2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

පාස්කු බෝම්බ ප්‍රහාරයට හිටපු ඇමැති රිෂාඩ් සැකකරුවකු වූ හැටි

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 21

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරවීමට ගෙනා බෝම්බය දෙහිවලදී පුපුරවාගෙන තිබුණේ ඉන්සාෆ් අහමඩ් නැමැත්තෙකි. ඔහු කොලෝසියස් පෞද්ගලික සමාගමේ හිමිකරුය. තඹ අපනයන සමාගමක් වන එහි කාර්යාලය පිටකොටුවේද ඊට අයත් කම්හල වැල්ලම්පිටිය ප්‍රදේශයේද පවත්වාගෙන ගොස් තිබුණි. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ සියලු වියදම් මෙම කොලෝසියස් සමාගමේ ආදායම තුළින් දරා ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබිණි.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ගෙන ආ බෝම්බය පිළිබඳ සිදුකළ විමර්ශනවලදී එහි සබඳතාවක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙතද ඇති බව උසාවියේදී සඳහන් විය. ඒ අනුව එම බෝම්බ ප්‍රහාරයේ හත්වැනි සැකකරු ලෙස හඳුනා ගැනුණේ රිෂාඩ් බදියුදීන්ය. එකී විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම නඩු විභාගය අවසන් වනතෙක් සැකකරු බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.
ඒ පසුගිය 10 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කිරීමෙන් පසුවය. සැකකරු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමෙන් පසුව පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබල දීම හා සබඳතා පැවැත්වීම කියන චෝදනාවලට එරෙහිව හිටපු අමාත්‍ය බදියුදීන් හා ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන අය අත්අඩංගුවට ගැනුණේ පසුගිය අප්‍රේල් 24 වැනිදාය. ඒ හිටපු ඇමැතිවරයාට අයත් කොළඹ වැල්ලවත්ත පිහිටි නිවෙසක සිටියදීය. අනතුරුව සැකකරුවන් දෙදෙනා රඳවා තබා ප්‍රශ්න කිරීමට රුඳවුම් නියෝගයක් ලබාගෙන තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුවය. එය ප්‍රථමයෙන් ලබාගෙන තිබුණේ පැය 72ක් සඳහා බලපවත්වන පරිදිය. මේ අයුරින් මාස පහක පමණ කාලයක් රුඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 7 (02) වගන්තිය ප්‍රකාරව සැකකාර හිටපු ඇමැතිවරයා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක ගිණුම් පවත්වාගෙන ගිය පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයකු වූ ඉන්සාගේ අහමඩ් නැමැත්තාට අයත් ගිණුමකට විදේශයකින් අවස්ථා කිහිපයකදී ඩොලර් විශාල වශයෙන් බැර වී ඇතැයි කියයි. එම මුදල් අදාළ බැංකුවේ වෙනත් ගිණුමකට බැරකර තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත. සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට හිමි කොලෝසියස් සමාගමේ ප්‍රධාන කාර්යය තඹ කම්බි හෝ එම ලෝහය රුස්කර අපනයනය කිරීමයි. සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එවකට කර්මාන්ත අමාත්‍යංශය බාර අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදියුදීන් මහතාගේ දැනුවත් බවින් කර්මාන්ත අමාත්‍යංශයට අයත් තඹ කොලෝසියස් පෞද්ගලික සමාගම වෙත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා නිකුත් කර ඇති බවකි. මේ සඳහා එම ආයතනය හිමිකාර ඉන්සාෆ් අහමඩ් යන අය ඉල්ලීමක් සිදුකර තිබූ බවද අනාවරණය වී තිබේ. එම ඉල්ලීම අනුව තඹ ලබාදීම අනුමත කොට ඇත්තේ එවකට අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයකු වූ සුබ්‍රමනියම් මහතා විසිනි. මොහුගෙන් අදාළ කරුණු පිළිබඳව විමසීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබුණේ ඔහු මේ වනවිට විදෙස්ගතව ඇති බවකි.

හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් ලිඛිතව සිදුකළ නියෝගයක් අනුව ප්‍රධාන කොටස් තුනක් යටතේ තඹ ලබාදීම වෙන්කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් ඇත. එය සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්ත වශයෙන් හඳුන්වා තිබිණි. මේවායේ සේවක සංඛ්‍යාව හා පිරිවැය අනුව එම කොටස් කිරීම සිදුකර තිබේ.

ඒ අනුව සේවකයන් 10ට අඩු වාර්ෂික පිරිවැය මිලියන 10ට අඩු කර්මාන්ත කුඩා පරිමාණ ඒවාය. සේවකයන් 10-50 අතර හා වාර්ෂික පිරිවැය මිලියන 10-200 අතර නම් එය මධ්‍ය පරිමාණ කර්මාන්තයකි. සේවක සංඛ්‍යාව 50-200 අතර හා වාර්ෂික පිරිවැය රුපියල් මිලියන 200-600 අතර නම් එය මහා පරිමාණ කර්මාන්තයකි. කොලෝසියස් සමාගමේ වාර්ෂික පිරිවැය රුපියල් මිලියන 1000කට වැඩි බවද එබැවින් එය ඉහත කී කාණ්ඩ තුනටම අයත් නොවන බවද හෙළි වී ඇත. ඒ අනුව කොලෝසියස් සමාගමට තඹ නිකුත් කිරීම අනුමත ක්‍රමවේදයට පටහැණිය. මෙය ඉහළ බලධාරියකුගේ බලපෑම මත සිදුකර ඇති බව පැහැදිලි වන්නේ එබැවිනි. මේ පිළිබඳව සිදුකළ විමර්ශණවලට අදාළව හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි. එහිදී ඔහු සඳහන් කර තිබුණේ 2019 වසරේ එම අමාත්‍යංශය මගින් තඹ ලබාදීම සම්බන්ධව පැවැති රුස්වීමකට රිෂාඩ් බදියුදීන් මහතා පැමිණි බවකි. එම රුස්වීම අවසානයේ රිෂාඩ් බදියුදීන් උදය ආර්. සෙනෙවිරත්න මහතාට ඇයි අපේ අයට කරදර කරන්නේ?* යැයි කියූ බව ඔහුගේ ප්‍රකාශය මාර්ගයෙන් කියා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබිණි. එම රුස්වීමෙන් පසුව ඉහත කී සමාගම මිලිමීටර් 3 කම්බි අපනයනය සඳහා ඉල්ලූ බවද කියා ඇත. මෙම අනුමැතිය සුබ්‍රමනියම් නැමැති අතිරේක ලේකම්වරයා විසින් ලබාදී ඇති බවත් ඒ සඳහා බදියුදීන් ඇමැති හා ඔහුගේ සොයුරා සුබ්‍රමනියම් සමඟ දුරකථන මගින් සාකච්ඡා කර ඇති බවද හෙළි විය.
එම කාලසීමාවේදී කොලෝසියස් ආයතනය විසින් හය වතාවක් තඹ අපනයනය කර ඇති අතර දෙවතාවක් විදේශීය මුදල් සමාගමේ ගිණුමට ගිණුම්ගත කර ඇති බවද හෙළි කරගෙන ඇත. ඒ අනුව එම මුදල් පාස්කු ප්‍රහාරය වෙනුවෙන් වියදම් කොට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරගෙන තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන අනුව හෙළිකරගත් තොරතුරු අධිකරණය හමුවේ අනාවරණය කිරීමත් සමග කොලෝසියස් සමාගමේ ගනුදෙනු හා ඊට සහාය පළ කිරීම ඇතුළු හේතූන් මත සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රහාරය පිළිබඳව හත්වැනි සැකකරු වන රිෂාඩ් බදියුදීන් මහතා විමර්ශන අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කරනු ලැබීය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර