2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

මාධ්‍ය ලෝකයේ සල්ලි ගස්

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 107

මාධ්‍ය පෞරුෂයන් (media personality) ලෙස ලොව වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ රෑපවාහිනියේ විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන පුද්ගලයන්ය. එවැනි ඉදිරිපත් කරන්නන් අතර පිළිසඳර වැඩසටහන් (chat), ප්‍රවෘත්තිමය වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා, ක්‍රීඩා හා සංදර්ශන වැනි වැඩසටහන් ඉදිරිපත් කරන පුද්ගලයන් ප්‍රධානවේ. කෙසේ වෙතත්, මාධ්‍ය පෞරුෂයක් සහිත තවත් බොහෝ චරිත, ගුවන් විදුලි හා පුවත්පත් මාධ්‍යවේදීන් අතරද සිටිති. මේ අය අතුරින් ඇමෙරිකානු සමාජය තුළ වඩාත් කැපී පෙනෙන චරිත වන්නේ ඔප්රා නමින් ඇගේම පිළිසඳර වැඩසටහනක් පවත්වන ඔප්රා වින්ෆ්‍රේ, ටොප් ගියර් නම් ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන මෙහෙයවන ජෙරමි ක්ලාක්සන්, රිචඩ් හැමන්ඩ් සහ ජේම්ස් මේ, එලන් ෂෝ වැඩ සටහන ඉදිරිපත් කරන එලන් ඩි ජෙනරස්, හා බ්‍රිතාන්‍යයේ ප්‍රාණිවිද්‍යාව පිළිබඳ විශේෂඥයකු හා ඒ සම්බන්ධ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන ඩේවිඩ් ඇටන්බරෝ වැනි පුද්ගලයන්ය. මොවුන් කොතරම් ජනප්‍රියද කිවහොත් ඔවුන්ගේ සේවය සඳහා අති මහත් මුදලක් ඔවුන්ට ගෙවීමටද රූපවාහිනී ආයතන කටයුතු කරන්නේ එම වැඩසටහන් ජනතාව අතර මහත් සේ ජනප්‍රියව ඇති බැවින් සහ ඒ වෙනුවෙන් ලැබෙන වෙළෙඳ අනුග්‍රහයේද අඩුවක් නොමැති බැවිනි. 

ළමා වියේ දිළිඳුකමින් පීඩාවිඳි චරිතයක් වූ ඔප්රා වින්ෆ්‍රේ වර්තමානයේ ලොව බලවත්ම කාන්තාවකි. 1954 ජනවාරි 29 දින උපත ලද ඔප්රාගේ මව වර්නීටා ලී අවිවාහක ගෘහ සේවිකාවක වූවාය. ඇගේ පියා වන වර්නන් වින්ෆ්‍රේ කරණවෑමියකු, ගල්අඟුරු පතල් සහ නගර සභා කම්කරුවෙක් ලෙස සේවය කළේය. 

නැෂ්විල් හි ඩබ්ලිව්එල්ඒසී-ටීවීහි ප්‍රථම කළු ජාතික කාන්තා ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස රුකියාව ආරම්භ කළ ඔප්රා එම රෑපවාහිනි නාලිකාවේ  ලාබාලම නිවේදිකාව විය. වයස 22දී බෝල්ටිමෝර්හි ඩබ්ලිව්.ජේ.ඉසෙඩ්. නම් රෑපවාහිනි සේවයේ සවස ප්‍රවෘත්ති ප්‍රකාශිකාව ලෙස ඇය එක්කර ගැනිණි. 1980 ඇය එම ආයතනයෙන් ඉවත් වනවිට වසරකට ඩොලර් 220,000 ක් උපයමින් සිටියාය. 1984 දී ඒබීසී මාධ්‍ය ආයතනය ඇයට විනාඩි 30 ක උදෑසන වැඩ සටහනක් ලබාදුන් අතර ඇය එම රැකියාවට එක්වනු ලැබුවේ වසර 4 කට ඩොලර් මිලියනයක කොන්ත්‍රාත්තුවක් යටතේය. වර්තමානයේ ඇගේ ආදායම තත්පරයකට ඩොලර් 8කි. පැයකට නම් ඩොලර් 144,000කි. වසරකට ඩොලර් මිලියන 300කි.

සුප්‍රකට එලන් ඩිජෙනරස් ෂෝ නමැති වැඩසටහන ඉදිරිපත් කරන එලන් ඩිජෙනරස් හාස්‍යජනක චරිත රඟන නිළියක, රූපවාහිනී නිවේදිකාවක, ලේඛිකාවක සහ නිෂ්පාදකවරියක ලෙස ප්‍රකටය. ඇය 1994 සිට 1998 දක්වා එලන් වැඩසටහන මෙහෙය වූ අතර 2003 සිට  එලන් ඩිජෙනරස් ෂෝ නමැති වැඩසටහන මෙහෙයවන්නීය. ඇකඩමි, ග්‍රමී සහ ප්‍රයිම් ටයිම් එමී සම්මාන උළෙල රුසක නිවේදිකාවක ලෙසද ඇය කටයුතු කර තිබේ. කෘති හතරක් රචනා කර ඇති එලන් ඇගේම ඉලෙවන්ලෙවන් නමැති නිෂ්පාදන සමාගමක් පිහිටුවා ඇති අතර එමගින් විවිධ වැඩසටහන් නිෂ්පාදනය කරන්නීය. රූපවාහිනියට කළ සේවය උදෙසා 2020 ඇයට ගෝල්ඩන් ග්ලෝබ්හි කැරොල් බර්නෙට් සම්මානය හිමිවිය. ඇයගේ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් මිලියන 85ක් වන අතර සමස්ත වත්කම ඩොලර් මිලියන 400ක් පමණ වේ.

එක්සත් රාජධානියේ ජාතික වස්තුවක් ලෙස සැලකෙන ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ බීබීසි රෑපවාහිනී හා ගුවන්විදුලියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. 2002 දී බීබීසිය මගින්  බ්‍රිතාන්‍යයේ  ශ්‍රේෂ්ඨතමයන් 100 දෙනාගේ ලැයිස්තුවට ඔහුගේ නමද ඇතුළත් කර තිබිණි.  දශක හයකටත් වැඩි කාලයක් ලොව පුරා ස්වාභාවික ඉතිහාස වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ඔහු කීර්තියට පත්ව සිටී. &ශ්‍රේෂ්ඨ සන්නිවේදකයකු* හා &අසාහය අධ්‍යාපනඥයකු ලෙස ලොව පුරා. කීර්තියක් දිනූ ඔහු ශාක හා සත්ත්ව විශේෂයන් මත මිනිසුන් සිදුකරන කරන ලද ආක්‍රමණය, පාරිසරික ගැටලු සම්බන්ධයෙන් අගනා වැඩසටහන් රැසක් මෙහෙයවා තිබේ. ග්‍රහලෝක ජෛව විවිධත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම, ජනගහන වර්ධනය සීමා කිරීම, පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීම, මස් පරිභෝජනය අවම කිරීම සහ ස්වාභාවික සංරක්‍ෂණය සඳහා වැඩි ප්‍රදේශ වෙන් කිරීම වැනි ඔහු විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් ලොවපුරා මහත් අවධානයක් යොමු විය. ලයිෆ් ඔෆ් අර්ත්, ලිවිං ප්ලැනට්, ද බ්ලූ ප්ලැනට්, බ්රේකින් බවුන්ඩරීස්, සයන්ස් ඔෆ් අවර් ප්ලැනට් වැනි වැඩසටහන් විශාල ප්‍රමාණයකට ඔහු දායක වී තිබේ. විශ්වවිද්‍යාල 32කින් සම්මාන උපාධි දිනා ඇති ඩේවිඩ් ඇටෙන්බරෝ විවිධ සම්මාන 50කට අධික සංඛ්‍යාවක් දිනා තිබේ. මේ වනවිට 95 හැවිරිදි වියේ පසුවන ඔහුගේ  2020 වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක් ලෙස සඳහන්ය.

