2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

රට පුරා පෝලිමේ හදන කිරිපිටි සහ ගෑස් හිඟය

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 209

මේ දිනවල වෙළෙඳපොළේ ගෑස් සහ කිරිපිටිවල හිඟයක් ඇතිව තිබේ. මෙම පාරිභෝගික ද්‍රව්‍ය දෙකම අත්‍යවශ්‍ය ඒවා වෙයි. එකවිටම මෙම දෙවර්ගය හිඟවීම නිසා පාරිභෝගිකයා අපහසුවට පත්ව සිටියි. මෙය හරියට ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා වැනි සිද්ධියකි. සමාජයේ වරප්‍රසාද ලත් කොටස හැරුණු විට සෙසු සුළු හා මධ්‍ය පරිමාණ පාරිභෝගිකයන්ට මෙම තත්ත්වය විශාල හිරිහැරයක් වී ඇති බව පෙනෙන්නට තිබේ. හැම පැත්තෙන්ම අසන්නට ලැබෙන්නේ බඩු නැති අඳෝනාවය. සමහර අය පවසන්නේ කුමන මිලට හෝ ගන්නට නැති බවය. තවත් පාරිභෝගිකයන් පවසන්නේ දැනට සෑම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයකම මිල අසීමාන්තික ලෙස ඉහළ නගිමින් පවතින විට මෙම ද්‍රව්‍ය දෙකේ මිල ඉහළ දැමුවහොත් තමන් කබලෙන් ලිපට වැටෙන බවය. ඒ නිසා මිල වැඩි නොකළ යුතු බව ඔවුහු කියති.

මිල වැඩි කිරීමට අවසර දුන්නා නම් මෙම ප්‍රශ්නය හමාර වී බොහෝ කල්ය. එහෙත් ජනතාවාදී රජය කැත්තට පොල්ල මෙන් සිටී. ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ ව්‍යාපාරිකයන්ගේ බෙර පදයට රජය නටන්නේ නැති බවය. දෙපාර්ශ්වයේ සටන නිසා තැලෙන්නේ අහක සිටින අසරණ ජනතාවය.

මෙම ද්‍රව්‍ය දෙකම නිතර මිල ඉහළ දැමීමට බලපෑම් සිදු කරන ඒවාය. මෙවරද මිල ඉහළ දැමීම සඳහා මේ දෙගොල්ලන්ටම තිබෙන්නේ සාධාරණ ඉල්ලීම්ය. ලෝක වෙළෙඳපොළේ ගෑස් සහ කිරිපිටිවල මිල ඉහළ යාම, රුපියලේ අගය පහළ යාම, නැව් ගාස්තු සහ ප්‍රවාහන වියදම් ඒවා අතර ප්‍රධාන වෙයි. මෙම වියදම් අධිකකම නිසා තම ව්‍යාපාර පාඩුවට කරගෙන යාමට සිදුවීමෙන් කඩා වැටීමට ආසන්න බව ඔවුහු කියති. එලෙස ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි වුවහොත් ඒ ආශ්‍රයෙන් ජීවත් වන ඍජු හා වක්‍ර රුකියාලාභීන් දහස් ගණනකට රැකියා අහිමි වේ යැයි ඔවුහු කියති. එම සේවකයන්ගේ පවුල්වල සාමාජිකයන්ද සමඟ සලකා බැලූ විට මෙයින් පහර වදින සංඛ්‍යාව ලක්ෂ ගණනකි. තම ව්‍යාපාර නිසා ජීවත් වන ඔවුනට තමන්ටත් වඩා විශාල අසාධාරණයක් සිදුවන බව ව්‍යාපාරිකයෝ කියති.

රජය මිල වැඩි කිරීමට අවසර නොදෙන විට සිදුවන්නේ කුමක්ද? සෑම දිනම සිදුවන දෙය මෙවරද සිදුව තිබේ. හිඟයක් නිර්මාණය වී ඇත. එයට හේතුව කිරිපිටි ගෙන්වීම සීමා කිරීමය. ඉල්ලුමට සරිලන සැපයුමක් නිර්මාණය නොවූ විට මිල ඉහළ යාම සිදුවීම ආර්ථික න්‍යායයි. එහෙත් මිල ඉහළ යාමට ඉඩ නොමැති වූ විට ඒවායේ හිඟයක් ඇතිවේ. වෙන අවස්ථාවලදී මෙන් අදද සිදුව ඇත්තේ මෙයයි. සමහර සමාගම් වැසී ගොස්ය. කිරිපිටි කිලෝවකින් රුපියල් 270ක් පාඩු වන නිසා කිරිපිටි ආනයනය සියයට 75කින් කපා දමා ඇතැයි සමාගම් බලධරයෝ කියති. ඒ අයගේ පැත්තෙන් එය සාධාරණය. ව්‍යාපාර කරන්නට ගොස් තම අතේ ඇති මුදලද නැතිකර ගන්නේ ඇයිද? එනිසා නොගෙන්වා සිටීම ඔවුනට ඇඟට ගුණය.
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මෙසේ කියයි.

කිරිපිටි නිෂ්පාදනය කරන රටවල දැනට කිලෝවක මිල රුපියල් 210ක් පමණ වැඩි වෙනවා. සෑම කිරිපිටි කිලෝවකින්ම රුපියල් 270ක් පාඩුයි. ඒ නිසා අවම වශයෙන් කිරිපිටි කිලෝවක මිල රුපියල් 275කින් වැඩි කිරීමට අපි පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ඉල්ලුවා. එය ප්‍රතික්ෂේප කළා. යළිත් අභියාචනයක් කළා. රජයේ ප්‍රතිචාරය ප්‍රමාදයි. ඒ අතරවාරයේ පාඩුව අවම කිරීම සඳහා ආනයනය අඩු කළා. වෙනත් විකල්පයක් නැහැ. දිගටම ගෙන්වූවා නම් ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. ප්‍රධාන හේතු වන්නේ නිෂ්පාදන මිල ඉහළ යාම, පිරිවැය වැඩිවීම, ඩොලරයේ අර්බුදය හා විදේශ විනිමය හිඟය ආදියයි. රුපියල් 1200ක් වැය වන කිරිපිටි කිලෝවක් රුපියල් 900ට දෙන්න බැහැ. හතර වතාවක් අවසර ඉල්ලුවා. මෙම තත්ත්වය මත මසක පාඩුව රුපියල් මිලියන 1500ක්.

මෙම අනාවරණය මත අපට වැටහෙන්නේ කිරිපිටි මිල නැංවීමට අවසර නොදුනහොත් රටේ කිරිපිටි හිඟයක් ඇතිවීම නොවැළැක්විය හැකි බවය. එයට වගකිවයුත්තන් ගන්නා පියවර කුමක්ද යන්න අපට පැහැදිලි නැත. මෙරට කිරිපිටි නිෂ්පාදනය කරන සමාගම් දෙකකි. නමුත් ඒවාට පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට කිට්ටු කරන්නවත් බැරිය. අඹේවෙල කිරිපිටි සමාගමට නිෂ්පාදන යන්ත්‍රෝපකරණ රැසක් ඇති නමුත් ඒවායින් වැඩක් ගන්නේ නැත. හේතුව දියර කිරි ලබාගැනීමට අපොහොසත් වීමය. පසුගියදා දියර කිරිවලට ගෙවන මුදල කිරි ගොවියාට වැඩි කළද එය ප්‍රමාණවත් වූයේ නැත. වී අස්වැන්නට සිදුවූවා මෙන් මෙහිදී පෞද්ගලික නිෂ්පාදකයන් රජය මිලට ගන්නවාට වඩා මිලට දියර කිරි ගන්නට පෙළඹීම නිසා ගොවියන් ඒ පැත්තට නැඹුරු වීම වැඩි විය. අනිත් හේතුව වන්නේ රජය සතු සමාගම්වලට දියර කිරි දුන් විට මුදල් ගැනීමේදී සිදුවන ප්‍රමාදයයි. ඒ සඳහා සති මාස් ගණන් ගත වේ. පෞද්ගලික මුදලාලිලා අත්පිට මුදලට ගොවිපොළට පැමිණ කිරි මිලට ගනිති. වවුචර් පත්, චෙක්පත්, මනි ඕඩර් කිසිවක් නැත. අත්පිට මුදලට වැඩි මිලට විකිණීමට අවස්ථාව සැලසී තිබියදී අඩු මිලට විකුණා මුදල් ගැනීමට බලා සිටීමට තරම් කිරි ගොවියෝ මෝඩ නොවෙති.

