2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

අතටම මාට්ටු වූ වෙන්නප්පුව සතොස මහා සීනි මගඩිය

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 197

සමූපකාර තොග සංස්ථාව හෙවත් සතොස ආයතනයේ බී ශ්‍රේණියේ ශාඛාවක් වෙන්නප්පුව කොස්ගස් හන්දියේ පවතී. හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි එම ආයතනයේ පරිපාලනය සිදුවන්නේ ශාඛා කළමනාකාරිනිය මගිනි. සතොසට අවමානයක් වන ආකාරයේ සොරකමක් සිදු කළ බවට චෝදනා ලැබූ ඇය දැන් පසුවන්නේ පොලිස් අත්අඩංගුවේය. ඇය විසින් සිදු කළ වංචාවකට අනියමින් හෝ සම්බන්ධ වූ බව කියන සතොස පුත්තලම දිස්ත්‍රික් කලාප කළමනාකරු හා වැලිසර ශාඛා සංකීර්ණයේ භාරකරුගේ වැඩ තහනම් කිරීමටද සතොස පරිපාලනය කටයුතු කර ඇතැයි වාර්තා විය.

වෙන්නප්පුව කොස්ගස් හන්දිය පිහිටි සතොස ශාඛාවේ සීනි මෙට්‍රික් ටොන් 37ක සොරකම සම්බන්ධයෙන් එහි කළමනාකාරිනිය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සතොස හරහා මාසිකව සීනි මෙට්‍රික් ටොන් 4ක් අලෙවි කරනු ලබන බවට එහි පසුගිය වාර්තා මගින් පෙන්නුම් කරයි. බොහෝ අවස්ථාවලදී අදාළ ශාඛාවට අවශ්‍ය කරන භාණ්ඩ වැලිසර පිහිටි සතොස තොග ගබඩාව මගින් ගෙන්වාගෙන තිබිණි. ඒ සඳහා අදාළ ශාඛාවන්හි කළමනාකාරීත්වය දරන අය විසින් ලිඛිතව ඉල්ලීම් කිරීම කළ යුතුය. එහෙත් මීට සතියකට පමණ ඉහත දිනකදී වෙන්නප්පුව සතොස ශාඛාවේ කළමනාකාරිනිය විසින් වැලිසර තොග ගබඩා සංකීර්ණයේ භාරකරු අමතා සීනි තොගයක් ඇණවුම් කොට තිබුණාය. ඒ සඳහා ලිඛිත දැනුම් දීමක් නොමැති අතර දෙපාර්ශ්වය අතර වූ හිතවත්කම මත ඇණවුම කට වචනයකට සිදු කර තිබිණි. මෙසේ ඉල්ලා තිබූ සීනි තොගය සාමාන්‍යයෙන් ශාඛාවේ මසකට අලෙවි කෙරෙන සීනි තොගයට වඩා විශාල එකකි.

කට වචනය මගින් ලැබුණු ඇණවුම අනුව විශාල සීනි තොගය නිකුත් කළ පසුව ඒවා පැටවූ ලොරි රථය වැලිසර තොග ගබඩාව සිට හලාවත මාර්ගයේ ධාවනය කර ඇත. මීට පෙර කිසිම දිනක එවැනි සීනි තොගයක් එකී ප්‍රදේශයක සතොස ශාඛාවක් වෙත නිකුත් නොතිබුණි. ඒ වන විටත් සතොස තොග ගබඩාවල තොග ගණන් ගැනීම ස්වයංක්‍රීය පරිගණක පද්ධතියකට ඇතුළත් කොට තිබීම නිසා ගබඩාවෙන් නිකුත් කරන හෝ අඩු වැඩි වන ප්‍රමාණයන් සතොස ප්‍රධාන කාර්යාලය සිට අධ්‍යයනය කළ හැකිව තිබිණි. එය අධ්‍යයනය කරන නිලධාරීන්ගේ අවධානය මේ වෙත සැණෙකින් යොමුව තිබුණේ එබැවිනි. ඒ අනුව සිදුවීම සතොස විශේෂ විමර්ශන ඒකකය වෙත දන්වා ඇති අතර ඔවුහු වහා ක්‍රියාත්මක වූහ. එම විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් ක්ෂණිකව ක්‍රියාත්මක වී අදාළ ලොරි රථය හඹා යන අතරමගදී සිදුවීම පිළිබඳව වෙන්නප්පුව පොලීසිය දැනුවත් කරන්නට පියවර ගත්හ.

මේ අතර සීනි තොගය පටවාගෙන ගිය ලොරි රථය වෙන්නප්පුව සතොස ශාඛාව වෙත සමස්ත සීනි තොගය බාර නොදී වෙනත් මාර්ගයක ගමන් කර ඇත. ඒ ගිය අතරමගදී වෙනත් පාර්ශ්වයකට අයත් ලොරි රථයක් වෙත සීනි තොගය පටවා පිටස්තර අලෙවිසලක් හෝ ගබඩාවක් වෙත ප්‍රවාහනය කරන්නට සූදානම්ව තිබිණි. එහිදී ක්‍රියාත්මක වූ වෙන්නප්පුව පොලීසිය අදාළ සීනි තොගය සමඟ ලොරි රථය අත්අඩංගුවට ගනු ලැබීය.

