2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

මෙහෙම ගියොත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙනුවට ආදාහනාගාර ඕනෑ වේවි

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 36

පවතින තත්ත්වයට වඩා ඉදිරි දින කිහිපය තුළ උදාවන තත්ත්වය තවත් භයානක වන බවත් ප්‍රතිකාර මධ්‍යස්ථාන සෑදීම වෙනුවට ආදාහනාගාර ඉදිකිරීමට සිදුවනු ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. වැඩිදුරටත් ඔහු සඳහන් කළේ රට ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බවත් මෙය සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහීමට ආසන්නයේම පවතින බවත්ය.

“කොවිඩ්-19 ලංකාවට ආ දවසේ සිට අද දක්වා කාලය ගැන කතා කළොත් මේ අපි ගත කරන්නේ අපේ රටේ ඉතා අවදානම් කාල වකවානුවයි. මේ ගෙවන්නේ අපේ රටේ තීරණාත්මක සංධිස්ථානයක්. විශාල සංඛ්‍යාවක් දෛනිකව ආසාදිතයන් වාර්තා වෙනවා. ඒ වගේමයි ඉතා විශාල සංඛ්‍යාවක් දෛනිකව මිය යනවා. දවසින් දවස මේ සංඛ්‍යා දෙකම ඉහළ යනවා. මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් විශාල වශයෙන් ආසාදිතයන් බවට පත්වෙලා තියෙනවා.” යැයිද උපුල් රෝහණ මහතා දේශයට පැවසීය.

මේ වන විට ශීඝ්‍රයෙන් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ රටේ දිස්ත්‍රික්ක බොහොමයකම ශීඝ්‍ර ලෙස ආසාදිතයන් වැඩි වෙමින් පවතී. විශේෂයෙන් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයන්ගේ වර්ධනය ඉහළ ගොස් තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි බොහෝ පිරිසක් එන්නත්කරණය කර තිබුණද රෝගය ආසාදනය වෙමින් පවතින්නේ තවමත් කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ පිරිසක් මෙම එන්නත්කරණය නිසි පරිදි සිදු කර නොතිබීම හේතුවෙනි. මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් හේතුවෙන් බොහෝ රෝහල්වල ධාරිතාවයද ඉක්මවා ගොස් ඇති අතර නිවෙස්වල සිටම නිරෝධායනය වනු ලබන රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතී. සෞඛ්‍ය අංශ සඳහන් කරන ඇතැම් සංඛ්‍යාලේඛන නිවැරදි නොවන බවත් ගම්පහ ඇතුළු ඇතැම් දිස්ත්‍රික්කවලින් දෛනිකව ආසාදිතයන් 1000 ඉක්මවා වාර්තා වන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

“අපි රජයේ දත්ත බොරු කියලා කියන්නේ නැහැ. නමුත් ඒ දත්තවල යම් ගැටලුවක් තියෙනවා. තියෙන ධාරිතාවයට වාර්තා වන රෝගීන් ප්‍රමාණය එක්ක අපිට දැන් පාලනය කරන්න අමාරුයි. අපි දැනට ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙනම යොමු කිරීමයි කරන්නේ. මේ යන විදිහට මේ වන විට ආශ්‍රිතයන් සියලු දෙනා සොයා යාමේ අවස්ථාවක් නැහැ.” යැයිද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

වාර්තා වන ආසාදිතයන් අතර සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ද සිටින බැවින් ඉදිරියේදී සෞඛ්‍ය ආයතන සහ සෞඛ්‍ය ව්‍යුහයද කඩා වැටීමේ හැකියාවක් පවතී. එම නිසා මේ අවදානම් අවස්ථාවේ සියලු ජනතාවට පරිස්සම් වීම සම්බන්ධයෙන් විශාල වගකීමක් තිබේ. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් ආසාදිතයන්ගේ වාර්තා වීම් වැඩිවීම හේතුවෙන් පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර එම ජනතාවට අත්‍යවශ්‍ය මූලික කරුණ පවා කරගත නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ආසාදිතයන් රැඳී සිටින්නේ ඔවුන්ගේ නිවෙස්වලය. රෝහල් ධාරිතාවය ඉක්මවා යාම එයට ප්‍රධාන හේතුවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ බොහෝවිට ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික්කවලද මේ තත්ත්වය වර්ධනය වනු ඇති බවය.

