ගාමිණී අබේවික්‍රම නවකතාකරණයට එළඹෙන්නේ 1993දී පාට සරුංගල් රචනා කරමිනි. එය ටෙලි නාට්‍යයකට නැගුණු අතර ඉන්පසු ඔහු නවකතා, යොවුන් නවකතා ළමා කතාද ලියා තිබේ. ඔහුගේ අලුත්ම නවකතාව මුගුරු පසුගියදා පාස්ට් පබ්ලිෂිං ප්‍රකාශනයක් ලෙස එළි දැක්විණි.
• මුගුරු නවකතාව ගැන හැඳින්වීමක් කළොත්...?
මම මුගුරු නවකතාවේ පෙරවදනේ මෙහෙම සඳහනක් කරනවා. මිනිසෙකුට මිනිසෙකු ලෙස ජීවත්වීමට තරම් නොවන සමාජ පරිසරයක් තුළ සෑම ජීවිතයක්ම පණ ගැහෙන්නේ අවදානමක් අභිමුවය. සෑම මිනිසෙක් වෙතම අනේක විධ මුගුරු එල්ල වී ඇත. මේ තත්ත්වය මිනිසාගේ හැසිරීම් රටාවට බලපාන අයුරු පිළිබඳ අංශු මාත්‍රයක් මුගුරු තුළින් ඉස්මතු කිරීමට උත්සාහ කළෙමි.
එය තවදුරටත් පැහැදිලි කරනවා නම් පීඩිත පවුල් සංස්ථාවක්, දූෂිත දේශපාලන ප්‍රවාහයක් සමඟ ගැටෙමින් උඩුගං බලා පිහිනීමට තැත්කරන තරුණියක් හා තරුණයෙක්ගේ ප්‍රේමය තුළින් සමාජ කියවීමකට මගපාදා දීමක් ලෙස මෙය මා හඳුන්වන්න කැමතියි.
• ඔබේ අලුත් නවකතාවට මේ වනවිට මොන වගේ පාඨක ප්‍රතිචාරද ලැබී ඇත්තේ?
පොත පිටවෙලා තවම ගෙවුණේ මාසයක් තරම් කාලයක්. ඒ නිසා ප්‍රතිචාර ගැන කියන්න තවම කල් වැඩියි කියා හිතෙනවා. ඒත් ඇත්තටම මගේ අනෙක් කිසිදු නවකතාවකට වඩා ඉහළ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ මෙන්ම සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබඳ බොහෝ දේ ලියැවෙනවා. ඒ ගැන සතුටක් තියෙනවා. ඉදිරි නිර්මාණයකට හිතේ උත්තේජනයක් ඇතිවෙනවා. ඉතින් දැනටමත් පොත කියවූ මගේ පාඨකයන්ට ඒ ගැන ස්තූතිවන්ත වෙනවා.
අනෙක් පැත්තෙන් අද අප මුහුණ දී සිටින ව්‍යාකූල වාතාවරණය තුළ අවශ්‍යතාව ඇතත් කෙනෙකුට පොත් සාප්පුවකට ගිහින් පොතක් මිලදී ගන්න තරම් නිදහසක් නෑ. කොවිඩ් පස්සෙන් එයි කියන බය නිසා. ඒකෙන් පාඨකයා අතට පොත් යන්නේ මන්දගාමීව බවයි පෙනෙන්නේ. එවැනි තත්ත්වයක් යටතේ වුවත් ලැබෙන ප්‍රතිචාර ගැන මට සෑහීමකට පත්වෙන්න පුළුවන්.
• අද නවකතාවලට වැඩි දෙනෙක් ප්‍රේමය හා ත්‍රාසය වැනි දේ තේමා කරගත්තත් ඔබ දූෂිත දේශපාලනය තමයි මෙහි තේමා කර ගන්නේ. එයට විශේෂ හේතුවක් තිබුණාද?
මෙය සම්පූර්ණයෙන්ම දේශපාලනය තේමා කොටගත් කතාවක් නෙවෙයි. දේශපාලනයට අදාළ ප්‍රධාන චරිතයක් මෙහිදී තීරණාත්මක සාධකයක් වෙනවා. දූෂිත දේශපාලනය තරුණ ජීවිත ඇතුළු මුළුමහත් සමාජ දේහයට සිදුකරන අවාසනාවන්ත බලපෑම අද ඇස්පනාපිට පේන්න තියෙනවා. මේ දේශපාලනය වර්තමානයට පමණක් අදාළ නෑ. එය අතීතයේ සිට වැඩීගෙන එන චණ්ඩ සුළඟක් වගේ සමාජය හරහා හමා යනවා. දරිද්‍රතාව ඉහළ යෑම, රුකියා විරහිත භාවය වගේ සමාජ ප්‍රශ්න තුළ තියෙන්නේ ඒ සංඥාව. නිර්මාණකරුවෙකුට මේ ඇත්ත මගහැර යන්න බෑ.
අද්‍යතන සමාජයේ සියලු තැන්හි, සියලුදෙනාගේ සියලු ඕනෑ එපාකම්වල දේශපාලන හෙවණැලි තියෙනවා. එක එක්කෙනා අරභයා වෙනස් වන්නේ ඒ හෙවනැල්ලේ ප්‍රමාණය විතරයි. ඒ නිසා තමා මේ කතාවේ යම් පරාසයක් තුළ දේශපාලන හස්තයක් දිග හැරෙන්නේ.
• සුගතපාල ද සිල්වා, විසාකේස චන්ද්‍රසේකරන් ඇතුළු අතලොස්සක් තමයි අපේ රටේ දේශපාලන නවකතා ලියා තියෙන්නේ. නමුත් බොහෝ රටවල එය සුලබව ලියැවෙන කතා තේමාවක්. ඒ ගැන කීවොත්...?
වෙනත් රටවලට සාපේක්ෂව අපේ රටේ දේශපාලන නවකතා සුලබ නැතත් දේශපාලන නවකතා රුසක් අපේ සාහිත්‍යයේ තිබෙනවා. සාමාන්‍යයෙන් දේශපාලන නවකතා ලෙස ගැනෙන්නේ රාජ්‍ය පාලන පසුබිමක් පදනම් කරගත් නවකතා. උදාහරණයක් කීවොත් 71, 83, 89 කාලවල රටේ දේශපාලන කැරලි කෝලාහල ගැන නවකතා රාශියක් ලියැවිලා තියෙනවා. ඔබ නම් සඳහන් කළ ලේඛකයන් මෙන්ම මෑත කාලයේත් දේශපාලනය තේමා කොටගත් නවකතා රැසක් හමුවෙනවා. ප්‍රියන්ත ලියනගේගේ කොට තුවක්කු, කෞශල්‍ය කුමාරසිංහගේ නිම්නාගේ ඉතිහාසය, පී.බී. ජයසේකරගේ මරියා සිලෝනිකා කතා වස්තුව වගේ කෘති. කොහොමටත් නවකතාවක් ලියද්දී ඊට අදාළ දේශපාලන ආර්ථික හා සංස්කෘතික පසුබිම ගැන නවකතාව තුළ සාකච්ඡා වීම වළක්වන්න බෑ. කතාව දිගහැරෙන කාලයට හා අවකාශයට සාපේක්ෂව එය වෙනස් වෙනවා.
• අද මුද්‍රිත නවකතා කියවනවා. වඩා මුහුණු පොතේ ඩිජිටල් කියවීමට තරුණ පෙළ ඇබ්බැහි වෙලා බව පේනවා නේද?
මේ තාක්ෂණික යුගය තරුණයන්ගේ. ඔවුන් දැනුම, වින්දනය පිරිමසා ගන්නේ ඩිජිටල් මාර්ගයෙන්. අතේ තියෙන ෆෝන් එකෙන්. ලැප් එකෙන් එහාට යන්න ඔවුන්ට ඕනෑකමක් නෑ. ලෝකයම ඔවුන්ගේ අත ළඟට එනවා. ඉතින් ඩිජිටල් හෝ මුද්‍රිත හෝ මාර්ගය කුමක් වුවත් අවශ්‍ය වන්නේ කියවීමයි. හැබැයි ඩිජිටල් කියවීම හරහා ඔවුන්ට බොහෝ පොත්පත් මගහැරෙන්න පුළුවන්. අනිත් අතට අපට හසු නොවූ බොහෝ පොත්පත් ඔවුන්ට හසුවෙන්නත් පුළුවන්.
කුසුම්සිරි