2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

තලාත් මෙහ්මුද්ගේ අසාධ්‍ය බඩේ කැක්කුම බෙහෙත් ගුලියකින් සුවකල රාජකී්‍ය පණ්ඩිත විලියම් අල්විස්

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 116

පනහ දශකයේ ලංකාවේ තිරගතවූ හින්දි චිත්‍රපටවල හා Radio Ceylon නම් අපේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ හින්දි ගීත අතුරින් ජනප්‍රිය භාරතීය ගායක තලාත් මෙහ්මුද්ගේ ගීවලට අසන්නන් හා චිත්‍රපට රසිකයෝ ඇලුම් කළහ. තලාත් මෙහ්මුද් 1954 ජනවාරි 21 වැනිදා ලංකාවට පැමිණ ඇත්තේ නර්ගීස්, රාජ් කපූර්, නිරෝෂා රෝයි, මීනා ෂෝරි, ඩේවිඩ්, බෙගම් පාරා, සුමිත්‍රාදේවි ඇතුළු විසි දෙනකු සමගය. මේ පිරිසට එවකට අගමැති සර් ජෝන් කොතලාවලගේ කඳවලවත්තේ විශේෂ සංග්‍රහයක් සූදානම් කර තිබුණි. මේ නළු නිළි පිරිස සම්බන්ධීකරණය කර තිබුණේ අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්වරයකුව සිටි ආනන්ද තිස්ස ද අල්විස් (පසුව අමාත්‍ය) ය. තලාත් නැවතී සිටියේ ව්‍යාපාරික ජබීර් ඒ. කාදර් මහතාගේ නිවසේය. ඊට කලින් දිනෙක කොළඹ හෝටලයකදී ආහාර අනුභව කළ තලාත්ට එම ආහාර අපත්‍ය වී උදරාබාධයකින් පසුවීම නිසා පසුදා තම පිරිස සමග මහනුවර යාමට තිබූ සංචාරයට සහභාගි වීමට නොහැකි විය. කොතෙකුත් ඉංග්‍රීසි ප්‍රතිකාර ලබාගත් නමුත් තලාත්ගේ උදරාබාධය සුව නොවීය.

ඔබ කැමති නං දක්ෂ වෙද මහත්තයකුගෙන් සිංහල බෙහෙතක් ගෙනත් දෙන්නම්. ආනන්ද තිස්ස තලාත්ගෙන් අසා ඇත.

සත්තකින්ම. ඉන්දියාවෙත් ඉන්නවා හොඳ ආයුර්වේද වෛද්‍යවරැ. මම කැමතියි.

තලාත් නවාතැන් ගෙන සිටියේ කොල්ලුපිටියේ නිවසකය. කොල්ලුපිටියේ ගාලුපාරේ මැලිබන් ක්‍රීම් හවුසිය ඉදිරිපිට නිවසේ පදිංචිව සිටි රාජකීය වෛද්‍යවරයකු ආනන්ද තිස්ස විසින් කැඳවාගෙන තලාත් බැලීමට ගියේය.

තලාත් පරීක්ෂා කළ විලියම් අල්විස් නම් වෛද්‍යවරයා බෙහෙත් ගුලියක් තේ හැන්දක වතුරෙන් දියකර බොන්ට දුන්නේය.

ඔබට තව විනාඩි පහකින් සුවවේවි වෛද්‍යවරයා කීවේය.

විනාඩි කිහිපයකින් තලාත් ඇඳෙන් නැගිට ඇවිදින්නට විය.

ඔබට අනේක වාරයක් ස්තූතියි. කරැණාකර මම අපේ රටට යනකොට ගෙනියන්න බෙහෙත් ගුලි බෝතලයක් දෙන්න. තලාත් වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

මම ඉන්දියාවට ආදරෙයි. මම වෙදකම ඉගෙන ගත්තේ කල්කටාවේදී. මම තාගෝර්තුමාට ආදරය කරනවා. එතුමාගේ කෙටිකතා සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. .... සංගීතයට, බෙංගාල සංගීතයට ප්‍රිය කරනවා. මම ඔබගේ ගීත රසවිඳින රසිකයෙක්. ඔබේ හඬට කැමැතියි. වෛද්‍යවරයා ඔහුගේ අත්දෙක අල්ලාගෙන ඇත.