“කොවිඩ්-19 පළමු හා දෙවැනි රැලිවලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගොඩක් ආසාදිත වුණේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බොහොමයක් ආසාදිත වුණා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ පවුල්වල අයද මේ රෝගයට මුහුණ දුන්නා. මේ වන විටත් ඔවුන්ගෙන් බොහොමයක් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. රජය විසින් විවාහ මංගල උත්සව සඳහා අවසර ලබාදීමත් සමඟ උත්සව පොකුරු කිහිපයක්ම වාර්තා වුණා. සමහර මනාල සහ මනාලි දෙපළ පවා ආසාදිතයන් බවට පත් වුණා. ඇත්තටම අද පවතින්නේ ඉතා අවදානම් තත්ත්වයක්.” යැයිද උපුල් රෝහණ මහතා කියයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කළ නිවේදනයක් හේතුවෙන් යම් ගැටලු සහගත තත්ත්වයක් ඇතිවූ බවද ඔවුහු පවසති. 

“මින් පෙර සැක සහිත මෘත දේහ නිකුත් කළේ පී.සී.ආර්. පරීක්ෂණය සිදු කළාට පසුවයි. නමුත් නිරෝධායනය නොකරපු ප්‍රදේශයක සිදු වූ මරණයක් වසමේ ග්‍රාම නිලධාරී හෝ හදිසි මරණ පරීක්ෂකට නිදහස් කළ හැකි තත්ත්වයක් ඇතිවුණා. ඒ අනුව ඇන්ටිජන් හෝ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කළේ නැහැ. මෙවැනි දේවල් හේතුවෙන් ඇතැම්විට කොවිඩ් ආසාදිත මෘත දේහ පැය විසි හතරක් නිවෙසක තබා විසි පහක පිරිසකගේ සහභාගීත්වයෙන් අවසන් කටයුතු සිදු කිරීම නිසා තවත් ආසාදිතයන් වාර්තා වී ඇති බවක් පෙන්නුම් කෙරෙනවා.”

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ මේ වන විටත් දරුණුම ව්‍යාප්ත වීම ආරම්භ වී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ එය තවදුරටත් භයානක විය හැකි බවය. මේ වන විට රෝගීන්ගේ වැඩිවීමත් සමඟ රෝහල් පද්ධතියේ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගය වැළඳුණහොත් එය ඉතා අවදානම් වන බවද මෙලෙස ඉදිරි දින කිහිපය ගත වුවහොත් තවත් ආදාහනාගාර ඉදිකිරීම පමණක් සිදු කිරීමට වන බවත් ඔවුහු පවසති. ආදාහනාගාරවලට දෛනිකව ගෙන එනු ලබන මෘත ශරීර ආදාහනය කිරීමට අවශ්‍ය පහසුකම් නොමැත.

“මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමන්ට හැකි උපරිමයෙන්ම තමන්ගේ සේවය සපයනවා. ඒ අතරින් පිරිසක් ආසාදිතයන් වීම හේතුවෙන් සේවයට වාර්තා කරන්නේ නැහැ. ඒ නිසා සේවයේ මේ වන විට රැඳී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමන්ගේ සේවය උපරිමයෙන්ම ලබාදීමට කටයුතු කරනවා. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් සංඛ්‍යාව ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා ඔවුන්ව සොයා යාම, නිරෝධායනය කිරීම සහ අවශ්‍ය මූලික පහසුකම් ලබාදීම යම් තරමකට අඩාල වෙලා තියෙනවා.” 

මෙවැනි අවදානම් තත්ත්වයක් රට තුළ ඇතිවිය හැකි බවට විශේෂඥ වෛද්‍යවරුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු බොහෝ දෙනා කලක පටන් අනතුරු ඇඟවූහ. නමුත් සෞඛ්‍ය උපදෙස් කොතෙකුත් ලබා දුන්නද ඇතැම් ජනතාව වගකීමකින් තොරව තවමත් කටයුතු කරති. එමෙන්ම රටේ පවතින කොවිඩ් අවදානම පිළිබඳ නිසි අවබෝධයක් නොගෙන කටයුතු කිරීමෙන් ඒ සම්බන්ධයෙන් තීරණ ගන්නා බලධාරීන්ද රටේ තත්ත්වයට වගකිව යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

“රට සංචරණය සීමා නොකළොත් ඉදිරි දින කිහිපයේදී රෝහල් ධාරිතාවය ඉක්මවා ගොස් රෝගීන් නිවෙස් තුළ ගස් යට මිය යන්නට පටන් ගනීවි. ඉන්දියාවම වේවි. රෝගීන් වාර්තා වීම අඩුකර ගැනීමට එකම විකල්පය වන්නේ දැඩි සංචරණ සීමා පැනවීමයි.” උපුල් රෝහණ මහතා පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03