වගකිවයුත්තන්ට දියර කිරි ප්‍රවර්ධනය මතක් වන්නේ කිරිපිටි හිඟ වී දත කට පියවුණු පසුවය. අපේ රටේ පශු සම්පත ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, සංවර්ධන කමිටු සභාපතිවරුන් ආදී මෙකී නොකී දේශපාලන බලධරයන් රුසකි. එහෙත් ඔවුන්ට දියර කිරි පිළිබඳ වගේ වගක් නැත. පසුගිය සමයේ ගොවීන්ගෙන් ලැබුණු දියර කිරි කාණු පල්ලේ ගලා ගිය බව මාධ්‍ය මගින් ප්‍රචාරය විය. එසේ අපතේ යන කිරි ගබඩා කර තබාගෙන ජනතාවට පාරිභෝජනය කිරීමට අවස්ථාවක් ලබාදීම බලධරයන්ගේ වගකීමකි. එහෙත් ඔවුහු අක්‍රියව සිටිති. දියර කිරි ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් අසාර්ථකය. කලාතුරකින් සාකච්ඡා වැඩමුළු එක දෙකක් පැවැත්වුවද එතැනින් එහාට සිදුවන දෙයක් නොමැත.

පිටිකිරි වෙළෙඳුන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරය ඉතාම සාර්ථකය. පිටිකිරි පැකැට්ටුවෙන් කවරයෙන් පටන් ගත් මෙම ආකර්ශනීය ප්‍රචාරණ කලාව පත්තර පිටු පුරා ඇති ෂඩ් වර්ණ දැන්වීම් පරයා ගුවන්විදුලිය රෑපවාහිනී ආදී මාධ්‍ය අංශවලටද යොමු වී තිබේ. එම දැන්වීම් ඉතාම ආකර්ශනීය ලෙස කුඩා ළදරුවන් කිරි දෙන අම්මලා යොදවාගෙන ප්‍රදර්ශනය කෙරේ. ඒවා දුටු විට කවදාවත් කිරි නොබොන අයටද බොන්නට සිත් වේ. අපේ දියර කිරි ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘති පිළිබඳ කිසිදු ප්‍රචාරයක් නැත. දන්නෝ දනිති. නොදන්නෝ කිසිවක් නොදනිති. ඒ නිසා කිරිපිටි වෙනුවට දියර කිරි ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහයන් අසාර්ථක වී ඇත.

පසුගිය රජයවලින් මෙන්ම මෙම රජයෙන්ද විශාල වශයෙන් කිරි එරවිය හැකි යැයි කියන සුඛෝපභෝගී කිරි දෙනුන් විශාල සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියාව ආදී විදේශ රටවලින් ආනයනය කළා අපට මතකය. මේ සඳහා වැඩි කළ මුදල නාස්තියක් බව රජයේ විගණකාධිපති පවා පෙන්වා දී තිබියදී එය තුට්ටුවකටවත් මායිම් නොකළ වර්තමාන රජයද මේ ළඟකදි විශාල මුදලක් වැය කර කිරි එළදෙනුන් ආනයනය කළ බව අපට මතකය. මුල් රජයවල් ආනයනය කළ කිරි ගවයන් එකල සිටි මැති ඇමැතිවරුන්ට සහ දේශපාලන හෙන්චයියන්ට ත්‍යාග ලෙස ප්‍රදානය කළ බවද වාර්තා විය. සමහර එළදෙන්නු ශ්‍රී ලංකාවේ දේශගුණයට ඔරොත්තු දිය නොහැකිව මිය ගියහ. ආනයනය කළ ඇතැම් සත්තුන්ට මුඛ හා කුර රෝග තිබීම නිසා ඔවුන් මෙරටදී මියගිය බවද වාර්තා විය. මේ කිරි ගවයන් ආනයනය නිසා විශාල විදේශ විනිමය නාස්තියක් සිදුවූවා මිස රටට සිදු වූ අබ මල් රේණුවක තරම්වත් යහපතක් නොමැත. මෙයින් කිහිප දෙනකුගේ අත මිට සරුවීමක් පමණක් සිදුවිය.

හයිලන්ඩ් කිරිපිටි ඇති තරම් ඇති අතර තොග වෙළෙඳපොළට ඉක්මනින් දමන බව එම සමාගමේ බලධාරීන් පැවසුවද රටේ අවශ්‍යතාවයෙන් අඩක් හෝ සැපිරීමට ඔවුන්ට නොහැකි බව දැන් සනාථ වී ඇත.

මෙයට වසර දෙකකට පෙර කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 2800 මට්ටමේ තිබුණද අද වන විට ඩොලර් 4200 දක්වා මිල වැඩි වී ඇත. මේ නිසා මෙට්‍රික් ටොන් එකක් මෙරටට එන විට එහි වැය ඩොලර් 5000 ආසන්නයට පැමි‍ණේ. මේ තත්ත්වය නිසා කිලෝවක කිරිපිටි පැකැට්ටුව රුපියල් 355කින් සහ ග්‍රෑම් 400 පැකැට්ටුව රුපියල් 95කින් වැඩි කරන ලෙස සමාගම් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා ජාතික කිරි ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක චමිල් ජයරත්න පවසන්නේ කිරි කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අත්‍යවශ්‍ය බවය. ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ දැනට පවතින කිරිපිටි හිඟයට විසඳුමක් ලෙස ආනයනකරුවන්ට බදු සහන නොදී දේශීය දියර කිරි කර්මාන්තය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසටය. 2014 දී ආනයන කිරිපිටි කිලෝවක රුපියල් 250ක බද්දක් පැනවීම නිසා දේශීය නිෂ්පාදනය සියයට 40කින් ඉහළ ගිය බව ඔහු කියයි. පසුව ක්‍රමයෙන් බදු අඩු කිරීම නිසා දේශීය කිරි ගොවියා අමාරුවේ වැටුණු අතර කිරි ගොවීන් විශාල සංඛ්‍යාවක් කර්මාන්තයෙන් ඉවත් වූ බව ඔහු කියයි. ඒ නිසා ගැටලුවට විසඳුම වන්නේ දේශීය කිරි නිෂ්පාදනය දිරිමත් කිරීම වෙයි.

කිරිපිටි ගැටලුව විසඳීම සඳහා පසුගිය සතිය අවසානයේදී කිරිපිටිවලට අය කරන බදු මුදල සම්පූර්ණයෙන් කපා හැරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව දැනගන්නට තිබේ. කිරිපිටි කිලෝවක් සඳහා දැනට අය කරන තීරු බද්ද රුපියල් 175ක් වන අතර මේ නිසා රුපියල් බිලියන ගණනක විශාල ආදායමක් රජයට අහිමි වෙනවා ඇත. එහෙත් අවස්ථාවේ හැටියට ගත හැකි විකල්ප විසඳුමක් රජයට නැත.

කිරිපිටි හිඟය සමඟම ඇතිවූ අනිත් ගැටලුව නම් ගෑස් හිඟයයි. කිරිපිටිවලට මෙන්ම ගෑස් හිඟයටද බලපෑවේ රජය ගෑස් මිල ඉහළ දැමීම ප්‍රතික්ෂේප කිරීමය. ව්‍යාපාරිකයන් පවසන්නේ අවස්ථා 4කදීම සාධාරණ මිල වැඩි කිරීමක් ඔවුන් ඉල්ලුවද රජය කිසිදු සොයා බැලීමකින් තොරව එය නොසලකා හැරි බවය.

ගෑස් යනු බොරතෙල් පිරිපහදු කිරීමේදී ලැබෙන අතුරු ඵලයකි. සපුගස්කන්ද පිරිපහදුවේ බොරතෙල් දවන මුල් සමයේදී ගෑස්වලට මිලක් තිබුණේ නැත. එසේම ශ්‍රී ලංකාවේ ගෑස් පාරිභෝජනය කරන්නන්ද සිටියේ අතළොස්සකි. එහෙත් අද වන විට ගෑස් යනු නාගරික ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්ව ඇති අතර ක්‍රමයෙන් මිලද ඉහළ ගොස් ඇත. ලංකාවට ෂෙල් ගෑස් සමාගම තෙල් සපයන සමයේදී ගෑස් හැඳින්වූයේ ෂෙල් ගෑස් ලෙසටය. පසුව එය ලිට්රෝ ගෑස් බවට පත් විය. මුලදී ගෑස් සමාගම පෞද්ගලික සමාගමක් වූ අතර අනතුරුව එය රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමෙන් අපේක්ෂා කළේ පාරිභෝගිකයාට අඩු මිලට ගෑස් සැපයීමටය. එසේ වුවද මෙතෙක් කල් සිදු වූයේ ගෑස් අඩු මිලට සැපයීම නොව ලාෆ් සමාගම මිල වැඩි කරන සැමවිටම එයට සමගාමීව ලිට්රෝද මිල වැඩිවීමය.

මේ දක්වාම රට තුළ සිටියේ රාජ්‍ය සමාගම හැරුණු විට එක් ව්‍යාපාරිකයකු පමණි. ඒ ලාෆ් සමාගමය. එය සියයට සියයක්ම දේශීය සමාගමකි. වෙළෙඳපොළේ තරගකාරී සමාගම් වුවද මිල වැඩි කිරීම් කිරීමේදී මෙම ආයතන දෙකම එකට එකතු වී මිල වැඩි කරන ලෙස ඉල්ලයි. මෙවර සිදුවූවේද එයයි. එයට හේතු ලෙසද දක්වා තිබුණේ කිරිපිටි සමාගම් මිල වැඩි කිරීමට ඉල්ලූ හේතුමය. මෙම හේතු ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් බැලූ විට සාධාරණ බව කිව යුතුය. එසේ වුවද කොරෝනා ව්‍යසනයෙන් බැට කන ජනතාවට ගෑස් මිලද වැඩි වුවහොත් එය කොරේ පිටට මරේ කීවා මෙන් විශාල ව්‍යසනයකට හේතු වෙනවා ඇත.

කෙසේ වුවද මිල වැඩි නොකිරීම නිසා ලාෆ් සමාගම ගෑස් වෙළෙඳපොළෙන් ඉවත් වීම හේතුවෙන් ගෑස් පිළිබඳ අර්බුදය උග්‍ර විය. රටේ ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 25 – 30ක පමණක් ලාෆ් සමාගම සැපයූ අතර ඉතිරි විශාල ප්‍රමාණය ආවරණය කළේ ලිට්රෝ සමාගමය. එසේ වුවද රටේ මුළු අවශ්‍යතාවම සැපයීමට ලිට්රෝ සමාගමට නොහැකි වූ අතර ලාෆ් පාරිභෝගිකයන් සඳහා ගෑස් සැපයීමට එම සමාගමට නොහැකි විය. එසේම ගෑස් සිලින්ඩර් පිළිබඳ ප්‍රශ්නයක් උද්ගත වූ අතර කහ පාට ලාෆ් සිලින්ඩර්වලට නිල් පාට ලිට්රෝ ගෑස් සැපයීමද උගහට විය. එයට හේතුව කහ පාට සිලින්ඩර් ලාෆ් සමාගම මගින් නිකුත් කළ ඒවා වූ අතර ඒවාට වෙනත් ගෑස් වර්ගයක් පිරවීමට ලාෆ් සමාගම අකැමැති වීමය. ලිට්රෝ සභාපතිවරයා ගෑස් හිඟයක් ඇතිනොවන සේ කටයුතු කරන බව පුන පුනා කීවද ඒ කතාව විහිළුවක් බවට පත් වී හමාරය.

ලාෆ් සමාගම ගෑස් වෙළෙඳපොළෙන් ඉවත් වී සති දෙකක් ඉකුත් වීමට පෙර ගෑස් හිඟයක් ඇති විය. සෑම ව්‍යාපාරික ස්ථානයකම දිගු ගෑස් පෝලිම් ඇතිවූ බව මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් විය. එයට එක් හේතුවක් වූයේ ගෑස් හිඟයක් ඇතිවේ යැයි බියෙන් පාරිභෝගිකයන් වැඩිපුර සිලින්ඩර් එක්රුස් කිරීමට පටන් ගැනීමය. ඒ නිසා වෙළෙඳපොළේ ගෑස් ඉල්ලුම වැඩි විය. මෙම ගැටලුවේ තවත් පැත්තක් වූයේ ලාෆ් සමාගම තම සැපයුමෙන් සෑහෙන කොටසක් ව්‍යාපාරවලට සැපයීම වීමය. එම කිලෝග්‍රෑම් 18ට ඉහළ ගෑස් සිලින්ඩර් නිෂ්පාදන කර්මාන්තවලට යොදා ගැනිණි. ගෑස් සිලින්ඩර් නොමැති වීම කර්මාන්තවලටද පහරක් විය. එපමණක් නොව දිවයිනේ නගරාශ්‍රිත බොහෝ ආදාහනාගාර සඳහා ගෑස් භාවිත වේ. කොරෝනා වසංගතයෙන් මියගිය අපගේ දේහයන් විශාල වශයෙන් දිගටම ආදාහනය කිරීමට සිදුවීම නිසා ඉතා ඉක්මනින් ගෑස් හිඟයක් ඇතිවී එම කටයුතුවලට බාධා සිදුවිය හැකි බව පළාත් පාලන ආයතනවල ප්‍රධානීහු ප්‍රකාශ කරති.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ

ලිට්රෝ සමාගම කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර් 80,000ක් මසකට වෙළෙඳපොළට සපයනවා. කහ පාට ලාෆ් සිලින්ඩරයට ලිට්රෝ ගෑස් පිරවීමට ලාෆ් ගෑස් සමාගම අකැමැති වීම නිසා එම පාරිභොගිකයන් අපහසුතාවට පත්වෙලා. මේ තත්ත්වය මගහැරීමට මම පාරිභෝගික සේවා අධිකාරියට යෝජනා තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ වන විට පූර්ණ ධාරිතාවෙන් කටයුතු කරමින් ගෑස් වැඩියෙන් මිලදී ගෙන එකදිගටම දිවා රූ සේවකයන් යොදවා පිරවීමේ කටයුතු කරනවා. 7 දින සිලින්ඩර් ලක්ෂයක් බෙදා හැරියා. දිගටම ගෘහස්ත පාරිභෝගිකයන්ට ගෑස් සපයනවා. දිනකට සිලින්ඩර් 90,000ක් පමණ අවශ්‍යයි.

කෙසේ වුණත් මිලදී ගැනීමේ වේගය වැඩි වුණොත් හිඟයක් ඇතිවෙයි. ලාෆ් පාරිභෝගිකයන්ටද අපි ගෑස් සපයනවා. ලිට්රෝ සමාගම වසර 175ක් පැරණි රජයට අයිති ආයතනයක්. එහෙත් රටේ හිඟය නැති කිරීම සඳහා අපේ ගෑස් සංචිත ලාෆ් සමාගමට ලබා දී ඒ අය ලවා බෙදාහැරීමට කටයුතු පිළියෙළ කළත් අදට (7) දින 16ක් වෙනවා ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නැහැ. මෙයට පිළිතුරු ඇත්තේද අප ළඟමයි

ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය

අපේ සමාගම පුරා වසර 20ක කාලයක් මෙම ව්‍යාපාරයේ යෙදී සිටිනවා. මිලියන 3ක පමණ ගෑස් සිලින්ඩර් තොගයක් අප සතුයි. ගෘහස්ත පාරිභෝගික සංඛ්‍යාව මිලියන 2යි. රටේ ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 30ක් පමණ අපියි සපයන්නේ. සෑහෙන කාලයක සිට ගෑස් මිල වැඩි කිරීමට කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා අපට වෙළෙඳපොළෙන් ඉවත් වන්න සිදු වුණා. මේ වන විට ලාෆ් සමාගමට සෑම ගෘහස්ත සිලින්ඩරයකින්ම රුපියල් 800ක් පාඩුයි. වසරක පාඩුව රුපියල් කෝටි 500ට වැඩියි. දිගටම මෙලෙස පාඩු ලබමින් ව්‍යාපාරය කළ නොහැකියි. අනිත ප්‍රශ්නය වූයේ ගෑස් ආනයනයට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට අපහසු වීමයි. එයට අවශ්‍ය අමෙරිකානු ඩොලර් අපේ රටේ බැංකුවල නැතිවීම නිසා ණයවර ලිපි ලබාගත නොහැකි වීමෙන් ආනයනය කරන්න බැරිව තිබෙනවා. ආණ්ඩුව මේ ගැන නිහඬ පිළිවෙතක් තමා අනුගමනය කරන්නේ.

ගෑස් ප්‍රධාන බෙදාහරින්නන් 31ක් සිටින අතර ලාෆ් නියෝජිතයන් 11,000ක් රට පුරා ඉන්නවා. මෙම තත්ත්වය මත ඒ අයගේ සහ පවුල්වලට ජීවනෝපායවලට හානි වෙලා තියෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය පාරිභෝගිකයන් ආරක්ෂා කළත් කර්මාන්තකරුවන්ට පිහිට වන්නේ නැහැ.

අපි ගෑස් සිලින්ඩර් වසර 5කට වරක් අලුත් කරනවා. කහ පාට සිලින්ඩර්වලට නිල් පාට ගෑස් පුරවන්න බැහැ. ලාෆ් ලාංඡනය මගේ. කවුරු හරි නඩු දැම්මොත් මම අමාරුවේ. ලිට්රෝ සමාගම ඒ ගැන අපි සමඟ කතා කළේ නැහැ. ඒ අය ආණ්ඩුවට දැනුම් දීමක් කර ඇති බව ආරංචියි. ඒත් මගේ අවසරයකින් තොරව කහ පාට සිලින්ඩරයට නිල් පාට ගෑස් පුරවන්න බැහැ. මෙහි තත්ත්වයට එකම පිළිතුර වන්නේ ගෑස් මිල සාධාරණ ලෙස ඉහළ නැංවීමට අවසර දීම පමණයි.

 යසවර්ධන රුද්රිගූ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03