මේ සිද්ධිය ආනන්ද තිස්ස විසින් සංස්කරණය කළ දින දින සඟරාවේත්, නවයුගය පුවත්පතට ඔහු සමඟ අප කළ සංවාදයකදීත් කියා ඇත.

මේ රාජකීය වෛද්‍යවරයා කවුද? රාජකීය පණ්ඩිත විලියම් අල්විස් මහතාය. එතුමා රජයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකි. ලාබාල වියේදීම ආයුර්වේද විද්‍යාලයට බැඳුණු අල්විස් මහතා ඩී.අයි.ඇම්.ඇස්. උපාධිය ලැබීය. පසුව කල්කටාවටගොස් පශ්චාත් උපාධියත් සමත්ව ඇම්.ඒ.ඇස්. (ගෞරව) උපාධිය ලැබූ ප්‍රාචීණ භාෂාපකාර සමාගම විසින් පවත්වනු ලැබූ අවසාන විභාගයෙන් සමත්ව රාජකීය පණ්ඩිත උපාධිය ලැබීය. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බී.ඒ. (ගෞරව) උපාධියෙන් සමත්විය.

අල්විස් මහතා අපට මුල්වරට හමුවුණේ 1979 ජූලි මාසයේ නවයුගය පුවත්පත සඳහා ලිපියක් ලිවීමට ගිය අවස්ථාවේය. එතුමාගේ මුල්ම හමුවීමෙන්ම අප දුටුවේ කාරැණිකත්වයේ සංකේතයක් බඳු තැන්පත්, ජීවිත පරිඥානයෙන් යුතු සාන්තුවරයකු බඳුවය. ළමා කාලය ගැන ඔහු කතා කළේ දුක්බර අත්දැකීම් විස්තර කරමිනි.

මම උපන්නේ දකුණේ හබරාදූවේ. හැදුණේ වැඩුණේ කොළඹ. කුඩා කාලයේම අම්මාත් තාත්තාත් මියයාම නිසා මාව හදාවඩා ගත්තේ අත්තම්මා විසින්. මගේ පියා ජීවතුන් අතර ඉන්න කාලේ අදහස් කර තිබුණේ කොළඹ ආනන්දයට යැවීමටයි. තාත්තාගේ හදිසි වියෝව නිසා මම ඒ අදහස අත්හැරලා කොළඹ මාලිගාකන්ද රජයේ විද්‍යාලයට ගියා. ඊටපස්සේ මම හබරාදූවේ අභයදාන බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ඉගෙන ගත්තා. මගේ ජීවිතය අමුතු මගකට යොමුවුණේ කොළඹ ආවට පස්සේ. වැල්ලවත්තේ විජයාරාමයේ විහාරාධිපතිව වැඩ විසූ අහංගම පඤ්ඤාලෝක නායක හාමුදුරැවන්ගේ උනන්දුව, නිසා වෙදකමට මම යොමුවුණේ. මම උන්වහන්සේගේ ඡායාරෑපයට හැමදාම වඳිනවා. වෙදකම ඉගෙනීමට බෙහෙවින් උදව් පදව් දුන්නේ තිඹිරිගස්යායේ හිටපු නාගරික මන්ත්‍රීව සිටි ඩී.ඇස්. ෆොන්සේකා මහතා නිසා. ඔහු මට දෙවැනි පියෙකු වුණා.

විලියම් අල්විස් මහතා කුඩා කළ සිටම භූගෝල විද්‍යාව, ඉතිහාසය, සාහිත්‍යයට ඇලුම් කළ අතර ඒ සියල්ල පසෙක තබා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වී සෑම වසරකම පළමුවැනියා ලෙස සමත්ව ඩී.අයි.ඇම්.එස්. විභාගයෙන් සමත්ව 1941 වසරේ ඩොනල්ඩ් ඔබේසේකර ශිෂ්‍යත්වය ලබා කල්කටා ජාමිණී භූෂණ අෂ්ටාංග ආයුර්වේද විද්‍යාලයට බැඳී ඇම්.ඒ.ඇම්.එස්. උපාධිය ගෞරව පන්තියෙන් සමත් විය.

කල්කටාවේ ගතකළ කාලය ගැන අල්විස් මහතා අපට කියා තිබුණේ මේ කතාවය.

