කෝවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරයාම හමුවේ දිනපතා වාර්තාවන රෝගීන් සංඛ්‍යාවත් මරණ සංඛ්‍යාවත් ඉතා ඉහළය. ඇතැම් නගර මධ්‍යයේ අභිරහස් ලෙස මහමඟ වැටී මරණයට පත්වන පුද්ගලයන්ගේ ඡායාරෑප වීඩියෝ පටද මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ පැතිරෙන අතර ඒවා දකින බොහොමයක් පිරිසකට ඒ සම්බන්ධයෙන් ඇත්තේ බියකි. ඒ සිදුවන්නේ මොනවද කියා සිතාගන්නට නොහැකිවය.
රාත්‍රිය වනවිට හිතාගන්න බැරි මරණ සංඛාවකුත්, රෝහල් ධාරිතාවය පිරී ඉතිරී යන ආසාදිත සංඛ්‍යාවකුත් දිනපතා වාර්තාවේ. ඒ ජනතාවගේ බය තව තවත් වැඩිකරන්නකි. මේ නිසාම රටේ බහුතරයක් දෙනා බලා සිටියේ රට වසන්නේ කොයි මොහොතකද කියාය. ඒ වෙනුවෙන් නොයෙකුත් ඉල්ලීම් විවිධ පාර්ශ්ව වලින් ගලා එන්නට විය. විශේෂයෙන් සෞඛ්‍ය අංශයේ පිරිස් ඒ වෙනුවෙන් නොයෙකුත් යෝජනා ඉදිරිපත් කළහ. එහෙත් ආණ්ඩුවේ ප්‍රතිචාරය වුණේ මේ අවස්ථාවේ රට වසා දැමීමක් සිදුකළ නොහැකි බවයි. එසේ වසා දැමුවහොත් රටේ ආර්ථිකයට එය බලපාන බවත් විශේෂයෙන් දෛනික වැටුප් හිමියන් අන්ත අසරණ වන බවත් ආණ්ඩුවේ පිළිතුර විය.
කෙසේ වෙතත් ආණ්ඩුවේ එම තීරණය ගැන බොහෝ දෙනාට ප්‍රශ්නයක් ඇත. එනම් රටේ රුකියා කරන බහුතරයක් දෙනා රෝගී වී රෝහල් වෙත ඇතුළු කිරීමත්, ඇතැම් අය මියයමින් සිටින මොහොතකත් මිනිස් ජීවිත රුකගැනීම වෙනුවට ආර්ථිකය ආරක්ෂා කිරීමට වෙර දැරීම කෙතරම් ප්‍රායෝගිකද යන්නය. දිනකට රටේ මරණ 200කට ආසන්නව සිදුවන මොහොතක රටේ ආර්ථිකය ආරක්ෂාවන්නේ කෙසේද කියාය. ඇත්තටම මිනිස් ජීවිතවල වටිනාකමක් ආණ්ඩුවට නැද්ද? එය බොහෝදෙනාගේ ප්‍රශ්නය වී ඇත.
වටින් පිටින් රට වසන ලෙස යෝජනා ගලා ආවත් ආණ්ඩුව රට වසා දමන ස්ථාවරයට පැමිණියේම නැත. මේ නිසා අවසානයේ ඇතැම් සංවිධාන ඉල්ලා සිටියේ රටේ ජනතාවට තමන් විසින් ලොක්ඩවුන් එකකට යන ලෙස කියාය. එනම් ආණ්ඩුව තීරණයක් නොගන්නේ නම් තමන් ආරක්ෂා වන ලෙසත් දැඩි නීති තමන් විසින්ම දමාගන්නා ලෙසත් ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටියහ. කෙසේ වෙතත් තත්ත්වය එන්න එන්න උග්‍ර අතට පැමිණෙමින් සිටින නිසා ජනතාව ඉතාම කැමැත්තෙන් ගමන් බිමන් සීමා කළ අතර ස්වයං වාරණවලට යාමට පටන් ගනිමින් සිටියෝය.
