2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ රාෂ්ට්‍ර ක‍්‍රමෝපායයක් ප‍්‍රකාශයට පත්වෙයි

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 33

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව සමීප මිතුරන්ය. පරස්පරතා සෑහෙන ප‍්‍රමාණයක්ද තිබේ. ඉතිහාසයේ සිට සිද්ධි බහුලය. මෑතකාලීනව සෑහෙන වාද විවාද සහිත අංශ ගණනාවකි. චීන ආයෝජන සඳහා ලංකාව කේන්ද්‍රස්ථානයක් බවට පත්වන අතරතුර ඉන්දියාව සිය බල වපරිසය කෙරෙහි වඩාත් අවධානයක් දක්වන්නට සූදානම් වී සිටී. නැගෙනහිර ප‍්‍රදේශයේ පුණර්ජනණීය විදුලි උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට චීන සමාගමකට තිබුණ අවස්ථාව ඉතාම මෑතකදී ඉන්දීය විරෝධයට හේතු වූ බව වාර්තා විය. කොළඹ වරාය නගරය ආශි‍්‍රතව පැන නැගෙන අංශ සහ වරායේ පර්යන්තයක ආයෝජනයට ඉන්දියාව මගපාදා ගැනීමේ අවස්ථාව අතර පැහැදිලි අනන්‍ය අරමුණු ඇතුළත්ය. 

මිලින්ද මොරගොඩ මහතා මහ කොමසාරිස්වරයා වශයෙන් නව දිල්ලියට වාර්තා කරන්නට සූදානම් බව අනාවරණය වන අතර හෙතෙම සිය ධුර කාලය සම්බන්ධයෙන් කරුණු හතකින් සමන්විත මාර්ග සිතියමක් ප‍්‍රකාශයට පත් කර තිබේ. දූතමණ්ඩල පරමාර්ථ හතක් හා ඒවාට යටත් අරමුණු තිහක්ද මෙම රාෂ්ට්‍ර ක‍්‍රමෝපායේ දක්වා ඇත. ඉහත සඳහන් කරන ලද දුෂ්කර එහෙත් හඹා යා යුතු අවකාශය වෙත ගමන් කරන්නට මෙම ව්‍යුහය උපකාරී විය හැකි දැයි සොයාබැලීම සුදුසුය.

ඉදිරි වසර දෙක තුළ සම්පූර්ණ අවධානය යොමුකරන අංශ හත තුළ දේශපාලන සබඳතා තර කිරීම මගින් දෙරට අතර සුහදතාව තර කිරීම, විදේශ ආයෝජන හා අපනයන ආදායම නැංවීම, ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ක‍්‍රමෝපායික සහයෝගීතාව, දෙරට අතර ආරක්ෂාව හා ඉන්දියන් සාගරයේ ආරක්ෂාව, සංස්කෘතික, විද්‍යා හා තාක්ෂණික අංශයන්හි සම්බන්ධතා තර කිරීම, ඉන්දියාව වෙත සමීපවීම අරමුණු කරගෙන එරට තුළ ධනාත්මක ප‍්‍රතිඵලයක් නිර්මාණය කිරීම, දෙරට අතර මුහුදින්, සාගරයෙන්, ඩිජිටල් හා විදුලි ජාලක සම්බන්ධතා ඇති කිරීම, ශ‍්‍රී ලංකාවේ සාගර සම්පත් ආරක්ෂා කරගනිමින් එහි අභිලාශයන් සාක්ෂාත් කරගැනීම අයත්ය. 

අශෝක අධිරාජ්‍යයාගේ කාලයේදී ශ‍්‍රී ලංකාවට ලැබුණ බුදු දහම එතෙක් මෙතෙක් දෙරට අතර විශිෂ්ඨතම තිළිණය බව මෙහි දක්වා තිබේ. 2021-23 ධුර කාලය තුළ ඉන්දීය, ශ‍්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාෂ්ට‍්‍ර ක‍්‍රමෝපායයක් සකස් කර ඉදිරිපත් කිරීමේදී බුදුරජාණන් වහන්සේ සූත‍්‍ර පිටකයේ, ව්‍යග්ගපජ්ජ සූත‍්‍රයේ දේශනා කරන ලද සද්ධා,  සීල, ත්‍යාග, සහ පඤ්ඤා යන සතර සම්පදා මෙම ප‍්‍රකාශනයට පදනම් කරගෙන ඇති බව දක්වයි. නවදිල්ලි මහ කොමසාරිස් කාර්යාලය සහ චෙන්නයි හා මුම්බායිහි පිහිටි නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය මෙකී ක‍්‍රමෝපාය අනුගමනය කරනු ඇති බව සඳහන් කර ඇත.

රටවල් දෙක අතර ඇති මානුෂිය පැති වශයෙන් අනවසර ධීවර ගැටලු සහ ඉන්දියාවේ වෙසෙන මිලියනයක් පමණ වන සරණාගතයන් ගැන අවධානය යොමුකර ඇත. රාජ්‍යතාන්ත‍්‍රික දූත පිරිස් කෙලින්ම තමිල්නාඩුවේ ධීවර සමිති සමග සාකච්ඡා කළයුතු බව දක්වයි. ධිවරයෝ අනවසරයෙන් ලංකා මුහුදු සීමාවට ඇතුළුවන අතර මෙරට නාවික හමුදාව සමග පවා ගැටුම් ඇති කරගෙන තිබේ. තහනම් දැල් භාවිතා කරති. සෑහෙන වාර ගණනක් දෙරට අතර සාකච්ඡා පවත්වා ඇත. මෙකී අංශ විසඳීමට සෘජු කි‍්‍රයාමාර්ග මෙහි යෝජනා කර තිබේ. ශ‍්‍රී ලංකාවෙන් බැහැරට ගොස් ඉන්දියාවේ ජීවත්වන මිලියනයක පිරිසක් සිටිති. සරණාගත කඳවුරුවල වෙසෙන මෙම පිරිස සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගත වැඩපිළිවෙළ, ඉන්දිය රජය හා ශ‍්‍රී ලංකා ආණ්ඩුව සම්බන්ධ කරගෙන තීරණ ගත යුතුව ඇත. රටවල් යා කෙරෙන ක‍්‍රමවේදය තවත් අංශයකි. ගුවනින්, මුහුදින් පමණක් නොව පැරණි යටගියාව පදනම් කරගෙන ගොඩබිමින් සම්බන්ධ කළ හැකි පැති ගැන අවධානය යොමු කෙරේ. ඩිජිටල් සම්බන්ධතාව අලුතින් සූදානම් කර ඇත. වෙළඳාම හා ආයෝජන අංශවලදී අන්තර්ජාල භාවිතාවට විශාල අවස්ථාවක් පවතින බව දැක්වේ. නොසිතන පැත්තකින් එනම් විදුලිය බලය දෙරට අතර පොදු ග‍්‍රිඩ් ඒකකයකටද යෝජනා කර තිබේ. පුනර්ජනනීය විදුලිය නිපදවීමේදී රටවල් දෙක අතර විදුලිය පොදුවේ බෙදාගැනීමට එයින් අදහස් කරයි.   පමණක් නොව දෙරට අතර ආගමික සබඳතා පෝෂණය කරන කරුණු එහි අන්තර්ගත කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙම පිරිනමන ලද බව දක්වන මෙමම මාර්ග සිතියම දැනට මතබේදවලට හේතු වී ඇති දෙරට අතර සම්බන්ධතා තර කරන අතරවාරයේ විශ්වාසවන්තභාවය ගොඩනගන්නට හේතු වනු ඇතැයි සැලකේ. 

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ආයේජනය හා දීර්ඝ කාලයක් අතරමග ඇති ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන්ද ක්‍රියා පටිපාටි වේගවත් කරන්නට මෙම රාෂ්ට්‍ර පාලන ක‍්‍රමෝපාය යෝජනා කර ඇත. දෙරට අතර විශ්වාසය තහවුරු කරන වරින් වර සමාලෝචනය කළ හැකි කරුණු මාලාවක් සහිතය. වෙළෙඳාම, ආයොජනය හා සංචාරක අංශ සඳහා වූ අන්තර් ආයතනික ඒජන්සිය මෙහෙයවමින් වසර 2022 වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 256 ක ශී‍්‍ර ලංකාවට සෘජු ආයෝජන ගෙන්වා ගැනීම ඉලක්ක කර ඇත. එම වසර වනවිට ශ‍්‍රී ලංකාවෙන් නිර්යාථ කරන්නට ඉලක්ක කර තිබෙන භාණ්ඩ තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 675 කි. සීමිත වෙළඳපොළ ප‍්‍රවේශය, ආරක්ෂණවාදී පිළිවෙත් සහ ඉන්දියාවේ අධ්‍යාශය සලකා බලා දේශීය වශයෙන් අමුද්‍රව්‍ය හා නිමි ද්‍රව්‍ය අපනයනට අවස්ථාව සකසනු ඇත. ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ තීරණ ගැනීමේ සාකච්ඡා ඉදිරියට ගෙනයන්නටද මෙම දෙවසරක කාලය තුළ අරමුණු කර තිබේ.

ඉදිරි දෙවසර තුළ අවම වශයෙන් වසරකට වරක් හෝ රාජ්‍ය නායකයන් දෙරට අතර නිල සංචාරවල නිරත විය යුතු බව යෝජනා කර තිබේ. අමාත්‍යංශ මට්ටමින් හා ප‍්‍රාන්ත වශශෙන් ඉතා සැලසුම් සහගතව සබඳතා ඇති කරගැනීම වැදගත්ය. බෞද්ධ ආගමික සහ සංස්කෘතික සංචරණ අවස්ථා සංවර්ධනය කළ යුතු අතර රාමායන, මුරුගන් හා වේලක්කන්නි යන විශේෂ අවස්ථා වෙනම අවධානය කළ හැකි සුවිශේෂි අංශ වශයෙන් දක්වයි. ජනමාධ්‍ය හා සංස්කෘතික කටයුතු වෙනුවෙන් ද වෙනම යෝජනා කර තිබේ. දෙරට අතර විශේෂ මාධ්‍ය කණ්ඩායම් හුවමාරුවෙන් විවිධ පැති අනාවරණය කර ගත හැකිය. සංඝරත්නයට, සිසු සිසුවියන්ට හා මාධ්‍යවේදීන්ට පුහුණු අවස්ථා සඳහා ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ පුළුල්කරන යෝජනාවක් ද මෙම ශ‍්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාෂ්ට‍්‍ර ක‍්‍රමෝපායයට ඇතුළත්ය.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03