෝගීන් වෙන්න පුළුවන්. ඒ නිසා යම්කිසි මානසික ව්‍යාකූලතාවයක් සමඟ පළමු හා දෙවැනි දවස වෙනතුරු ඒ රෝගීන් ඉන්නේ ලොකු පීඩනයකින්. නමුත් තුන්වන හා හතරවන දින වෙද්දී ඒ අය යථා තත්වයට පත්වෙලා එකිනෙකාට උදව් කරල, කණ්ඩායමක් හැටියට උදව් කරගෙන ජීවත්වෙන තත්ත්වයට පත්වෙනවා. ඒක තමයි ඇත්තටම මෙහිදී වෙන්නේ. එහිදී අපි හැමවිටම උත්සාහ කරන්නේ ඒ රෝගීන්ගේ මානසික තත්ත්වය පහළ නොවැටී තබා ගැනීමටයි. ඒ වෙනුවෙන් හොඳ කණ්ඩායම ඇතුළු සියලුම සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කරනවා. මේ කරන්නේ රස්සාවට එහා ගිය මානුෂීය බැඳීමක්* ඇය කියයි.
රෝහල් ගත කිරීමේදී අවශ්‍ය කරන සියලුම කළමනා රුගෙන නොයාම හේතුවෙන්ද ඇතැම් සෞඛ්‍ය නිලධාරීන් ගැටලුවලට මුහුණදෙන බවද ඇය සඳහන් කළාය.
රම්‍යානි ද සොයිසා මහත්මිය මෙසේද කීවාය.
රෝහල්ගත වෙන ඇතැම් රෝගීන් බුරුසුව, දත් බෙහෙත් ඇතුළු අත්‍යාවශ්‍ය දේවල් රුගෙන එන්නේ නැහැ. ඒ අයට ඒවා ඉක්මනින් ගේන්න හැකියාවක් නැහැ. රෝහල් ගත වෙද්දී අවශ්‍ය කරන මූලික අත්‍යවශ්‍ය දේවල් රුගෙන ඒමෙන් සිදුවන අපහසුතාවන් මඟහරවා ගන්නට පුළුවන්. කාන්තාවක් නම් යට ඇඳුම්, උඩ ඇඳුම්, සනීපාරක්ෂක තුවා ඇතුළු ඒ අත්‍යවශ්‍ය දේවල් ගෙනෙනවා නම් අනෙකාගෙන් ඉල්ලන්නට ගොස් හෝ සිදුවන අපහසුතා මඟහැර ඒ දින ගණන රෝහල්ගතව සිටීමට පහසු වෙනවා.* මේ වනවිට සෑම රෝහල් කාර්ය මණ්ඩලයක්ම තමන්ට අයිති රාජකාරි කොටසට අමතරව වැඩි රාජකාරි කොටසක් සිදුකරනවා. ඇතැම් රෝහල්වල සේවක සේවිකාවන් ආසාදිත වීම නිසා සේවය කරන්නේ ඉතා අඩු සේවක පිරිසක්. නමුත් ඔවුන් තමන්ට උපරිම අයුරින් තම රාජකාරි කොටස සිදුකරනවා.
මේ වනවිටත් සෞඛ්‍ය අංශයේ නියැලී සිටි සේවක පිරිසෙන් බොහෝ පිරිසක් නිරෝධායනය වෙන අතර සමහරු කොවිඩ් නිසාවෙන් ජීවිතය හැර ගොස් සිටිති. ගලිගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රනත් පත්මශාන්ත මහතා පසුගියදා පේරාදෙණිය මහ රෝහලේදී මියගොස් ඇත්තේ කොවිඩ් 19 ආසාදිත වීම හේතුවෙනි. දින පහක් පේරාදෙණිය මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය රනත් පත්මකුමාර මහතාගේ බිරිඳද කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරියකි.
දිශානි ජයමාලි කරුණාරත්න