2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

හොඳම ක්‍රමය ස්වයං සංචරණ සීමාද?

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 32

සතිය පුරා බොහෝ දෙනකු බලා සිටියේ රට ලොක්ඩවුන් කරන තුරුය. එහෙත් එවැන්නක් සිකුරාදා දින දක්වා සිදු නොවුණි. කෙසේ වෙතත් ස්වයං සංචරණ සීමා පනවා ගැනීම පිළිබඳ මෙන්ම ස්වයං අගුලු දමාගැනීම් පිළිබඳවත් කවුරුත් කතාබහ කරන්නට වූහ. සෞඛ්‍ය බලධාරීන් මෙන්ම බොහෝ දේශපාලකයන්ද කීවේ මේ මොහොතේ සිදුකළ හැකි හොඳම දෙය ස්වයං සංචරණ සීමා පනවා ගැනීම බවයි. එවන් වටපිටාවක් තුළ ස්වයං සංචරණ සීමා, ස්වයං අගුලු දමා ගැනීම් යනු කවරක්ද? මේ මොහොතේ රට තුළ සිදුවෙමි ඇත්තේ කුමක්ද? කියා සොයා බැලීමට අපි උත්සාහ කළෙමු.

ස්වයං නිරෝධායනය අපට ඉතා හුරුපුරුදු වුවත් ස්වයං සංචරණ සීමා යන්න මේතාක් රටට නුහුරු වචනයක් විය. ඇතෙන්ම ස්වයං සංචරණ සීමා යන්න (Self Lockdown) ලෝකයටම අලුත් සංකල්පයකි. මීට පෙර සති කිහිපයකට පෙර සිය ගම්මානය ස්වයං අගුලු දමා ගැනීමකට යටත් කළ ඉන්දියාවේ ගම්මානයක් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. එය බොහෝවිට කොවිඩ් වසංගතය තුළ ලෝකයේ සිදුවූ පළමු ස්වයං අගුලු දමා ගැනීම විය හැකිය. ඉන්දියාවේ ජග්තියලා දිස්ත්‍රික්කයේ එල්ඩාපල්ලි ගම්මානයේ ආසාදිතයන් දොළොස් දෙනෙක් වාර්තා වීම සමඟ එම ගම් සභාව විසින් මෙම සංචරණ සීමා පැනවීම සිදු කෙරිණි. කෙසේ වෙතත් මේ මොහොතේ මෙරට සිදුවෙන ස්වයං සංචරණ සීමා පනවා ගැනීමට වඩා එය තරමක් වෙනසක් එකක් විය. එහිදී ගම්මුන් විසින් තමන්ටම නීති පනවාගෙන දඩගසා ගන්නා තත්ත්වයක් දක්නට ලැබුණි.

එහෙත් මේ වනවිට මෙරට සිදුවන්නේ රටපුරා වෙළෙඳ සංගම්, සමිති සමාගම් ඇතුළු විවිධ පාර්ශව එකතු වී ලබාගත් තීරණ මත ප්‍රදේශවල තුළ ස්වයං ලොක්ඩවුන් තත්ත්වයක් අනුගමනය කිරීමට පියවර ගැනීමය. දිනපතා මෙලෙස ලොක්ඩවුන් තත්ත්වයකට එළඹි නගර පිළිබඳ මාධ්‍ය වාර්තා පළවන්නට පටන්ගෙන තිබේ. මේ අනුව නගර 80කට ආසන්න සංඛ්‍යාවක කඩ සාප්පු සතියකට හෝ දින දහයක කාලයකට වසා දැමීමට අදාළ වෙළෙඳ සංගම් ක්‍රියාකර තිබේ. උදාහරණ කිහිපයක් ලෙස අම්බලන්තොට, දිවුලපිටිය, රත්නපුර, පල්ලේබැද්ද, උඩවලව, බාදුරාගොඩ, බටපොළ, මරදගහමුල, මාතලේ යටවත්ත, ත්‍රිකුණාමලය, රුවන්වැල්ල, අඟුරුවැල්ල, කරවනැල්ල, දැරණියගල, තොග සහ සිල්ලර රෙදිපිළිවලට ප්‍රසිද්ධ පිටකොටුවේ දෙවැනි හරස් වීදිය, තඹුත්තේගම, අකුරුස්ස ඇතුළු තවත් නගර පෙන්වා දිය හැකිය. මෙම නගර මේ වනවිට සැලකියයුතු ලෙස හුදකලා වී ඇති බව නිරීක්ෂණය වෙයි.