ලෝක ප්‍රකට ක්‍රොකඩයිල් හන්ටර්, ක්‍රොක් ෆයිල්ස්, ක්‍රොකඩයිල් හන්ටර් ඩයරීස් වැනි රෑපවාහිනී කතා මාලා රුසක සජීවී ඉදිරිපත්කරන්නකු හා සංරක්‍ෂකයෙකු වූ ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් අර්වින් වනජීවී හා පරිසරය පිළිබඳ වැඩසටහන් සහ වාර්තා චිත්‍රපට රැසක නිර්මාණ කරුවෙකි. ඉතා දීර්ඝ රූපවාහිනී මාලා වැඩසටහන් 30ක් පමණ ඔහු නිර්මාණය කර තිබේ. ලොව විවිධ වනාන්තරවල සිටින ඉතාමත් භයානක හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් පිළිබඳ වැඩසටහන් රැසක් නිර්මාණය කර ඇති ඔහු ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය (Great Barrier Reef) පිළිබඳ වැඩසටහනක් රෑගත කරමින් සිටියදී මඩුවකුගේ ප්‍රහාරයෙන්  සිදුවූ අනතුරකින් මරණයට පත් විය.  මයි ස්ටීව් අර්වින් නමින් නෞකාවක්ද, ඔහු නමින් ඇස්ටරොයිඩයක්ද නම් කළේ ඔහු විසින් කරන ලද සේවයට ගරු කිරීමක් ලෙසිනි. ඔහු විසින් නව කැස්බෑ විශේෂයක්ද සොයා ගන්නා ලද අතර අර්වින්ස් ටර්ටල් නමින් හැඳින්වෙන්නේ එම කැස්බෑ විශේෂයයි. ඔහු මියයන විට ඔහුගේ සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 41ක් විය.

කොනන් ඕ බ්‍රයන් යනු ටීබීඑස් රෑපවාහිනී සේවයේ වැඩසටහන් මෙහෙයවන්නෙකි. කොනන් නමැති එම වැඩසටහන දේශපාලනය සහ මතභේදකාරී මාතෘකාවලින් තොර වන අතර හාස්‍ය මවන්නන්  හා පුවත්මවන්නන්ගේ දායකත්වය එයට ලැබේ. එම වැඩ සටහන මෙහෙයවීම උදෙසා ඔහුට හිමි වාර්ෂික වැටුප ඩොලර් මිලියන 12කි. සමස්ත වත්කම ඩොලර් මිලියන 150ක් වේ.

ගෙවුණු 10 වසර තුළ එක්සත් ජනපදයේ වැදගත් සිදුවීම් කිහිපයකටම  බලපෑම් ඇති කළ ප්‍රමුඛ පෙළේ රූපවාහිනී මාධ්‍යවේදියෙකු ලෙස ඇන්ඩර්සන් කූපර් හැඳින්විය හැකිය. දේශපාලන විචාරකයකු වන ඔහු සීඑන්එන් ප්‍රවෘත්ති සේවයේ 360 වැඩසටහන මෙහෙයවන්නාය. සී.එන්.එන්.හි රාජකාරිවලට අමතරව සී.බී.එස්. ප්‍රවෘත්ති සේවයේද ඔහු සේවය කරයි. නිදහස් මාධ්‍යවේදියකු ලෙස ඇමෙරිකානු පුවත්පත් හා සඟරා රැසකට ලේඛණයෙන්ද දායක වන ඔහු එමි සම්මාන රැසකින් හා වෙනත් සම්මාන රුසකින් පිදුම් ලබා තිබේ. ඔහුගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 12ක් වන අතර සමස්ත වත්කම ඩොලර් මිලියන 200ක් පමණ වේ.

විකට නළුවකු ලෙස ජීවිතය ආරම්භ කළ ජිමී ෆැලන් පසුව එන්බීසී රෑපවාහිනි සේවයේ විකාශය වූ ඔහුගේම රෑපවාහිනි වැඩසටහනක් වන  ලේට් නයිට් විත් ජිමි ෆැලන්* නම් වැඩසටහනින් ප්‍රසිද්ධියට පත් විය.. 2013 එම වැඩ සටහන සඳහා ඔහුට වසරකට ඩොලර් මිලියන 11ක වැටුපක් හිමි විය. චිත්‍රපට 24ක රඟපා ඇති ඔහු විවිධ රෑපවාහිනි වැඩසටහන් රුසක නිවේදකයකු ලෙසද කටයුතු කර තිබේ. මේ වනවිට ඔහුගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 16ක් වන අතර සමස්ත වත්කම ඩොලර් මිලියන 60කි.

බිල් මහර් සමාජ දේශපාලනික විචාරකයෙක් සහ රෑපවාහිනී වැඩසටහන් මෙහයවන්නෙකි. වයස අවුරුදු 65 ක් වන ඔහු රෑපවාහිනි නාලිකාවකට සම්බන්ධ වූයේ 1979 දී ය. මේ වන විට එක්සත් ජනපදයේ ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙක් වන ඔහුගේ රියල් ටයිම් නමැති වැඩ සටහන ලොව පුරා වැඩිම අවධානයක් දිනාගත් දේශපාලන වැඩසටහනක් වන අතර. ඔහුගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 10 කි. ඔහුගේ සමස්ත වත්කම ඩොලර් මිලියන 140 කි. 