ඒ කාලයේ කල්කටාවේ මහා සාගතයක් පැතිර ගියා. මේ කාලයේ මම ඉගෙන ගන්නා අතරතුර කල්කටා ජනතාවගේ සමාජසේවා කටයුතුවල යෙදිලා උදව් කළා. මා ඒ කාලයේ නතරවෙලා හිටියේ මහාබෝධි සමාගමේ. මගේ සමාජසේවා කටයුතු ගැන පැහැදුණු කල්කටාවේ එවකට සිටි මුදල් ඇමැති ශ්‍රාම ප්‍රසාද් මුඛර්ජි මට අනාථ නිවාසයක අධිකාරි තනතුරක් පිරිනැමුවා. ලංකාව නියෝජනය කළ ඉන්දියානු මහා කොමසාරිස්ව සිටි සර්.ඩී.බී. ජයතිලක මහතා මට නවදිල්ලියට එන ලෙස ආරාධනා කොට, ඔබ දැන් සිටිය යුත්තේ ලංකාවේ කියලා ඉඟියක් දුන්නා. ලංකාවට පැමිණි මම නාවින්නේ පර්ෙය්ෂණායතනය සහකාර අධිකාරි ලෙස සේවයට බැඳී, කටයුතු කරන අතර වැඩබලන අධිපති තනතුරේ කටයුතු කළා. ඊට පසු ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පදවියත්, ආයුර්වේද විද්‍යාලයාධිපති තනතුරටත් පත්වුණා.

අහංගම වෙද ආරච්චිගේ විලියම් අල්විස් 1914 මැයි 08 වැනිදා අහංගම හබරාදූවේ උපත ලැබූ බවත්, ඔහුට එක සොහොයුරකු සිටි බවත්, පසුව මේ සහෝදරයා අහංගම ජිනරතන හිමි නමින් පැවිදි වී ඇති බවත් අල්විස් මහතාගේ එකම දියණිය සුජාතා රත්නාවලී අල්විස් ගුණතිලක මහත්මිය අපට පැවසුවාය.

තාත්තාගේ දෙමාපියන් කුඩා කල මියගිය නිසා අත්තම්මා විසින් ඇති දැඩි කොට ඇති බව අපට කියා තිබුණා. ධෛර්ය සම්පන්න උත්තමාවියක් වූ අත්තම්මා මගේ පියාට දුන් ධෛර්යය, ශක්තිය නිතර නිතර මතක් කරමින් පින් දුන්නා. මගේ තාත්තා කොල්ලුපිටියේ රොටුන්ඩා උද්‍යානයේ අංක 09 ස්ථානයේ වෙද මැඳුරක් හදලා දහස් ගණනකට ප්‍රතිකාර කළා. තාත්තා වසර පනහකටත් වැඩි කාලයක් ගුවන් විදුලි මාධ්‍යයෙන් වැඩසටහන් මෙහෙයවූවා. මේ අතර ආයුර්වේද වෛද්‍ය සාකච්ඡාව වසර 40ක් පමණ පැවැත්වූවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කළ ද්‍රව්‍ය ගුණ විඥානය නම් ශාස්ත්‍රීය ග්‍රන්ථයේත් සම්පාදකවරයා. තාත්තාගේ ප්‍රියතම ලේඛකයා වූයේ රවින්ද්‍රනාත් තාගෝර්තුමා. පුංචි කාලේ තාත්තා මට තාගෝර්තුමා ගැන රසවත් කතා කියලා දුන්නා. 1946 තාගෝර්තුමාගේ සුභාෂිණී නම් වංශ කතාව සිංහලට පරිවර්තනය කළා. තාගෝර්තුමාගේ කෙටිකතා ඇතුළත් අඩසඳ 1957 පරිවර්තනයත්, 1998 වසරේ ඉසිවර නුවණින්, 1999 වසරේ මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ කෙටිකතා පරිවර්තන එකතුවක් නිකුත් කළා.

අල්විස් මහතා අපට කියා තිබුණේ තම යටි සිතේ තිබූ තවත් ආසාවක් ඉටුකරගත් බවය.