නගර හුදකලාකරණය සඳහා යම් දේශපාලන සහ ප්‍රභූ මැදිහත්වීම් සිදුවූ අවස්ථාද ඇති බව දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් එම මැදිහත් වීම් පිළිබඳ මෙතෙක් ලැබී ඇත්තේ සාධනීය ප්‍රතිචාර පමණි. මේ අතර ඇතැම් නගර විවෘත පැවතියද ජනතාව එම නගරවලය පැමිණීම සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි. ඒ අනුව ස්වයං සංචරණ සීමා පනවා ගනිමින් අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වළකින ලෙසට සෞඛ්‍ය අංශ විසින් දිගින් දිගටම කරණ ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ජනතාවගෙන් ලැබී ඇති බව පැහැදිලිවේ. පසුගිය දිනවලදී රජය විසින් යම් පමණකට සංචරණ සීමා යාවත්කාලීන කරමින් පළාත් දිස්ත්‍රික් අතර සංචරණය සීමා කරමින් නව නීති පැනවූයේය. ඒවායේද යම් බලපෑමක් ඇතැත් සෞඛ්‍ය අංශවලට අනුව එම රජය විසින් පනවා ඇති සීමාවන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එම නිසාවෙන් මේ මොහොතේ සැබවින්ම අත්‍යවශ්‍යය වන්නේ ජනතාවගේ අවබෝධයි.

විශේෂන්ම ශ්‍රී ලාංකිකයන් විසින් ස්වයං සංචරණ සීමා අනුගමන කිරීමක් සිදුකරන බව ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කොට තුබුණේ කොළඹ නගරය පාදක කොට ගෙනය. කොළඹ නගරයේ ස්ථාන කිහිපයක රථවාහන ගමනාගමනය සහ මහජනතාව ගැවසීම යම් පමණකට දක්නට ලැබුණු නමුත් වෙනදාට බොහෝ සෙයින් කාර්යබහුල මං මාවත් බොහොමයක ගෙවුණු සතියේ රථ වාහන සහ මහජනතාවගේ කැපීපෙනෙන අඩුවක් දක්නට ලැබුණි. කෙසේ වෙතත් සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාව පැහැදිලි කළ සෞඛ්‍ය අංශවලට අනුව කොළඹ නගරය මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදයේ ග්‍රහණයට නතුවී හමාරය. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අණුක විද්‍යා විශේෂඥයකු වන විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා කොළඹ නගරයේ ඩෙල්ටා ආසාදිතයන්ගේ ශීඝ්‍ර ඉහළ යෑම සම්බන්ධයෙන් පසුගියදාක විශේෂ ප්‍රකාශයක් සිදුකොට තිබුණි. එහිදී ඔහු පෙන්වා දී තිබුණේ පසුගිය මාසයේ මුල් සතිය සහ අග සතියේ අතර කාලය තුළදී කොළඹ නගරයේ වාර්තා වූ ආසාදිතයන් ගෙන් 90%ට වැඩි ප්‍රමාණයක් ඩෙල්ටා ආසාදිතයන් විය හැකි බවයි.

