2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

අපි යම් වැඩක් කරනවා දැන්ම කියන්න බැහැ

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 489

- මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

කොවිඩ් වසංගතය, කාලීන දේශපාලන, ආදී වූ මාතෘකා කිහිපයක් පිළිබඳ සංවාදයක අප අවකාශ විවර කර ගත්තේ නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇසුරේය. වර්තමාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව නිර්මාණය කිරීමට මූලික වූ භික්ෂූන් අතර උන්වහන්සේ ප්‍රමුඛස්ථානයක් දැරෑහ. එම නිසාම වර්තමාන සමාජ දේශපාලන වටපිටාව සැලකූ විට මෙම සංවාද ඉතා කාලීන සංවාදයක් වනු ඇතැයි අපි සිතමු.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් අප පළමු කොට විචාලේ කොවිඩ් වසංගතය සම්බන්ධවයි. වසංගතය මර්දනය කිරීමේදී ඇතිවී ඇති වර්තමාන අර්බුදය පිළිබඳ මෙහි සාකච්ඡා ඇති විය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රධාන වශයෙන්ම පෙන්වා දුන්නේ රටේ මතුවී බොහෝ ගැටලුවලට හේතුව සුදුස්සාට නිසි තැන නොලැබීම බවයි.

ඇත්ත වශයෙන්ම දැන් අපේ රටේ වැඩක් කරන්න ගියාම උපදේශකයෝ වැඩියි. කිසිම තැනක සුදුස්සෙකුට සුදුසු තැන නෑ. දක්ෂ මිනිස්සු ඕනෑ තරම් මේ රටේ ඉන්නවා. නමුත් ඒ දක්ෂයන් හැමකෙනාම දැන් කොන් වෙලා. ඒ නිසා තමයි මම නිතරම කියන්නේ දැන් හැමතැනම ඉන්නේ වැඩබැරි ටාසන්ලා කියලා. මේ වැඩ කටයුතුවලදී කවුරුහරි කෙනෙක් හරි උපදේශයක් දුන්නත් දැන් ඒ උපදේශ පිළිගන්නේ නැති තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා.

මුරුත්තෙට්ටුවේ හිමියන්ට අනුව වසංගතය සම්බන්ධව ක්‍රියාවලියේ මෙන්ම අනෙකුත් අංශවල වර්තමාන තත්ත්වය මෙයයි. පාලකයන් මෙසේ කටයුතු කරන විට ජනතාවද කිසිවක් කනකට නොගෙන කටයුතු කරමින් සිටින බව උන්වහන්සේ පෙන්වා දෙති. ඒ අනුව වසංගතය රටපුරා පැතිර යෑමට එයද හේතුවක් වූ බව මුරුත්තෙට්ටුවේ හිමියන් කියා සිටියි.

මූලික දේ රටේ මිනිස්සු දැන් නීතිරීති පිළිපදින්නේ නෑ. නීතිරීති පනවන අය ඒ ගැන ක්‍රියා කරන්නේත් නෑ. නීති රීති අණපනත් ඕනෑතරම් තියෙනවා. හැබැයි රට හැදිල්ල කෙසේ වෙතත් රට විනාස වෙන එක විතරයි වෙන්නේ.
රට තුළ මෙවන් තත්ත්වයක් උද්ගත වී ඇත්නම් එම තත්ත්වය උදාවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආණ්ඩුකරණයේ යෙදී සිටියදීමය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝද වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල කාර්යභාරයක් ඉටු කළහ. එම නිසාම ආණ්ඩුවට වර්තමානයේ කුමක් වී ඇත්දැයි අපි මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් විමසුවෙමු.