සංස්කෘත, සිංහල ප්‍රකෘත, හින්දි භාෂාවලින් ලන්ඩන් බී.ඒ. ගෞරව උපාධිය ලබා ගැනීමට. එය ඉටුවුණා. මට සංස්කෘත උගැන්වූයේ රාජකීය පණ්ඩිත අහංගම පඤ්ඤාලෝක හිමිපාණන්. මා වෛද්‍යවරයකු වුවත් වඩාත් අගයන්නේ සාහිත්‍යය. මම සිනමා කලාවටත් ආදරය කළා. 1946 අප්‍රේල් 03 වැනිදා දිනමිණ පුවත්පතට මම ජංගම චිත්‍රය - රටේ දියුණුවට පිහිටක් වෙනවා නමින් ලිපියක් ලිව්වා. එතකොට ප්‍රථම කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව ප්‍රදර්ශනය වෙලා තිබුණේ නැහැ. එම ලිපියෙන් මා කියා සිටියේ එදා ලක්දිව නෘත්‍ය ශාලාවල පෙන්වන ඉංගිරිසි, ද්‍රවිඩ චිත්‍රපට බැලීම පිණිස රොක්වන මහජන වියදම් කරන ඒ සා මහත් මුදල සිංහල චිත්‍රපට නිපදවීමෙන් කොතෙක් දුර මෙහිම රඳවා ගත හැකිද යනු සිතීමෙන් ආර්ථික පක්ෂයෙන් සිනමාව සලසන මෙහෙයද සලසාගත හැකිය කියන මතය මම යෝජනා කළා. ඒ සඳහා වංග (බෙංගාලි) සිනමාව උදාහරණයට ගත්තා.

වංග සාහිත්‍ය රසිකයන්ගේ ඉමහත් සම්මානයට භාජනය වී සිටින උසස් ලේඛකයන් වූ බංකිම් චන්ද්‍ර ජට්ටොපාධ්‍යාය, සරත් බැස්ටර්ජි, මයිකල් මධුසුදන්, තාගෝර් ආදී ශ්‍රේෂ්ඨයන්ගේ කෘතීන් සිනමාවට නැගීමෙන් ලොකු කුඩා හැම දෙනාගේම සිත් තුළ ස්වදේශානුරාගය හා භාෂා ප්‍රේමය ඇතිවූ බවත්, ක්‍රමයෙන් දියුණුවන වංග භාෂාමය සිනමාව නිසා සාහිත්‍යයට ශ්‍රේෂ්ඨ කෘති වේගයෙන් එකතුවන බවත් සත්‍යයක් වශයෙන් පැවසිය හැකි බවත් කීය.

විලියම් අල්විස් මහතා හොඳ සිනමා රසිකයකු නිසා 1970 සරසවිය සිනමා උළෙලේ ජූරියේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබී ඇත. එම්.ජේ. පෙරේරාගේ සභාපතිත්වය දැරෑ එම විනිශ්චය මණ්ඩලයට සරත් අමුණුගම, එච්.එම්. ගුණසේකර, එච්.එච්. බණ්ඩාර, ඉන්ද්‍රා ද සිල්වා සමග පණ්ඩිත විලියම් අල්විස් ද සහභාගී වී වසරේ හොඳම චිත්‍රපටය ලෙස බිනරමලී තෝරාගෙන තිබිණි.

පෙර අපරදිග වෛද්‍ය ක්‍රම ගැන තුලනාත්මකව අදහස් දක්වමින් අල්විස් මහතා අප සමඟ මෙසේ කියා තිබුණි.

