2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

වෛද්‍ය විශේෂඥයන් 16 දෙනකුගේත් රතු අනතුරු ඇඟවීම්!

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 146

දැනට වාර්තාවන දෛනික කොවිඩ් ආසාදිතයන් මෙන් තුන් ගුණයක් සමාජය තුළ සිටිය හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වාදී තිබේ. ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම “පැහැදිලිවම වාර්තා වෙන සංඛ්‍යාවට වඩා වැඩි පොසිටිව් කොටසක් ඉන්නවා සමාජයේ. තුන්ගුණයක් විතර ඉන්නවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන්.” යැයි කියා තිබේ. ඒ අනුව මේ වනවිට කොරෝනා ආසාදිතයකු නැති නිවෙසක් අද ශ්‍රී ලංකාවෙන් සොයාගත නොහැකි තත්ත්වයක් මතුව ඇතැයිද වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කර ඇත.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ රට තුළ ආසාදිතයන් මෙලෙස දිනෙන් දින වැඩි වෙමින් පවතින බව මේ වනවිට වෛද්‍ය විශේෂඥයන් රුසක්ම තහවුරු කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය මේ සම්බන්ධව අනතුරු අඟවා ඇත්තේ දිනෙන් දින රටේ සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ලෙස රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතින බවටය.

දැනට ක්‍රියාත්මක මට්ටමේ සංචරණ නිදහසක් දිගටම පැවැතියහොත් ලබන මාසය වන විට දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,000 ඉක්මවිය හැකි බව ස්වාධීන සෞඛ්‍ය විශේෂඥ කණ්ඩායමක් විසින්ද පුරෝකථනය කර ඇත. ඔවුන්ට අනුව  ඒ හේතුවෙන් ඔක්තෝබර් මුල වනවිට දෛනිකව වාර්තාවිය හැකි මරණ සංඛ්‍යාව 220 ක් පමණ වනු ඇති. එසේම ලබන වසරේ ජනවාරි වනවිට කොරෝනා හේතුවෙන් වාර්තාවන මරණ සඛ්‍යාව තිස් දහසක් පමණ විය හැකි බවද එම විශේෂඥවරු පෙන්වා දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කැඳවන ලද එම විශේෂඥ කමිටු සාකච්ඡාව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ නියෝජිත, විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ, මහජන සෞඛ්‍ය විශේෂඥ වින්යා ආරියරත්න, මහාචාර්ය අසිත ද සිල්වා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මෙන්ම මහාචාර්ය මලික් පීරිස්, මහාචාර්ය නිලිකා මලවිගේ, මහාචාර්ය කාමනි මෙණ්ඩිස්, මහාචාර්ය මනූජ් වීරසිංහ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු විශේෂඥයන් 16 දෙනෙක් සහභාගි වී සිටියහ.

ඔවුන් පෙන්වා දෙන අන්දමට දැනට පවතින තත්ත්වය අනුව මෙරට වර්ධනය වන කොවිඩ් 19 තත්ත්වය පවතින්නේ, මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට ආසන්න වෙමිනි. සියලු රෝහල්වල ඇඳන් ධාරිතාව 85% ඉක්වා ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාව 90% ඉක්මවා තිබේ. බොහෝ ප්‍රදේශවල PCR පරීක්ෂණ ධනාත්මක වීමේ ප්‍රතිශතය ඉහළ යමිනි. ජූලි 31 වැනිදා වනවිට පරීක්ෂණයට ලක්කරන ලද සාම්පලවලින් 60%ක්ම ඩෙල්ටා ප්‍රභේදය බව පරීක්ෂණවලින් සනාථ වී තිබේ. මේ අතර විශේෂඥයන්ට අනුව මරණ හා දැඩි රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීම සඳහා දෙවැනි මාත්‍රාව ලබාගෙන සති දෙකත් තුනත් අතර කාලයක් ගතවනු ඇති. අගෝස්තු 9 වැනිදා වනවිටද මෙරට ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්තේ, 15%ට අඩු පිරිසකි. මේ නිසා ලංකාව තුළ ආසාදිතයන් ඉහළ යාමට පවතින අවස්ථාව අධිකය.

පවතින වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම ස්වාධීන විශේෂඥයන් කණ්ඩායම නිර්දේශ 6 ක් ඉදිරිපත් කර තිබේ. මෙහි පළමුවැන්න වන්නේ, අත්‍යවශ්‍ය සේවා හැර අන්තර් දිස්ත්‍රික්ක අතරද ක්‍රියාත්මක දැඩි සංචරණ සීමා පනවන ලෙසයි.

එම සංචරණ සීමා, කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට කෙටි කාලසීමාවක් උදෙසා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමද විශේෂඥවරුන් නිර්දේශ කර තිබේ. ඔවුන්ගේ දෙවැනි නිර්දේශය වන්නේ සති තුනක කාලයක් සඳහා සියලුම මහජන උත්සව සීමා කිරීම හෝ අවලංගු කිරීමයි.

අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා අඩපණවීමකින් තොරව රෝහල් කටයුතු පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය ආරක්ෂාව හා පහසුකම් සැපයීම තවත් නිර්දේශයකි. කාර්යක්ෂම සන්නිවේදන සැලැස්මක් සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීමද එම නිර්දේශ අතරට අයත් වේ. සැබෑ තත්ත්වය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මරණ පිළිබඳ හා ආසාදිතයන් පිළිබඳව නිවැරදිව වාර්තා කිරිමත් නිර්දේශවලට අයත් ය. වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදීම හා ඔවුන්ට ෆයිසර්, මොඩානා හෝ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීම සුදුසු බවට ස්වාධීන විශේෂඥයන්ගේ නිර්දේශයයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, දෙවැනි මාත්‍රාව ලබාදෙන තෙක් යම් පමණකට හෝ ආරක්ෂාවක් එම එන්නත්වල පළමු මාත්‍රාව ලබාදීමෙන් ලබාගත හැකි බවයි. මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට රජයේ සංඛ්‍යාලේඛන අනුව දිනකට මිනිස් ජීවිත 200ට ආසන්න  සංඛ්‍යාවක් මෙම කොරෝනා ව්‍යසනය විසින් බිලිගන්නා තත්ත්වයක් උදාවී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය කියන ආකාරයට ඉතාමත් දැඩි තීරණ ගෙන මෙම තත්ත්වය පාලනය නොකළහොත් ඉදිරියේ තත්ත්වය අතිශය භයානක වනු ඇත. ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍ර ලෙස රටපුරා ව්‍යාප්ත වෙමින් රටේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 34% කින් පමණ වැඩිවීම, ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ගේ සහ දැඩි සත්කාර අවශ්‍ය වන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීම කවරදාකටත් වඩා රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමට ළඟා වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති. අද වනවිට කොරෝනා මරණ 60%කින් වැඩිවී ඇති තත්ත්වය තුළ මේ ව්‍යසනයේ බරපතළ බව මනාව පැහැදිලි වන බව ඔවුහු කියති.

මේ තත්ත්වය තුළ කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ තෘතීයික මට්ටමේ රෝහල් අද වනවිට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වී ඇත. එම රෝහල් කොවිඩ් 19 රෝගීන්ගෙන් පිරී යාම හේතුවෙන් එම රෝහල් වලින් කොව්ඩි නොවන රෝගීන්ට සපයන රෝගී සත්කාර සේවාවන් කැපී පෙනෙන ලෙස අඩු වී ඇත. විධිමත් සැලස්මකින් තොරව එම රෝහල්වලට දරාගත නොහැකි ප්‍රමාණයටත් වඩා අධික ලෙස කොවිඩි රෝගීන් ඇතුල් කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස එම රෝහල්වලට පැමිණෙන අනෙකුත් රෝගීන්ද අවදානමට ලක්කර ඇත. එසේම දිනෙන් දින වැඩිවන කොවිඩ් රෝගීන් නිසා එම රෝහල්වල ඇති අනෙකුත් විශේෂිත ඒකකවල රෝගී සත්කාර නියමිත පරිදි පවත්වා ගෙන යාමේ ගැටලුද පැන නැගී ඇත. එම රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට දරාගත නොහැකි තරම් කොවිඩ් රෝගීන් ප්‍රමාණයකට සත්කාර කිරීමට සිදුවීම නිසා ඔවුන් අධික වෙහෙසකර තත්ත්වයට පත් වී ඇත. එමෙන්ම එම කාර්ය මණ්ඩලවල සැලකිය යුතු ප්‍රමාණයක් ආසාදිත තත්ත්වයට පත්වීම තුළ සේවය ලබාදෙන කාර්ය මණ්ඩල දැඩි ආතතියකට ලක්වී ඇත. මේ තත්ත්වය තුළ කොවිඩි නොවන විවිධ රෝගාබාධ ඇති රෝගීන්ට නියමිත ප්‍රතිකාර ලබා ගැනීමේදී සිදුවන දුෂ්කරතා හේතුවෙන් ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්වීමද බරපතළ කාරණයක් ලෙස සැලකිය යුතුය.

රටේ රෝහල් පද්ධතියේ ඉතා වැදගත් ස්ථානයක් ගන්නා කොළඹ ජාතික රෝහල ඇතුළු තෘතීයික රෝහල්වල අද ඇති වී ඇති මෙම අර්බුධකාරී තත්වය විසඳීම සඳහා විධිමත් සැලස්මක් අනුව වහාම කටයුතු කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය  ඉල්ලා සිටින අතරම නිවෙස් තුළම රැඳී සිටීමෙන් හා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් ඩෙල්ටා තවදුරටත් පැතිරීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ. 

 සුගත් පී. කුලතුංගආරච්චි