පසුගිය වකවානුව තුළ අපිම කෑගැහුවා දේශීය සම්පත් විකුණනවා, ගුවන් තොටුපළ විකුණනවා, රජය දේපළ විකුණනවා කියලා. ඉතින් ඒවා අඩු කරගන්න තමා අපි අලුත් ආණ්ඩුවක් පත්කර ගත්තේ. ඒකෙත් කෙරෙන්නේ අර ටිකමයි. වෙනසක් නෑ බලනකොට. ගෝඨාභය මහත්තයාට යමක් කරගන්න, කරවන්න වුවමනාව තිබුණත් මොකවත් කරගන්න බැරි වෙලා තියෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඍජු තීරණ ගන්නා නායකයෙක් ලෙස ප්‍රකටව සිටි බව අපි මුරුත්තෙට්ටුවේ හිමියන්ට සිහිපත් කළෙමු. උන්වහන්සේ සඳහන් කරන්නේ තමන්ට ඇති පැනයද එය බවයි.
අපිටත් තිබෙන ප්‍රශ්නය ඕක තමයි. ගෝඨාභය මහත්තයා ගන්නෙත් නෑ, මහින්ද මහත්තයා ගන්නෙත් නෑ තීන්දුවක්. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ කියලා ඔය තුන්දෙනෙක් ඉන්නේ. ඔය තුන්දෙනාට එකතුවෙලා සාකච්ඡා කරන්න පුළුවන් කවුරුවත් නැතුව. මහින්ද මහත්තයා දේශපාලනයේ තෙම්පරාදු වුණ කෙනෙක්. ජනතා හදවතේ එතුමා තාමත් ජීවත්වෙනවා. බැසිල් රාජපක්ෂ කියන්නෙත් සැලසුම් කරණයේ දක්ෂයෙක්නේ. ඉතින් ඔය තුන්දෙනාට පුළුවන් එකතු වෙලා සාකච්ඡා කරලා දවල් මිගෙල් රූ ඩැනියෙල් වෙන්නේ නැතුව අඩුපාඩු හදාගන්න.

මෙම පිරිසට උපදෙස් ලබා ගැනීමට සිටින්නේ එක පුද්ගලයකු පමණ නොවන බව මුරුත්තෙට්ටුවේ හිමියෝ සිහිපත් කරති. එහෙත් රටේ සිටින උපදේශකයාන් පිළිබඳ මුරුත්තෙට්ටුවේ හිමියන්ට ඇත්තේ දැඩි විවේචනයකි. පවතින වාතාවරණය සැලකූවිට අවස්ථාවක් ලැබුණහොත් බොහෝ දෙනකු රට හැර යනු ඇතැයි උන්වහන්සේ පෙන්වා දෙති.

මට හෝද හෝද මඩේ දාන්න අවශ්‍ය නෑ. නමුත් බලන්න අර අනිල් ජාසිංහ මහත්තයා. මොනවා හරි කරගෙන ආවානේ. එයාව දැන් දාල තියනවා තණකොළ කපන්න. අපේ අමල් හර්ෂ මහත්මයා දක්ෂ පරිපාලකයෙක්නේ හැම පැත්තෙන්ම. එයාව දාලා පුන්නක්කු දියකර සත්ව ආහාර හදන්න. එතකොට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඒ දවස්වල මොනතරම් පී.සී.ආර්. කළාද රූ දවල් නොබලා. ඒ වගේ අඩුපාඩු තමා තියෙන්නේ. අපි දන්නේ නෑ රාජ්‍ය නායකයා කේළම් අහලා මේ මිනිස්සු අයින් කරනවාද වෙනත් ක්‍රමයකින් අයින් කරනවාද නොහැකියාවද කියලා.

මේ ක්‍රමයට රට ඉදිරියට ගියහොත් අපද රටද විනාශ වී යන බව මුරුත්තෙට්ටුවේ හිමියෝ අවධාරණය කරති. එම නිසාම මහින්ද රාජපක්ෂ මහතා ඉතා මහන්සියෙන් ගොඩනගාගත් ජනතා ප්‍රසාදය නැතිවී යා හැකි බවද හිමියෝ පවසති. මේ මොහොතේ විපක්ෂයේ භූමිකාවද අපි මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් ප්‍රශ්නය කළෙමු. ඒ අනුව විපක්ෂය විසින් ගොඩනගන ආණ්ඩු විරෝධය සහ එහි අවසාන ඵලය පිළිබඳ සාකච්ඡා ඇතිවුණි.