පෙරදිග වෛද්‍ය ක්‍රමය වසර දහසක් පැරණියි. එය කෝටි ගණනක් මිනිස්සු නිරෝගීව බොහෝ කල් ජීවත්වීමට මඟ සලසන වෛද්‍ය ක්‍රමයක් වගේම නොයෙක් රෝගවලට පිළියම් යෙදූ වෛද්‍ය ක්‍රමයක්ද වුණා. බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ක්ෂණික ප්‍රතිඵල තිබුණාට අලුත් බෙහෙත් ක්‍රමවල වැරදි විපාක මහජනතාවට වැටහෙන්න වැඩිකල් යන්නේ නැහැ. මා නවීන බෙහෙත් ක්‍රමවලට ගරහන්නේ නෑ. අලුත් ඉංග්‍රීසි බෙහෙත් ක්‍රම අවශ්‍යයි. මේ බෙහෙත් නියම කළ යුත්තේ උගත් විශේෂඥ වෛද්‍යවරැයි. නොඑසේ නම් වැරදි විදිහට ප්‍රතිකාර ලබාගත් රෝගීන්ට වන හානි අප්‍රමාණයි. බටහිර බෙහෙත් කොතෙක් තිබුණත් ඉතාමත් දරැණු ලෙඩ රෝගවලට ගම්බද පළාත්වල ගමේ වෙද මහත්වරැන් අතින් ඒවා සුවවූ අවස්ථා එමට තියෙනවා. පොත්පත්වල දැක්වෙන ආකාරයට ආයුර්වේද ක්ෂේත්‍රයේ ඖෂධ සම්පත්තිය විශාලයි. ඒ ඖෂධ සම්පත්තිය වෙදකමට යොදා නොගැනීමයි වරද. මගේ අත්දැකීම් අනුව සනීප කිරීමට අමාරැ රෝග ගම්බද වෙදමහත්වරැන් සුළු මොහොතකින් සුවකරනවා. පෙර අපරදිග වෛද්‍ය දැනුම එක්කොට සිංහල ඉංග්‍රීසි නමවත් නැතිව වෙදකම නමින් පටන් ගත්තොත් ඒ රටට ලොකු සේවයක් කළ හැකියි.

එදා රාජකීය පණ්ඩිත විලියම් අල්විස් මහතා අපට අවධාරණය කළේ හුඟාක් කල් ජීවත්වීමට නොව නිරෝගීව ජීවත්වීම වැදගත් බවය. මේ සඳහා සතුන්ගේ මස් අවශ්‍ය නැහැ. එළවළු, කුරහන්, තල, මේවා හොඳටම සෑහෙනවා. ගව මස් කෑමෙන් වැළකෙන බව දසදෙසින් අසන්නට ලැබීම සතුටක් බවද ඔහු පැවසීය.

තමා විසින් ලියන ලද ඉසිවර නුවණින් කෘතියෙන් පැරණි ඍෂිවරුන්ගේ උපදේශ, ශෛලෝක, පොදු ජනයාට ප්‍රයෝජනවත් වන පරිදි සෑහෙන තරම් විස්තර කරමින් එලිකළ බව අල්විස් මහතා එදා පැවසීය. නැණවතාගේ ගතිගුණ සංස්කෘත ශ්ලෝකයක් දක්වමින් එහි තේරැම අපට විස්තර කළේය.

ක්‍රෝධ නොඉපදවීම, නිරෝගී බව, දිනන ලද ඉඳුරන් ඇති බව දයාව, සමාව හෙවත් ඉවසීම, සියලුදෙනා හටම ප්‍රිය උපදවන බව, ලෝබ නොකිරීම, දීමෙහි කැමැත්ත ඇති බව, භය හා ශෝකයෙන් මිදී සිටින බව යන ලකුණු දහය හෙවත් ගුණ දහය නැණවතාගේ උගතාගේ ලකුණු වේ.

එතුමා පහදා දුන් දුදන ගතිය ගැන ඇති සංස්කෘත ශ්ලෝකය අදට වඩාත් සුදුසු යැයි අපට සිතුණි.

සර්පයා දුර්ජනයා යන දෙදෙනා අතුරෙන් දුර්ජනයාට වඩා සර්පයා හොඳය. සර්පයා දෂ්ට කරනුයේ කලාතුරෙකිනි. එහෙත් දුර්ජනයා පියක් පියක් පාසා විපත්ති කරයි.

එදා (1979) අල්විස් මහතාගේ වෛද්‍ය කටයුතු හා සාහිත්‍ය කටයුතුවලට උපකාර කළේ ඔහුගේ බිරිය දෝන ජෙසී මිල්ච්රඩ් මහත්මියයි. අල්විස් යුවළට සිටියේ එකම දරැවා වූ සුජාතා රත්නාවලී අල්විස්ය. ඇය විවාහ වී සිටියේ කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ පර්ෙය්ෂණ විද්‍යාඥ කේ.ජී. ගුණතිලක මහතා සමඟය.

