ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට අදාළ තම යෝජනා එළඹෙන කැබිනට් මණ්ඩල රුස්වීමට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ගුරු විදුහල්පති ගැටලුවට විසඳුම් සෙවීමට පත් කළ කැබිනට් අනුකමිටුවේ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
වසර 24ක් පුරා පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීමට කිසිදු රජයක් පියවර නොගත් බැවින් එය විසඳන තුරු මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත් වීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති පසුගිය ජුලි 12දින සිට තීරණය කළහ. ගුරු සංගම් 14ක් එම වර්ජනයට සම්බන්ධ වූ අතර ඔවුන් කියා සිටියේ එම විෂමතාව නිවැරුදි කරන තෙක් තමන් වර්ජනයේ නිරතවන බවයි. ඒ අනුව ඔවුහු මාර්ගගත අධ්‍යාපනය ලබාදීම, විභාග රාජකාරි සහ පිළිතුරු පත්‍ර ඇගයීම හා ප්‍රාදේශීය ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානවල රාජකාරිවලින්ද ඉවත් වන බව ප්‍රකාශ කළහ.. තම ඉල්ලීම් ලබා දෙන ලෙසට ඔවුන් රට පුරා විරෝධතා ව්‍යාපාර ගෙන ගිය අතර එයට ගුරුවිදුහල්පතිවරුන්ගේ විශාල සහභාගීත්වයක් දැකිය හැකි විය. විරෝධතාවනට අමතරව දේශපාලන පක්ෂ දැනුම්වත් කිරීමේ ක්‍රියාමාර්ගයකටද ඔවුහු එළඹුණාහ. අධ්‍යාපන ඇමැතිවරයා සහ වෙනත් බලධාරීන් සමඟ වරින්වර සාකච්ඡා ඇති වුවද ඔවුන්ගේ ගැටලුවට නිසි ප්‍රතිචාරයක් නොලැබුණ හෙයින් වර්ජනය දිගටම ක්‍රියාත්මක විය.
පසුගිය අගෝස්තු 6 වැනිදා සිට සියලුම ගුරුවරුන් සේවයට වාර්තා කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිපියක් මගින් දැනුම් දී තිබිණි. ගුරුවරුන් එකහෙළා කියා සිටියේ කිසිවෙක් එදිනට සේවයට වාර්තා නොකරන බවටය. එහෙයින් අධ්‍යාපන ලේකම්වරයාට තම ලිපිය හකුලා ගැනීමට සිදු වූ අතර ඔහු යළි ලිපියක් යවමින් කියා සිටියේ සේවා ස්ථානයට නොපැමිණ රාජකාරි කරන කාල සීමාව තුළ නිවසේ සිට මාර්ගගත ක්‍රමයට හෝ වෙනත් විකල්ප ක්‍රම භාවිත කොට සිසු සිසුවියන්ට ඉගැන්වීම් කළ යුතු බවටය. ගුරුවිදුහල්පතිවරු එම නියෝගයද පිළිපැද්දේ නැත. ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ ගුරුවරුන් 247,000ක් සහ විදුහල්පතිවරුන් 16,000ක් එම නියෝගය පිළි නොපදින බවයි.
මේ අතර මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අධ්‍යාපන ඇමති ජී. එල්. පීරිස් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ක්ෂණික විසඳුමක් ලබා දීමට කැබිනට් මණ්ඩලයට නොහැකි බවයි. මාස තුනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනය මගින් මේ සඳහා විසඳුමක් ලබා දිය හැකි යැයි ඔහු ප්‍රකාශ කළේය. මෙම වැටුප් විෂමතාව විසඳීමේදී , අනෙකුත් සමාන්තර ශ්‍රේණිවලටද සෘජු බලපෑමක් එල්ල වන බව පැවසූ අමාත්‍යවරයා, රාජ්‍ය සේවයේ සියලු අංශවලට සාධාරණයක් වන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීමට රජය කටයුතු කරන බවද පෙන්වා දුන්නේය. එම සැළසුම් සකස් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා, ඒ අනුව අයවැයලේඛනයෙන් පසු මේ සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දිය හැකි බවද පැවසීය.
වසර 24ක් තිස්සේ පැවැති මෙම ගැටලුව සම්බන්ධයෙන් අනාවරණ වූයේ ඩී.සී පෙරේරා වාර්තාව මගිනි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරුව එවක අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා විසින් මේ සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර තමා අධ්‍යාපන අමාත්‍යංශය භාර ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 05කගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව ද ඔහු පැවසී ය. සුබෝදිනී වාර්තාව ඉදිරිපත් කෙරුණේ මෙම ගැටලුව සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් පසු බවද ඔහු කියා සිටියේය.
වෘත්තීය සමිති කියා සිටියේ සුබෝදිනී කමිටුව මගින් නිර්දේශ කරන ලද වැටුප ලබා දිය යුතු බවත්, තමන් මේ අවස්ථාවේ එක්වරම වැටුප් වැඩිවීමක් ඉල්ලා නොසිටින අතර මෙම විෂමතාව නිවැරුදි කරන දිනයක් තමන්ට පවසන ලෙසටත්ය. වැටුප් විෂමතාව නිවැරුදි කොට ගුරු වැටුප් ගෙවීම සඳහා බිලියන 56ක් අවශ්‍ය බව කියා සිටි ආණ්ඩුව මේ අවස්ථාවේ එතරම් මුදලක් ගෙවීමට ආණ්ඩුවට නොහැකි හෙයින් අනාගතයේ ගෙවීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
අර්බුදය දිගින් දිගට ඇදී යද්දී එයට විසඳුමක් සෙවීමේ අරමුණින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු අනු කමිටුවක් පත් කිරීමට පියවර ගත්තේය. එය ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, විමල් වීරවංශ හා ප්‍රසන්න රණතුංග යන ඇමැතිවරුන්ගෙන් සමන්විත විය. එම අනුකමිටුව පසුගිය 12දා පළමුවරට විමල් වීරවංශඅමාත්‍යවරයාගේ නිවෙසේදී හමුවූහ. ඒ සම්බන්ධයෙන් එදින අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා & අපි රජයටත්, විදුහල්පතිවරුන්ටත්, ගුරුවරුන්ටත් පිළිගත හැකි විසඳුමක් ගන්න තමයි මහන්සි දරන්නේ. වර්ජනය නවත්වනවා ද ඉදිරියට ගෙන යනවා ද කියන එක වෘත්තිය සමිතිවලට අදාළ කාරණයක්. අපි බලන්නේ මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් ද කියන එක. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව මේ ප්‍රශ්නය විසඳිය යුතුයි කියලා අපි තේරුම් අරන් තියනවා. ඒ නිසා ඒ පදනමේ ඉදගෙන වෘත්තීය සමිතිවල න්‍යාය පත්‍රය මොකක් වුණත් අපි සාකච්ඡා ඉදිරියට ගෙනියන්නේ මේ අවස්ථාවේ මෙම ගැටලුව රජයට දරාගන්න පුළුවන් කුමන පදනමකින්ද යන්න සැලකිල්ලට ගෙනයි.* යනුවෙන් ප්‍රකාශ කළේය.
ගුරු විදුහල්පතිවරුන් සදහා අනිවාර්යයෙන්ම වැටුප් වැඩිවිමක් සිදුවිය යුතු බවත්,. ගුරු වැටුප් විෂමතාවක් පවතින බව පැහැදිලි බවත්, අනෙකුත් රාජ්‍ය සේවාවන්ට බලපෑමක් නොවන ආකාරයෙන් මෙය විසඳීමට ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් කමිටු සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතාද කියා සිටියේය.
ගුරු උද්ඝෝෂණ දිගින් දිගටම ක්‍රියාත්මක විය. විශාල පිරිසක් ඒකරාශි වීම මත තවත් කොවිඩ් පොකුරක් නිර්මාණය වනු ඇතැයි දේශපාලනඥයන් හා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ අතර රටේ පවතින තත්ත්වය වටහා ගත් ගුරු සංගම් මහ මග පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාර නවතා දැමීමට තීරණය කළහ. ඒ වෙනුවට ඔවුන් ඩිජිටල් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පසුගිය අඟහරුවාදා සිට අරඹා තිබේ. පසුගිය සිකුරාදා දිනය වන විට ඔවුන් මාර්ගගත අධ්‍යාපනයෙන් ඉවත්ව දින 40ක් ගතවී තිබිණි. ඩිජිටල් විරෝධතාවට චිත්‍ර, ගීත, කවි හා වෙනත් ඕනෑම ක්‍රමයකින් විරෝධතා දැක්විය හැකි යැයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේය.
ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සමග අනුකමිටුව පසුගිය සතියේ අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළේය. වරින් වර සාකච්ඡා වට 10ක් පමණ පවත්වා තිබූ අතර අවසන් සාකච්ඡා වටය පැවැත්වුණේ පසුගිය බදාදාය. එයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් කිහිපයක් සහභාගී විය. අනුකමිටුව ඔවුන්ගෙන් විමසා සිටියේ සුබෝදිනී කමිටු වාර්තාවට විකල්ප යෝජනාවක් තිබේදැයි කියාය. එවිට ගුරු සංගම් සාමාජිකයන් විමසා සිටියේ අනු කමිටුවට විකල්ප යෝජනාවක් තිබේදැයි කියාය.. එයට පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැත. මෙම සියලු කරුණු සලකා බලා සිකුරාදා දිනයේ මුදල් අමාත්‍යාංශයට වාර්තාවක් ලබා දෙන බවට අනු කමිටුව වෘත්තීය සමිතිවලට පොරොන්දු වී තිබේ.
සාකච්ඡාවට සහභාගී වූ අනුකමිටු සාමාජික අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේ වෘත්තිය සමිති සමඟ ඉතා යහපත් සාකච්ඡා වාර කිහිපයක් පැවැති බවයි. මුදල් අමාත්‍යංශය හා වැටුප් කොමිෂන් සභාව සමඟද සාකච්ඡා කිරීමෙන් පසු තම වාර්තාව කඩිනමින් (බොහෝ විට සඳුදා දිනයේ) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බැව් ඔහු පැවසීය.
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පැවසුවේ කුමන අනුකමිටු පත් කළත්, කුමන කැබිනට් පත්‍රිකා නිකුත් කළත් දින වකවානු සහිතව අදාළ චක්‍රලේඛ නිකුත් කරන තුරු තම විරෝධතා ව්‍යාපාරය අත් නොහරින බවටය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා