2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

ලංකාවෙනුත් අලුත් විකෘති ප්‍රභේදයක්

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 62

මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය රටේ මූලික ප්‍රභේදය බවට පත්වෙමින් සීඝ්‍ර පැතිරයාමක් දක්වන නිසා එය වැළැක්වීමට ඉක්මන් පියවර නොගතහොත් සැප්තැම්බර් වනවිට ලංකාවටම අයත් වෙනස්ම විකෘති ප්‍රභේදයක් බිහිවිය හැකි බව වෛද්‍ය විශේෂඥයන්  අනතුරු අඟවා තිබේ.

ඖෂධ සහ සෞඛ්‍ය සම්බන්ධ ජාත්‍යන්තර උපදේශක ආචාර්ය සංජය පෙරේරා “දේශය” සමග කළ කතාබහකදී අවධාරණය කර සිටියේ අගෝස්තු අග හෝ සැප්තැම්බර් වනවිට ලංකාවේම ප්‍රභේදයක් වර්ධනය විය හැකි බවය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියද ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යන නිසා මෙරට තුළින් නව වෛරස් ප්‍රභේදයක් බිහිවීමේ හැකියාව ඇති බවත් ඇය එය පවතින වෛරසය අභිබවා යාමට සමත්වනු ඇති බවටත් අනතුරු ඇඟවූවාය.

මේ වනවිට ප්‍රධාන ප්‍රභේදය බවට පත්වෙමින් ඇති ඩෙල්ටා විකෘති වී තවත් භයානක කොවිඩ් ප්‍රභේදයක් මෙරට නිර්මාණය වීමේ අවදානමක් පවතින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමනද තහවුරු කර තිබුණි. ඔහු පාර්ලිමේන්තුවේදී කියා තිබුණේ මේ වනවිටද මෙරට තුළ ඩෙල්ටා වෛරසයේ විකෘත තුනක් හඳුනාගෙන තිබෙන බවය. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ මෙරට පැතිරි යන ඩෙල්ටා ප්‍රභේදය තුළ SA 222V, SA 701S, SA 1078S යන ජාන වෙනසක් දැනටමත් නිරීක්‍ෂණය වන බවය.

මේ වනවිට ලෝකයේ රටවල් කිහිපයක ලැම්ඩා සහ එෆ්සයිලන් නමින් හඳුන්වන නව ප්‍රභේද දෙකක් පැතිරෙමින් පවතින බවද එෆ්සයිලන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා භයානක බවද කීවේය. මෙය එන්නත්වලට ප්‍රතිරෝධී ආකාරයෙන් නිර්මාණය වූ නව ප්‍රභේදයක් බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා මේ වසංගතය සැලකිල්ලට ගත්විට ඉදිරියේදී නව ප්‍රභේද ඇතිවීම කිසිදු ආකාරයකින් වැළැක්විය නොහැකි බවද ඒ සඳහා සූදානම් විය යුතු බවද කීවේය.

මේ නව මාදිලිවල ඇති භයානකම විපරියාසය වූයේ ඒවා ඉතා වේගවත් පැතිරීමක් සහිත එහෙයින් රෝගීන් සංඛ්‍යාව දැරිය නොහැකි මට්ටමකට ඉහළ දමන අර්බුදකාරී මාදිලි බවට පත්ව තිබීමය‍. මේ අලුත් විපරීත සහිත වෛරස ඉක්මනින්ම වැඩි පිරිසක් අතර පැතිර යාමේ අවදානමත් සමගම ඒවා වැඩි වැඩියෙන් විපරීතවීම්වලට ලක්වීමේ හැකියාව ඉහළ ගොස් තිබේ 

මේ වෙනස්කම් සිදුවන ආකාරයට අනුව දැනට රට තුළ පැතිර යන මූලික වෛරසය බවට පත්වෙමින් ඇති ඩෙල්ටා වෛරසය මුළුමණින්ම වෙනසකට ලක්වී අලුත්ම මාරාන්තික වෛරසයක් බවට වෙස් පෙරුළීමට වැඩි දිනයක් ගත නොවනු ඇතැයි විද්වතුන් අනතුරු අඟවා හමාරය.

ඩෙල්ටා ප්‍රභේදය මුලින්ම මතුවී හානිදායි ලෙස පැතිර ගිය ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් ඉහළයාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකළ ඉන්දීය රජයට        වාර්තා වූ භයානක කරුණක් වූයේ ඉන්දියාව තුළ විවිධ වෙනස්කම් සහිත ප්‍රභේද 7,684ක් පමණ අලුතෙන් බිහිවි පවතින බවය. ඒ ගැන ඔවුන් අලුතෙන්ම ඉදිරිපත් කර ඇති විද්‍යාත්මක දත්ත වාර්තාවක් මගින් අනතුරු අඟවා ඇත්තේ මේ නව විපරීත මාදිලි අතරින් 61ක්ම රෝග ලක්ෂණ පිටතට නොපෙන්වන ඒවා බවටය. මේ අන්දමට ලංකාව තුළද ඩෙල්ටා තවදුරටත් සමාජ ගතවීම ඉහළ ගියහොත් නිසැකවම ලංකාවේම විකෘති මාදිලියක් ඇතිවීම සිදුවිය හැකි බව විශේෂඥ මතය වී තිබේ.

පස් ගුණයකටත් වඩා වැඩි වේගයෙන් පැතිරෙන සහ වාතයෙන්ද පැතිරෙන හෙයින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් සිටිනා ප්‍රදේශයක රෝගය බෝ වීම ඉතා වේගයෙන් සිදුවනු ඇත. ඒ නිසාම මෙරටින් දැනට හඳුනාගෙන ඇති ඩෙල්ටා ආසාදිතයන් ප්‍රමාණයට වඩා වඩා විශාල පිරිසක් සමාජය තුළ හිටිය හැකි බව විශේෂඥයෝ පහදා දෙති. එබඳු සෑම ආසාදිතයකුම ආසාදිත මාදිලිය වෙන්කර නිවැරදිව හඳුනා ගැනීමට නම් ජාන අනුක්‍රමිකතා පරීක්ෂණ සිදුකළ යුතුය. නමුත් සෑම සැක සහිත ආසාදිතයෙක් වෙනුවෙන්ම එම ඩෙල්ටා හඳුනාගැනීමේ ජාන විශ්ලෙෂණ පරීක්ෂණ වෙනම සිදුකිරීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි. මේ නිසා සමාජය තුළ සැඟව සිටිය හැකි ඩෙල්ටා ආසාදිතයන් ප්‍රමාණය වාර්තා ගත ප්‍රමාණයෙන් කිහිප ගුණයක් ඉහළ අගයක් ගැනීම අනිවාර්යය. ඒ හා සමානවම පැතිරීමද ඉහළ යාමෙන් ලංකාවේ විකෘතියක් ප්‍රතිපළ වීමට ඇති හැකියාව ඉහළය.

ලොවපුරා ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වුණු වෙනත් රටවල්වලදීද සති අටක් වැනි සුළු කාලයක් තුළදී පෙර පැවති සියලු වෛරස් ප්‍රභේද අභිබවා ඩෙල්ටා ප්‍රභේදය අදාළ  රටවල් තුළ ප්‍රධානතම ප්‍රභේදය බවට පත්වීමට සමත් වී ඇති බැවින් ලංකාවේද වෛරස පැතිරීම ඒ හා සමාන ස්වූපයක් ගනු ඇතැයි වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවමින් පෙන්වා දෙති.

එනිසා ඩෙල්ටා මෙරට ප්‍රමුඛ මාදිලිය බවට පැතිරිමේ අවදානම අතිශය ඉහළ මට්ටමක පවතී. ඒ හා සමගම ලංකාවේ විකෘතියක් ප්‍රතිපල වීමට ඇති හැකියාවද ඉහළ බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

 සුගත් පී. කුලතුංගආරච්චි