එදා අප හමුවී වසර හතළිහකට පසු කාලය කොතරම් වෙනස් වීද? සුජාතා රත්නාවලී අල්විස් ගුණතිලක මහත්මිය අද කියන්නේ මේ කතාවය.

මම දෑසින් දුටු එකම දෙවියා මගේ පියා. තමාගෙන් ප්‍රතිකාර ලබන හැම රෝගියෙකුට සම මෙත් දැක්වූවා. මට දයාබර පියෙක් වගේම අම්මාට දයාබර සැමියෙකු වුණා. තාත්තා ඇසුරැ කළ මිතුරන්ගෙන් වැඩිම හිතවත්ව සිටි කිහිපදෙනකු  හිටියා. ඩී.එෆ්. කාරියකරවන මහා පත්‍ර කලාවේදියා, ප්‍රවීණ ලේඛක ආනන්ද විජයවීර, දස්වින් ගුණවර්ධන, වැල්ලවත්තේ ආනන්ද හිමි, රණපාල බෝධිනාගොඩ, ඒ අතර ප්‍රධානයි. තාත්තා සංගීතයට ආදරය කළා. දොන් වින්සන්ට් මාස්ටර්ගෙන් වයලීනය ඉගෙන ගත්තා. තාගෝර් සංගීතයට, බෙංගාලි සංගීතය විවේක කාලයේ ශ්‍රවණය කළා. පුංචි කාලයේ මට මතකයි රූට තාත්තා ශාස්ත්‍රීය සංගීතය ඇහැව්වා. තාත්තා වඩාත් කම්පා වුණ අවස්ථා කීපයක් මට මතකයි. මගේ අම්මා 1988 සැප්තැම්බර් 29 වැනිදා මියගිය දවස තරම් තාත්තා අඬලා දුක්වූ දවසක් මට මතක නැහැ.

තාත්තාගේ ඩිස්පෙන්සරියේ බෙහෙත් කලවම් කළ මුස්ලිම් ජාතික හමීඩ් (One Man Show) වගේ තාත්තා ගාව හිටිය හොඳම එකම ගෝලයා. තාත්තා හමීඩ්ට කතා කළේ හමිඳු කියලා. හමිඳු එක්ක තමයි තාත්තා පිටකොටුවේ ගබොස් ලේන් එකට ගිහින් කපඩියා සාප්පුවෙන්, බිමල් කොමිකල්ස් එකට ගිහින් බෙහෙත් අරන් එන්නේ. බෙහෙත් ගුලි, අරිෂ්ඨ හදන්න තාත්තාට සහාය වෙන්නේ හමිඳු. හමිඳු මියගිය දවසේත් ඇඬුවා. මගේ ආදරණීය සැමියා කේ.ජී. ගුණතිලක වයස අවුරැදු 49ක් ආයු වළඳා මියගිය වෙලාවේ තාත්තා ඇඬුවා. තාත්තා මගේ සැමියාට බෑණා කෙනෙකුට වඩා පුතෙකුට වගේ ආදරෙන් හිටියා. අම්මාත්, මගේ සැමියාත් මියගියාට පසු මගේ දරැවන් හතරදෙනාව බලාගෙන හිටියෙ. තාත්තාට සුරතල් බල්ලො දෙන්නෙක් හිටියා. ලූනෝ, මාවෝ කියලා. තාත්තා එක්කමයි මේ දෙන්නා නිදා ගත්තේ. මේ දෙදෙනා මැරැණු අවස්ථාවෙත් තාත්තා ඇඬුවා. තාත්තා වයස 94ක් ආයු වළඳා 2008 වසරේ ජූනි 05 වෙනිදා නිදි යහනේදීම මිය ගියා. මියයන තෙක්ම තාත්තා තමාගේ කටයුතු කර ගත්තා. ඇඳුමක්වත් අපට සෝදන්න දුන්නේ නැහැ. රෙදි සෝදන යන්ත්‍රයට රෙදි නොදා අතින්ම සෝදාගත්තේ කිසිවකුටවත් ඒවා අල්ලන්න නොදී.

විලියම් අල්විස් මහතාගේ දියණිය වූ සුජාතා රත්නාවලී ගුණතිලක මහත්මියට පුතුන් දෙදෙනෙක් (සංජීව හා චාමර) හා දියණියන් (අනූෂි හා දිලිනි) දෙදෙනෙක් වෙති.