විපක්ෂය වුණත් මේ වෙලාවේ කල දුටු කල වල ඉහගන්න ප්‍රතිපත්තිය අතහරින්න ඕනෑ. ඒ වගේම ඔය බොරදියේ මාළු බෑම අත්හැරලා ඔය දාගෙන ඉන්න පාට කණ්ණාඩි පැත්තකට දාලා ඒ ගොල්ලෝත් මේ රට ආරක්ෂා කරන්න යම්කිසි වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ. නමුත් ඒ අය බලන්නේ බලය ගන්න ක්‍රමය ගැන විතරයි. ඒ ගොල්ලෝ ගත්තත් ඕකම තමයි. මේ වෙලාවේ රට ජාතියට මිනිසුන්ට ආදරයක් තියෙනවා නම් අපි ඔක්කොම එකා වගේ මේ රෝගය තුරන් කරන්න එකතු වෙන්න ඕනෑ. නමුත් එහෙම කෙරෙන්නේ නෑ.

බලය ගත්තා නම් උඹලා කරගනිල්ලා යනුවෙන් සිතා බලා සිටීම හෝ වරදින තුරු සිට බලය ලබාගැනීමට උත්සාහා කිරීම විපක්ෂයේ කාර්යභාරය නොවන බව මුරුත්තෙට්ටුවේ හිමියෝ පවසති. කෙසේ නමුත් වර්තමනා දේශපාලන වටපිටාව තුළ ජනාධිපතිවරයාට සිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීමට නොහැකි වනු ඇතැයි උන්වහන්සේ කියා සිටිති. එසේම මෙම අසාර්ථකත්වයේ වගකීම එක් අයෙක් හෝ දෙදෙනෙක් නොව සියල්ලෝම භාරගත යුතු බව උන්වහන්සේ කියා සිටිති.

මේ අතර පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව උද්ගත වී ඇති තත්ත්වයද අපි සංවාදයට බඳුන් කෙළෙමු. ඔන්ලයින් අධ්‍යාපන සිදුකිරීමට ප්‍රමාණවත් පහසුකම් මෙරට තුළ නොමැති බව මුරුත්තෙට්ටුවේ හිමියෝ කියා සිටිති. රෑපවාහිනියක් ගුවන් විදුලියක් පවා නොමැති නිවෙස් තවමත් මෙරට ඇති බව උන්වහන්සේ සිහිපත් කරති. කෙසේ නමුත් රෑපවාහිනී හරහා අධ්‍යාපන ලබාදීමේ වැඩසටන පිළිබඳ මුරුත්තෙට්ටුවේ හිමි මෙලෙස ප්‍රශ්නය කරති.

රටේ රූපවාහිනී නාලිකා කොච්චර තියෙනවද? ආණ්ඩුවට නීතිය පාවිච්චි කරලා හරි ඒවා අධ්‍යාපනට දාන්න පුළුවන්නේ. නමුත් ඒක විධිමත්ව වෙන්නේ නෑ. බලය යොදවලා මේවා කරන්න පුළුවන්.

මේ සියල්ලටම හේතුව සුදුස්සන්ට නිසි තැන නොලැබීම බව උන්වහන්සේ නැවත නැවත පෙන්වා දෙති. ආණ්ඩුව බලයට ගෙන ඒම මූලිකත්ව ගත් භික්ෂූන් ලෙස මේ මොහොතේ උන්වහන්සේලාගේ සැලසුම කවරක්ද යන්න අපි මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් ප්‍රශ්නය කර සිටියෙමු.

බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙන්නේ රාජ නීතියට කාටත් ගරු කරන්න කියලා. නැත්නම් මේ වෙලාවේ මහා විශාල වශයෙන් සංඝ සම්මේලන ඇතිවෙලා ඝෝෂාවන් එනවා. අපිත් මේ වෙලාවේ තුෂ්නින්භූතව උකටලී වෙලා ඉන්න වෙලාවක්. නමුත් මේ දේවල් දැක දැක ඉන්නත් බෑ. ඉදිරියේදී මීට වඩා පියවරක් අපිත් ගන්න ඉඩ තියෙනවා.
කෙසේ වෙතත් එවන් පියවරක් ගැනීමටද මෙරට ජාතික නායකත්වයක් නොමැති බව මුරුත්තෙට්ටුවේ හිමියෝ පෙන්වා දෙති. එහෙත් යම් වැඩපිළිවෙළක් ඇති බවත් ඒ සම්බන්ධව හෙළිදරව් කිරීමට මෙය සුදුසු මොහොත නොවන බවත් හිමියෝ පවසති. 

 සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03