කැබිනට් මණ්ඩලයේ සුළු වෙනස්කමක් සිදු කර තිබේ. ඒ ස්ථාන මාරු පමණකි. වෙනත් අමාත්‍යංශයක සිටි ආණ්ඩුවේ ඇමැතිවරයකු තවත් තැනකට පත් කිරීම තුළින් අපේක්ෂා කරන අරමුණ පැහැදිලි නැත. ආණ්ඩුව තුළ විවේචන තිබේ. ආණ්ඩුව තුළ ඇති පක්ෂ අතර නොගැලපීම් ඇත. ආණ්ඩුව පත් කරගත් ජනතාව සිය සිතැඟි සාක්ෂාත් නොවීම ගැන ප‍්‍රශ්න කරමින් සිටින වකවානුවකි. එක පැත්තකින් කොවිඩ් වසංගත තත්ත්වය හා අනෙක් පැත්තෙන් ආර්ථික පීඩනය ජනතාව වෙත එල්ල වෙමින් තිබේ. මෙම සියලු අනාවරණ මැද ඇමැති මණ්ඩලයේ මාරුව සැලකිය යුතු අවධානයක් ගෙන නැත.
කැබිනට් මණ්ඩලය පත් කර හරියටම අවුරුද්දකට පසු මෙම සංශෝධනය කර තිබෙන බව පෙනේ. ලැබුණු තනතුරු ගැන අවුරුද්දකට කලින් පැවැති අමනාපය හා සමානව අසතුටක් සංශෝධනයෙන් පසු ද දක්නට ලැබීම තවත් අවධානයට ගත යුතු කරුණකි. ජනාධිපතිවරයාට සමාජයෙන් පවරා ඇති ඉලක්කයක් තිබේ. ඔහු ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළ සාක්ෂාත් කරගත යුතුය. කණ්ඩායම සතු ජවාධිකත්වය අනාගතයට හොඳ අත්තිවාරමකි.
කැබිනට් බලතල ගැන සංකල්පය
කැබිනට් මණ්ඩලයක රාමුව ගැන ලෝකයේ විවිධ නිර්වචන ඇත. එයින් ඉතා ප‍්‍රකට සහ පිළිගත හැකි එක දෙයක් තිබේ. පැරණි පාලකයන් තමන්ට විශ්වාසවන්ත සුළු පිරිසක් නිතිපතා හමුවී සාකච්ඡා කර ඇත. ප‍්‍රධාන පාලක ගොඩනැගිල්ලේ ඉතාම කුඩා කාමරය එයට තෝරාගෙන තිබේ. රාජ්‍ය පාලනයේ සාර්ථකත්වයට සුළු පිරිසකගේ එකඟත්වය හේතු වී තිබුණු බව දැක්වෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින සෑම රටකම ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයෝ වැඩිම බලය ඇති පුද්ගලයා වන්නට ආසාවක පසුවෙති. ඇමැතිවරුන් ප‍්‍රතිපත්ති සම්පාදනය කළ යුතුය. එහෙත් මෙරට ඇමැතිවරුන් තනතුරු සොයන්නේ වරප‍්‍රසාදවලටය. තමන් කැමැති ආයතන තෝරාගෙන ඒවාට සිය අනුගාමිකයන් හා සහචරයන් පත් කරන්නටය. ආණ්ඩුවක් බලයට පත්වන වාරයක් පාසා අලුත් මුහුණු ආයතනවලට එකතු වෙති. ඔවුහු ඡන්ද පදනම ශක්තිමත් කරන පියවරක විනා රට ඉදිරියට ගෙන යන පියවර ගැන අවධානය යොමු නොකරති. සැලසුම් ගැන කල්පනා කරනු වෙනුවට මුල්ගල් තැබීම්, විවෘත කිරීම්, ඒවායේ උත්සවවලදී කරන කතා ගැන අතිශය උනන්දුවකින් කටයුතු කරන බව දැක්විය යුතුය. එම කතාන්දර මාධ්‍යයෙහි පළ කෙරෙන්නේ නම් එය මහත් ප‍්‍රතිඵලයකැයි කල්පනා කරති.
කැබිනට් මණ්ඩල සාමාජිකයන්ට බරපතළ වගකීමක් තිබේ. සාමූහිකත්වය තීරණාත්මකය. රහසිගතව මුණගැසෙන කැබිනට් නියෝජිතයන් තීරණ ගන්නා අවස්ථාවක පරස්පර අදහස් මතුවෙන්නට ඉඩ තිබේ. එහෙත් තීරණයක් ගත් පසු එය ගැන පෞද්ගලික මතයක් තිබිය නොහැකිය. සාකච්ඡාවේදී එන එකඟතාව වෙනුවෙන් පෙනී සිටින්නට සියලුම සාමාජිකයන්ට සිදුවෙයි. අන්‍යයන්ගේ මතය ඉවසීම, ඒ වෙනුවෙන් පෙනී සිටීම සහ අකැමැති නමුත් ක‍්‍රියාත්මක වීමට සියලුම කැබිනට් සාමාජිකයන්ට සිදුවෙයි. වෙනත් රටවල එහෙම වෙන නමුත් ශ‍්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ හැසිරීම ප‍්‍රශ්න ඇති කරයි. මෙදා පමණක් නොව ඉතිහාසය පුරා පෙන්වන ලක්ෂණයකි. ඇතුළේ එකඟ වන අතර පිටතට පැමිණ තීරණ විවේචනය කරති. සාකච්ඡා අවසන් කර වාහනයට නගින්නට කලින් මාධ්‍ය ආයතනවල දේශපාලන ලියුම්කරුවන්ට කරුණු අනාවරණය කරති. තාවකාලික පටු ජනප‍්‍රියත්වය රට අගාධය කරා ගෙන ගොස් තිබේ. ඉතිහාසයේ සිදුවූ වරද තවමත් එලෙසමය.
අවුරුද්දකට කලින්
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගන්නේ අවුරුද්දකට කලිනි. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් වූ අතර විසි අට දෙනකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයක්, සහ හතළිස් දෙනකුගෙන් සමන්විත රාජ්‍ය අමාත්‍යවරුන් පත් කර ගත්තේය. දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නායකයන් විසි තුන් දෙනකු පත් කිරීම ද විශේෂ සිද්ධියකි. මුලින් පත් වූ ඇතැම් කැබිනට් සාමාජිකයන්ගේ විෂය පථ අද වෙනස් වී තිබේ. පැරණි දේශපාලනඥයෝ අලුත් මුහුණුවරකින් එකතු වී සිටිති. මෙම කණ්ඩායම පසුගිය කාලයේ රට වෙනුවෙන් පෙනී සිටින ලද ආකාරය ගැන ජනතාව තුළ විශේෂ පැහැදීමක් නැත. පවතින දුෂ්කර තැනින් ගැලවී නවෝදයක් ඇති කිරීම අවශ්‍යය. පහසු නැත. දුෂ්කරය. නිසි සැලැස්මක් සහ ස්ථිර සැලැස්මක් අවශ්‍යය. ඉකුත් මාස දොළහ තුළ මහත් උද්‍යෝගයකින් සිටි කැබිනට් සාමාජිකයන් සිය වපරිසය හඳුනාගෙන තිබේ.
මුළු ලෝකයම එකම අර්බුදයකය. කොවිඩ්-19 වසංගතය අණසක පතුරුවා තිබේ. සමාජය හා ආර්ථිකය තුළ මතු වී තිබෙන ගැටලු නිරාකරණය පහසු කාර්යයක් වී නැත. ලෝකයේ දියුණුම රාජ්‍යයේ සිට ඉතාම දුප්පත් රට දක්වා සෑම තැනෙකම මුහුණ පා ඇති ප‍්‍රමුඛ අභියෝගය ජනතාව ජීවත් කරවීමය. සෞඛ්‍ය ආරක්ෂා කරගත හැකිවන අතරවාරයේ ජීවනෝපාය සඳහා පියවර ඉතාම අවශ්‍ය වන තැනට පත්ව ඇත. මෙවැනි රාමුවක් තුළ බහුතරයක් කැබිනට් සාමාජිකයන්ට කළ හැකි දෙයක් නැත. පරෙස්සමෙන් එහෙත් ස්ථාවර ඉනිමක් ගොඩනගාගත යුතුව තිබේ. කරන ලද කැබිනට් සංශෝධනය අනුව ජී.එල්. පීරිස් මහතා උසුලන ලද අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර විදේශ අමාත්‍යංශය පවරා තිබේ. ඉතා පිළිගත් මහාචාර්යවරයකු වන හෙතෙම ගුරු විදුහල්පති අරගලය හමුවේ ක‍්‍රියා කළ ආකාරය අසමත් දැයි ප‍්‍රශ්න කරන්නට සිදු වී තිබේ. විදේශ අමාත්‍යවරයා වශයෙන් සිටි දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යංශයට කැඳවා ඇත. වාමාංශික අරගල නායක පෙළපත සහිත හෙතෙම විදේශ කටයුතුවලදී තද ආක‍්‍රමණික ස්වභාවයක් පෙන්නුම් කළේය. මානව හිමිකම් කොමිසමට කරුණු දක්වන ලද ආකාරය ගැන විවේචන තිබිණි. ඉදිරියේ දී නැවත ඇවිලෙන බව පෙනෙන වැටුප් ප‍්‍රශ්න නිරාකරණයට ඔහුට උත්තර තිබේද? පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය ඇමැති ධුරයෙන් පැත්තකට කර ඇත. රට පුරා කොවිඩ් වසංගත තත්ත්වය ගැන විවේචන තිබේ. එන්නත්කරණය කරගෙන යන්නේ සෞඛ්‍ය අංශ වෙනුවට ආරක්ෂක අංශ බව පෙනේ. සමාජය තුළ නරක ප‍්‍රතිරූපයක් ඇතිවන පරිදි වචන හසුරුවන ලද බවට චෝදනා ලැබූ කෙහෙළිය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් කර අනතුරුව සෞඛ්‍ය වෘත්තීය සමිති සමඟ කටයුතු කරන්නට සමත් වනු ඇතැයි විශ්වාස කළ හැකිද? මේවායෙන් පෙනෙන්නේ එකම වැරදි උත්තරය අනෙක් පෑනකින් සටහන් කරන ස්වභාවයක් බව පෙනේ.
ආණ්ඩුවේ මාධ්‍ය හැසිරවීම
පළපුරුදු මාධ්‍යවේදියකු වූ පමණින් ආණ්ඩුවේ දර්ශනය ජනතාව හමුවට ගෙන යන්නට සමත් වනු ඇතැයි තක්සේරු කළ යුතු නැත. විපක්ෂයේ සිටියදී රඟ දක්වන ලද භූමිකාවට වඩා ආණ්ඩුවේ චරිත ස්වභාවය වෙනස්ය. රසවත්ව ඉදිරිපත් කරන ආවේග වෙනුවට ජනතාව සිය දැවෙන ගැටලුවලට විසඳුම් ඉල්ලා සිටිති. ජනමාධ්‍ය විෂය ඩලස් ඇමැතිවරයා හට පැවැරීමෙන් රජයේ මාධ්‍ය ඉහළම තැනකට ගත හැකි යැයි තක්සේරු කිරීම වරදකි. මෙම කාලයේ ජනතාව තොරතුරු ගන්නේ සමාජ මාධ්‍යයෙනි. ඉතාම විශාල තොරතුරු සම්භාරයක් දිනපතා ප‍්‍රවාහය වෙමින් තිබේ. ඇත්ත වශයෙන්ම අධි තොරතුරු යුගයකි. ඒවා අතරින් ආණ්ඩුවට හිතකර වාර්තා පමණක් තෝරාගන්නා සමාජ ලෝකයේ නැත. කැබිනට් ප‍්‍රකාශක, හමුදා ප‍්‍රකාශක, කොවිඩ් බලකා ප‍්‍රකාශක අතරට ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ඒකකයක් ස්ථාපිත කරන නමුත් ඒවා අහන්නට සිටින ජන කොටසගේ ආකල්ප වෙනස් වෙන්නේ නැත. උවමනාවක් ඇත්නම් ආණ්ඩුව කියන දේ හොයාගෙන දැනගන්නවා විනා කොපමණ විශාල තිරයකින් විදහා දක්වන නමුත් නරඹන්නට අද සමාජය සූදානම් නැති බව මතක් කළ යුතු කරුණකි.
ආණ්ඩුව ඉදිරියේ ඇති ගැටලු අලුත් ඒවා නොවේ. පරණ නොවන, හැමදාමත් තිබුණු අභියෝග එලෙසම දිගහැරී ඇත. සමහර අංශ ඉතා තීරණාත්මක ස්වරූපයක් ගෙන තිබේ. රාජ්‍ය ආදායම සීමිතය. වියදම දෙගුණ තෙගුණ වී ඇත. පරතරය පියවා ගැනීම සඳහා තව තවත් දෙස් විදෙස් ණය ගැනීමට සිදු වී ඇති බව පෙනේ. පසුගියදා අමෙරිකානු ඩොලර් බිලියනයක ණය ගෙවා දැමීය. දැනට ඇති විදේශ ණයවලින් තිස් හතරෙන් එකක් පමණකි. ඉතිරි කොටස ගෙවන්නේ කෙසේද? එක ණයක් ගෙවන්නට රටවල් ගණනකින් තාවකාලික ණය ලබාගෙන තිබේ. කැබිනට් මණ්ඩලයට කළ හැකි දේ සීමිතය. 2021 මුල්‍ය වර්ෂය ගැන ද අවධානය යොමු කිරීම අවශ්‍ය කාරණයකි. අවුරුද්දේ ඉතිරි කාලය සඳහා ඉතාම දැඩි වියදම් පාලනයකට ගමන් කරන බව පෙනේ. මුළු මහත් ආර්ථිකය දුර්වල තැනෙක බව ලැබෙන පණිවුඩයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ දී වැඩ කරන රටක් නිර්මාණය කරන සෞභාග්‍යයේ දැක්ම යන දර්ශනය ඉදිරිපත් කළේය. කොවිඩ් ව්‍යසනය සමඟ එය අනතුරකය. සෞඛ්‍ය විශේෂඥයෝ සහ ජනතාව රට ලොක්ඩවුන් කරන සේ බල කරති. රාත‍්‍රී කාලයට පනවන ඇඳිරි නීතියෙන් පමණක් කොවිඩ් අවදානම තුරන් කළ නොහැකි බව දන්නා සමහර නගර සිය කැමැත්තෙන් වසා දමන තත්ත්වයක් උද්ගත වී තිබේ. එය එපමණ සුදුසු නැති ප‍්‍රවණතාවයකි. ආණ්ඩුවට අති විශාල ජනතා ප‍්‍රසාදයක් හිමි වී තිබුණු නමුත් රටවැසි සියලුම දෙනා දෙගිඬියාවකය. ජනතාව ඉල්ලා සිටියේ පරිවර්තනයකි. අලුත් ආරම්භයකි. පවතින ගැටලු විසඳා දරුවන්ගේ අනාගතය සහතික කරන පිළිවෙළකි. දැන් එය කොතැනකද?
උත්තර නැති කැබිනට්ටුවක්
මහජන නියෝජිතයන් නඩත්තු කිරීම සඳහා මෙරට කරන වියදම ගැන ජනතාව තුළ කිසිම ප‍්‍රසාදයක් නැත. අති සුඛෝපභෝගී කාර්යාල, සුපිරි වාහන, තරු හෝටලවලින් ආහාර, විශාල කාර්ය මණ්ඩලය, වැටුප් හා දීමනා පමණක් නොව විශ‍්‍රාම වැටුප් ගැන පවා බරපතළ විවේචන තිබේ. එසේ තිබිය දී කැබිනට් මණ්ඩලය තුළ පවා සිත් සසල කරන පරිදි තරුණ නාමල් රාජපක්ෂ ඇමැතිවරයාට තවත් විෂය පථ පවරමින් සිටී. වියදම් අඩු, සාමූහිකත්වය වැඩි ප‍්‍රවණතාවයක් ඇති කරන අවශ්‍යතාව අභිමුවෙහි තිබිය දී සංශෝධනය කරන ලද කැබිනට් ඇමැතිවරුන් සතු වගකීම බලවත්ය. මෙතැනින් ඔබ්බට ආණ්ඩුව කැඳවාගෙන යා යුතුව තිබේ. ආණ්ඩුවේ පක්ෂවලට ඇති පිළිගැනීම, ලැබුණු සුළු අමාත්‍යංශ ගැන මැසිවිලි හා අනෙක් කාරණා තේරුමක් නැති අංශ බව පෙනේ.
අනෙක් අතට අවුරුද්දකට කලින් අමාත්‍යංශවල නම් කියවන විට ග‍්‍රාමීය මට්ටමින් විශාල පරිවර්තනයක් කළ හැකි වෙතැයි අපේක්ෂාවක් තිබිණි. බිත්තර හා කුකුළු මස් අමාත්‍යංශයක් පත් කර වසරක් ගතවන විට රු. 430 තිබුණු මස් කිලෝව රු 600 ඉක්මවා තිබේ. නීතියෙන් ගැලවෙන්නට මස් ඇසුරුමෙහි එක වඩනයක් වෙනස් කර තිබේ. මේවායෙන් රටට දී ඇති පණිවුඩය කුමක්ද? බතික්, කිතුල්, මැටි යනාදී වශයෙන් කියන ලද තරමට කෙරුවාව තිබේද? පැරණි කියමනක් අනුව හිසරදයට කොට්ට මාරු කිරීමක් පමණකි. කොපමණ මාරු කරන ලද නමුත් හිසරදය සුව නොවෙන්නට හේතුවක් ද තිබේ. අමාත්‍යංශවලට වැඩ කරන්නට ධනය අවශ්‍යය. ආයෝජනය කරන පිළිවෙළක් නැත. කිසිවක් නොකර සිටින තරමට වියදම් කපා දමා දැනට නිදහස් කර ඇති මුදල් පවා වියදම් නොකරන ලෙස චක‍්‍රලේඛන එවන මහා භාණ්ඩාගාරයකින් අත පය සොලවා වැඩක් කරන හැකියාවක් නැත. ඉක්මනින් තීරණ ගත යුතුව තිබේ. ආදායම හා වියදම ගලපා ගත යුතුය. අලුත් ආයෝජන අවශ්‍යය. ඇමැති මාරුවකින් පමණක් ගැලවෙන්නට හැකියාවක් නැත.
සාරා කන්දෙගොඩ