මේ අතර ජනතාව විසින් තම තමන්ගේ ආරක්ෂාව සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා විට ඒ සඳහා රට වටා ඇති ව්‍යාපාරික සංගම්ද සහාය දීම සඳහා එක පෙළට සිටගන්නට විය. ඇතැම් නගරවල ඇති ව්‍යාපාරික සංගම් තීරණය කළේ ජනතාවගෙත් රටේත් ආරක්ෂාව සඳහා තමන්ගේ වෙළෙඳ ව්‍යාපාරික අඩුම තරමින් දින හතක් හෝ වසාදැමීමටය. එක් පැත්තකින් එය ව්‍යාපාර සංගම් විසින් ඔවුන්ගේත් ආරක්ෂාව සඳහා ගත් හොඳ තීරණයකි. ආණ්ඩුවෙන් තීරණයක් නොගන්නවා නම් ජනතාව හෝ තීරණයක් ගැනීම එක්පැත්තකින් හොඳය. ලෝකයේ බොහෝ රටවල කඩසාප්පු වසා දමන ලෙසට ආණ්ඩු නියෝග කළත් එහෙත් අපේ රටේ වෙළඳසල් හිමියන් ආණ්ඩුවේ නියෝග නොමැතිව ස්වයං ආරක්ෂාවකට යෑම සැබවින් පැසසිය යුතු කරුණකි.
කෙසේ වෙතත් මෙම කඩ සාප්පු වැසීම එක් පැත්තකින් අගය කළත් ආණ්ඩුවේ පාර්ශ්වයේ කැබිනට් අමාත්‍යවරයකු වන ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා එය දැඩිව විවේචනය කළේය. ඔහු පවසා සිටියේ ගුරු අරගලය කරන විට එය නැවැත්වීම සඳහා එදා කඩසාප්පු වසා දැමීම සිදුකළ යුතුව තිබූ බවය. එදා නොකර අද සිදුකිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ඔහුගේ අදහස විය. කෙසේ වෙතත් ආණ්ඩුවේ වගකිව යුතු අමාත්‍යවරයෙක් මේ ආකාරයෙන් ජනතාවගේ සහය විවේචනය කිරීම සැබවින්ම අනුමත කළ නොහැක. එයට හේතුව ඒ අකාරයෙන් විවේචනය කිරීම හරහා පැහැදිලිවම පෙන්වන්නේ ආණ්ඩුවට කොරෝනා මර්දනය සඳහා ජනතාවගේ සහය කිසිසේත් අවශ්‍ය නොමැති බවය. එහෙත් එකී අමාත්‍යවරයා සිතිය යුතු කරුණක් ඇත. එනම් කඩ සාප්පු වසා දැමීම විපක්ෂයේ ක්‍රියාවක් නම් කඩසාප්පු ඇර තබාගැනීමට ඔවුන්ට හිතවාදී පිරිස් එක් අයකු හෝ නගරයේ නැද්ද යන්න කියාය. එසේ සිටිනවා නම් අමාත්‍යවරයා නොව මෙම දේශපාලන කුමන්ත්‍රණයක් ගැන කිව යුතුව තිබුණේ එකී ආණ්ඩු හිතවාදී ව්‍යාපාරිකයන්ය. එහෙත් පක්ෂ පාට බේදයකින් තොරව සිදුකළ මෙම ක්‍රියාව අමාත්‍යවරයාගේ දේශපාලනික ලඝු කිරීම නිසා සිදුවන්නේ තව තවත් ජනතාවට ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ඇතිවීම නොවේද?
මේ වනවිට ගම්පහ, මීගමුව, දඹුල්ල, අනුරාධපුරය, වීරකැටිය, තඹුත්තේගම, ඉමදුව, කදුරුවෙල, කොටගල, මොණරාගල, වරකාපොළ ඇතුළු රටේ නගර 50කට ආසන්න සංඛ්‍යාවක් වසාදමා ඇත. ඒ සියල්ල වෙළෙඳ සංගම් විසින් ගනුලැබූ තීරණයකට සහ ඉල්ලීමකට අනුව මිස බලහත්කාරයෙන් නොවේ. එසේ බලහත්කාරකමක් වූවා නම් නියත වශයෙන්ම ආණ්ඩුව එය මාධ්‍ය සාකච්ඡාවක් තබා හෙළිකරනු ඇත. එහෙත් මෙය ස්වයං වාරණයක් සහ නගරයක පුද්ගල කණ්ඩායමක තීන්දුවක් වීම හේතුවෙන් බොහෝ දෙනෙකුට මෙය දරන්නට හැකියාවක් නැත. එයට හේතු කීපයක් ඇත.
සැබවින්ම ආණ්ඩුවේ නියෝගයක් නොමැතිව කඩසාප්පු ජනතාව විසින් වසා දැමීම යනු ජන විඥානය තුළ රටේ ආණ්ඩුවක් නැතිව ජනතා තීන්දු තීරණවලින් පමණක් කටයුතු කළ හැකි ක්‍රමයක් යැයි පැලපදියම් වනු ඇත. එවිට ක්‍රමයෙන් ආණ්ඩු පාලනයෙන් තොරව ස්වයං පාලනයකට ජනතාව හුරුවනු ඇත. එය වර්තමානයේ කොවිඩ් මෙහෙයුම සඳහා ඉතා විශාල සහායක් වුවත් නුදුරු අනාගතයේ ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාකාරකම් සිදුවන අවස්ථාවලදී මෙය එක් පැත්තකින් අභියෝගයක් වනු ඇත. ජනතාව වෙනුවෙන් පක්ෂ විපක්ෂ අරගලය වෙනුවට ජනතාව විසින් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට පියවර ගතහොත් එය ආණ්ඩුවට පාලනය කළ නොහැක. ඒ නිසා මේ කඩසාප්පු වසා දැමීම එක් පැත්තකින් ආණ්ඩුවට ලබාදෙන පණිවිඩයකි. මේ තත්ත්වය බොහෝ දේශපාලකයන් සුළුවෙන් නොතකා විවේචනය කරන්නත් අගය කරන්නත් පෙළඹෙන්නේ ඒ නිසාය. කෙසේ වෙතත් ඇත්තම තත්වය මෙලෙස වසා දමා ඇති නගර බොහොමයක් තුළ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබීමය. ඒ නිසා දින හතකට හෝ වසා දැමීම යම් ආකාරයක යහපතක් රටට සිදුවනු ඇත.
මේ අතර පිටකොටුව නගරයද වසා දැමීමට පිරිසක් තීන්දු කළත් රජය එයට ඉඩ ලබාදුන්නේ නැත. රජය වහාම ගොස් අත්‍යවශ්‍ය ආහාර සපයන තොග වෙළඳ සල් සමඟ සාකච්ඡා කර තවදුරටත් ඒවා විවෘතව තබාගන්නට එකඟ කරවා ගත්තේය. ඒ යම් අත්‍යවශ්‍ය ආහාරවල අඩුපාඩුවක් සිදුවනු ඇතැයි සිතාය. එහෙත් ඇතැම් වීදී වසා දමා තිබිණි.
මේ ආකාරයෙන් තැන් තැන්වල නගර එක දෙක වැසෙන විට ආණ්ඩුවට එල්ලවන අභියෝගය සුළුපටු නැත. ජනතාවට ඇතිවන අපහසුතා හේතුවෙන් එකී චෝදනාවලට මුහුණදීමට සිදුවන්නේ ආණ්ඩුවටය. ඒ නිසා මේ නගර වැසීම සෞඛ්‍ය අංශවලට විශේෂ සහායක් වුවත් ආණ්ඩුවට නම් සුළුපටු අභියෝගයක් නොවනු ඇත.
ගයාන් ගාල්ලගේ