මෙවන් තත්ත්වයක් තුළ ආණ්ඩුව විසින් ආර්ථික කාරණා උලුප්පා දක්වමින් රට තුළ සංචරණ සීමා පැනවීමක් සිදු නොකළද ජනතාව සංචරණය සීමා කළ බව ගෙවුණු සතියේ ඉතා පැහැදිලිවම පෙනී ගිය බව කිව යුතුය. එහි ප්‍රාමාණික බව පිළිබඳ ගැටලු ඇතත් මෙරට බහුතර මහජනතාව පිළිබඳ යම් ප්‍රසාදක් ඇති කර ගැනීමට මෙම තත්ත්වය හේතුවක් යැයි කිවයුතුය. මන්දයත් ශ්‍රී ලංකිකයන් ස්වයං සංචරණ සීමා ස්වයං අගුළු දමා ගැනීම් සිදුකර කරද්දී මේ දිනවල ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු බොහෝ රටවල ලොක්ඩවුන්වලට එරෙහිව මේ දිනවල උද්ඝෝෂණ පැවැත්වෙයි. එසේම මුව අවරණ භාවිතය පවා දියුණු යැයි සම්මත රටවල්වල ජනතාවට අමතක වී ගොස් තිබේ. එහෙත් කිහිපදෙනෙක් හැරුණු කොට මෙරට බහුතර ජනතාව සිය සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වදවීම ගෙවුණු වසර දෙක පුරාම ඉතා හොඳින් සිදුකළහ.

කෙසේ වෙතත් ජනතාව ස්වයං සංචරණ සීමා පනවාගෙන සිටියද නීතිමය මැදිහත් වීමකින් තොරව වළකාලිය නොහැකි සංචරණයන් රැසක් සිදුවන බව කිවයුතුය. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සෙවකයන් පොදු ප්‍රවාහන භාවිත කිරීම, මත්පැන් අලෙවි සල් විවෘත තිබීම, ආපනශාලා විවෘතව තැබීම දෑ ඉන් කිහිපයක් පමණි. එම නිසාම ජනතා සංචරණ සීමා හරහා වසංගතය මර්දනයට දැකිය හැකි දායකත්වය විටෙක ගැටලු සහගත වෙයි. මේ වසරේ මැයි මාසයේදී සිදුකළ ආකාරයට සති හතරක තදබල මට්ටමේ සංචරණ සීමා පැනවීමක් සිදුකළ යුතු බව දේශීය විද්වතුන් රැසක් පෙන්වා දී තිබේ. එසේ නොවුණහොත් 2022 ජනවාරි මාසය වනවිට ශ්‍රී ලංකාවේදී මරණ 30,000 ක් පමණ වාර්තා වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව සම්බන්ධව පරීක්ෂණ සිදුකළ විශේෂඥ කමිටුව ද පවසයි. එම නිසාම වසංගතයේ බරපතළ බව ආණ්ඩුව සේම ජනතාවද තවදුරටත් අවබෝධ කරගත යුතුව තිබේ.

තත්ත්වය එසේ වුවත් අවසානයේ අවධාරණයෙන් කියා සිටිය යුත්තේ ඔබේ ආරක්ෂාව ඔබ සතු බවයි. මේ වනවිටත් ඔබට පහර දිය හැකි සතුරා පිළිබඳ ඔබ දැනුවත්ය. ආරක්ෂිත උපායමාර්ග හොඳ හැටි දනී. එම නිසාම කිසිවෙක් ඔබව ආරක්ෂා කරන්නට මැදිහත් වනතුරු බලා නොසිට ඔබේ ආරක්ෂා ඔබ සලසාගන්න. ඔබගේ ආරක්ෂාව ඔබගේ පවුලේද ගමේද නගරයේද රටේද ආරක්ෂාව වනු ඇත. එසේ නම් හොඳින් මතක තබා ගන්න ඔබේ හුස්ම රුක ගැනීමට ඔබට ඇති හොඳම ක්‍රමය ස්වයං සංචරණ සීමා පනවා ගැනීම බව.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05