2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

ලංකාවේ අලුත්ම කොවිඩ් අනාවැකිය

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 38

ලෝකය පුරා මෙන්ම මේ රටේ අස්සක් මුල්ලක් නෑර දැන් පැතිර ඇති බවට සැකකළ හැකි ඩෙල්ටා වෛරසය ප්‍රභේදය තවදුරටත් පැතිර යාම පාලනයට වහා පියවරක් නොගතහොත් සැප්තැම්බරය වනවිට ලංකාවටම අනන්‍ය වූ නව වෛරස විකෘති මාදිලියක් ඇතිවිය හැකි බවට දැන් විශේෂඥයන් පෙන්වා දී තිබේ. මේ වනවිට ඔවුන් වෙතින් පළවන අනාවැකි සියල්ලම තහවුරු කරන්නේ මෙරට මෙන්ම නොරටද වෛරස ව්‍යාප්තිය නැවත වතාවක් අසීරු අඩියකට ලෝකය ඇද දමන බවය.

ගිය සතියේ “දේශය” සමග කතාබහකට එක්වූ ඖෂධ සහ සෞඛ්‍ය සම්බන්ධ ජාත්‍යන්තර උපදේශක ආචාර්ය සංජය පෙරේරා නිවැරදිව පුරෝකථනය කළේ මෙම  සතිය වනවිට මරණ සංඛ්‍යාව දිනකට 100-150ත් පන්නා වාර්තා විය හැකි බවය. මේ වනවිට ඒ අනාවැකිය සනාථ වෙමින් තිබේ.

දේශ සංචරණ සීමා පාලනයන් නොමැති නම් ඉන්දියානු ප්‍රභේදය ජූනි මාසය වනවිට ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වනු ඇති බවට ඔහු පෙන්වා දුන්නේ ඊට මාස 3කට පෙරය. එසේම අප හා කළ කතාබහේදී ඔහු අවධාරණය කර සිටියේ අගෝස්තු අග හෝ සැප්තැම්බර් වනවිට ලංකාවේ ප්‍රභේදයක් වර්ධනය විය හැකි බවය. දැන් වෙනත් විශේෂඥයෝද මේ අනතුරු ඇඟවීම සිදුකරති‍. එයින් කැපී පෙනෙන ප්‍රකාශය මේ ඊයේ පෙරේදා සිදුකළේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියයි. ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යන නිසා මෙරට තුළින් නව වෛරස් ප්‍රභේදයක් බිහිවීමේ හැකියාව ඇති බව කී ඇය එය පවතින වෛරසය අභිබවා යාමට හැකිවනු ඇතැයිද අනතුරු ඇඟවූවාය.
මේ අතර කොරෝනා වෛරසය ඩෙල්ටා ප්‍රභේදය මෙරට පැතිරීමේ ශීඝ්‍රතාවය චීනයේ වූහාන් නගරයේ පැතිර ගිය වෛරස ප‍්‍රභේදයට සාපේක්ෂව දෙගුණයක් බවත් මෙරට කලින් පැතිර ගිය ප්‍රභේදයන් ට සාපේක්ෂව ඩෙල්ටා ප්‍රභේයේ පැතිරීමේ ශීඝ්‍රතාවය 40ත් 60ත් අතර ඉහළ තත්ත්වයක පවතින බවත් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කර ඇත.

මේ මොහොත වනවිට රට තිබෙන්නේ ඩෙල්ටා බෝම්බය පුපුරා අවසන් තත්ත්වයක් යටතේ බවත් එය කොයි මොහොතේ ඉන්දියාවේ හා ඉන්දුනීසියාවෙ  තත්ත්වයට පත්වනු ඇති හෙයින් ඉදිරි සති දෙක තුන ඉතා තීරණාත්මක බවටත් අනාවැකි කියා ඇත්තේ ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමනය.

රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි අප හා කලින් කළ කතාබහකදී ඉදිරියේදී ඉක්මණින්ම මෙරට දෛනික ආසාදිත ප්‍රමාණය 5000 ඉක්මවා ගොස් දෛනික මරණ ප්‍රමාණය 200 ඉක්මවනු ඇතැයි අනතුරු ඇඟවීය. ඔහු කීවේ දැනට පවතින ව්‍යාප්ති තත්ත්වය ඉදිරි සති කිහිපයේදී තවත් දරුණු තත්වයට වැටෙනු ඇති බවය. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය රවීන්ද්‍ර රනන්එළිය කියා තිබුණේ වසර අවසාන වනවිට ලංකාවේ මරණ සංඛ්‍යාව 20,000ට වැඩිවිය හැකි බවය. මේ වනවිට දෛනික ආසාදිතයන් වාර්තාවන ආකාරය 2500 පන්නා තිබේ. මේ අතර වාර්තා නොවන 1000ක් පමණ සිටින බව වෛද්‍යවරුම පෙන්වා දෙති. ඒ පිරිස වෙතින් බෝවන පිරිස 1 ක් හෝ 4ක් ලෙස ගතහොත් මේ 2500ක ආසාදිතයෝ 10,000කට ආසන්න හෝ ඊට වැඩි පිරිසකට රෝගය පතුරුවා හරිති. මේ අන්දමට වාර්තා වන මරණද ඉහළ යන බව විශේෂඥ මතයයි.

වෛද්‍ය රවීන්ද්‍ර පුරෝකතනය කරන්නේ මේ වනවිට පවතින වැක්සීන වැඩසටහන මගින් වුවද නිසි ප්‍රතිඵල ලැබෙනු ඇත්තේ 2022 පමණ වනවිට බවය. හොඳින්ම වැක්සීන ගැසූ ඊශ්‍රායලයද මේ වනවිට නව ප්‍රභේදය හිස එසැවීම හමුවේ අසරණව ගොසින් බව ඔහු පෙන්වා දෙයි. චීනයේ ක්‍රියාකාරීත්වය උදාහරණය ලෙස ගෙන පෙන්වන ඔහු කියන්නේ චීනය මිලියන ගණනක් වූ සෑම කෙනෙක්ම නැවත පරීක්ෂා කරමින් අසාදිතයන් හුදෙකලා කරමින් නොපමාව කටයුතු කළ හෙයින් ඩෙල්ටා මාරකයෙන් හානිය අවම කරගන්නට සමත් වූ බවය. ඒ කාලය තුළ එන්නත්කරණය ද නවතා තිබූ හෙයින් සනාථ වන්නේ එන්නත්කරණය ගැන පමණක් දැඩි විශ්වාසය තබා ක්‍රියාකිරීම සුදුසු නොවන බවය.

මේ කතාවම දැන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ, ඔක්ස්ෆර්ඩ් එන්නත් සමූහයේ අධ්‍යක්ෂ මහාචාර්ය ශ්‍රීමත් ඇන්ඩෲ පොලාර්ඩ් කියා තිබේ. ඔහු පෙන්වා දෙන්නේ සමූහ ප්‍රතිශක්තිකරණය (herd immunity) කෙරෙහි පමණක්  බලාපොරොත්තු තබාගත නොහැකි බවය. ඒ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය එන්නත් ලබාගත් පුද්ගලයන්ටද ආසාදනය වන බැවිනි. එහෙයින්ම, මීළඟට ඇති වන කොරෝනා වෛරස් ප්‍රභේදය එන්නත ලබාගත් පුද්ගලයන් වෙත වඩාත් හොඳින් සම්ප්‍රේෂණය වනු ඇති බවට තමන් සැකකරන බවය. මෙම සතිය තුළ ලොවපුරා මරණ 65,000ක් පමණ වාර්තා විය හැකි බවත් ඒ හේතුවෙන් අද දවස ගැන සිතීම ඉතා වැදගත් බවත් පෙන්වා දෙන මහාචාර්ය ශ්‍රීමත් පොලාර්ඩ් සඳහන් කළේ සමූහ ප්‍රතිශක්තිකරණය ඇති කිරීමේ අරමුණ ඇතිව එන්නත්කරණ වැඩසටහන් පවත්වාගෙන යාමෙන් පලක් නොවන බවත්, ඒ වෙනුවට රෝගීන් මියයාම හෝ පුද්ගලයන් රෝහල්ගත වීම වැළැක්වීම පිළිබඳව වඩාත් අවධානය යොමු කළ යුතු බවත් අවධාරණය කර තිබුණි.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03