සෙවණගල සීනි කම්හලේ නිෂ්පාදනය කරන සීනි සතොස වෙත ලබාගෙන අඩු මිලට අලෙවි කරයි. සාමාන්‍යයෙන් මසකට සතොස හරහා රතු සීනි මෙට්‍රික් ටොන් 1200ක් අලෙවි කරයි. එය කිලෝග්‍රෑම්වලින් 1,200,000කි. වෙන්නප්පුව කොස්ගස් හන්දිය සතොස හරහා අලෙවි කෙරෙන මාසික සීනි තොගයේ උපරිමය කිලෝ 4000කි. නමුත් පසුගිය දින 40කදී පමණ එම ශාඛාව අලෙවි කළ බව කියන සීනි තොගය කිලෝ 36,650කි. බී ශ්‍රේණියේ ශාඛාවක් වන වෙන්නප්පුව එම කාලසීමාවේ උපයා ඇති ආදායම ලක්ෂ 87කි. ඒ අතුරින් සීනි පමණක් අලෙවි කර ලැබූ ආදායම රුපියල් ලක්ෂ 42ක් බව කියයි.

සතොසට අයත් ප්‍රධාන ගබඩා ගණනාවක් පවතී. ඒවා ඔරුගොඩවත්ත, කුරුණෑගල, වීරවිල, බූස්ස, වැලිසර යන ස්ථානවලද පිහිටුවා ඇත. මේ ආකාරයේ ශාඛා කළමනාකාරිනියක විසින් සීනි මෙට්‍රික් ටොන් 37ක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් චෝදනාවක් වාර්තා වී ඇත්තේ පළමු වතාවට බව සතොස උසස් නිලධාරියෙක් පැවසීය. මෙම සොරකම සම්බන්ධයෙන් සතොස මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවද එම නිලධාරියා කියා සිටියේය. මේ අතර සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

රජයට අයත් ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථා මණ්ඩල, අධිකාරි ඇතුළු බොහෝ ස්ථානවල වංචා දූෂණ මීට ඉහතදී වාර්තා වී තිබේ. මේ ආකාරයට සතොස ආයතනයේ සිදු වූ පළමු වංචාව වෙන්නප්පුව සතොස සීනි සොරකම නොවේ. මීට ඉහතදී විෂය බාර අමාත්‍යවරයා පටන් ඉහළ නිලධාරීන්ද සතොස තුළ මහා පරිමාණයෙන් අක්‍රමිකතා මූල්‍ය වංචා සිදු කළ බවට තොරතුරු ඇත. එවැනි චෝදනා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිවද එල්ල වී තිබුණි. අනතුරුව සතොස හිටපු සභාපතිවරයකු එම තනතුරින් නෙරපීමට පියවර ගැනුණේ සීනි ආනයනය කරන ව්‍යාපාරිකයකුට රජයේ මුදල් කෝටි ගණනින් වංචා කිරීමට උපකාර කිරීමේ චෝදනාවකටය. මේ ආකාරයට රුපියල් බිලියන 10කට ආසන්න මුදලක් අයථා ලෙස උපයාගෙන තිබූ බව කියැවිණි.
නම් සඳහන් කළ හිටපු අමාත්‍යවරයා පමණක් නොව තවත් හිටපු දේශපාලනඥයන්ද මෙසේ වංචා කොට ඇති බව කියැවේ. එහිදී සිදුව ඇත්තේ භාණ්ඩ ආනයනය කිරීමේදී සතොස වෙත බිලියන ගාණක පාඩුවක් සිදු කිරීමය. මේ අතර දේශපාලනඥයන්ගේ හිතවතුන්ට තනතුරු ප්‍රදානය හරහා ආයතනය පරිහානියට පත්වීම සම්බන්ධයෙන් චෝදනාදිිි පවතී. එසේම අතරමැදියන් හරහා පාරිභෝගික භාණ්ඩ තොග ඇණවුම් කිරීමේදී කොමිස් ලබාගැනීම හරහා වංචා සිදු කර තිබෙන බවද පැවසේ.

වෙන්නප්පුව කොස්ගස් හන්දිය සතොස කළමනාකාරිනියගේ සීනි ජාවාරම ගැන කතා කිරීමේදී කිව යුත්තේ සෙවණගල පිහිටි ආණ්ඩුවේ සීනි කම්හල තුළ නිෂ්පාදනය කළ සීනි සහන මිලට මහජනතාවට අලෙවි කිරීමට නියම කොට තිබියදී ඒවා වංචාකාර වෙනත් පාර්ශ්වයකට විකිණීමට සූදානම්ව ඇති බවය. සැබෑ මහජන සේවයක් සඳහා නම් මෙවැනි නිලධාරීන් රුකියාවෙන් පන්නා දැමිය යුතුය. ඒ සඳහා වංචා දූෂණ කොමිස් අක්‍රමිකතා නැති පරිපාලනයක් හා දේශපාලන ශක්තියක් ඇවසිව පවතී.

 සමන්ත විල්තෙර

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03