ලිලී සිං යනු එන්බීසී රෑපවාහිනීයේ වැඩසටහන් ඉදිරිපත්කරන්නියකි. හාස්‍යය වැඩ සටහන්, සම්මුඛ සාකච්ඡා සහ සමාජ ක්‍රියාකාරකම් වැනි වැඩ සටහන් රැසක් ඇය  ඉදිරිපත් කරයි.. &අ ලිට්ල් ලේට් විත් ලිලී සිං* නමැති වැඩසටහන කැනඩාව පුරා විශාල ජනප්‍රසාදයක් ලද වැඩ සටහනකි. රෑපවාහිනි නිවේදිකාවක වීමට පෙර යූටියුබ් චැනලයක් පවත්වාගෙන ගිය ඇය කැනඩාවේ විවිධ රෑපවාහිනී නිෂ්පාදන සමාගම් සඳහා දායකත්වය සපයයි.  දැනට කැනඩාවේ රුපවාහිනි රාත්‍රි වැඩසටහන් ඉදිරිපත්කරන්නන් අතර  ධනවත්ම කාන්තාවය. ඇගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 8 කි. වෙනත් කටයුතුවලින් වාර්ෂිකව උපයන මුදල ඩොලර් මිලියන 20ක් පමණ වේ. 

සෙත් මේයර්ස් යනු එන්බීසී හි විකට නළුවකු සහ රෑපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. එන්බීසී රෑපවාහිනියේ ඔහු ඉදිරිපත් කරන සැටර්ඩේ නයිට් ලයිව්* නමැති වැඩසටහන ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉංග්‍රිසි කතා කරන බොහෝ රටවල වැඩිපුරම නරඹන වැඩසටහනකි. ඒ සඳහා ඔහුට වසරකට  ඩොලර් මිලියන 3 ක වැටුපක් හිමිවෙයි.. ඔහුගේ සමස්ත වත්කම ඩොලර් මිලියන 12 කි.  

ජෙරමි ක්ලාක්සන් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස ජීවිතය ආරම්භ කොට ලෝක ප්‍රකට ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නකු බවට පත් බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකි. බීබීසී රෑපවාහිනියේ  ටොප් ගියර් නමැති ඔහුගේ රෑපවාහිනී වැඩසටහන එක්සත් රාජධානියේ සාර්ථකම රූපවාහිනී වැඩසටහනකි. &හූ වොන්ට්ස් ටු බි අ මිලියනෙයර්*, රොබෝ වෝර්ස්*, ග්‍රෑන්ඩ් ටුවර් ඔහු ඉදිරිපත් කරන අනෙකුත් ජනප්‍රිය වැඩසටහන්ය. ටොප් ගියර් වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා ඔහුට හිමි වාර්ෂික වැටුප පවුම් මිලියන 4කි. ඔහුගේ සමස්ත වත්කම පවුම් මිලියන 48.4කි.

සී.එන්.එන්. මාධ්‍යවේදියකු සහ ප්‍රවෘත්ති නිවේදකයකු වන වුල්ෆ් බ්ලිට්සර් වඩාත් ප්‍රසිද්ධ වූයේ ඔහුගේ පර්සියානු ගල්ෆ් යුද්ධ වාර්තා හේතුවෙනි. 1990 සිට සීඑන්එන් රෑපවාහිනියේ  සේවය කරන ඔහු  ජාත්‍යන්තර සබඳතා,  ඇමෙරිකානු දේශපාලනය හා මැදපෙරදිග අර්බුද සම්බන්ධ විශේෂඥයෙකි. ඔහු කත්‍රිනා සුළි කුණාටුව ආවරණය කළ පීබෝඩි සම්මානලාභී කණ්ඩායමේ සාමාජිකයෙක් විය. වොෂිංටනය සහ ජෙරුසලම අතර* නමින් කෘතියක්ද රචනා කර ඇති වුල්ෆ් බ්ලිට්සර්ගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 5කි. සමස්ත වත්කම ඩොලර් මිලියන 20කි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා